දේශීය අත් බෙහෙත්

චර්මාබාධ
නොවැම්බර් 20, 2020

අළුහම්

ශුද්ධ ගෙන්දගම් , වියන් දුඹුළු යන දෙවගය අබ තෙලින් විධිසේ අඹරා ගෙන ගෑමෙන් අළුහම්. , බිබිලි ඇදිය නැසේ.

කඩුවේගන්

අරලිය කිරි පොල් කිරට දමා අව්වේ තබා තෙල් සිඳ ගාන්න.

කඩුවේගන්

කිතුල් හකුරු, මිදුණු කිරි, ඉදුණු පූවාලු ගෙඩි එක පමණට ගෙන එකට අඹරා ගානු.

දද, අලු ගෝමර

අළු කෙසෙල් පතුරු පුලුස්සා තල තෙල් දමා උලනු. අල්ලේ බඳිනු.

හොරි –

වැල් කැප්පිටිය කොළ, කොහොඹ කොළ, අබ, උළුහාල්, නෙල්ලි, සුදුදුරු, අසමෝදගම් මේවා සමව ගෙන අඹරා දින 3ක් ඇඟ උලා දිය නානු.

කඩුවේගන්

1.දින හතරක් පසු වූ මිදුණු කිරිවලින් හීනටි හාලේ බත් අඹරා ගානු. දින 6කට පසු හාල් පානු දියෙන් සෝදා හරිනු.

තොලබෝ අලයක් උණු අළුවෙන් තම්බා කිරි සමඟ අඹරා ගානු.

දද වලට

1.හාල් පානු වතුරට එපමණ තල තෙල් වත්කර තැටියක අව්වේ තබා වතුර සිදුනාම ඒ තෙල් ගෙන ඇත්තෝර කොළ තැම්බූ දියෙන් දදය සෝදා එම තෙල් ගානු. දද,අළු ගෝමර සුව වේ.

2.අරළු, බුළු, නෙල්ලි කලං 4 බැගින් ගෙන වතුර පත 8/1 ට සිඳවා වරකට සීනි මී පැණි කළඳක් දමා නැලි කීපයක් බොන්න.

කුෂ්ඨ දොස් සමනයට

එඬරු මුල්, පොල් පලා, අරළු, කොහොඹ මුල් කලං 3 බැගින් ගෙන වතුර කාල් 8, 1/4 ට සිඳ පෙරා සීනි දමා උදේ සවස බොන්න.

දද කුෂ්ඨ වලට

ඊතණ, අරළු, සිද්ධිගුරු, සහිඳ ලුණු, තෝර ඇට, කොට්ටම්, ආත්ත කොළ සමව ගෙන හාලු පානු දියෙන් හෝ දී කිරි මෝරුවෙන් හෝ අඹරා ගානු.

කඩුවේගන්

දිවි කදුරු කොළ, හාල් පානු දියෙන් තම්බා අඹරා ගානු.

දද පණු කැවිලි

ඇත්තෝර කොළ, ගම්සූරිය පොතු, සුදු ලූනු දෙහි ඇඹුලින් අඹරා ගානු.

අළුහම් වලට

කෙසෙල් (දඬු දවා ගත් අළු) ක්ෂාරය, අමුකහ සමඟ අඹරා අළුහම් වල ආලේප කරනු.

කුෂ්ඨ වලට

ඇසල කොළ, කලුකැම්මේරිය කොළ, කනේරු කොළ යන මේවා මෝරුවෙන් අඹරා සාදාගත් තෙල් ගාන්න.

කඩුවේගම් වලට

දියබෙරලිය දඬු, පොල් එකට කොටා මිරිකා සිඳ ගත් තෙල් ගාන්න

දද, කුෂ්ඨ වලට – කොහොඹ කොළ, තෝර ඇට, කංසා ,අරළු, නැවුම්. කැබිලිති, උණු අළුවෙන් තම්බාගත් අළුක් පලු යුෂින් අඹරා ඇඟ උලන්න.

කණ්ඩමාලාදි ගඩුවලට

කොහොඹ පොතු, අරලිය පොතු, නික පොතු සමව කොටා යුෂ නැලි 1 තලතෙල් පත 1 කල්කයට ඒවාම දමා තෙල සාදා නශ්‍ය කිරීම

අල්ලේ පණු කැවිල්ලට

රත්මනිස්ස කොළ හෝ රත් නෙටොල් කොළ, කහ ලුණු ලා මලවා බඳිනු.

දද පණු කැවිල්ලට

ඇත්තෝර කොළ, දෙහි ඇට මද සුදු ලූනු අමු කහ ටික ටික ගෙන දෙහි යුෂින් සිහින් වෙන්න අඹරා ගාන්න.

මුහුණේ ලප මැකීමට

අමු කහ පොල් සමඟ කොටා ඉස්ම ගෙන ගාන්න. ලප මැකේ.

දියමිටියන් කෑම

1.ගොරක, ලුණු දමා තම්බා සෝදන්න. ඊටම ගස් කැප්පෙටියා කොළ කොටා නර මුත්‍ර දමා හොඳින් පාගන්න.

