කැඩුම් බිඳුම් වෙදකමට නැතිවම බැරි අගනා ඔසුව කැටකෑල

නොවැම්බර් 6, 2020

අප ජීවත්වන පරිසරයේ අප අවට ඇති තුරුලතා අතුරින් බොහෝමයක් ඖෂධ සඳහා ගනු ලබයි. මෙහිදී ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී මෙන්ම දේශීය වෛද්‍ය ක්‍රමයේදී යොදාගනු ලබන ශාකයන් රාශියක්ම දක්නට ලැබෙන අතර ඒ අතුරින් බොහෝ ශාක වත්මන් සමාජයේ වැඩි දෙනෙක් නොහඳුනන ශාකයන් වෙති. මෙනිසා මෙම ශාකයන් හඳුනාගැනීමටත් ඒවා ඖෂධ යෝග සඳහා යොදා ගන්නා ආකාරය පිළිබඳ අවබෝධය ලබා ගැනීමටත් වත්මන් ආයුවේද වෛද්‍යවරුන්, ආධුනික වෛද්‍යවරුන්, වෛද්‍ය ශිෂ්‍යයන්, මෙන්ම අනෙකුත් ප්‍රජාවත් උනන්දුවීම අත්‍යවශ්‍යම කරුණකි.

මෙවන් හඳුනාගත යුතු අතිශයින් ප්‍රයෝජනවත් ශාකයන් අතුරින් ‘කැටකෑල’ ශාකයද එක් වැදගත් ශාකයක් වේ. ආයුවේද වෛද්‍ය ක්‍රමයේද විශේෂයෙන් දේශීය වෛද්‍ය ක්‍රමයේද බොහෝ ප්‍රයෝජන ගෙන දෙන ශාකයක් ලෙස ‘කැටකෑල’ ශාකය හැදින්විය හැක. දේශීය වෛද්‍ය ක්‍රමයේදී විශේෂයෙන් කැඩුම් බිඳුම් වෙදකමේත් ගෙඩි වණ වෙදකමේත් බහුල ලෙස භාවිතා කරනු ලැබූ ශාකයක් වනුයේ ‘කැටකෑල’ ශාකයයි.

‘කැටකෑල’, කෑලිය, සහ කෑල යන නාමයන් ගෙන් හැදින්වෙන ශාකයත් තුනම කැඩුම් බිඳුම්, ගෙඩිවණ ආදී වෙදකම් සඳහා භාවිතා කරන ශාකයන් වන අතරම සමහර ආධුනිකයන් මෙම ශාක තුන එක් ශාකයන් වශයෙන් වරදවා විස්තර කර ඇති අවස්ථාද ඇතැම් පොත් වල දක්නට ලැබේ. එසේවුවද මෙම ශාක වර්ග තුන කැඩුම් බිඳුම් වෙදකමට අමතරව වෙනත් රෝගාබාධයන් සඳහාද යොදා ගනු ලබන බව හඳුනාගෙන ඇත.

වැවෙන ප්‍රදේශ

* වීදේශීය වශයෙන්

ඉන්දියාව,බුරුමය සහ මලක්කාව ආදී රටවල උණුසුම් ප්‍රදේශවල දක්නට ලැබේ. මුහුදු මට්ටමේ සිට අඩි 2000 දක්වා ප්‍රදේශවල පොදුවේ දැකිය හැකිය.

* දේශීය වශයෙන්

ශ්‍රී ලංකාවේ වියලි සහ තෙත් පහතරට කලාපයේ වැවේ. ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ පේරාදෙණිය උද්භිද උද්‍යාණයේ වගා කර ඇති අතර බස්නාහිර පළාතේ මීරිගම, ඌව පළාතේ ලුණුගල ආදී ප්‍රදේශවල බහුල ලෙස දක්නට ඇත.

ශාකයේ ස්වරූපය

මෙය කුඩා ශාකයකි. මෙම ගසේ පොතු ස්නිග්ධයි. ලා කහ සහ අළු පැහැ පොත්තක් සහ මලකඩ වැනි බූවත් ලපටි රිකිලි සහ විහිදී යන අතුවල ඕවලාකාර පත්‍රිකා ඇත. මේවා සෙ.මී 8.7-11.2 දක්වා දිගින් යුතුයි.

