වසංගත රෝග සඳහා දේශීය පිළිවෙත් හා කෙම් ක්‍රම

නොවැම්බර් 20, 2020

කොරෝනා වසංගත රෝගය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයටවත් ප්‍රතිකාරයක් නොමැති මෙවන් අවධියක ආයුර්වේද වෙදකම හෝ දේශීය පාරම්පරික හෝ වෛද්‍ය කර්මවලින් ජනතාවට යම් ප්‍රතිඵලයක් ලබා ගත හැකි නම් අවස්ථාවේ හැටියට මහත් සහනයක් වනු ඇත. මෙහිදී වෛද්‍ය ක්‍රමය කුමක් දැයි තර්ක විතර්ක ගොඩනඟනවා වෙනුවට එය රෝගී තත්ත්වයට පිළිසරණක් වන්නේ නම් ඊට අනුකූලතාවය දැක්වීම සුදුසුය.

පුරාතනයේ සිට පැවත එන වසංගත රෝග සඳහා වත් පිළිවෙත් කෙම් ක්‍රම ඖෂධාදිය භාවිත කර ඇත. අපේ දේශයට අදාළ එවැනි ක්‍රම ඕනෑ තරම් ඇති බව පුරාණ පොත් පත් ඇසුරින් පෙන්වාදිය හැකිය.

විසාලා මහනුවර පැවති තුන්බිය දුරු කිරීම සඳහා රතන සූත්‍රය දේශනා කර තිබේ. යහපත් වචනයන්ගෙන් සැදි ශබ්ද රසය පවා ආනුභාව සම්පන්නය. පෙර රජ දවස යුද බිමට පිවිසි සියලු සේනාවන් විනාශ කිරීමට තෘණය, මර්‍ග¡ය, වෘක්ෂය, ජලය යනාදියට සතුරන් විිසින් විෂ යුක්ත කළ බවත් එයින් වන විනාශයෙන් ගැලවීම සඳහා ප්‍රතිකර්ම උපක්‍රම යෙදුණු බවක් දැක් වේ. දවුල් බෙර ආදියේ අනර්ඝ ඖෂධාදිය ගල්වා ඒවා වාදනය කෙරුණ බව ද සඳහන්ය.

එසේ නම් අපට යමක් සිතිය හැක. එනම් අප රටේ ද විෂ හා විෂබීජ හරණය කිරීමේලා දක්වා ඇති විශිෂ්ටත්වය කෙතරම් ද යන්නය. ලෝකයටම බෙහෙතක් නැති රෝගයක් හමුව ඇති මෙබඳු අවස්ථාවක පර්යේෂණ සඳහා කාලය හරස් වී ඇති නිසා (එවැනි පර්යේෂණ කරන සමතුන්ට ඉඩ දී) ශරීරයට අහිතකර නොවන අපට ආවේණික ක්‍රමෝපායන් යොදා ගැනීම වඩාත් සුදුසුය. ඒ සමඟ බටහිර වෛද්‍ය විද්‍යාවෙන් හඳුන්වා දී ඇති සෞඛ්‍ය ආරක්ෂණ විධි , නීති රීති වලට නිතැතින්ම අනුගත විය යුතුය.

වටිනා බෙහෙත් ගුලියක්

කොරෝනා රෝගය කතාබහට ලක් වූ මුල් අවස්ථාවේ (පසුගිය මාර්තු මස) මා සතුව තිබූ වට්ටෝරුවකට අනුව කැලණිය විෂ වෙද රෝහලේ නිෂ්පාදන අංශය තුළ අපගේ ශිෂ්‍යයින් හා වෛද්‍යවරුන් සම්බන්ධ කර ගනිමින් වසංගත රෝග බෝ නොවීම සඳහා වන අතේ බඳින වටිනා බෙහෙත් ගුලියක් සකස් කෙළෙමි. පර්යේෂණ තත්ත්වයක් අපට නැති වුව ද එක් එක් ඖෂධයේ අ ඩංගු ගුණාත්මකභාවය ගැන සැලකිල්ල දැක්වීමි.

