හිසෙහි ඇතිවන රෝග අරුංශිකා (ඉස්සොරි)

ජනවාරි 8, 2021

හිසෙහි සමේ හටගන්නා ඉස්හොරි (අරුංශිකා) ලෙස ආයුර්වේද වෛද්‍යාවෙහි හඳුන්වනු ලබයි. මෙය එක්තරා චර්ම රෝගයකි. සමෙහි දිරාපත් වීමක් ලෙසින් හැඳින්විය හැකි මෙම රෝගය ඇති අය හිස පීරන පනාවෙහි රැඳී එනු ඇත. මෙම සම් කැබලි කුඩු ලෙස හිසේ පවතින විට දෑතින් හිස කැසීමේ දී නියපොතුවල රැඳෙන අතර සුළඟෙහි පාවී යනු දක්නට ලැබේ.

 

ස්නානයට අගුණ රෝග නොමැතිනම් දිනපතා නෑමෙන් මේ රෝග තත්ත්වය මදක් මර්දනය කළ හැකි ය. මෙම තත්ත්වය දිගින් දිගටම පැවතීම නිසා චර්මයේ ආසාදන ගතියක් ඇති වේ. දද, වණ, තුවාල තෙක් වැඩිදියුණුවීමට පුළුවන. ඉස්සොරි සෑදීමට ප්‍රධාන වශයෙන් බලපාන්නේ මළ බද්ධය සහ මුත්‍රා බද්ධයයි. එබැවින් මළ ශෝධනය ද මුත්‍රා ශෝධනය ද දිනපතාම පවත්වා ගත යුතු යැ. එය ශරීරය වැඩීමට ද නීරෝගීවීමට ද ඉවහල් වනු ඇත. ඉස්සොරි සෑම විටම පවතින්නේ වියළි ස්වභාවයෙන් යුතුවයැ. මෙම ස්වභාවයට පත් තැනැත්තේ අම්ලාධික පලතුරු ගැනීමෙන් වැළකී සිටීම සුදුසු යැ. එමෙන් ම මස් මාංශ දෙල් වැනි ආහාර අගුණ වේ. මේ අයට රුධිර ශෝධන නිවාරණ ඖෂධ ඇඟ නිවන ඖෂධ හා ආහාර පාන ගැනීම ඉතා සුදුසු යැ. කෘත්‍රිම ආහාර පාන ද අගුණ බව සළකන්න.

එමෙන්ම දිනපතා හිස පිරිසුදු කර තැබීමද ස්නානයෙන් පසු පිරිසුදු තුවායකින් හිස තෙත මාත්තුකර හිස වියලුණාට පසු සුපුරුදු තෛලයක් හිසට දමා සම්බාහනය කිරීම සුදුසුයැ. සම්බාහනය යනු දෑතේ ඇඟිලි තුඩු හිස කෙස් අතරින් යවා හිස් කබල පිරිමැදීම ය.

හිස්සොරි සඳහා ශීර්ෂාලේපයක්

අමුනෙල්ලි, දෙහි යුෂින් අඹරා හිසේ ගා පැයකට ස්නානය කර හිස පවිත්‍රවීමෙන් පසු හිසෙහි තල තෙල් ආලේප කරනු මැනවි.

හිසෙහි ඉස්හොරි දිගින් දිගටම ප්‍රබලව පවතී නම් එය විෂ රක්ත දෝෂයක පෙර ලක්ෂණයක් විය හැකි ය. එවැනි අයට අත්ල සහ යටි පතුල්වලට ඩහදිය දැමීම, හිසකේ වල තද කළුභාවය අඩුවීම තඹ පැහැගැන්වීම හිස කෙස් ගැලවීයාම, මුහුණේ ලප කැළැල් ඇති වීම, කුරුලෑ බෝ සෙයින් ඇතිවීම, රක්ත දෝෂ නිසාවෙන් ඇතිවන මෙවැනි තත්ත්වයන් හේතු කරගෙන එවැනි අයට ලේ පිරිසුදු වීම අත්‍යවශ්‍ය ය.

