රස ඵල ‘ මාදම් ඔසු වග මනරම්

ජනවාරි 8, 2021

දෙවියන්ගේ පලතුරක් ලෙස හින්දු ජනයා විසින් ඉතා ගෞරවයෙන් සලකනු ලබන ‘මා දං’ ඉතා රසවත් පලතුරකි. සංස්කෘත භාෂාවෙන් ’ජම්බු’ වශයෙන් හඳුන්වන අතර මෙයින් මධුර හෙවත් පැණි රස හෙයින් සියලු දෙනා ප්‍රිය කරන යන අදහස අර්ථවත් කරයි. කලක් ගම්බඳ ව මෙන් ම නාගරික ව ද දැක ගත හැකි ව තිබූ ශාකයක් වූ මා දං ගස බොහෝ ඉඳීකිරීම් සඳහා මෙන් ම දැවමය වශයෙන් ප්‍රයෝජනයට ගැනීම සඳහා ද කපා දමන බැවින් අද වන විට වියළි කලාපයේ වනගත ප්‍රදේශ වලට පමණක් සීමා වී පවතිනු දැක ගත හැකි ය.

Myrtaceae  කුලයට අයත් මා දං ශාකය Syzygium cumini Skeels යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබයි.වසර සියයක් පමණ ආයු පැවතිය හැකි මෙම ශාකය විශාල වියනක් සේ අතුපතර විහිදා වැඩෙන අතර ජලය කෙරෙහි දක්වන වැඩි ප්‍රතිරෝධීතාවය හේතුවෙන් දැවමය වශයෙන් වැදගත් වුවත් මෙහි පවතින සුවිශේෂී ඖෂධීය වටිනාකම පිළිබඳ ව සලකා බලන්නේ නම් එය කිසිසේත් සාධාරණය වූ ක්‍රියාවක් නොවනු ඇත.

පෙරදිග ජනයා විසින් මා දං ගෙඩි, පත්‍ර, ඇට සහ පොතු ඖෂධ වශයෙන් ඉතා දීර්ඝ කාලයක් තිස්සේ භාවිතා කර ඇති අතර ආයුර්වේද , යුනානි සහ චීන වෙදකමේ ද ඖෂධ වශයෙන් යොදා ගැනේ.ආයුර්වේද වෙදකමේ සහ දේශීය වෙදකමේ ප්‍රධාන වශයෙන් රුධිර ගත සීනි මට්ටම අඩු කිරීමට භාවිතා වන අතර ග්ලූකෝස් පරිවෘත්තීය ක්‍රියාවලිය නිසි ලෙස සිදු කිරිමේ හැකියාවක් පැවතීම මෙයට හේතුව යි.ඒකීය වශයෙන් හා වෙනත් ඖෂධ යෝග වල අන්තර්ගත ව පවතින අතර දියවැඩියා රෝගය සඳහා වැඩි වශයෙන් භාවිතා වන රණවරා සහ කොතල හිඹුටු වලටත් වඩා අතිශයින් ම ගුණදායක බව වියත් මතය යි. යුනානි හා චීන වෙදකමේ ප්‍රධාන වශයෙන් ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝග සඳහා භාවිතා කරයි.

ආයුර්වේද ද්‍රව්‍ය ගුණ විඥානයට අනුව ලඝු සහ රුක්ෂ යන ගුණවලින් යුක්ත වන අතර රසයෙන් ක්ෂාය මධුර හා අම්ල වේ.ඉදුණු මා දං ගෙඩි මධුර රසයෙන් ( පැණි රසයෙන් ) ප්‍රකට ය. වීර්යයෙන් ශීත වන අතර කටු විපාකයෙන් යුක්ත ය. කළු පිත් ශාමක වන අතර දීපන ( බඩගින්න ඇති කරන) පාචන (ආහාර හොඳීන් පැසවන ) ,යකෘත් (අක්මාව) උත්තේජක, මළ කැටි කරන, ආහාර රුචිය වඩන ,විඩාව නැති කරන මෙන්ම උගුරට හිතකර බව යන ගුණවලින් සමන්විත ය.

