ඔබේ නෙතට දැල් එළන රෝගය

ජනවාරි 22, 2021

අප දන්නා පරිදි ඇසක පටල හයක් පිහිටනු ලබයි. ඉන් හතරක්ම නේත්‍රයෙහි පටල වේ. අනෙක් පටල දෙක වර්ත්ම (ඇසිපිය) පටල වේ. යමෙකුගේ ඇසෙහි ප්‍රථම පටලයෙහි වාත, පිත්ත, කඵ ආදී දෝෂයෝ ඇති වුණිද අනතුරුව ඒ රෝගියා අපැහැදිලි වන ලද රූප දකිනු ඇත.

එනම් ඔහු දකින රූපයන්ට මතුපිටින් දැලක් බඳින ලද හෝ බොඳවී ගියාක් බඳුවැ පිහිටි ආකාරයක් දිස්වෙනු ඇත. එය අපැහැදිලිතාවය, තිමිරය, පටලය ලෙස අප හඳුන්වමු.

මුලින් සඳහන් කරන ලද පරිදි දෝෂයෝ පටලය කරා ගිය විට රෝගයේ ලක්ෂණ පහළවනු ඇත. මෙහිදී සාමාන්‍යයෙන් කණාමැදිරියන් ඉගිලෙන්නා සේද, මකුළු දැල් බැඳ ඇති සේද, දුර ඇතිදේ ළග තිබෙන්නා සේද, ළඟා ඇතිදේ දුර තිබෙන්නා සේද , නානාවිධ වර්ණයන්ද රෝගියා විසින් දකින ලදී. මෙම අවස්ථාව “කාචය” ඛ්චබචපචජබ නම් අවස්ථාවට නෑකම් කියාපාන්නාක් වැනියැ. ඇසේ මෙම ඇඳිරි රෝගී තත්ත්වය ඇතිවෙන ලක්ෂණවලදී තිමිර රෝගතාවය ඇරඹීමට පහළවන ලකුණුද සමහර රෝගීන් එය හතළිස් ඇඳිරිය හා හැට ඇඳිරිය නිසා ඇතිවූවක් බව අදහස් කරගෙන සිටිති. මේ සඳහා වැඩිදෙනකු ප්‍රතිකාර නොගෙන සිටිති. එසේ ප්‍රතිකාර නොගෙන සිටීමෙන් කාච රෝගයට ඛ්චබචපචජබ පත්විය හැකිය. ඇඳිරි අවස්ථාවෙන් තොරව ශරීර දුර්වලතත්ත්වය නිසා ඇස් පෙනීම දුර්වල වීම ඇතිවේ. එසේම දෝෂ කෝපතාවය අනුව යම් යම් වස්තූන් නොයෙක් වර්ණයෙන් පෙනෙනු ඇත.

මේ අනුව වාත කෝපතාවය නිසා ඇතිවන ඇඳිරිය හේතුවෙන් දකින දේ හා රූපයෙන් කැරකෙන්නාසේ පෙනෙනු ඇත. කළුතිත්, කළුමැස්සන් ඉගිලෙන්නාක් බඳුවැ හෝ මකුණුදැල් පාවෙන්නාක්සේ සමහර අවස්ථාවලදී පෙනෙන සෑම දෙයක්ම වැඩි වශයෙන් කළුපාටින් දිස්වෙනු ඇත.

පිත් කෝපතාවය නිසා නිල් පැහැති වාස්තූන්ගේ දර්ශනයද නොයෙක් වර්ණද දර්ශනය වේ.

සෙම් දෝෂයේ හේතුවෙන් යම් යම් වස්තූන් සුදුපැහැයෙන් පෙනෙනු ඇත. එමෙන් ම වලාකුළු පාවෙන්නා සේද සුදුපැහැති පුළුන් පාවෙන්නා සේද පෙනෙනු ඇත.

රක්තයෙන් උපන් ඇඳිරියේදී රතු වර්ණයෙන් හෝ කළු පැහැයෙන් යුතුව දසුන් මැවෙනු ඇත.

