කොස් ගසේ ඖෂධීය වටිනාකම

දෙසැම්බර් 28, 2018

කොස්ගසේ සියලුම කොටස් ඖෂධීය ගුණයෙන් යුක්ත බවට ආයුර්වේදයේ පෙන්වා දී ඇත. පැසුණු කොස් ,වැල, වරකා මෙන්ම කොළ ,දලු, පනාමල්, පොළොස් මුල්. පොතු , කිරි කොහොල්ලෑ විවිධ රෝගයන් සඳහා ඖෂධීය ලෙස බොහෝ කාලයක සිට පරිභෝජනයට ගෙන ඇත.

කොස් මුලෙන් ඇදුම රෝගයට කොස් මුල් කපා කසාය කර දීම. පාචනයට කොස් මුල් කෂාය දීම දද කුෂ්ඨවලට කොස් මුල්, අඹරාගෑම ,හමේ රෝගවලට කොස් මුල් කසාය දීම මේවා පාවිච්චි කිරීමේදී ඒ ඒ රෝගයට ,සීනි, මී පැණි, එළඟිතෙල් ,සහිඳලුණු වැනි අනුපානයන්ද එක් කරයි.

යමකුගේ චර්මරෝග. ආසාදිත බිබිලි සහ තුවාල ප්‍රථමයෙන්ම කොස්කොළ තැම්බූ වතුරෙන් සේදීම කළ යුතුය. එයින් සමෙහි ඇති විෂබීජයන් සියල්ලම නසන බැවිනි. ඒ සමඟම උණ රෝගය හටගත් අයකුට කොස් කොළ සමවගෙන පත හතර එකට සිඳගත් කෂාය සීනි මී පැණි දමා දීම ද සිදු කරයි. අද සමාජය ගොදුරු වී ඇති දියවැඩියා රෝගය පාලනය කරගැනීමට වරකා කොස් ගසේ ඉදුණු කොස් කොළ තම්බා බීම එම කොළ වේලාගෙන තේ කුඩු මෙන් සකස්කරගෙන පානය හා නැටි තම්බා බීම යෝග්‍යය. මුත්‍රාශයේ ගල් ඇතිවූ විට නිතර කොස්කොළ තම්බා බීම, මේරු කොස් කොළ කොටා යුෂ පානය කිරීම තුවාලයක් වූ විට කොස් කොළ කොටා මිරිකා යුෂ දැමීමෙන් ලේ වහනය නතර වීම සමඟ තුවාලය තුළට විෂබීජ යාමද නතර වෙයි.

අද අපි කොස් ඇට කෑමට ගැනීමේදී ඇති පොත්ත සමඟ කුරුට්ට ඉවත් කරයි. නමුත් කුඩා දරුවන්ගේ රතගායට මෙම කුරුට්ට කොත්තමල්ලි වතුරෙන් අඹරා කොත්තමල්ලි වතුරෙන්ම බීමට දීම නිසා කුඩා රතගාය සමනය කෙරෙයි. යමකුගේ උළුක්කුවක් වූ විට වරකා කොස් ගසක පොත්තක් ගෙන හොඳින් කොටා මිරිකා ගත් යුෂ අමුකහ, ලුණුවතුර දමා කකාරා ගෑම එතුළින් උළුක්කුව සුව වේ.

රාත්‍රියේ නින්ද නොයන අය නොයෙක් බටහිර ඖෂධ භාවිතා කරයි. නමුත් කොස් දලු , මැල්ලුම, කොළපාට කොළ සලාදය ,කෑම යෝග්‍යය . තවද ළපටි කොස් දලු කඩා පවනේ තේදලු වියලන ආකාරයට වියලා කුඩුකර කෝපිමෙන් වත්කර පානය ඉතා ගුණදායකය. කොස් දලුමෙන්ම ඉදීවැටුණු කොස් කොළ පවනේ වියලා කුඩුකර තේ මෙන් නිතර පානය ශරීර සෞඛ්‍යයට ඉතාම යෝග්‍යවූද නොමිලේම සකසාගත හැකි අනගි පානයකි.

යම්කිසි විෂක් ශරීර ගත වූ විට කොස් ගසේ පනාමල ගෙන තන කිරෙන් අඹරා දීම ග්‍රහණි රෝගයෙන් පෙළෙන්නන්ට මෙම කොස් පනාමල කෙසෙල් කොළයක ඔතා උණු අලු පල්ලේ තම්බාගෙන හොඳින් කොටා මිරිකා ගත් යුෂ මේස හැඳි 2 බැගින් උදය හවස පානය කිරීම මෙහි ඇති කිරි කොහොල්ලැ සැරව ගෙඩි ඉදිමීම වැනි ආසාදිත තත්වයේ ඇති අයට කොහොල්ලැ ආශි‍්‍රත ඖෂධ යෙදීමෙන් ගුණදායක තත්ත්වයට පත් කරයි. ඉදිමුම ,දහඩිය, බිබිලි ඇතිවූ විට කොහොල්ලෑ විනාකිරි සමඟ මිශ්‍ර කර ආලේප කිරීම සිදුකරයි. මේ කොහොල්ලැ ඉතාම හොඳ බැක්ටීරියා නාෂකය කැයි ආයුර්වේදයේ සඳහන් ය.

 

අමිතිරිගල මැදගොඩ ආයුර්වේද වෛද්‍යාචාරිණී ගුණවතී එදිරිසිංහ

සාකච්ඡා හා සටහන යටියන්තොට සමූහ කුමාරසිංහ ගුණදාස

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.