පලතුරක් වශයෙන් සැකසූවිට විටමින් ඒ හා සී වලින් අනූන ය. ඇතැම් රටවල සෝස් සහ ජෑම් වර්ග නිෂ්පාදනයට යොදා ගන්නා අතර විඩා නිවන පානයක් ලෙස ද භාවිතා කරයි. ආහාර මය හා පෝෂණමය වටිනාකම අතින් ඉතා ඉහළ මට්ටමක පවතින අතර මා දං ගෙඩි ග්‍රෑම් 100ක අන්තර්ගත පෝෂණ අගය මෙලෙස දැක්විය හැකිය.

ශක්තිජනක අගය- 251 Kj (60 CKI)

කාබෝහයිඩ්‍රේට් - 15.56 g

ප්‍රෝටීන් - 0.72 g

මේදය -0.23 g

විටමින්

විටමින් A - 3  IU

විටමින් C - 14.3

තයමින් ( BI ) -0.006 mg

රිබොෆ්ලාවින් ( B2) -0.012 mg

පැන්ටොත්නික් අම්ලය

(B5) -0.160 mg

නයැසීන් (B3) -0.260 mg

විටමින් (B6) -0.038 mg
 

ඛනිජ ලවණ

පොටෑසියම් -79 mg
 

යකඩ -0.19 mg
 

පොස්පරස් -17 mg
 

මැග්නීසියම් -15 mg
 

කැල්සියම් -19 mg
 

සෝඩියම් -14 mg
 

ගෝව සහ පිලිපීන දූපත්වල මා දං ගෙඩි වයින් නිෂ්පාදනය සඳහා වැඩි වශයෙන් භාවිතා කරනු ලබයි. ගෙඩි කසට හා මධුර රසයෙන් යුක්ත වන අතර උදරගත වාත ශාමක Carminative) , චර්ම රෝග නාශක ,මුත්‍රාකාරක සහ උදරගත ශූල නාශක ගුණ සහිත ය. එබැවින් අතීසාරය, ප්ලීහාවේ ඉදිමුම ,මුත්‍රා පිට ව යන අවස්ථාවල දී ඉදුණු පලතුරු යුෂ හෝ ගෙඩි කසායක් ලෙස භාවිත කරනු ලබයි. එමෙන් ම ගෙඩි පොඩි කරගත් යුෂ උගුරේ තුවාල සේදීමටත් පණු ලප ආදියේ ගෑමටත් සුදුසු වේ.

මා දං ඇට රුධිරගත සීනි ප්‍රමාණ ඉක්මනින් ම පහළ දමන ඖෂධයක් ලෙස යුරෝපය එංගලන්තය වැනි රටවල පවා භාවිතා වේ. 1940 දී පමණ සුනඛයන් යොදා ගෙන සිදු කළ පර්යේෂණයක දී මා දං ඇටවල ජලය ද්‍රාවණයක් ඔවුන් සඳහා එන්නත් කර ඇති අතර රුධිර ගත සීනි ප්‍රමාණය දිගු කාලයක් තුළ දී අඩු මට්ටමක පවත්වා ගැනීමට වාර්තා කර ඇත.මීට අමතර ව මෑත කාලීන ව රෝගීන් යොදා ගෙන සිදු කර ඇති රසායනික පර්යේෂණ රැසක ප්‍රතිඵලවලට අනුව රුධිරගත සීනි මට්ටම අඩුකර ගැනීමේ හැකියාවක් පවතින බව සනාථකර ඇත.එබැවින් මා දං ගෙඩි සෑදෙන කාලයට ගස් යට වැටී දිරාපත් වන්නට නොදී අහුලා ඖෂධ පිණිස යොදා ගන්නට හැකි නම් එය මහත් ලාභයකි.මා දං ඇට රන්වන් පැහැවන විට කබලේ බැඳ කුඩුකර කෝපි මෙන්වත්කර බීමෙන් වුව ද අත් වන සුවය අතිමහත් ය.

