ගුණ සපිරි ඔසු ජලය

ජනවාරි 22, 2021

අපට ඉතා ප්‍රයෝජනවත් අගනා ඔසු වර්ග හා ජලය පිළිබඳ කෙටි විස්තරයක් ඉදිරිපත් කරමි. ආහාර ජලය මෙන්ම ශරීර සෞඛ්‍ය සඳහා ඔසු වර්ග නැතිවම බැරිය.

සතකුප්ප – වාතය, දැවිල්ල, ආම රුජා, පිපාස, වමන යන මේවා නසන ඔසුවක්

සුදුහඳුන් – තික්ත රස ද ශීතල ද වෙයි. පිපාස දාහ රත්පිත් නසයි.

සිද්ධිගුරු– සෙම් වාත නසයි. මඳක් අග්නි වඩයි. පැසීමෙහි මිහිරිය. ධාතු පෝෂණය ද විරේචනකර ද උෂ්ණ ද කුළු රස ද මනහර ද වේ.

කරාබු ආනාහය, මලබද්ධය, රුජා කැක්කුම යනාදිය දුරු කරන්නේය. සැහැල්ලු ද ගිනි දීප්තිකර ද වේ.

රත්හඳුන් – රත්පිත් දුරු කරයි. බලවඩන ඇසට හිතකර ඖෂධයකි.

වැල් මී – රත්පිත් නැසීම ද වණ ශුද්ධිය ද කරයි.

අසමෝදගම් – පිත ගිනි වැඩීම ද කුෂ්ට කැක්කුම් වාත සෙම් නැසීම ද කරයි. පපුවට පි‍්‍රයයි. පණුූ කෘමින් දුරු කරයි.

සමන්මල් – සෙම් පිත් මුඛ රෝග වණ පණුවන් ද කුෂ්ඨ ද දුරු කරයි.

ඉද්ද මල් – තික්ත රස සෙම්ප්‍රතිශ්‍යාව මෝඩ බව දුරලන ඔසුවකි

පිච්ච මල් – සෙම් වැඩීම, මලබද්ධය කරයි. මේ දෙකෙහිම සමාන ගුණ ඇත.

බඳුවද මල් – සෙම වැඩීම හා මලබද්ධ කරයි.

මූණ මල් – මලබද්ධ කරන, දත් ශක්තිමත් කරන මිහිරි දෙයකි.

පියුම් මල් – වාත සෙම් ලේ දිනන ශීත කසට මිහිරි දෙයකි.

මයිල මල් – ශීතලය,රත්පිත් අතීසාර දිනයි.

තොටිල මුල් – මලබද්ධ අග්නිදීප්තිකර වේ. වා පිත් සෙම් තුන්දොස් නසයි. කසට ද රුචිය ශීත ද වේ. වාත කෝප කරයි. බරයි.

පලොල් මුල් – සෙම් පිත් දුරු කරන උෂ්ණ කසට තික්ත අරුචි, ඉක්ක,වමන, ඉදිමුම්, පිපාස පහ කරන ඔසුවකි. එම ඵල පිත්තාතිසාර ලෙහි රෝග කන් රෝග, රත් පිත පහ කෙරේ.

තිප්පිලි මුල්, සෙම් නැසීම, අග්නිදීප්තියව මලබිදීමද කරයි.

බාන්වැල් – කසා සමගුණ ඇත්තේය. සෙම් වැගිරීම් විශේෂයෙන් දුරු කරයි.

දැත්ත මුල් – අෂ්ඨිකාව ද බඩ පිරීදැමීම ද ගුල්මය ද පහ කරයි. සාර දූෂ්‍ය විෂම වූ උදරයට ද හිතකරයි. කුෂ්ඨ ප්ලීහ ප්‍රමේහ ජය ගනී.

රන්වන් තිරස්සවාලු – කහට මධූර කුළුතික්ත බව ඇත. සෙම් පහ කරයි. මෘදු විරේචනකරද වෙයි.

සුදු තිරස්සවාලු –රන්වන් ඒවාට වඩා මඳක් වෙනස් ගුණ ඇත. උණ ලෙහි රෝග වාතරක්ත උදාවර්තාදි රෝග දුරු කරයි.

බින්තල් – රස ධාතු වැඩීම ද බලවැඩීම ද වාතයෙහි හිතකර ද වේ.

කොල්ලම් කොළ – අරුචිය සෙම් වාත අර්ශස් දුරු කරන ඔසුවකි.

