ඔබත් අජීර්ණයෙන් පෙළෙනවාද?

ජනවාරි 22, 2021

අප ගන්නා ආහාර හොඳින් නොදිරවීම අජීර්ණයයි. මෙය ලෙඩ රෝග රැසකට මුල් වේ. මිනිසාගේ ජීවත්වීම සඳහා ආහාර අත්‍යවශ්‍ය වේ. සුදුසු කාලයේ ගනු ලබන ප්‍රමාණවත් ආහාර නිසා දීර්ඝායුෂ ලබයි. සමේ පැහැය ඇති වේ. ශරීර ශක්තිය ඇති වේ. නුවණ වැඩේ. ආහාර අඩුවෙන් හෝ වැඩියෙන් ගැනීම අහිතකරය.

 

අජීර්ණය ඇතිවිය හැකි හේතු

පිළුණු ආහාර ගැනීම (කල් ගතවූ ආහාර) කිරි හා මස් වර්ග දිවා කාලයේ බොහෝ වේලා නිදා ගැනීම ,රාත්‍රියේ නිදි වැරීම, මල මුත්‍රා පිටකිරීමට අවශ්‍ය වූ විට එසේ නොකර සිටීම, පුරුදු ආහාර වෙනස්වීම, ආහාර දිරවීම වෙනස්වීම ආහාර ගැනීමේ වේලාව වෙනස්වීම, මානසික හේතු, ක්‍රෝධ කිරීම, ශෝකවීම, බියෙන් තැති ගැනීම, අනුන්ගේ ගුණය හෝ දියුණුව නොඉවසීම ආදිය වේ.

මේ හේතු නිසා ආහාරය හොඳින් නොදිරවයි. මළ බුරුල්ව පිටවේ. නැතහොත් පිට නොවේ. එවිට බඩ පිපීම ඇතිවේ. නිරත උගුරට එන බව රෝගියා පවසයි. සමහර කුඩා ළමයින්ට පරිප්පු ඇට වැනි වියළි මලපහ වනුයේ ආහාර හොඳින් නොදිරවීම නිසාය. ඇතැම් විට දිවේ ඉරි තැලීම්ද ඇති වේ. දිවේ මැලියම් බැඳේ . තදබල හිසරදයක් ඇතිවිය හැකි ය.

අජීර්ණය ඇතිවිට පහළවන ලක්ෂණ

ආහාර අරුචිය කරකැවිල්ල , දහඩිය දැමීම, ශරීරයේ දැවිල්ල ඇඟපතේ බරබව හා වේදනාව . කම්මුල් හා ඇස්යට ඉදිමුම, උදරයේ වේදනාව, ඇඹුල් රසට උගුරට ඒම. අජීර්ණය බලවත්නම් මල බුරුල්ව පිටවීම හා වමනය ඇති වේ.

වළක්වා ගැනීමට උපදෙස්

අජීර්ණයේ මුල් අවස්ථාවේදී දිරවීමට පහසු ආහාරයක් ගන්න.

අජීර්ණය ඇතිවු විගසම උණු දිය පානය කරන්න.

නියමිත කාලය තුළ නිදාගැනීමටත් අවදිවීමටත් පුරුදු වන්න.

ආහාර ගැනීමෙන් පසු නෑම සුදුසු නැත.

ආහාර ගැනීමට පෙර නාන්න.

ආහාර වැළඳීමට පෙර සහ පසු ජලය පානය කරන්න

පරණ වූ ආහාර සුදුසු නැත.

විවේකීව සිටින්න

බිය, ශෝක වීම, ක්‍රෝධ කිරීම ආදී මනසට පීඩාවන සිතුවිලිවලින් වළකින්න.

නියමිත ආහාරය, නියමිත කාලය, නියමිත ප්‍රමාණය යන මේවා ගැන ආහාර ගැනීමේදී සැලකිලිමත් වන්න.

අජීර්ණ කල්ගත වීම නිසා ඇතිවිය හැකි අතුරු ආබාධ

අජීර්ණය කල්ගතවීම නිසා ආහාර නිසිපරිදි නොදිරවීමෙන් පසු කලෙක විවිධ රෝග ඇති වේ. එය විෂ තත්ත්වයකි. එම විෂ තත්ත්වය සන්ධිගත වීමෙන් සන්ධිවල ඉදිමුම වේදනාව ආදිය ඇති වේ. ආහාර හොඳින් නොදිරවීමෙන් ඇතිවන ආමය හෘදයට බලපෑමෙන් හෘද රෝග පවා ඇතිවිය හැකිය. අජීර්ණය කල්ගතවීම නිසා ග්‍රහණි රෝගය ඇතිවිය හැකිය. එවිට ආහාරයක් ගත් කල මල පිටවේ.

ආහාර හොඳින් දියවීමෙන් ආහාර රසය හොඳින් ශරීරයට උරා නොගැනීමෙන් මන්දපෝෂණය ඇති වේ. ශරීර ශක්තිය හා මානසික දුර්වල වී කෘෂවී ශාරීරික හා මානසික දුර්වලතාද ඇතිවිය හැකිය.

අජීර්ණ අවස්ථාවට සුදුසු අත් බෙහෙත්

ඉරිවේරිය හා අමු ඉඟුරු කොටා ඉස්ම ගෙන පානය කරන්න.

සූදුරු තැම්බූ වතුර බොන්න.

සුදුලූනු බික් දෙකක් තුනක් පුළුස්සා කන්න.

බෙලිමුල් බික් දෙකක් තුනක් පුළුස්සා කන්න.

බෙලිමුල් තැම්බූ වතුර ටික ටික පානය කරන්න.

තැම්බුම් හොදි ආහාරයට එකතු කර ගන්න. ආහාර ගැනීමට පෙර හෝ ආහාර සමඟ අමු ඉඟුරු ලුණු දෙහි සුදුලූනු පෙරුම්කායම්,අසමෝදගම් වැනි දේවල් ගැනීම සුදුසුය.

අජීර්ණය ඇතිවූ විගසම උණුදිය පානය කරන්න.

අජීර්ණ අවස්ථාවලදී අගුණ දේවල්

දිරවීමට අපහසු කිරි හා මස් වර්ග එකවර ආහාරයට ගැනීම. උදා ඌරු මස්, මිදුණූ කිරි, මඤ්ඤොක්කා , ඉඟුරු ආදිය ආහාරයට ගැනීම නුසුදුසුය.

 

උපදෙස් වැල්ලම්පිටිය කැඩුම් බිඳුම් බෙහෙත් ශාලාවේ

වෛද්‍ය ඩඩ්ලි චන්ද්‍රසේකර

ස්වර්ණා චන්ද්‍රලතා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.