මෙම පත්‍රිකා කෙටි නටුවකින් අත්තට සම්බන්ධවී ඇත. පත්‍රවල මතුපිට දීප්තිමත් කොළ පැහැ වන අතර යටිපස සුදු පැහැති බූවක් වෙයි. මෙහි හටගනු ලබන මල් දම් සහ රතු මිශ්‍ර වර්ණ යුත්තතයි. පොකුරු වශයෙන් පිහිටන මෙම මල් වල පෙති 5 කින් යුක්ත වේ. මල් හටගැනීම ජුනි ජූලි මාසවල සිදුවේ.

කැටකෑල ශාකයේ හටගනු ලබන ගෙඩි අෂ්ටීලයකි. මෙහි බීජ 1 ක් ඇත. මෙම බීජ මගින් ශාකය හටගනු ලබයි. මෙම කැටකෑල ශාකය සෙවණ,නියඟය, සහ වල් පැළෑටි ආදියට හොඳීන් ඔරොත්තු දෙන ශාකයක් වේ.

කැටකෑල ශාකය පිළිබඳව විවිධ භාෂා වලින් හඳුන්වන නාමයන් සැලකීමේදී.

* පොදු සිංහල නාම

කැටකෑල, කැටකාල සහ කැටෑකෑල ආදී නාමයන් වේ.

සංස්කෘත බසින්

කණ්ඩාලිකා, අසනා, ඒකදිවි, ඒකවීර, මහාවීර, සකුද්වීර, සර්වරකා, පලසා, බ්‍රක්මා, වෘරෙෂ්ක්ෂා, සහ රක්ත පුෂ්ඵක ආදී නාමයන් වෙයි.

* දෙමළ බසින්

පර්සම්, අඩමරුදු, අසුවායි, කඩුශායි, මුල්ලූමාරුදු, මුල්ලූවෙන්ගායි, මුල්වෙන්කයි, සිරුවෙන්ශායි ආදී නාමයන් වෙයි.

හින්දි බසින් කැටකෑල සඳහා ගවුලි, කාජ්, කාජා ආදී නාමයන් වෙයි.

* ඉංග්‍රිසි බසින්

Bengal kino Tree යනුවෙන් හඳුන්වයි. කැටකෑල ශාකයෙන් උද්භිද විද්‍යාත්මක නාමය Bridelia retusa (Linn) spreng වන අතර කුලය EUPHORBIACEAE  හෙවත් ඒරණ්ඩ කුලය වෙයි.

ඒරණ්ඩ කුලයට අයත් අනෙකුත් ශාකයන් අතර කුප්පමේනිය, දැත්ත, ජයපාල, නෙල්ලි, දලුක්, එරඬු, දදකීරිය, නවහන්දි, කම්පිල්ල, එලපිටවක්කා සහ වල්කහඹිලියා ආදී ශාකයන් වෙයි.

කැටකෑල ශාකයේ ඖෂධ සඳහා ගනු ලබන අංග:

කොළ, පොතු, මුල් සහ මල් ආදිය වෙයි.

ඖෂධීය ගුණකම්

රසයෙන් කටුක, තික්ත සහ කෂාය රසවන අතර ගුණයෙන් ස්නිග්ධ වේ.

වීය්‍යීයෙන් උෂ්ණ වන අතර විපාකයෙන් කටුක වෙයි.

ප්‍රභාවයෙන් භග්න සන්ධාන ගුණ යුක්තවේ. කැටකෑල භග්න චිකිත්සාවේදී බොහෝ කසට සහ ස්තම්භන ගුණ හේතුවෙනි. අස්ථී බිඳීමකදී වාත දෝෂය කෝපවන අතර මෙම කැටකෑල වල ඇති වාත ශාමක ගුණ නිසා කැටකෑල යෙදු ඖෂධ යෝග වලින් වාත සමනය මෙන්ම අස්ථී සන්ධානය ඉතා හොඳීන් සිදුවේ. මෙහි ඇති ඖෂධීය ගුණ පිළිබඳව පැරණි සංහිතා ග්‍රන්ථ ඇතුළු ග්‍රන්ථ කිහිපයකම දක්වා ඇත.

පීයුෂර්ණව ග්‍රන්ථයේ එන භග්න අධිකාරයේ සන්ධාන යෝගයේ එන 64 වන ශ්ලෝකයෙන්ද මෙය හොඳීන් දක්වා ඇත.