තෝර – ගුල්ම උදර අර්ශස් කුෂ්ඨ දිනයි. කුළු රස වේ.

සිවිය – තිප්පිලි මුල් වගේ ඒ හා සමාන ගුණ ඇත.

බිං කොහොඹ – වා පිත්සේම උණ දුරු කරන රළු බෙහෙතකි.

හිඟුරු පියලි – තියුණු උෂ්ණ ඇති පණූ හා විෂ නසන, ගුණ වඩන, නුවණ වඩන ඔසුවක් වේ.

සාදික්කා – පිපාස ,වමන රුජා නසන සෙම වාතය ජයගන්න ඔසුවකි.

වසාවාසි – පිපාස දුගඳ සෙම නසන සැහැල්ලු ඔසුවකි.

පුවක් – වියළි පුවක් ගිනි උපදවයි. කහට රස හා මිහිරි ද සාර ද වේ. අමු පුවක් බරය. දිය උසුලයි. ගිනි නැති කරන්නේය. පිත් සෙම් දිනයි. සිහිමුළාව ද කරයි. තැම්බූ පුවක් තුන්දොස් නසයි. තද මධ්‍යම පුවක් උතුම් වේ.

දෙමට - සෙම් රෝග කැස්ස, ඇදුම උණ, රෝග දුරු කරයි.

කරඳ – පණු කුෂ්ට ප්‍රමේහය ජය ගනී.

කෙළිඳ – කුළු රසය ශීත ගති ඇත. තුන් දොස් නසයි. උණ වමන කුෂ්ට අතීසාර පහකරන බව පවතී.

තිප්පිලි ධාතු පෝෂණය කරයි. මිහිරි ද කුළු රස ද ගිනි දීප්තිකර ද සාරද සිනිඳු ද උෂ්ණ ද වේ. වා, සෙම් කැසි ශ්වාස දුරු කරයි. තිප්පිලි මුල් උෂ්ණ ද සෙම් නැසීම ද කරයි. පලොල් මුල් සෙම් පිත් නසයි. පලොල් කසට ද තික්ත ද උෂ්ණ ද වේ. තුන්දොස් දුරු කරයි.

අරුචි ශ්වාස ඉදිමුම්, වමන, ඉක්කා, පිපාස දුරු කරයි. ඒවායේ මල් කසට ද ශීත ද මිහිරි ද වේ. සෙම් දුරලයි. ඒවායේ ගෙඩි පිත්ත අතීසාර කණ්ඨ රෝග රත්පිත දුරු කෙරේ. තොටිල මුල් අග්නිදීපන හිත ද කටුක ද කසට ද වෙයි. වා, පිත් සෙම් කාස නසයි. ලපටි තොටිල පැළ වාත සෙම් පිත් නසයි.

වැඩුණු පැළ ගුල්ම, අර්ශස්, කෘමි රෝග දුරු කරයි. වාත කෝප කරයි. තම්පලා පැසීමෙහි සැහැල්ලුය. කෘමි හා පණුවන් නසයි. අග්නි බලය නුවණ වඩයි. තුන්දොස් සමනය කරයි. සාර ද රුචිද ක්ෂාර ද සහිත ද වේ. බැමිතිරිය ස්වර හා නුවණ වඩයි.සෙම් පිත් පහ කරයි. අරුළු , බුළු, නෙල්ලි, තිපල් කසායට බෙහෙවින් අවශ්‍ය වෙයි. බුළු උෂ්ණ ද තියුණු ද වෙයි. ඇසට හිතට පැසීමෙහි මධුරද වේ. කසටද වේ. සේම පිත් ස්වර භේද පණුවන් නසයි.

බුළු තෙල් සෙම පිත දෙකට සතුරුය. ඇස් කන් පිනවයි. කෙස්වලට හිතය. කොහොඹ ඵල පණු කුෂ්ඨ ප්‍රමේහ රෝග ජය ගනී. කොසඹ කොළ කෘමි කුෂ්ඨ සෙම් පිත් උණ මේද තෙල් අරුචි යන මේවා හරනේය. වායු වැඩීම ද ඇසට හිත බව ද නුවණට යහපත් බව ද ඇත. කොසඹ ලඝු බව සිහිල් බව සහ කුළු රස ඇති මල බඳින පැසවන සුළු ගින්න වාතය පහ කරන දිවට අමිහිරි ඔසුවකි. උණ අරුචි කෘමි විඩා වණ පිපාස කෘශ දුරු කරයි. ප්‍රමේහ පණුදිය නැඟීම නසයි. කොසඹ කොළ ඇසට හිතකරය. පණු පිත් විෂ හා දුරු කරයි. වාතය වැඩීම, අරුචි නැසීම ආදි ගුණ ඇත. කොහොඹ ඵල පැසවන කල කුළු රසයි. තික්තය. සිනිදු බව සැහැල්ලු බව සහ උෂ්ණ ද කුෂ්ට ගුල්ම අර්ශස් පණු රෝග ප්‍රමේහ නැසීමේ ගුණය ද තිබේ.