නවතම සොයා ගැනීම් වලට අනුව මා දං ගෙඩියේ මාංසලමය කොටස මගින් රුධිරගත සීනි සාන්ද්‍රණය මිනිත්තු 30කින් පමණ අඩුකරන බවත් මා දං ඇට මගින් පැය 24 ක කාලයක් තුළ දී අඩු කරන බවත් පෙන්වා දී ඇත. මා දං ඇට වල ප්‍රධාන වශයෙන් ම ජම්බොලින් (jambolin)නැමැති ග්ලූකොසයිඩය අත්තර්ගතය. මීට අමතර ව ටැනින් (19%),ගැලික් ඇසිඞ්, පිෂ්ඨ පදාර්ථ ,අත්‍යවශ්‍ය අම්ල, ප්‍රෝටීන් සහ කැල්සියම් යන සංඝටක ප්‍රධාන වශයෙන් අඩංගු වේ.

මා දං පොතු සහ පත්‍ර සැලකූ විට රුධිර පීඩනය පාලනය කරනු ලබන ඖෂධ වලද අන්තර්ගතව තිබීම වැදගත් වේ. මේවා ජීවානු නාශක (antimicrobial) ශක්තින්ගෙන් යුක්ත බව පර්යේෂණ මගින් පෙන්වා දී ඇත. තුවාල ,පිළිස්සුම් ,මුඛ රෝග, ව්දුරුමස් ආශ්‍රිත රෝග ආදිය සඳහා පත්‍ර සහ පොතු යොදා සකස් කරගත් විවිධ ඖෂධ සංස්කරණ යොදා ගනී. මා දං පොතු තම්බා ගත් ජලයෙන් කට සේදීමෙන් මුඛයේ හට ගත් තුවාල මුඛ ප්‍රදාහ දන්තාර්බුධ ආදිය සුව වේ. විශේෂයෙන් ම මා දං ඇට මෙන් ම මා දං පොතු ද දියවැඩියා රෝග සඳහා අතිශයින්ම ගුණ දායකය. එබැවින් ආයුර්වේද හා දේශීය වෙදකමේ දී මධුමේහය සඳහා යොදනු ලබන කසායවලට අයත් ප්‍රධාන ද්‍රව්‍යයක් ලෙස වැඩි වශයෙන් භාවිතා වේ.එමෙන් ම රක්තාතීසාරයේ දී මා දං පොතු බෙහෙවින් උපයුක්ත ය. පත්‍ර හෝ දළු කසාය ඇස් රෝග වලදී ඇස් සේදීම සඳහා ද භාවිතා කරයි.මීට අමතර ව පිරංග උපදංශ වැනි රෝග අවස්ථා වල දී පත්‍ර යුෂ වලින් සකස් කළ තෛල ආලේප කිරීම සිදු කරයි.

මේ ආදී වශයෙන් වන විවිධ වූ ඖෂධීය යෙදීම් රාශියක් පිළිබඳ ව සඳහන් කළ හැකි වුවත් ඉන් නියම ප්‍රයෝජනයක් ලබන්නේ ද යන්න විමසා බැලිය යුත්තකි. විවිධ රෝග අවස්ථා සඳහා යොදා

ගනු ලබන නිෂ්පාදිත ඖෂධ රැසක උපාදානයක් ලෙස භාවිතා වුව ද ඉදුණු මා දං ගෙඩි වැඩි වශයෙන් භාවිතා කරනුයේ කුරුල්ලන් විසින් බව නම් කිව යුතුම ය.වර්තමාන සමාජයේ ඉතා ප්‍රබල සෞඛ්‍ය ගැටලුවක් බවට පත් ව ඇති දියවැඩියා රෝගය සඳහා මෙතරම් අගනා ඖෂධයක් පැවතිය ද ඉන් නිසි ප්‍රයෝජනයක් නොලබා සිටීම කෙතරම් පාඩුවක් දැයි සිතා බැලිය යුත්තකි.ඒ සඳහා අවැසි විදුනැණ පහළ වන්නේ නම් මැනවි.

වෛද්‍ය ආර්.එම්.එස්.කේ.රත්නායක මහත්මිය

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.