කුඹුරුවල, නියරවල හා ජලය රැඳෙන ස්ථානවලින් වැළඳිය හැකි

මී උණ හෙවත් ලෙප්ටොස්පයිරෝසිස් (Leptospirosis)
ඔක්තෝබර් 30, 2020

 විශේෂයෙන් කුඹුරු වැඩ කරන අය ආරක්ෂාකාරිවීම වැදගත්ය. නිරන්තරයෙන්ම තෙත සහිත හා මඩ සහිත පොළොව ආශි‍්‍රතව අපිරිසුදු ජලය පෑගෙන අය ද ප්‍රවේසම් වීමට වග බලා ගත යුතුය. වගා වැඩෙහි හා කුඹුරුවල නිරත ගොවි මහතුන් බොහෝදෙනෙකු බුලත්විට සැපීමෙන් පසු දියකඩිතිවලින් කට සෝදා මුහුණ හා ඇඟපත සෝදා ගැනීමට පුරුදුව සිටිති. එය ඉතා අනතුරුදායක බැවින් එම පුරුදුවලින් ඉවත්ව සිටීමට තරයේ සිතට ගත යුතුය.

වැසි කාලයේදී බෙහෙවින් පැතිර යන මී උණ හෙවත් කුඹුරු ආශි‍්‍රත ගම්බද වාසීන් විසින් හඳුන්වනු ලබන වෙල් උණ හෙවත් මඩ උණ රෝගය සතුන්ගෙන් මිනිසාට බෝවන රෝග කාරකයකි. එය වෛද්‍ය විද්‍යාත්මකව හඳුන්වා ඇත්තේ ලෙප්ටොස්පයිරෝසිස් යනුවෙනි.

කුඹුරු හා ආශි‍්‍රත වගා කටයුතුවල යෙදෙන හා ඇළදොළවල ,කුණු ගොඩවල, පතල්, මැණික් පතල් අතහැර දමා ඇති වැලිගොඩ දමන ස්ථාන ආශි‍්‍රත තැන්වල ජලය එකතුවන තැන්වල ජලයේ මත්ස්‍ය රැකියාවල නියුතු අය ද මෙම රෝගයට ගොදුරු වේ. මෙවැනි ස්ථානවල බොහෝවිට මීයන්ගේ මුත්‍රා තිබෙන්නට හැකිය. මීයන්ගෙන් පිටවන මුත්‍රාවල තිබෙන බැක්ටීරියාව ශරීරයට ඇතුළුවීමෙන් මී උණ වැළඳේ. මිනිස් සිරුරට මෙම විෂබීජය බෙහෙවින් ඇතුළුවන්නේ පාද මගිනි. පා ආවරණ නොමැතිව මෙවැනි දියකඩිතිවල බැස සිටින අයට මී උණ වැළඳිය හැකිය. තමන්ගේ පාදවල සුළු හෝ සිරීමක් ඇතිවුවහොත් ඒ හරහා මෙම බැක්ටීරියාව ශරීරගත වේ. ගංවතුර තත්වයෙන් පසුවද මී උණ වසංගත තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතී.

රෝග කාරක බැක්ටීරියාව ස්පයිරෝකීටාවන් ශරීරගත වී දින හතක් හෝ දාහතරක කාලයක් තුළ රෝග ලක්ෂණ මතුවේ. ආසාදිත වූවන්ගෙන් බොහෝදෙනෙකුට කිසිඳු රෝග ලක්ෂණයක් නොමැතිව මෙම ආසාදනයෙන් පසුවිය හැකි වීම විශේෂයකි. මෙහි රෝග ලක්ෂණ අතර, අධික හිසරදය, උණ, ඇස් රතුවීම, මස්පිඩුවල වේදනාව , කෑම අරුචිය සහ තෙහෙට්ටු ගතිය ප්‍රධාන වශයෙන් පෙන්නුම් කෙරේ. මීට අමතරව අක්මාව හා වසා ග්‍රන්ථි ඉදිමීමත්, සමේ ලප මතුවීමත් ,පලු දැමීමත් ඇති වේ. එය සිදුවන්නේ බැක්ටීරියා ශරීරගත වී රුධිරය තුළ ගණනය වීමෙන් පසුව අරම්භ වන ප්‍රථම ලක්ෂණ තුළදීය. රෝගය උත්සන්න වී ඇති අවස්ථාකදී මුත්‍රා පිටවීම අඩු වේ. වකුගඩු අකර්මන්‍ය වේ.අක්මාව අකර්මන්‍ය වේ. රෝගය ගැන සැකයක් ඇතිවූ වහාම ප්‍රතිකාරවලට යොමු විය යුතුය.