ලහි ලහියේ සිදු කෙරුන මෙම කාර්යය මාර්තු 16 වන විට නිමකර එය බොහෝදෙනෙකු අතර බෙදා දුන්නේය. බෙහෙත් සකස් කරන අවස්ථාව පටිගත කිරීමට පැමිණි එක්තරා මාධ්‍යයකට මෙහි පහත සඳහන් ඖෂධාදිය පිළිබඳ කරුණු ප්‍රකාශ කළ අතර, අද වන විට පවතින තත්ත්වය යටතේ සුබසෙත පුවත්පතට ද එම විස්තරය සමඟ ඊටත් වැඩි යමක් ලියා එවීමට අදහස් කළෙමි.

ජ්වර හා සම්බන්ධ මැලේරියා රෝගය ගැන සලකා බැලීමේදී මැල්+ඒරියා යන ඉතාලි වචනයෙන් බිඳී ආ මැලේරියා රෝගයේ රෝග නිධානය හා ස්වරූපය සමහර ආයුර්වේද ග්‍රන්ථයන්හි මශක (මදුරු) දංශකයේ උපද්‍රව වලට ඇතුළත්ව ඇත. (එය ඇනෝප්ලීස් මදුරුවාගෙනි) රෝග සඳහා විවිධ නම් අපර දිගින් පැමිණිය ද උණ හෝ විෂමජ්වර හෝ පිළිබඳ දැඩි සැලකිල්ලට යොමු කරමින් කොරෝනාව හා සම්බන්ධ රෝග ලක්ෂණ අපේ මූලික ග්‍රන්ථයන්හි ඇතුළත්ව ඇත්දැයි සොයා බැලීමට ආයුර්වේදඥයින් උත්සුකවීම ද මේ වේලාවේ හැටියට ප්‍රඥාගෝචර වනු ඇත.

මෙහිදී කොරෝනා රෝගියකුගේ විවිධ ශාරීරික ක්‍රියා මගින් රෝගය බෝ වීමේ ඉඩකඩ කෙසේ දැයි සැලකිය යුතුය. මෙැවනි රෝගීන්ගේ මෘත දේහයන් පිලිස්සීම උචිත බව දැක්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ අදහසට එකඟවීම වඩාත් සුදුසු වන්නේය.

භාවිත කළ හැකි ක්‍රම

ගෙදර දොර සිටිමින් ඔබට භාවිත කළ හැකි ක්‍රමෝපායන් කිහිපයක් මෙසේය. අපෙන් බැහැරව ගොස් ඇති මේ දේවල් අලුත් අමුතු දේවල් ද නොවේ.

ඔබ පිරිසුදු වන්නා සේම ගෙදර දොර ද හොඳින් පිරිසුදුව තබා ගන්න. උදේ සවස මල් පහන් පුදා තම ආගමානුකූල කටයුතුවල යෙදෙන්න.

නිවසට දුම් ඇල්ලීමේදී කට්ට කුමන්ජල්, සාම්බ්‍රානි ආදියට පහත සඳහන් බෙහෙත් සියල්ල නැතත් තිබෙන හැටියකට එක් කරන්න. යකි නාරං කොළ, කොහොඹ කොළ, මාවී කුඩු, එල අබ කුඩු, කුඹුක් ගෙඩි, නැතිනම් පොතු කොටා ගත් කුඩ්ඩ, නිල් කටරොඩු මුල් දණ්ඩ සමඟ (කපා කොටා), දේවදාර කුඩා කැබලිවලට කපා යන මේවා පොල්කටු ගිනිඅඟුරුවලට දමා නිවසට දුම් අල්ලන්න.

වාෂ්ප දුම

ශරීරයට හිතකර වාෂ්ප දුමක්,

දෙහි, දොඩං ,නාරං , යකිනාරං පංචුරු යන මේවායින් හැකි දෙයක් දුම් පිට නොවන සේ තම්බා ප්‍රවේශමට මුහුණට එම වාෂ්පය අල්ලන්න. (නාසයෙන් දුම්, උරා කටින් පිට කරන්න) රෝගී ආශි‍්‍රතයින් මෙම දුම කොත්තමල්ලි තැම්බු වාෂ්පය සේ ශරීරයට ද අල්ලන්න.

(අප වෙදකමේදී කුඩා වේදුව වශයෙන් හඳුන්වනුයේ මෙම වේදුවයි)

අංකෙන්ද කොළ කිහිපයක් කුරුඳු පොත්තක්ද දමා තම්බා ගත් වාෂ්පය මුහුණට අල්ලා පෙර කී විධිය අනුගමනය කරන්න.