මේ අතර ‘කැටකෑල’ වල ඖෂධ අංග සහිත ඒකීය ඖෂධ යෝග මෙන්ම සංයෝග ඖෂධ යෝගද රාශියක් දක්නට ලැබෙන අතර ඒ අතුරින් කිහිපයක් නම්,

* කුෂ්ඨ රෝග සඳහා

කැටකෑල දලු අඹරා ආලේප කරනු ලබයි.

* ගඩු සඳහා

කැටකෑල පොතු, කැබැල්ල පොතු කොටා යුෂය ගෙන පැනි සිඳ එම ගඩුවලින් අලේපය ඉතා ගුණ දායකය.

* රතගායට

කැටකෑල පොතු, කැකුණ පොතු මදටිය පොතු, රම්මානිස්ස කොළ යුෂයෙන් හීනටි බත් අඔරා අලේපය.

සියලුම ගඩු සඳහා කැටකෑල පොතු, රත්කෑලිය පොතු කොටා යුෂ ගෙන, වියන් දුඹුළු සමඟ අඹරා කකාරා මී පැණි මිශ්‍රකර ගඩුවල ආලේපය.

සන්ධි වූ තැන අස්ථී සවිවීමට

1. කැටකෑල පොතු, කසට පොතු, හික්පොතු, මාදන් පොතු, කඩොල් පොතු යුෂ ගෙන එයට පොල්පැණි දමා පත්තු සිඳ ආලේපය.

2. කැටකෑල පොතු, රසකිඳ කොළ, තොටිල කොළ, පොතු, මදටිය කොළ, පොතු,

පොල්, කහ ලුණු දමා කොටා මලවා බැඳීමෙන් තිස්පැයෙන් බිඳුණු අස්ථී සන්ධිවේ.

3. කැටකෑල පොතු, කිතුල් පොතු, කහට පොතු, මඟුල්කරඳ පොතු, මාදං පොතු යුෂ ගෙන පොල්පැණි දමා පත්තු සිඳ ගෑම නිසා අස්ථී සන්ධිවේ.

4. කැටකෑල පොතු, කෑලිය පොතු, දෙමට පොතු, කඩොල් පොතු, පලු පොතු, තරණ දලු කොටා මිරිකා යුෂ ගෙන පැණි සිඳ ආලේප කරනු ලබයි.

කැටකෑල පොතු, මුල් සහ කොළ කහ ලුණු දමා කොටා තලතෙලින් මලවා බැඳීමෙන් කැඩුණු අස්ථී ඉක්මනින් පෑහෙයි.

අස්ථී භග්නයකදී ඇතිවන වේදනා සමනයට කැටකෑල පොතු යුෂ තලතෙලින් කකාරා අලේපය ඉතා ගුණදායකයි.

උලුක්කු, ඉදිමුම් හා ව්‍රණ ශෝථ සහ භග්න ශෝථ සඳහා:

කල්ගිය කැටකෑල පොතු කොටා වතුර දමා මිරිකා ගනු ලබන යුෂය නැවත කකාරා පැණි පදමට ගෙන ආලේපය ඉතා ගුණදායකයි.

මේ ආදී ඖෂධ යෝග රාශියක් කැටකෑල වල ඖෂධ අංග අඩංගුව විවිධ රෝගාබාධ රාශියකට සාර්ථක ප්‍රතිකාර ලබා දෙන බව දක්නට ලැබේ.

මෙසේ මැල්ලුම්, පත්තු, ලේප ආදිය ප්‍රධාන වශයෙන් කැටකෑල වල කොළ, පොතු ආදියෙන් මූලිකවම පිළියෙල කරගනු ලබන අතර ඒවා භග්න චිකිත්සාව ප්‍රධාන අනෙකුත් රෝගාබාධ සඳහා ප්‍රයෝග කරයි. මෙවන් ඖෂධීය වටිනාකමකින් යුතු කැටකෑල ශාකයේ ඇති ආර්ථීක වටිනාකමද ඉතා ඉහළ මට්ටමක පවතියි.

කැටකෑල ශාකයේ ලී උළුවහු සහ ජනෙල් ආදිය සෑදීම සඳහා භාවිතා කරනු ලබන අතර එනිසා මෙම ශාකය වඳවී යාමේ තර්ජනයකටද මුහුණපා ඇත. එනම් මෙම ශාකයේ ඇති දැවමය අගය නිසා කැටකෑල ගස් කපා ගැනීම මෙම තත්ත්වයට හේතුවී ඇත. මේනිසා මේ පිළිබදව කල්පනාකාරීවීම ඉතා වැදගත්වේ.

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.