2.දොඹ ගෙඩි පුළුස්සා පොල් තෙලින් අඹරා ගාන්න.

ඉස්හොරි

1.අරළු, බුළු, නෙල්ලි, වෙනිවැල්ගැට තැම්බූ වතුරෙන් ඉස සේදීම

2.වෙනිවැල්ගැට කිරි කෂාය ඝන වන තෙක් කකාරා ගත් දාර්විරසාඤ්ජනය ගෝමුත්‍රයෙන් අඹරා ගෑම

3.අඹ ඇට මද, වැල්මී, කොට්ටම් හෝ සුවඳ කොට්ටම්, උඳු, සවිඳ ලුණු යන මේවා සමව ගෙන ඉතා සියුම් චූර්ණය මී පැණි සමඟ මිශ්‍රකොට ආලේප කිරීම

4.අබිං ඇට එළකිරෙන් අඹරා ආලේප කිරීම

5.අඹ ඇට මද, අරළු චූර්ණය එළකිරෙන් අඹරා ලේප කිරීම

 

ඉස්හොරි හා හිසකේ කළුවීමට

1.භෘංගරාජ රසායනය , කීකිරිදිය ඉස්ම මේස හැඳි 2 බැගින් උදේ උදේ මාසයක් වළඳන්න. එළකිරි යහමින් බොන්න.

2.කීකිරිඳිය සහ තල චූර්ණය ද තනිකර කීකිරිඳිය චූර්ණය ද උදේ සවස වරකට ග්‍රෑම් 10-15 දක්වා එළකිරි සමඟ වළඳන්න. හිසකේ කළුවේ. ශක්තිමත් වේ.

ඉන්නන් මතුවී ඇති තැන්වල ගුරුල්ල ගෙඩි කපා ඒ මත අතුල්ලන්න

දද වලට

1. ඉදුණු එළබටු ගෙඩියක් ගෙන හුණුූ ස්වල්පයක් එහි ගා දදය මතුපිට හොඳට අතුල්ලා ටික වේලාවකින් උණුදියෙන් සෝදා හැර මෙහි සඳහන් තෙල සාදා ගන්න.

තෙල – කරවිල කොල සතර මිටක් පමණ ගෙන අමු කහ ස්වල්පයක් සමඟ කොටා මිරිකා ගත් යුෂට දොඹ තෙල් පතක් පමණ දමා කකාරා ගෙන නිවුනාට පසු ගාන්න.

2.රත්හඳුන්, ලුනුවිල එක පමණට ගෙන තම්බා පෙරා සීනි දමා උදේ සවස පත බැගින් බොන්න. වම්බටු ,තෙල් නොදමා උයා කන්න.

දියමිටියන් කෑම

කටු කරඬු කොළ අඹරා ගෑම සහ එම කොළ තම්බා සේදීම යෝග්‍ය වේ.

දද, කුෂ්ඨ හා කඩුවේගන්

කටු කරඬු ගසේ පංචාංගය ගෙන කොටා ගත් ස්වරසයට තල තෙල් දමා සිඳ ගත් තෙල ගෑමෙන් දද, කුෂ්ඨ හා කඩුවේගන් වැනි චර්ම රෝග අඩුවෙයි.

හොරි, දද, වණ, කුෂ්ඨ, කඩුවේගන්

අමු කොහොඹ කොළ, කබලෙන් බැද සිනිඳුව අඹරා පිරිසුදු කොහොඹ තෙලින් අඹරා තුවාල වල ගෑම හොඳය.

දද, කඩුවේගන්

තල කළං 6, තණහාල් කළං 3, බෝධි ඇට කළං 1/2. කබලෙන් බැද එළඟිතෙලින් අඹරා ගාන්න.

ඉස් හොරි වලට

හරන් කහ අල, ඇල් වතුරින් අඹරා මී පැණි මිශ්‍රකර අනා උදේ හිසට දමා දවල්ට නාන්න. දින 3 ක් එසේ කරන්න.

ගෝමර වලට

ගෙන්දගම් සහ යවකාර ලුණු සමව ගෙන අඹරා අළුහම් ඇති ස්ථාන වල ආලේප කරන්න.

කුෂ්ඨයට

බෝ ඇට චූර්ණ කර එයට බටර් සහ මී පැණි කවලම් කර අනුභව කර මෝරු පානය කරන්න.

අළුහම් හා ගෝමර වලට

1.අබ ගෙන වරා කිරේ සත් දිනක් දමා පසුව ගෙන අඹරා ගාන්න.

2.වද කහ, සුවඳ කොට්ටම්, අගිල් මල්, ගම්මිරිස් සමව ගෙන තැඹිලි වතුරින් අඹරා, මැටි බඳුනක දමා, දින 7 ක් පොළොවේ වළලා තබා පසුව ගාන්න.

3.ඉරිවේරිය ලොත්සුඹුළු, වෙනිවැල්ගැට , කහ, අගිල්, ගම්මිරිස්, ගොරෝචන, එක පමණට ගෙන එළු කිරෙන් අඹරා දෙවනුව එළුකිරෙන් තම්බා පදම් වූ විට බාගෙන ලපවල ගාන්න.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.