වැස්සත් එක්ක හිස ඔසවන “ඩෙංගු” මර්දනය කරමු

නොවැම්බර් 20, 2020

වර්ෂාවත් සමඟ වේගවත් පැතිරීමක් සහිත රෝග අතරින් වැඩිම වර්ධනයක් පෙන්වන්නේ ඩෙංගු රෝගයයි. ඩෙංගු මාරාන්තික රෝගයක් ලෙස මේ වන විටත් රටවල් 105ක් පුරා සුලබව පැතිරී ඇත. දකුණු ආසියාතික රටවල් අතරින් බහුලවම ඩෙංගු රෝගීන් වාර්තාවීම විශේෂ තත්ත්වයකි.අපේ රටේ ද මේ තත්ත්වය බරපතළ ලෙස බලපායි.

ශ්‍රී ලංකාවේ පවතින්නේ “ඩෙංගු අධි වසංගත තත්ත්වයක්” බව ඉතාම පැහැදිලිය. ශ්‍රී ලංකාවේ මදුරු වර්ග 140ක් පමණ සිටින අතර “ඊඩීස් ඊජිප්ටයි” සහ ‘ඊඩිස් ඇල්බොජික්ටස්’ යන මදුරු විශේෂ දෙක ඩෙංගු රෝග කාරක වයිරසය සංසරණය සඳහා දායක වේ.

මදුරු දෂ්ට කිරීම් වලින් වළකින්න නම්,

නිදි යහන මදුරු දැලකින් ආවරණය කරන්න.

පැඟිරි තෙල් ආදි මදුරු විකර්ශක භාවිතා කරන්න

අත් පා හොඳින් ආවරණය වන ඇඳුම් භාවිත කරන්න

ඩෙංගු උණ වැලඳී ඇතැයි දැනගන්නේ කොහොමද?

ඩෙංගු උණ රෝගය ඩෙංගු රක්තපාත උණ දක්වා අවදානම් අවස්ථාවට ද පත්විය හැකිය. මෙම අවදානම් අවස්ථාව මුල් අවදියේදී සාමාන්‍ය උණ රෝගයෙන් වෙන්කර හඳුනා ගැනීම තරමක් අපහසුය. සාමාන්‍ය උණ තත්ත්වය ඉක්මනින් සුවවන අතරත් අවදානම ඉහළ යන්නේ කලාතුරකිනි. ඩෙංගු උණ තත්ත්වයකදී මෙවැනි ශාරීරික අපහසුතා සුලබව ඇතිවේ.

ඇස්යට වේදනාව, අධික හිසරදය, මස්පිඬු හා සන්ධි වේදනාව, ඔක්කාරය හා වමනය, රුධිර වහන තත්ත්වය (නාසය, විදුරුමස් වලින්) , සමෙහි රතු ලප ඇතිවීම

මෙම රෝගීන් තත්ත්වයන් ඇත්නම් වහාම රෝහල් ගත විය යුතුය. ඔබ ජීවත්වන ප්‍රදේශය අවටින් ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත්නම් ඔබට උණ තත්ත්වයක් ඇතිවී නම් දැඩි අවධානයෙන් පසුවිය යුතුය.

ඩෙංගු රක්තපාතය

මුල් කාලයේදී සාමාන්‍ය උණ රෝගියෙකු ඩෙංගු උණ රෝගියෙකුගෙන් වෙන්කර හඳුනා ගැනීම තරමක් අපහසුය. මේ නිසාම දින තුනකට වඩා උණ පවතී නම් රුධිර පරික්ෂාවක් සිදු කිරීමෙන් රෝගියා ඩෙංගු උණ රෝගියෙකු දැයි හඳුනා ගැනීම වෛද්‍යවරුන් විසින් සිදු කරයි. ඩෙංගු රක්තපාත උණ තත්ත්වයක් රෝගියාට වැලඳී ඇත්නම් රුධිර වාහිනී වලින් ප්ලාස්මා තරලය පිටවීමක් සිදු වේ. මෙවන් විට රෝගියා “ඩෙංගු කම්පන” තත්ත්වයට පත් වේ. ඩෙංගු කම්පන තත්වය ඇතිවීමට පෙර මෙවන් රෝග ලක්ෂණ පෙන්නුම් කරයි නම් රෝගියාට වැලඳී ඇත්තේ ඩෙංගු රක්තපාත තත්ත්වය බව නිශ්චය කළ හැකිය.

උදරයේ තදබල වේදනාවක් ඇතිවීම නොනවත්වා පවතින වමනය, අධික නොසන්සුන් බව, අධික අප්‍රාණික බව,අධික නිදිමත තත්ත්වය, විදුරුමස් වලින් හා නාසයෙන් රුධිරය වහනය වීම ,වමනය දුඹුරු පැහැයෙන් පිටවීම, මලපහ කළුපාටින් පිටවීම, පිටවන මුත්‍රා පැහැදිලි ලෙස අඩුවීම ,පැය හයකට වැඩි කාලයක් මුත්‍රා පහ නොවී තිබීම

ඩෙංගු රක්තපාත තත්ත්වයට පත්වීමට වැඩි අවදානමක් ඇති පුද්ගලයන්

ගැබිනි මව්වරුන්, වකුගඩු රෝගීන්, දියවැඩියා රෝගීන්, ළදරුවන්, වැඩිහිටි පුද්ගලයන්, ඇදුම රෝගීන්

වරක් ඩෙංගු සෑදී සුව වූ රෝගියෙකුට දෙවන වරටත් ඩෙංගු උණ ඇතිවුව හොත් එම රෝගියාට ඩෙංගු රක්තපාත තත්ත්වය ඇතිවීමේ අවදානම ඉහළය. මේ රෝගයේ ඇති භයානකකම එයයි. මේ අනුව ඩෙංගු රෝගය සමාජයෙන් මුලිනුපුටා දැමීමට උපරිම වශයෙන් අප කටයුතු කළ යුතුය.

