ප්‍රභේද්‍ය පහකින් සමන්විත පීනස් රෝගය

ජනවාරි 22, 2021

ආයුර්වේදයට අනුව පීනස් රෝගය යනු නාසාගත හෙවත් නාසය ඇසුරු කරන්නාවූ රෝගයකි. නාසය ඇසුරු කරන රෝග තිස් එකක් ඇත. ඉන් ප්‍රධානතම රෝගය පීනසයි. මෙම රෝගයේදී රෝගියා අධික ලෙස පීඩාවට පත් කරන තත්වයක් පවතී. දවසේ ඕනෑම වේලාවකදී රෝග ලක්ෂණ පෙන්නුම් කරන අතර, කාලගුණයේ වෙනස්වීම්, පරිසර ආර්ද්‍රතාවය සහ දූවිලි සහිත පරිසරය රෝගියාගේ රෝග ලක්ෂණ වැඩි කිරීමට සමත් වෙයි. පීනස යනු පීනසං සත්‍ය ඉති යනුවෙන් ආයුර්වේදයේ දක්වා ඇත. පීනස් ඇසුරු කරන්නේ නාසයයි. නාසය ආශ්‍රය කළ පමණින් රෝග ලක්ෂණ නාසය තුළ පමණක් පහළ නොවේ. පීනස් රෝගයේදී උගුර , කන, නාසය, මුඛය විදුරුමස් ,ඇස , දිව තොල් , පපුව, උදරය , මුහුණ, දිව, හිස යන සෑම ස්ථානයකින්ම රෝග ලක්ෂණ පහළ කරයි. පීනස ඇතිවීමට ඍජු හේතුන් හා වක්‍ර හේතුන් වශයෙන් දෙකොටසකි. ඍජු හේතුන් ලෙස දැක්වෙන්නේ දෛනික ජීවිතයේදී රෝගය ඇතිවීම සඳහා බලපාන ප්‍රධානතම හේතුන්ය.

 

එම හේතුන් අතර, නාස්පුඩු තුළට දුම් දූවිලි පිවිසීම, ඍතු විපර්යාසය, නිතර අධික ලෙස සීත ජලය ස්නානය කිරීම, නිදිවැරීම, දහවල් කාලයේ නිදාගැනීම, සිසිල් ජලය පානය කිරීම, අධික තෙතමනයට හා පින්නට අසුවීම, නිතරම වායුසමීකරණය කරන ලද ස්ථානවල සිටීම, කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතා කිරීම, හිසේ ආලේප කරන ලද සමහර ආලේපන වර්ග වෛද්‍ය උපදෙස්වලින් තොරව යම් යම් බෙහෙත් වර්ග පාවිච්චි කිරීම, නිරන්තරයෙන්ම මත්පැන් හා දුම්වැටි පානය කිරීම, දිගු කාලයක් පුර පැවැති සෙම්ප්‍රතිශ්‍යාව ඇදුම රෝගයෙන් පෙළීම, වැටීම් හා තැලීම් මඟින් හිස තුවාල වීම, අභිගාත හෝ ආගාත වීම ද වේ. වක්‍ර හේතුන් පීනස් රෝගය ඇතිවීමට බලපාන ප්‍රධාන හේතුන්ට සහාය දක්වන හේතුන් ලෙස හඳුන්වයි. වක්‍ර හේතුන් දීර්ඝ කාලයක් සිදු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස පීනස් රෝගය ඇති වේ.

මලමුත්‍රවේග බොහෝ වේලා දරා සිටීම, කඳුළු වේගයන් දැරීම, අධික මෙවුන්දම් සේවනය, අධික ලෙස හැඬීම, අධික ලෙස කථා කිරීම මෙම ඍජු හේතුන් හා වක්‍ර හේතුන් ප්‍රධාන කොට ඇති වන්නාවූ පීනස් රෝගයේ රෝග ලක්ෂණ බොහෝය. පීනස් රෝගීන්ට උදෑසන කාලයේ අධිකව කිවිසුම්යාම පවතින අතර, නින්දෙන් අවදි වූ සැණින් ද කිවිසුම්යෑම ආරම්භ වේ. ඇතැම්විට උදෑසනින් කිවිසුම් යාම ආරම්භ වී දහවල් කාලය වන තුරාම පවතී. මීට අමතරව පරිසරයේ ක්ෂණික වෙනස්වීම් හා දුම් දූවිලි, මකුණුදැල් කැඩීම ආදිය කළ විට ද දවස පුරම කිවිසුම් යාම පවතී. කිවිසුම්යාම ආරම්භවීමත් සමඟ නාසයෙන් ජලය මෙන් හෝ ගණ පැහැ සොටුදියර ගැලීමට පටන් ගනී. එමෙන්ම කාලයක් පුරා පීනස තිබේ නම් ඔවුන්ට ගඳ සුවඳ නොදැනේ. එසේ වන්නේ දිගු කලක් පීනස් රෝගය තිබීමෙන් ගඳ සුවඳ සඳහා සංවේදි ස්නායු අක්‍රියවීමේ හේතුවෙනි. එමෙන්ම ආහාර රස පවා නොදැනේ. එම රෝගීන්ගේ නළල ප්‍රදේශයේ කැක්කුම, ඇස් යට කැක්කුම, ඇස් කැසීම පෙරවරු කාලයේදී ඇතිවන හිසේ බරගතිය උදේට සහ රෑට ඇතිවන උගුර කැසීමක් වේ.