මීයන් ගැන නොදන්නා කෙනෙකු නැත. ඒ වැඩි වශයෙන් ගෘහ ආශි‍්‍රතව හා වගා බිම්වල වාසය කරන බැවිනි. මීයන් සපා කෑමෙන් උග්‍ර විෂක්, ශරීරගත වේ. මී උණ මෙන්ම මහාමාරිය බෝවන්නේ ද මීයන්ගෙනි. විෂ වෛද්‍යානුකූලව මීයන්ගේ ප්‍රබේද දහඅටක් ඇති බව පෙන්වාදී ඇත. ඒ සැම අංශයකින්ම සඳහන් කොට ඇත්තේ මීයා උග්‍රවීෂ සහිත බවයි. එබැවින් මීයන් ගැවසෙන ස්ථාන ගැන වඩාත් විමසිලිමත් විය යුතුය. වර්ෂාව අධික කාලයේදී ගංවතුර ඇතිවන අවස්ථාවලදී පරිසරයට රෝගකාරක බැක්ටීරියාව මුදා හැරීමට ඇති ඉඩකඩ වැඩි බැවින් වතුර පවතින බැස නොයා එක්වී තිබෙන හා ගංවතුරෙහි වැඩි වේලාවක් සිටීමෙන් වැළකී සිටිය යුතුය. මී උණ වළක්වා ගැනීමට කුඹුරු අවට මීයන් ගැවසෙන ස්ථාන සොයා බලා ශුද්ධ පවිත්‍ර කළ යුතුය.

පුරන් වූ කුඹුරු යළි ගොවිතැන් කිරීමට සකස් කිරීමේදී කුඹුරට බහින්න පෙර ඒවායේ මී ගහනය නැති කිරීමට කටයුතු කළ යුතුය. කුඹුරේ පමණක් නොව කුඹුර අවට ද පරිසරය ශුද්ධ පවිත්‍ර කොට බිම් ගුල් වසා දැමිය යුතුය. එමෙන්ම කුඹුර ආශි‍්‍රතව ගොඩගසා තිබෙන කොළරොඩු කලක් ගත වී දිරපාත්ව තෙත ගතියෙන් පවතීනම් ඉතා ප්‍රවේසමෙන් ඒවා ඉවත්කර සකස් කළ යුතුය.

සීරීම් හා තුවාල ඇති අය කුඹුරු වැඩ කිරීමේදී වඩාත්ම ආරක්ෂකාරි විය යුතුය. උදැල්ලෙ මිටේ අපිරිසුදු ජලය හා මඩ තැවරී ඇති විට උදැල්ල කර මත උරේ තබාගෙන යෑමෙන් හා අතින් අපිරිසුදු උදැල්ල අල්ලාගෙන යෑමෙන් වැළකිය යුතුය.කුඹුරු වැඩ කරන, වෙනත් වගාවන්හි නිරතවන, කුණුූ කසළ ඉවත් කරන, මාර්ග කානු පද්ධතිය පිරිසුදු කරන, වැලි ගොඩ බාන වෘත්තියේ යෙදී සිටින පොකුණූු, වැව්, ඇලමාර්ග පිරිසුදු කරන අතහැර දැමු මැණික් පතල් ආශි‍්‍රතව වැඩ කරන, සත්ව ගොවිපළවල වැඩ කරන වැව් ඇළ දොළහි මාළු කර්මාන්තයේ යෙදී සිටින පිරිස්වලට මේ රෝගය බෝවීමට බෙහෙවින් ඉඩ ඇත. සමේ සිරීම් තුවාල මඟින් මෙන්ම ඇස්, කන්, නාසයේ හෝ මුඛයේ ශ්ලේෂ්මල පටල ඔස්සේ ද මේ වෛරසය ශරීරගත විය හැකි බව වෛද්‍ය පර්යේෂණ මඟින් පෙන්වා දී ඇත.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.