සන්නිපාත ඇඳිරි ලක්ෂණයේදී බලවත් වූ දෝෂය අනුව ඉහත කී දේ මිශ්‍රව පෙනෙනු ඇත. මෙම රෝගයේ මූලාරම්භයේ සිටම ඉහත සඳහන් රෝගයේ ලක්ෂණ ඇතිවේ. සමහර රෝගීන්ට මෙකී ලක්ෂණ සම්පූර්ණයෙන්ම ඇති නොවේ. කෙසේ වුවද තිමිර ලක්ෂණ පහළ වෙන අවස්ථාවලදී ප්‍රතිකාර ලබා ගැනීමෙන් රෝගය සුවකර ගත හැක. රෝගය දියුණු තත්ත්වයට පත්වූ විට ප්‍රතිකාර කිරීමෙන් සුවයක් ලබා ගැනීම අපහසුයැ. එවැනි රෝගීහු පසුකලෙක අන්ධභාවයට පත්වෙන බව සඳහන් කළ යුතුයැ.

ඇසෙහි මෙම ඇඳිරි තත්ත්වය හෝ ඕනෑම අක්ෂි ආබාධයකට ප්‍රතිකාර කරන්නට පෙර සමස්ත ශරීරයේ රෝගාබාධ වැලඳෙන සැටිද, ඒවාට ප්‍රතිකාරයන් ගැනද මනා අධ්‍යනයක් සහ දැනීමක් අවබෝධයක් ලබා තිබීම වැදගත් වේ. ‘ඇස’ යනු ශරීරයේ විශේෂිතම ඉන්ද්‍රියක් බව කවුරුත් දන්නා කරුණකි. ශරීරයේ ඇතැම් රෝග පෙන්වා දීමට ඇසට පිළිවන. කක්කල් කැස්ස වැලඳි අයෙකුගේ නෙත් රත් පැහැ ගැන්වේ. කහ උණ හෝ සෙංගමාලය ඇති රෝගීන්ගේ ඇස් කහපාට වන අතර අක්මා රෝගීන්ගේ නෙත් කළු පැහැ ගැන්වේ. එමෙන් ම සර්ප දෂ්ඨනයකදී ඇසට ද විෂ පැමිණෙන බැවින් ඊට ද ප්‍රතිකර්ම යෙදීම මැනවි.

සෑම ඉන්ද්‍රියකටම ප්‍රතිකාර කළ ද මනා අවබෝධයකින් මෙන්ම ඉවසීමකින් ද, සැලකිල්ලකින්ද නිදහසකින් ද යුතුව මෙම අක්ෂිරෝගීන්ට ප්‍රතිකාර කළ යුතු වේ. ඇසට පැමිණෙන ඇඳිරි තත්ත්වය හෝ දැලක් බැඳුණාක් වැනි ආබාධ තත්ත්වය රෝගියාටම පරික්ෂා කර ගැනීමේ සරල ක්‍රමයක් දැක්වීම මැනවැයි සිතූ නිසා මෙසේ දක්වමි. දෑසේ පෙනුම පරික්ෂා කිරීමේදී ප්‍රථමයෙන් තම දකුණු ඇස දකුණු අත්ලෙන් වසා වම් ඇසෙහි පෙනීම පරික්ෂාකරීම ඒ සඳහා ඔබ සමීපයෙහි ඇති වස්තූන් හෝ දින දසුනක සඳහන් ඉලක්කම් හෝ අකුරු හෝ වර්ණවත් භාවය දෙස බැලීමද තරමක් දුර පිහිටි දේවල්හි දර්ශනය කෙලෙසකයි මානනය (මැන බැලීමට මෙන්ම මෙසේ වමැස මතින් වම් අත්ල තබා දකුණු ඇස් පෙනීම නිරීක්ෂණයෙන් තමාගේ නෙත් දුර්වලද, එනම් කිනම් ආකාරයකින්දැයි අවබෝධයක් ලබාගැනීමට මේ පිළිවෙත අනුගමනයෙන් තරමක ප්‍රතිඵලයක් ලබාගත හැකි බව දැනගත යුතු කාරණයක් වේ.

