ගතට සුවය සිතට සතුට ලැබෙන සෞභාග්‍යා ගෙවත්තට පෝෂණීය ඔසු පැළයක්

නොවැම්බර් 20, 2020

විශේෂයෙන් ආහාර පිළියෙල කිරීමේදී කුළුබඩු වර්ගයක් ලෙසට භාවිතයට ගැනෙන කහ ආහාර වර්ණ ගැන්වීමේ කාරකයක් ලෙස ද ප්‍රයෝජනයට ගැනේ. ප්‍රබල විෂබීජ නාශකයක් ලෙස ද භාවිත කරන කහ තෙල් බෙහෙත් වර්ග මෙන්ම වර්ණ ගැන්වීම්වලට ද ගනු ලබයි.

ඖෂධීය ශාක මෙන්ම පෝෂණීය ඔසු පැළ විවිධ රෝගාබාධවලට මෙන්ම ඒවා සමනය කිරීමට හේතු වේ. අප ගනු ලබන සෑම එළවළුවක්ම, පලාවක්ම එමෙන්ම මේ මහ පොළොවේ වැවෙන සෑම පැළෑටියක්ම ඖෂධයන්ය.

ඒ ගැන නොදත් සමහරුන් එම පැළෑටි විනාශ කර දැමීමට කටයුතු කරති. හැදෙන වැඩෙන දරුවන්ට පැළයක ඇති වටිනාකම හා ඒවායෙහි ගුණාංග පෙන්වාදී තම ගෙවත්තේ කුමක් හෝ ප්‍රයෝජනයට ගත හැකි පැළෑටියක් සිටුවීමට උනන්දු කළ යුතු යුතුය. ගෙවතු වගාව තුළින් පවුලේ එදිනෙදා අවශ්‍යතා තරමක් හෝ සපුරා ගැනීමට අවස්ථාව උදා වේ. එනම් පැළ සිටුවීමෙන් ආහාරවලට, ඖෂධවලට, අලංකාරයට, සෙවණට, ව්‍යායාමයට හා යම්කිසි ආර්ථික වාසියකට ද වේ. එක පැළයක් සිටුවා ඒකට පෝර යෙදීමෙන් හා ජලය යෙදීමෙන් එය වැඩෙන විට තව තවත් පැළ සිටුවීමට සිතට ධෛර්යත් ආශාවත් ඇති වේ.

කහ

විශේෂයෙන් ආහාර පිළියෙල කිරීමේදී කුළුබඩු වර්ගයක් ලෙසට භාවිතයට ගැනෙන කහ ආහාර වර්ණ ගැන්වීමේ කාරකයක් ලෙස ද ප්‍රයෝජනයට ගැනේ. ප්‍රබල විෂබීජ නාශකයක් ලෙස ද භාවිත කරන කහ තෙල් බෙහෙත් වර්ග මෙන්ම වර්ණ ගැන්වීම්වලට ද ගනු ලබයි. කහවල ඇති විශේෂයක් වන්නේ ආගමික කටයුතුවලට වගේම යම් යම් යන්ත්‍ර මන්ත්‍ර කටයුතුවලට යොදා ගැනීමයි. කහ වගා කිරීම අපහසු දෙයක් නොවේ. ඒ සඳහා ඉවත් කරන ලද සහල් උර, පෝර උර, ප්ලාස්ටික් බඳුන්, මල්පෝච්චි වගේම ගෙවත්තේ ඉඩ ඇති පරිදි පාත්තියක් සකස් කිරීමෙන් ද පැළ වගා කළ හැකිය. බදුනක කහ වගා කරන්නේ නම් බඳුනට වැලි සහිත ලොම් පස දැමීය යුතුව ඇති අතර, පසෙහි තෙත් ගතිය පැවැතිය යුතුය. පාත්තියක් සකස් කර කහ වගා කරන්නේ නම් පස ගැඹුරට පෙරළා අඩියක් පමණ වූව වඩා සුදුසුය. එය අඩි කීපයක් පළලින් යුතු විය යුතුය. එසේ සකස් කළ පාත්තියට දිරූ කාබනික පොහොර (කොළ රොඩු) සත්ව පොහොර සොයා ගත හැකි නම් පිලිස්සු දහයියා යොදා පසට ජලය යොදා කළවම් කරගත යුතුය. පැළ අතර පරතරය අඩි එකක් පමණවත් තිබිය යුතුය. වගාවට හිරු එළිය ද අවශ්‍ය වේ.