රසකිඳ

අගනා හෙළ ඔසුවක් වූ රසකිද පිළිබඳ දීර්ඝ කතාව කෙටියෙන් මෙසේය. එකල ලංකාධිපති රාක්ෂාධිපති රාවණා රජ රාගයෙන් මත්ව රාම කුමරුගේ සීතා දේවිය බලයෙන් පැහැර ගත්තේය. මහා බලගතු රාවණා රජුට “දඬු මොනරය” නමින් අහස් යානාවක් තිබුණේය. සීතා කුමරිය ලංකාවට රැගෙන ආවේ මේ අහස් යානයෙනි. මහා බලවත් රාම කුමරු යුද කර ඒ සතුරු රජු වානර සේනාව ලවා නැසුවේය.

පසුව බලයෙන් අහංකාර දෙවියන්ට සතුරු වූ ඒ රාවණා නැසූ කල ශක්‍රයා රාම කුමරු ගැන සතුටුව යුද බිමෙහි රකුසන් විසින් නැසුවාවූ යම් වානරයෝ වූවෝද අමා වැසි වස්සවා ජීවත් කළේය. එම වඳුරන්ගෙන් වැටුණ ඒ අමෘත බින්දුවලින් රසකිඳ ලොවට ලැබුණි. එය කුළු රස ද තික්ත ද මධුර ද වේ. රසායනීයයි. උෂ්ණ සැහැල්ලු බල වඩන ගිනි වඩන කිඳි තුන්දොස් ආම, පිපාස, දාහ, ප්‍රමේහ, කාශ, පාණ්ඩු, කාමිලා, කුෂ්ට, වාත රක්ත, උණ පණූු, වමන, අර්ශස්, හෘද රෝග, ශ්වාස කෘෂ්ඨා පහ කරයි. රසකිඳ දාහයට ද උණට ද සතුරුය. තුන්දොස් ජරාව නසයි. ළෙහි වූ රෝගයෙහි ගස්කෑලියද බැවිල (බැලිල)ද ස්ථූල අයට තිකුළු ද පසස්නේය. ගස්කෑලිය. අතිශයින් මුත්‍ර අමාරුවල ද ධාතු හීනයන්ට ද ක්ෂය රෝගයට ද හිතයි.

ආපසු බදු වල වා පිත් නසන ගුණ ඇත. උෂ්ණ වීර්යය සහිතයි.බල වඩයි. ධාතු පෝෂණයද වාත දුරු කිරීම ද කෙරේ. ගුගුල් අග්නිදීපනය කරයි. කහට රසය. තියුණු ද කුළු රස ද රසායන ද වෙයි. මේද වාත ශ්ලේශ්ම කුෂ්ට ආම වාතයෙන් උපන් රෝග ද ජයගනී.

ඇත්දෙමට ඉතා උෂ්ණය. මනසින් උපන් රෝගයෙහි හිතකර නොවේ. මේවා තික්ත රස උෂ්ණ වීර්ය බල බර බව, අග්නිදීප්ති කරන බව, පැසවන නුවණ දෙන මිහිරි මළ බඳින යන මේ ගති ඇත. සිරුර වියළීම, පිපාස, අමරුජා, අර්ශස්, විෂදාහ උණ නසයි. ඇත්දෙමටවල මාංශ වඩයි. ධාතු පෝෂණය කරයි. කෙස්වලට හිතය. වා, පිත්, පිපාස, ක්ෂය පිපාසය, රක්තය වෑරීම, මුත්‍රබද්ධ පහ කෙරේ.

ගැට තුඹ – සෙමෙන් උපන් අර්ශස් දුරු කරයි. කාමලාව ද පණුූ රෝග ද පණුූ රෝග ද ඉදිමුම් ද ජය ගනී. මහා කොසඹ අතිශයින් මලබද්ධ කරයි. ශීතල ද කසට රස හා ඇඹුල් ද වෙයි.කොසඹ පිත් උපදවයි. දුර්ජරය මුත්‍ර රෝග ජයගනී. බිං කොහොඹ වා වඩයි. සෙම පිත උණ යන මේවා දුරු කරයි. රළුය. සිවිය තිප්පිලි මුල් මෙනි. ඒ සමාන ගුණ ඇත.