ඇසේ ඇඳිරි තත්ත්වය හෙවත් නෙතට ඉහළින් දැලක් දැම්මා වැනි රෝගී තත්ත්වය වැඩි වශයෙන් ඇතිවන්නේ මහලු අවදියට පත්වීමත් සමඟයැ. මේ තත්ත්වය ඇති වුණ සමහර උදවිය උපැස් පාවිච්චි කිරීමට පෙලඹෙනු ඇත. මෙය නම් ඇස රැවටීමක් බඳුයැ. උපැස් යුවලට හුරුවුණ ඇස් බැරිවීමකින් හෝ උපැස් (කණ්ණාඩි) නොමැති කලෙකදී තම ක්‍රියාකාරකම් කර ගත නොහැකිව සිටි බවක් සමහර අවස්ථා වලදී අසන්නට ලැබේ. සුළු පෙනුම අඩුවීමකදී පවා සමහර උදවිය උපැස් යුවල භාවිත කරන්නට හෝ ගන්නට පෙර බොහෝදුර සිතා බැලීම වටී.

සමහර නූගත් උදවිය කණ්ණාඩි පාවිච්චි කරන්නේ ආභරණයක් විලසටය. එයින් සිදුවන්නේ ඇසේ ඇති පෙනීමට හානියක් වීම පමණි. තිබෙන දෘෂ්ඨියට ද හානි පැමිණිය හැකිය. වර්තමාන සමාජය දෙස විමසිල්ලෙන් බැලීමේදී වැඩි වශයෙන් කණ්ණාඩි භාවිත කරන්නේ කාන්තාවන් බව දක්නට ලැබෙන කරුණකි.

ආයුර්වේද ප්‍රතිකාර වලදී ඇසට ඔසු යෙදීමක් ද මෙම ඇඳිරි රෝගයන් වෙත පවතී. එනමුදු සමහර රෝගීහු ස්වල්ප දෙනෙකු ඇසට ඔසු යෙදීම ප්‍රතික්ෂේප කිරීමේදී අප විසින් ඒ සඳහා ඖෂධ පුරවලියක් (ඇස වටා බෙහෙත්) ගෑමද කරනු ලබයි. එයද ඉතා සාර්ථක ක්‍රමයකි.

වෙළඳ පොළෙහි ඇති සමහර ආදේශක ඖෂධ නිසා ඔසු සංයෝගයෙහි නියම ගුණාත්මක භාවය ලැබීම අපහසු වනු ඇත. විශේෂයෙන් නිදසුනක් ගතහොත් කුඩා දරුවන්ට යොදන රත කල්කය සඳහා අවශ්‍ය රත්හඳුන් වෙනුවට වෙළඳපළෙහි ඇති රත්කිහිරිය යෙදූවිට ඖෂධයෙහි නියම ප්‍රතිඵල ලැබෙනවාද එම රත්කිහිරිය ද රත්හඳුන් ද එක සමාන වර්ණයකින් යුක්ත වන නමුත් ගුණයෙන් වෙනස් වීමට පුළුවන. බොහෝ අක්ෂි රෝග වලදී ද රත්හඳුන් යොදා ගනු ලැබේ. ආයුර්වේදයෙහි දැක්වෙන ලෙස 320ක් ලෙසින් හැඳින්වෙන ඇස් රෝග තිබෙන අතර ඒවාට නියමිත ඖෂධ ප්‍රතිකාර ද විවිධ වශයෙන් යෙදී ඇත.