විශේෂයෙන් එක් අයෙකු පාවිච්චි කළ වේදුව තව අයෙකු පාවිච්චිය නුසුදුසු වන අතර, එය නැවත නැවත පාවිච්චියට ද සුදුසු නොවේ.

කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උණට මෙතෙක් කල් භාවිත කරන ලද ඉඟුරු, කොත්තමල්ලි, වෙනිවැල්ගැට ආදිය ද හැකිනම් තිප්පිලි කුඩු ස්වල්පයක් (බොන වෙලාවට) මිශ්‍ර කර බොන්න.

කැඳ වර්ග

කැඳ වර්ග අතරින් මා වී හාල් හෝ හීනැටි හාල් හෝ නැතිනම් රතු කැකුළු හාල් හෝ යොදා යකිනාරං කැඳ සාදා බොන්න. මාවී විළඳ තම්බා කැඳ සාදා බොන්න.

යකිනාරං කොළ දුමද හම මතුපිට හටගත් විෂ සහිත රෝගවලට ශ්‍රේෂ්ඨය.

එළබටු කොළ ද, මොණරකුඩුම්බිය ශාකයද එසේම කැඳ සාදා බොන්න.

මොණරකුඩුම්බිය යනු ප්‍රතිශක්තිකරණ ඇති කිරීමේ හැකියාව ඇති ප්‍රබල ගණයේ ඖෂධයකි.

මොණරකුඩුම්බිය ව්‍යංජනයක් වශයෙන් සාදා දරුවන්ට කෑමට දීමට එකල මව්වරු පුරුදුව සිටියහ.

ඔබ ගන්නා ආහාර අතරට හැකියාව ඇති පරිද්දෙන් එළබටුගැට, පොළොස් මාළුව (තුන් දොස් සමනය කරයි) ලුණුවිල ව්‍යංජනය (ලුණු නොදමා) සකසා ගන්න.

පැසුණු ඇඹුල් කෙසෙල් ගෙඩි ව්‍යංජනය හා පලා ජාති අතුරින් ගොටුකොළ, කරකොළ කිරිමදු කොළ, අගුණ කොළ, පෙති තෝර කොළ, රණවරා කොළ ආදි කොළ වර්ග සුදුසුය.

ඔබ ගන්නා පලතුරු අතරට දෙහි නාරං වැනි පාන වර්ග ද ලුණු ස්වල්පයක් දමා බීම සුදුසුය.

දින දෙක තුනකට වරක් වත් තැම්බුම් හොද්දක් සමඟ බත් ආහාරයට ගැනීම මෙබඳු අවස්ථාවලදී උචිතය.

කුඹුරු වැලකින් උඩ සිට පහතට ගලවා ගත් පොත්ත වළල්ලක ආකාරයට අතේ පලඳින්න. (කෙමක් වශයෙන් භාවිතා වන නිසා පොත්ත ගැලවීමේදී කතා නොකර එය කරන්න)

නික කොළ අතට ගෙන පොඩි කර එය සිඹින්න. බෙහෙත් ද්‍රව්‍ය සිඹීමෙන් සමහර රෝග සමනය කර ගැනීමේ හැකියාව ඇත. යකිනාරං ශාකය උපයෝගී කර ගනිමින් කළ හැකි ප්‍රතිකාරයන් තුළින් ලැබූ විශිෂ්ට ගුණ අප විසින් දහස්වර අත්දැක ඇත. සම මතුපිට විෂබීජහරණය කිරීමේහිලා අධික ගුණයක් මෙම කොළ තුළ පවතී.

මා වී ගැන සඳහන් කිරීමේදී විවිධ රෝග සමනය කොට ශරීරය ශක්තිමත් කිරීමේ ගුණය මා වී සහලින් ලබා ගත හැක. එසේම මාවී කෙටූ ( වී පොත්ත ඇතුළත්) කුඩ්ඩ විෂබීජහරණයේලා උතුම් වන්නේය. සර්ප දෂ්ටයන්ගෙන් පීඩිත රෝගී නිවෙස් තුළ මාවී කුඩ දුම් ඇල්ලීමට අප විසින් නියම කරනුයේ එහි ඇති ප්‍රබල විෂබීජනාශක ගුණය ගැන කාලාන්තරයක සිට අප හොඳින් අධ්‍යාපනය කර ඇති බැවිනි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.