අල්ලට දහඩිය දැමීම නිසා ජීවිතය එපා වූ නිරෝෂාගේ කථාව

දෙසැම්බර් 4, 2020

මානසික උපදේශකවරයකු හමුවට පැමිණි අගනුවර ප්‍රධාන පෙළේ ආයතනයක ලේකම්වරියක වන නිරෝෂා තම කථාව දිග හැරියේ මේ අයුරිනි.

“මම ගොඩක් කාලෙක ඉඳලා තනියම විඳවන ප්‍රශ්නයක් තියනවා මගේ අල්ලට නිතරම දාඩිය දානව. මම දන්නෑ ඇයි කියලා මේක මට හරි කරදයක් මේ නිසා මට ගොඩාක් දේවල් අහිමි වුණා. අවුරුදු 18 දී විතර යාළුවෙලා හිටිය කෙනෙක් මට නැති වුණා. දැන් මට ගෙදරින් බල කරනවා. බඳින්න කියල ඒත් මට බෑ මට බයයි. ඒකත් කැඩිලා ප්‍රශ්න ඇතිවෙයි කියල. මට තේරෙන්නේ නැහැ මොනවා කරන්නද කියල මේක මට කාටවත් කියන්න බැහැ . මට හරි ලැජ්ජයි .වෛද්‍යවරු කිව්වෙ මට ලෙඩක් නැහැ කියල. යෝග කළා, භාවනා කරන්න ගියා. ඒත් අඩුවක් නැහැ”.

නිරෝෂාට වගේම මේ ප්‍රශ්නයට මුහුණ දෙන බොහෝ අයට කායික ආබාධ දක්නට නොලැබීම විශේෂ දෙයකි. පුද්ගලයකුගෙ උප විඥානය හෙවත් යටිහිත තුළ අතීතයේ සිදුවු අමිහිරි අත්දැකීම් පැවතීම නිසා මෙම තත්ත්වය ඇති විය හැකිය. අතීතයේ සිදුවු ආකාරයේ කටුක අත්දැකීමකට අනාගතයේ යම් දිනක මුහුණ දෙන්නට සිදුවෙතැයි සිතෙන විට ඇතිවන බිය මුසු නොසන්සුන් සහගත හැඟීම් සමූහයක් ඇතිවෙයි. මෙම හැගීම්වල ප්‍රබලතාවය ස්නායු පද්ධතියට අහිතකර ලෙස බලපෑම් කිරීම හේතුවෙන් අල්ලට දහඩිය දැමීම සිදුවෙයි. මෙම තත්ත්වය කාංසාව සාංකාව යන නම් වලින් හඳුන්වයි. අල්ලට දහඩිය දැමීම මෙන්ම තව බොහෝ ලක්ෂණ ඇති විය හැකිය. පපුව ගැහීම හුස්ම ගැනීමේ අපහසුව, නින්ද නොයාම, නිතර නිතර බඩරිදීම, වමනයට ඒම, අතපය වෙව්ලීම, බෙල්ල පිටුපස මස්පිඩු තදවීම, ගොත ගැසීම, වැනි ලක්ෂණ එකක් හෝ කීපයක් ඇතිවිය හැකියි.

“මම පුංචි කාලෙ මට නොතේරෙන කාලෙ කරදරයක් වුණා . නිරෝෂා කාටවත් නොකියා හිරකර ගෙන හිටි කතාවක් ටිකෙන් ටික හෙළි කරන්නට වූවාය. ඇය නව යොවුන් වියේ පසුවෙද්දී තරුණයකුගේ අතවරයකට මුහුණපාන්නට වු ආකාරයත් එයින් මිදී පලායාමට ඇයට හැකිවුවත් ඉන් සිදුවූ කම්පනය අමතක කළ නොහැකි බවත් ඇය පැසුවාය.

“පසුකාලයේදී අම්ම මට කතාකරල දුවේ දැන් ඔයා ලොකු ළමයෙක් විවාහ වෙනකම් පරෙස්සම් වෙන්න . මගේ සුදු දුවේ කියල කියනකොට මගේ හිතට ලොකු බයක් දැනුණා මට මොනවහාරි කරදරයක් වෙලා ඇති කියල මට හිතුණා. මට හොඳින් මතකයි එදා මට එහෙම දෙයක් වුණේ නැහැ කියල. ඒත් මට බයයි. මට නිතරම හිතෙනවා එහෙම දෙයක් වුණා වගේ කියල. ඒ හින්ද අනාගතයේ කරදරයක් වේවි කියන බය මගේ හිතේ නිතරම තියනවා. මට මතකයි ඒ කාලෙ වගේම තමයි මගෙ අල්ලට දාඩිය දාන එක පටන්ගන්නේ” උපදේශන සැසිවාර කීපයකට පසු නිරෝෂාගේ ගැටලුවට සම්පූර්ණ විසඳුමක් ගැනීමට හැකි විය.

වෛද්‍ය ලාල් විජේසිංහ

වෛද්‍ය නිලධාරි මනෝවිද්‍යා උපදේශක

ගම්පහ වික්‍රාරච්චි ආයුර්වේද ශික්ෂණ රෝහල

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.