වර්තමානයේ පාරම්පරික අක්ෂි වෛද්‍යවරුන් බොහොම ස්වල්ප දෙනෙක් ඇති අතර එම වෛද්‍යවරු සමහර දෙනෙකුගේ ගෝලයින් පවා නොමැති අතර මාගේ පිය පාරම්පරාවෙන් එන මාගේ පියතුමා දැනට 90 විය ගත කරන අතර දෑසද හොඳ පෙනීමක් ඇතිව නිරෝගිව සිටීම සතුට කරුණක් වන අතර මාගේ මෑණියන් 84 වියෙහි පසුවන අතර ඖෂධ නිෂ්පාදනය ඇයගේ අධීක්ෂණය යටත් ඉතා ප්‍රමිතියට අනුව ක්‍රමානුකූලව සිදුකිරීම මාහට මහත් අස්වැසිල්ලක්, රුකුලක් සහයෝගයක් බව පවසන්නේ මාගේ මව්පිය දෙදෙනාට ආශිර්වාදයක් ලෙසටය.

දිගාසිරි විඳීමටත් නිරෝගීතාවයෙන් සුරක්ෂිතව කල්ගෙවීමටත් ලැබෙන්නේ පෙර කරන ලද කුසලකර්මය හේතුවෙන් බව අප ගෞතම ශාස්තෘන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මයට අනුකූල වනු ඇත. හැදෙන ගස දෙපෙත්තෙන් දැනේ කියන්නා සේම බිලිඳු දරුවකු හදා වඩා ගන්නා විටදී දරුවාට ඕන ලෙස හැදෙන අවස්ථා මෙවන්ම දෙමාපියන් අවශ්‍ය ලෙස දරුවා හැදිය යුතු අවස්ථාද තිබේ. දරුවා පෝෂණයෙන් යුක්තව නිරෝගීව බුද්ධිමත්ව ඇති දැඩි කිරීම ද ලෙඩ රෝගවලින් දරුවා ආරක්ෂා කිරීම ද මව්පියන්ගේ යුතුකම ඕනෑකම විය යුත්තේයැ. දරුවා අත පොවන තැනක කැපෙන ආයුධ වස විෂධ උණූු ජලය නොතැබිය යුතු අතර ඉන් දරුවාට හානියක් වන්නට ඉඩ ඇති හෙයිනි.

ඕනෑම සත්වයෙකුට දෙනෙතක් පිහිටා තිබෙන අතර දේව සාහිත්‍යයේ එන පරිදි ඊශ්වර දෙවිඳුන්ට නළලෙහි ද නෙතක් තිබෙන හෙයින් තිනෙත්‍රධාරි වශයෙන් හඳුන්වන අතර අප ආහාරයට ගනු ලබන පොල් ගෙඩියෙහි ද නෙත් (සිදුරු) තුනක් බැගින් පිහිටා තිබේ. එම පොල් වලින් සාදනු ලබන තෛල හිසට ද සෞම්‍ය දායක වේ. ඇසක ඇඳිරි අවස්ථා වලදී හිසට දැමීමට වඩාත් යෝග්‍ය වන්නේ භෘංගමාලක තෛලය, නිර්ගුණ්ඪ්‍යාදී තෛලය, අක්ෂි ප්‍රසාදිනි තෛලය, චන්ද්‍රකාන්ති තෛලය, නවපටල තෛලය යනාදියයි. එම රෝගී අවස්ථාවට විශේෂයෙන් නවපටල තරල’ යෙදීම මහත් ප්‍රතිඵලදායක වේ. එමෙන්ම වළඳන ඔසුද ඇස වටා පුරවලියන් යෙදීමෙන්ද ඇසට දැල් බැඳුන රෝගය සුවපත් කිරීමට පුළුවන. රෝගය උද්ගතවී නම් කෂාය සාදා පානය කිරීමෙන් ඉක්මන් සුවය ළඟා කර ගත හැකියැ.

ආරෝග්‍යා පරමා ලාභා

 

ජනාධිපති සම්මානලාභිනී

සුසිලා නාලිනී ගොඩලියද්ද

පාරම්පරික අක්ෂි රෝග විශේෂඥ වෛද්‍ය

ඩී.ඒ. ආයුර්වේද කීර්ති වෛද්‍යභාමිණා

ආයුර්වේද ශාස්ත්‍රී

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.