පීනස් රෝගය සුව නොවී පවතින්නේ නම් විදුරුමස් වලින් ලේ ගලන්නටත්, දත් සෙලවීමටත්. දත් මුල් දියවීමටත්, මුඛයේ දුර්ගන්ධයක් පවතී. හිසකෙස්වල ගැලවීම සිදුවන අතර, කෙස් සුදු පැහැ ගැන්වීම ද වේ. විශේෂයෙන් තට්ටය පෑදීම ද සිදුවන අතර, කෙස් සුදුවීම, වෙනත් රෝගයන් නිසා ද සිදුවේ. කාලයක් පුරා මෙසේ පීනස පැවැතීමෙන් නාසයෙන් මස් දළු හටගැනීම ඇති වේ. නාසයේ එක් පැත්තක හෝ දෙපැත්තේම වර්ධනය වන්නාවූ අංකුර හේතුවෙන් හුස්ම ගැනීම පවා අපහසු වේ. මේ නිසා නාස් කුහරයේ අධික දැවිල්ලක් ද ඇති වේ. ඇතැම් විට ඇස් පෙනීමත් දුර්වල වේ. ඇස් දැවිල්ල, නිතර කඳුළු ගලීම හා රූප දර්ශනය නොවීමත්, නාසයෙන් ලේ ගැලීමත් සිදු වේ. පීනස් රෝගයේ ප්‍රභේද අනුව වාතජ පීනස අධිකව කිවිසුම්යාම, කථාව ගොතවීම, හිසරදය, නාසයෙන් සොටුදිරය ගැලීම, නාසයේ වේදනාව, පිත්තජ වේදනාව , මුඛය වියළීම, නිතර නිතර පිපාසය ඇතිවීම, රතුපාටට හෝ කහපාටට සොටු දියර ගැලීම, නිතර උණ හට ගැනීම නාසයේ අග පැසවීම හා කිවිසුම්යාම ද වේ. කඵ හෙවත් සෙම ප්‍රධානවීමෙන් පීනස ඇති වේ.

නිතර පවතින කැස්ස, ආහාර අරුචිය, නාසයෙන් සොටුදියර ගැලීම, නාසයේ බරගතිය, කිවිසුම් යෑමේදී දුර්ගන්ධයක් වහනය වීම, ඇස් කැසීම, කන් නෑසීම, උගුර කැසීම, විදුරුමස්වලින් ලේ ගැලීම, කට ගඳ ගැසීම ආදිය කඵජ පීනසේදී ඇති වේ. සන්නිපාතජ පීනස, වාත පිත්ත, කඵ යන අවස්ථා තුනේදීම රෝග ලක්ෂණ පවතී.

රක්තජ පීනස, මෙම රෝගී අවස්ථාවේදී ද නාසයෙන් ලේ ගැලීම, නාසයේ බරගතිය, නිතර නිතර කිවිසුම්යාම, ඇස් රතුවීම, කන්දෙක කැසීම, නාසයේ දැවිල්ල ආදී රෝග ලක්ෂණ පහළ වේ. මීට අමතරව පාරම්පරික වෛද්‍ය ක්‍රමයේදි පීනස් රෝග ප්‍රභේද දහ අටක් දක්වා ඇත. ග්‍රහණී පීනස, ලය පීනස, මොළගන්ධ පීනස, කණ්ඩ මාල පීනස, ශ්ලේෂ්මා පීනස, පිත් පීනස, සෙම් පීනස, පණු පීනස, සොටු පීනස, නාග පීනස, ගල් පීනස, සුළං කණ්ඩ පීනස, සමන්නිපාත පීනස, කරුප්පුවාත්තිල් පීනස, පාණ්ඩු පීනස, ආම න පීනස, තින්තිර පීනස හා අර්බුද පීනස ද වේ. මෙම පීනස් ප්‍රභේදවලදී ද උගුර, ඇස, කන, දිව, නළල , පපුව, හිසමුදුන, විදුරුමස් මෙන්ම සර්වාංග ලක්ෂණවලට ද වෙන වෙනම රෝගී අවස්ථා පෙන්නුම් කර ඇත. නාසයෙන් ලේ ගැලීම, ලේ පීනසයේ ලක්ෂණයයි. නාසයෙන් ලේ පිටතට යන සෑම අවස්ථාවකදීම එය ලේ පීනසයයි කියා තීරණය කිරීමට ද නොහැකිය. සමහර විට ශරීර අභ්‍යන්තරයේ පවතින රෝගාබාධ හේතු වෙන් ද නාසයෙන් ලේ පිටවිය හැකිය. පීනස පවතින විට යම් වෙනස්කම් ද පැවතිය හැකිය.

පීනස සුව කළ හැකි නිසි ප්‍රතිකාර ආයුර්වේදයේ ඇත. පීනස යනු සුවකළ නොහැකි රෝගයක් නොවේ. නිසි පිළිවෙළට අඛණ්ඩව ප්‍රතිකාර ගැනීම මඟින් පීනස් රෝගය සුව කළ හැකිය. ඇතැම් විට දරුවන්ට යම් යම් වෙනත් හේතුන් නිසා ද සොටුදියර වැගිරිය හැකිය. එය පීනස දැයි නිගමනය කළ හැක්කේ වෛද්‍යවරයකුට පමණකි.

 

බත්තරමුල්ල, පැලවත්ත, රාජපුර වෙද මැදුරේ ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය

සුමිත්.එම්.පී. රාජපුර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.