සත්ව ජීවිතයට අත්‍යාවශ්‍ය ජලය ගැන මීළඟට විමසා බලමු. බිමට පතිත නොවූ වැස්සෙන් භාජනයකට ලබා ගන්නාවූ ජලය තුන්දොස් නසයි. බලය නුවණ වඩයි. දහවල් කාලයේ හිරු රැසින් දූෂ්‍ය කරන ලද, රාත්‍රි සඳ රැසින් ස්පර්ශ කරන ලද ජලය රළු නොවූයේ සිනිඳු නොවූයේ අහස්දිය හා සම වේ. ගංගා ,පර්වත, ගස් වැල් ආදිය ඇති පෙදෙස්වල ජලය ඝණ ද බර ද, බෙලසුල් ද වෙයි. මිහි ද ගිනි නැසීම් ද සෙම් ඉපිදවීම ද කෙරේ. ප්‍රමේහ, බරවා, වමන, උගුරේ ගෙඩි ආදි රෝග ඇති කෙරේ. ජාංගල භූමියෙහි වූ ජලය මනා වේ. යහපත් සාධාරණ වූ ජලය ධාතු පෝෂණය බඩගිනි ඉපිදවීම ද මිහිරි ද සැහැල්ලු ද යන ගති ඇත.

වර්ෂා ඍතුවේ ජලය බර හා සෙම් වඩයි. මිහිරි සාර බව තිබේ. සරත් ඍතුවේ ජලය සෙම් දුරු කරයි. සැහැල්ලුයි. හේමන්ත ඍතුවේ ජලය සිනිඳුය. ධාතු වර්ධනය හිත බව බර බව බල වඩන බව ඇත. සිසිර ඍතුවේ වතුර සෙම් වාත නසන සඳක් සේ සැහැල්ලු ගුණ ඇති කරයි. වසන්ත ඍතුවේ ජලය කසට මධුර බල වඩන රළු වෙයි. ගී‍්‍රෂ්ම ඍතුවේ වතුර සෙම් නසයි.

විල්වල වතුර වාතය වඩවන මධුර කසට කටුක රස වේ. වැව් වතුර බර ද කුළු රස ද පිත් වඩන බව ද සෙම් නසන බව ද ඇත. ළිං ජලය වාත හා සෙම් දුරලන අග්නිදීපනය කරන සැහැල්ලු පිත් වඩන ලුණු රස කාලය අනුව වෙනස් වූ උෂ්ණ ශීත බව ද තිබේ. ගඟුල් පැන් අග්නි වඩන සැහැල්ලු පථ්‍ය සෙම් නසන හොඳ වතුර වේ. පොකුණුවල වතුර සැහැල්ලු පිපාසය නසන බල වඩන මධුර හා කසට රස යුක්තව ඇත. ගල්වැසි වතුර අමාවක් වැනිය. ඉතා යහපත් වේ. ගංගා ජලය වාතය වඩයි. රළු හා ඝණ ද බර ද වේ. සෙම් දුරු කරයි.

වේගයෙන් ගලා ගෙන යන නදී ජලය බොහෝ සැහැල්ලුය. පිරිසුදු හොඳ වතුර වේ. ගල් හා වැලිතලා වලින් ගලා බසින ගංගාවල නිර්මල හොඳ වතුර වේ. ඇල්වතුර මත්වීම ද පීඩා ක්ලාන්ත වමන පිත්ත ජ්වර නසයි. මදාත්‍යය ද විෂය දුරු කරයි. උණුවතුර අඩක් ඉතුරු වන තුරු සිඳුවා ද නොහොත් සතරෙන් කොටසක් ඉතිරිකොට හෝ සිඳුවා හෝ ගනිද්ද ඒ වතුර උණු දියයි කියනු ලැබේ. උණු වතුර පැසවයි. කටට හිත ද දීපනය ද පැසවීම ද වස්ති ශුද්ධිය ද කරයි. ඉක්කා, බඩපිරීදැමීම වාත කාස අලුත් උණ ආම ප්‍රතිශ්‍යා එකිනෙහි කළ ශරීර ශුද්ධිය පාර්ශ්ව ශූල යන මේවායේ යොදනු ලැබේ. උණු කර සිසිල් වූ ජලය ශ්ලේශ්වාදීන්ගේ වෑහීම නොකෙරේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.