ඩෙංගු රක්තපාතයෙන් ඇතිවන සංකූලතා

ඩෙංගු රක්තපාත උණ හා අසාමාන්‍ය ලෙස ඩෙංගු උණ අවදානම ඇති විට රෝගියාගේ මොළයට අහිතකර බලපෑම් ඇතිවිය හැකිය. එමෙන්ම වකුගඩු හා අක්මාව අකර්මණ්‍ය වීම ද මෙවැනි සංකූලතා උග්‍රවීමෙන් කලාතුරකින් රෝගියා මිය යාම ද සිදුවිය හැකිය. ඩෙංගු වයිරසය ශරීර ගතවූ අයෙකු ක්ෂණිකව රෝග ලක්ෂණ නොපෙන්වයි. බොහෝ විට මුල් දින කීපයේ සාමාන්‍ය උණ තත්ත්වයක් මෙන් පවතී. කලාතුරකින් අසාමාන්‍ය ඩෙංගු තත්ත්වය එකනම් ඩෙංගු රක්තපාත උණ (Dengue Haemorrhagic) ඇති විය හැකිය. ආසාදිත ඩෙංගු මදුරුවෙකු දෂ්ට කරන ඕනෑම පුද්ගලයෙකුට ඩෙංගු රෝගය ඇතිවීමේ අවදානම පවතී. පුද්ගලයෙකුගේ වයස හා සිරුරේ ප්‍රතිශක්තිකරණ ශක්තිය මත රෝගියා තුළ ඇති වන රෝගී තත්ත්වය වෙනස්වීමට ද ඉඩ ඇත.

ඩෙංගු රෝගියෙකුට සුදුසු ආහාරපාන

තැඹිලි වතුර, ජීවනී, කිරි, කැඳ වැනි සජලන (විජලනය වළකන) පානයන්

පලතුරු යුෂ, ග්ලූකෝස් දියරය , අර්ධ ඝන සැහැල්ලු ආහාර

නුසුදුසු ආහාර පාන

රතු, දුඹුරු පැහැයෙන් සිදුවන වමනය හා කළු පැහැ මලපහ හඳුනා ගැනීම අපහසු කරවන රතු හෝ දුඹුරු හෝ පාන වර්ග රෝගියාට නොදී සිටින්න. (කෝලා වර්ගයේ බීම වර්ග , බීට් ව්‍යංජනය , තද වර්ණ වල කෝඩියල් වර්ග ආදිය)

රෝගියා අනුගමනය කළ යුතු පිළිවෙත්

වෙහෙසකර කටයුතුවලින් බැහැර වී විවේකීව සිටින්න.

සැහැල්ලු පෝෂ්‍යදායි ආහාර වේලක් ගන්න.

උණ පාලනය කිරීමට නියමිත කාලසීමාව තුළ වෛද්‍ය උපදෙස් මත නියමිත මාත්‍රාවෙන් පැරසිටමෝල් ඖෂධය භාවිත කරන්න.

තදින් උණ පවතී නම් පිරිසුදු රෙදි කඩක් සිසිල් ජලයෙන් පොඟවා ඉන් රෝගියාගේ ශරීරය තවන්න.

රෝගය නිසැකවම හඳුනා ගත හැකි පරීක්ෂණය

ඩෙංගු රෝගය නිසැකවම හඳුනාගැනීමට Dengus Nsi rapid Antigen  පරීක්ෂණය යොදා ගනී. උණ රෝගියෙකුට පැය 14 -18 ක කාලයක් තුළ තද උණ පවතීනම් මෙම පරීක්ෂණය සිදු කිරීමට වෛද්‍යවරු නිර්දේශ කරයි.

මදුරුවන් බෝවීම වළක්වන්නට

වහලයේ වැහි පීලිවල හිරවී ඇති කොළ රොඩු ඉවත්කර ජලය නොරැදෙන සේ පිරිසුදු කරගන්න.

ගෙවත්තේ ජල ටැංකි,ජලජ මල් බඳුන්, ළිං ආදිය මදුරුවන්ට ඇතුළුවිය නොහැකි ලෙස සුදුසු දැල්වලින් ආවරණය කරන්න.

ඉවතලන ප්ලාස්ටික් බෝතල්, වීදුරු බඳුන්, ටින් ආදිය ප්‍රතිචක්‍රීකරණය සඳහා යොමු කරන්න. ප්‍රතිචක්‍රීකරණයට යොදා ගත නොහැකි බඳුන්වේ නම් මදුරුවන් බෝ නොවන ලෙස විනාශ කරන්න.

සතියකට වතාවක් හෝ ගෙවත්ත හා ගෙතුළ අහුමුලු හොඳින් පරික්ෂාවට ලක් කරමින් පිරිසුදු කරන්න.

මදුරුවන් බෝවිය හැකි පරිසර උපදවන ශාක වර්ග (ජලය රැදෙන) ගෙවත්තේ ඇත්නම් ගලවා විනාශ කරන්න.

 

උපදෙස්

වල්ගම රජයේ ආයුර්වේද රෝහලේ වෛද්‍යාචාරිනි

ධම්මිකා අමරසේකර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.