පාත්ති සකස් කිරීමේදී පාත්තිය වටේට කානු තැබීම ද අවශ්‍ය වේ. එමෙන්ම පාත්තියේ පසෙහි ඇති ගල් කැට මුල් ඉවත් කළ සැහැල්ලු පසක් ලෙස සකස් කර සිටුවීමට තෝරා ගනු ලැබූ කහ අලයේ අග්‍රස්ථ අංකුරයක් හෝ දෙකක් තිබිය යුතුය. වෙළෙඳපොළේ අලෙවියට තාබ ඇති කහ ගන්නේ නම් එම අලේ ඇඟිලි මෙන් විහිදී ඇති ඒවා අතර, අග්‍රස්ථ අංකුර දැක ගත හැකිය. ඒවා වඩාත්ම සුදුසුය. එසේ ගන්නා ලද පාත්තියේ සිටුවීමට පෙර කැප්ටාන් හෝ කිරාම් වැනි දිලීර නාශක ටිකක් ගෙන සිටුවීමට තෝරාගත් අල එම රසායනිකයේ ගිල්වා තබා මිනිත්තු පහකට පමණ පසු ගෙන පාත්තියේ සිටුවිය යුතුය. එසේ කළ යුතු වන්නේ සාර්ථක වගාවක් කරගෙන යෑමට අවශ්‍ය නම් පමණකි. නිවසක එදිනෙදා අවශ්‍යතාවයට උරයක, පෝච්චියක හෝ වෙන යම් බඳුනක සිටුවන්නේ නම් උරයට වැලි සහිත කාබනික පොහොර යොදා කොහු බත් සමඟ යොදා කහ අංකුර සහිත අලයක් සිටුවිය හැකිය.

පාත්තියේ කහ අලය සිටුවන්නේ නම් අලය තබා පසෙන් වැසෙන සේ සිටුවිය යුතුය. එසේ සිටුවන අල අතින් තද කර වසුන් දැමිය යුතුය. වසුන් සඳහා දහයියා ,පිදුරු හෝ පොල්අතු පාවිච්චි කළ හැකිය. එසේ දැමූ වසුන මාස තුනකට වරක් වෙනස් කළ යුතුය. එමෙන්ම පැළ හටගත් පසු වරින්වර පැළ පාමුලට පස් එකතු කිරීම සිදු කළ යුතු අතර, පැළ ආලෝකයට ආවරණය නොවන ලෙස තබා ගත යුතුය. කහ පැළ පේළි අතර රනිල ශාක පත්‍ර හෝ කොළ පොහොර සඳහා ගන්නා ශාක අතු කැබලි යොදවා පැළ අතරට දමා ඒ මතට දිය කළ ගොම දියර ඉසිය යුතුය. මාස තුනකට වරක් කාබනික පොහොර පැළ පේළි අතර විසුරුවා පසට කලවම් කළ යුතුය. සාර්ථක අස්වැන්නක් ලබා ගැනීමට බලාපොරොත්තු වන්නේ පැළ සිටුවා මාස එකහමාරක් දෙකක් අතර එනම් දින හතළිස් පහක පමණ කාලයකදී යූරියා කිලෝග්‍රෑම් හැට පහක් ද මියුරියේට් ඔෆ් පොටෑස් කිලෝග්‍රෑම් සියයක් ද දැමිය යුතුය. සිටුවා මාස තුනක් පහක් අතර නැතහොත් දින අනූවක කාලයක් තුළදී යූරියා කිලෝග්‍රෑම් හැටපහක් දැමිය යුතුය. අමිශ්‍ර පොහොරගෙන මිශ්‍ර කර පිදුරු දහයියා වැනි වසුන් ගෙන පස ආවරණය කළ යුතුය.