ප්‍රතිකාර වශයෙන් ගත් කල

කොත්තමල්ලි, වෙනිවැල්ගැට තම්බා ඊට සීනි දමා බීම හොඳ ය. නිතිපතා පිරිසුදු ජලය පානය කිරීමද ඇඟ නිවෙන එළවළු බෝංචි, ලීක්ස්, කරවිල, කැකිරි, පිපිඤ්ඤා, නිවුඩු සහලේ බත්, පළා වර්ග කිරි(සෙම් රෝග රහිත නම් එළකිරි) බීම සුදුසු යැ. පැණිරස ආහාර ගැනීම අවම කිරීමද කාලෝචිත ය. දිවා කල නොනිදා රාත්‍රී කාලයේ සුබවර නින්දක් ලැබිය යුතු ය. සුවබර නින්දක් ලැබීමට නම් පිරිසුදු සයනය සේම සුවපහසු මෙට්ට, කොට්ට, ඇඳ ඇතිරිලි, පොරෝණ පිරිසුදුව පාවිච් කළ යුතු ය. කොට්ට උර පොරෝණා ආදිය සතියකට වරක්වත් සෝදා පිරිසුදු කළ යුතු ය.

එමෙන්ම හිස පීරණ පනාවද නිතිපතා පවිත්‍ර කළ යුතු යැ. වැඩි දෙනෙක් හිසට මෝස්තර දැමීමට කැමැතිය. පිරිමින් කොණ්ඩය වවන විට ස්ත්‍රීන් කොණ්ඩය කපති. වර්තමානයේ විලාසිතා ඒවා වේ. තමන්ට ගැළපෙන විලාසිතාවක් තෝරා ගත්තද එය තමන්ට සුදුසු දැයි නිගමනය කළ යුතු ය. ලොවට සිනාසීමට අපි වැඩ කළ යුතු නොවේ. යමෙකුට ආදර්ශයක් වන ලෙස හැසිරීම වඩාත් උචිත ය. මවුපියන් වැරදි මගක ගියානම් තමන් ඒ පාරේ නොයන තරමට හොඳ යැ.

උඳුගොව්වන් කෑම

ආයුර්වේද ශාස්ත්‍රයේ ඉන්ද්‍රලුප්ත නමින් හැඳින්වෙන හිසේ ඇතිවන උඳුගොව්වා යනු මෑතකදී සාදාගත් ග්‍රාම්‍ය වදනකි. හිසේ තැනින් තැන හෝ කලාතුරකින් හෝ සම්පූර්ණ හිසෙහිම හිස කෙස් ගැලවී යාම මෙහි ලක්ෂණයයි. මෙම ශීර්ෂ රෝගය විෂරක්ත දෝෂයක් නිසා හටගනු ලබන දෝෂයකි. හිසෙහි තැන් තැන්වල රුපියලේ කාසියක තරමට හැඩගත් කෙස් ඉවත්ව යාමේ රෝගීන් බොහෝ සංඛ්‍යාවකට පිළිසරණ විය හැකි ඔසු අඛණ්ඩව යෙදීමෙන් රෝගය සුවපත් වේ.

සරලව ප්‍රතිකාර සඳහන් කළහොත්

එළබටු ගෙඩි, උඳු පියළි, දෙහි ඇඹුල් යුෂින් අඹරා ගෑම

නියඟලා අල දෙහි ඇඹුලෙන් අඹරා ගාන්න.

ඉත්තෑකූරු පුළුස්සා ගත් අළු දෙහි යුෂින් ගානු.

දේවදාර රසකිඳ ඉස්මෙන් ගානු

ඔළිඳමුල් දෙහි ඇඹුලෙන් අඹරාගානු.

ගුරුල්ල ගෙඩි යුෂ පොඩිකර ගානු.

