මුඛ රෝගවලට දිවඔසුවකි අරළු

සැප්තැම්බර් 18, 2020

දත් මුල් දියවීමේ රෝගයට, විදුරුමසින් ලේ ගැලීමේ රෝගයට, ළාබාල අයගේ දත් සෙලවීමේ රෝගයට “අරළු” ගෙඩියක් අරගෙන හොඳට කුඩු කරල හොඳින් දත් මදින්න කියන්නෙ. අරළු වලින් දත් මදිනව කියන්නෙ වහා කදුරු වාගේ දෙයක්. 

ඒත් හොඳම බෙහෙත තමයි අරළු යන දිව්‍ය ඖෂධය. දෙවියන් අමෘතයට බොන බෙහෙතක් මනු ලොවට පතිත වූ බිඳුවකින් මහා ගුණ දෙන අරළු ශාකය ජනිත වූ බවට දේව කථාවල සඳහන් වේ. ශක්‍ර දෙවිඳුන් අතින් අහඹූ ලෙස ගිලිහී ගියේ මිනිසාගේ හිත සුව පිණිසයි. අමෘත බින්දු හත අරළු වර්ග හතක් සේ මිනිසාට සුවසෙත පිණිස පූජා කර තිබෙන බව හින්දු මිනිසුන්ගේ දේව විශ්වාසයකි. 

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව අරළු වර්ග හතක් ඇත. ඒවා නම් විජයා, පුතානා, අභය,ජීවන්ති, අටරිටා, චේතකී, රොහිණී වේ. මේ අතරින් විජයා නමැති අරළු වර්ගයට ඉහළම ශ්‍රේණියක් ලැබී ඇත. මෙම බීජවලින් බොහෝමයක්ම වනයේ සතුන් හා මීයන් විනාශ කරයි. වැටෙන අරළු ඵල එකතු කිරීම ද          දුෂ්කරය. 

ශ්‍රී ලංකාව,ඉන්දියාව, බංගලාදේශය. මැලේසියාව, ඉන්දුනීසියාව, වියටිනාමය, චීනය, බුරුමය, ජපානය , ඔස්ට්‍රේලියාව අරළු පිළිබඳ ප්‍රසිද්ධියක් උසුලයි. වියළි කලාපවල හා තෙත් කලාපවල විවෘත වගුරුබිම්වල ඇළදොළවල් අසල දක්නට පුළුවන. මුහුදු මට්ටමෙන් මීටර 950 දක්වා උස් වූ සවානා බිම්වල ස්වභාවිකව වැවේ. වැල්ලවාය, මොනරාගල, බෙලිහුල්ඔය, කළුපහන, දියළුම, අරළු වගාවට ප්‍රසිද්ධියක් උසුලයි. ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ඔසු උයන්වලදී ද සජීවීව දැකගත හැකිය. 

උද්භිද විද්‍යාත්මක නාමය වනුයේ            Terminalia chebula ය.

පර්යාය නාමය Yellow Myrobalan 

සංස්කෘත භාෂාවෙන් “කඩුක්කායි” කියනු ලැබේ. 

අරළු ගස මීටර 40 ක් පමණ උසකින් යුක්තය. කඳ වටා අතු රාශියක් හටගනී. අරළු ඖෂධීය ශාක අතරින් නම් කළ හැකි ප්‍රමාණයෙන් විශාලම ගසක් ද වේ. පත්‍ර පෙනුමෙන් ඕවලාකාරය. පත්‍රවල නටුව තරමක් කෙටිය. පත්‍ර දාරය කඩතොලුය. සමහර පත්‍රවල දාර කෙළවරෙහි කුඩා ගැටිති පිහිටා තිබේ. ශාකයේ මල් හට ගැනීම සිදුවන්නේ අපේ‍්‍රල් මාසයේදීය. මල් සුදු හෝ කහ පැහැයෙන් යුක්තය. මල්වලින් හමන්නේ අප්‍රසන්න ගන්ධයකි. මේ මල් හොඳින් පරාගනය වේ. පසුව ඵල ලෙසින් වැඩේ. අප රටේ වියළි කලාපයේදී සරුවට වැඩේ. තෙත් කලාපීය පරිසරය යටතේ ඵල හට ගැනීම දුර්වලය. 

අරළු ත්‍රිදෝෂ සමනය කරන බලයක් සහිත වේ. වාතය නිසා හටගන්නා දෝෂවලට අරළු ප්‍රධානතම ආයුර්වේද ඖෂධයකි. සමහර පුරාණයේ මිනිසුන් අරළු ගෙඩියක් පිරිසුදු කර කෝප්පයක දමා එය උණුවතුර සමඟ ගෙවෙන පෝයට වරක්  බීමට පුරුදු වී සිටියෝය. මෙමඟින් ඔවුන්ට දත්මුල් දියවීමේ රෝගය, විදුරුමසින් ලේ ගැලීමේ රෝගයෙන් වැළකී සිටීමට පිළියම් කළහ. 

අත් බෙහෙත් වශයෙන් අරළු කුඩු සහිඳ ලුණු සමඟ ද පිත් රෝග අවස්ථාවලදී සූකිරි සමඟ ද පානය කළෝය. මීට අමතරව වාත ආබාධවලදී ගිතෙල් සමඟ ද භාවිත කිරීම ද පැවත එන ක්‍රමයකි. ශරීරයේ ඔක්කාරයට, වමනයට අරළු කුඩු මී පැණි සමඟ භාවිත කරයි. මීට අමතරව අර්ශස් සඳහා කෂාය වශයෙන් අරළු කුඩු භාවිත කරනු ලැබේ. 

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>> 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.