සාර්ථකව පැළ වැඩෙන විට කඳ විදින දළඹුවාගෙන් වගාවට හානි විය හැකිය. පොළොවට ආසන්නව අඟල් තුනක් පමණ ඉහළින් තද සිදුරු කර තිබේ දැයි විමසිලිමත් විය යුතුය. එයට තවත් අගල් හතරක් ඉහළින් තවත් සිදුරක් තිබේ නම් එය කඳපණුවා විද පිට වී ගිය සලකුණකි. එවැනි සිදුරු කහ පැළයේ තිබේ නම් සිදුරුවලට පහළින් කපා එම කොටස පුලුස්සා දැමිය යුතුය. එයින්ම කඳ පණුවාගේ පැතිරීම වළක්වාගත හැකිය. කහ පැළවලට එන තවත් රෝගයක් කොළ පුල්ලි රෝගය. කහ පත්‍රවල තැනින් තැන සුදු පැහැති කොටස් ඇතිවී පසුව ඒවා දුඹුරු පාට වේ. මෙය දිලීර රෝගයකි. මෙම පුල්ලි රෝගය සියයට එකක් පමණ බෝ නොවිය හැකිය. මේ ආකාරයෙන්ම කහ අල වගාවේදී අල කුණු වීමේ රෝගය ද ඇති විය හැකිය. කඳේ පසට යටවන කොටසට ඇති වන මෙය ද දිලීර රෝගයකි. මේ නිසා පත්‍ර වියළී ගස කඩා වැටිය හැකිය. බීජ අල සිටුවීමට පෙර ජීවාණුහරණය කර සිටුවිය යුතුය. බීජ අල ඒ සඳහා තුනක මැන්කොබ් දිලීර නාශකයෙහි විනාඩි තිහක් පමණ ගිල්වා තබා පවනේ වියළා සිටුවීමෙන් හා මැක්කොසෙබ් දිලීර නාශකය ඉසීමෙන් රෝගය පාලනය කරගත හැකිය.

කහ පත්‍ර වියළී ගිය විට අල අවශ්‍ය ලෙසටම මෝරා ඇති බැවින් අස්වනු නෙළාගත හැකිය. ආදායම් මාර්ගයක් වශයෙන් කහ වගා කරන්නේ නම් අස්වැන්න ගලවා ගැනීමෙන් පසු වියළා ගැනීම ද ක්‍රමානුකූලව සිදු කළ යුතුය. පාත්තිවල පැළ සිටුවා මාස අටක් හෝ දහයක් පසු වූ විට අස්වැන්න නෙළාගත හැකිය. අස්වැන්න නෙළාගත් පසු පළමුව අල හා ඇඟිලි අලවල මුල් කැබලි හා පස් ඉවත් කර හොඳින් සෝදාගන්න. එසේ සෝදාගත් කහ අලවලින් අලය කෑලිවලට කපා ඇඟිලි අලවල සමඟ එකට සේ වෙන වෙනම හෝ තම්බා ගන්න. පසුව පොලිසැග් බෑගයකට කහ කැබලි දමා උතුරන වතුරෙහි විනාඩි විස්සක් හෝ තිහක් පමණ තැම්බීමට තබා පසුව පිටතට ගෙන ඒවා දිනක් පමණ මදපවනේ වියළීමට තබන්න. පසුව එසේ වියළීමට තැබූ කහ ටික ගෙන දින පහක් හෝ හයක් තද අවුවෙන් වියළා ගත යුතුය. මෙසේ වියළා ගැනීමෙන් පසුව කහ ඔප දැමීම සිදු කරනු ලබයි. ඒ පිරිසුදු ගෝනියකට කහ කැබළි දමා එම ගෝනිය බිම ගැසීමෙනි. එහිදී පිට පොත්ත ගැලවී බිම වැටේ ගෘහණියන්ට අත්‍යවශ්‍ය කුළුබඩුවක් වන කහ ඉහුම් පිහුම්වලට අනිවාර්යයෙන්ම යොදා ගනිති. රසායනික වශයෙන් ගතහොත් කහ රසායනික ප්‍රතිශක්තිකාරක ගුණයෙන් යුත් පොලිනොලීන ගණයට අයත් රුධිර ගත සීනි මට්ටම අඩු කිරීමට සමත් මහ ගුණයකින් සමන්විත වේ. එමෙන්ම ශරීරයේ මේද තැන්පත් වීම අඩු කිරීමට මෙන්ම ශරීර වර්ණයට ද බෙහෙවින් උපකාරි වේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.