මෙම රෝගී තත්ත්වයේ දී විශේෂ අමතර ආහාර ලෙස ඉදුණු නෙල්ලි යුෂ ඇතුළත් පංච කල්‍යාණ රසය මාස තුනක් පමණ දිගටම ගැනීමෙන් රුධිරය පවිත්‍ර වී ශරීරයද නිවී පහන් වේ. කැල්සියම් හොඳින් ඇති රටඉඳි දිනපතා ගැනීමට ද සුදුසු යැ. ලංකා දොඩම් යුෂ දිනපතා ගැනීමෙන් හොඳින් කෙස් වැඩේ.

අකලට කෙස් වැටීම සහ සුදුවීම

සෑම කෙස් ගසක් මුලම එක්තරා ඝන මැලියම් පදාර්ථයකින් කෙස් ගස තදින් බැඳී පවතී. සෑම තෙත් කෙස් ගසකම පෝෂණය සඳහා අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ කෙස් ගසේ මුලයේ පිහිටා ඇත. රුධිරය මඟින් කෙස් ගස් මූලයට අවශ්‍ය පෝෂණය ලබා දේ. එමෙන්ම වර්ණාංශු පදාර්ථ ද තිබේ. මෙම වර්ණාංශු නිසාවෙන් කෙස්වලට කළුපැහැය ලැබෙනු ඇත. තරුණ වියේ දී මෙම වර්ණක ප්‍රබල බැවින් මෙම කළු පැහැය තදින් ලැබෙනු ඇත. එනමුත් වර්තමානයේ තරුණ වැඩිහිටි අයගේ හිසකෙස් ක්‍රමයෙන් සුදුවී යමින් පවතින නිසා කෘත්‍රිම වර්ණක භාවිතා කරනු ලැබේ.

පීනස් ආදී රෝග නිසාද අප ආහාරයට ගන්නා වස විෂ මිශ්‍ර ආහාර නිසා ද හිසකෙස්වල පැහැය වෙනස් වීමට ඉඩ ඇත. කෙස් ගැලවීම හා කැඩීයාම ද, සුදුවීම ද අවශ්‍ය පෝෂණය නොමැති වීමද හේතුවකි.

මෙවැනි තත්ත්වයන් උදාවන්නට පෙර අප ගනු ලබන ආහාර ගැන සැළකිලිමත් වීම වැදගත් වේ. ආම්ලික ආහාර පාන නොගත යුතු අතර, මේ සෑම අවස්ථාවකදීම ශරීර ශෝධනයට ගනු ලබන ඖෂධ ගත යුතු යැ. ඒ සඳහා ලේ පිරිසුදු කරනු ලබන සාමාන්‍ය ඖෂධයක් භාවිතා කළ හැකි ය. ආම්ලික භාවයෙන් තොර වූ අලිගැටපේර, ගස්ලබු, පේර වැනි පලතුරු සුදුසු ය. දිනකට වතුර බෝතල් දෙකක් හෝ වරින් වර ගැනීමට පුරුදු විය යුතු යැ.

මෙවැනි පිළිවෙත්වලින් නිතිපතා තම සෞඛ්‍ය නිවැරදිව පවත්වා ගැනීමට ඉවහල් වන අතර, දීර්ඝායුෂ ලබා නිරෝගීව සිටින්නට පුළුවන. බුදුරජාණන් වහන්සේ විටෙක දේශනා කළේ “ආරෝග්‍යා පරමා ලාභා” යනු නිරෝගී බව උතුම් බව ය. නිරෝගී වෙන්නටද පුණ්‍ය මහිමයක් තිබෙන්නට අවශ්‍ය ය. මෙම ආත්මය තුළ රෝගී භාවයෙන් වෙසෙන අය හැකිතරම් දාන ශීල භාවනා දිය කිරීමෙන් නිරෝගී භාවය ලබා ගත හැකි අතර, ලබන ආත්මයේදී ද නිරෝගී සුවය අපේක්ෂා කළ හැකි යැ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.