නව යොවුන් වියේ දරුවන් ප්‍රවේශම් විය යුතු රෝග

ඔක්තෝබර් 23, 2020

නිරෝගී ජන සමාජයක උරුමයේ මුල් පුරුක් අප නිරෝගි දරු දැරියන් ය. එනිසා ඔවුන් කායික මානසික රෝගවලින් ප්‍රවේශම් කරගත යුතුය. රටක ප්‍රධානතම සම්පත ඔවුන්ය.

ඔවුන්ගේ කායිකව වෙනස්වීමත් සමඟ ඔවුනට මුහුණ දීමට සිදුවන කායික ගැටලුවලට නිසි විසඳුමක් සොයා ගැනීමට නොහැකි වූ විට ඔවුන් මානසික ගැටලු තත්ත්ව වලට ද පත්වන අවස්ථා ඇත.

වැඩිහිටියන් වශයෙන් ඔවුන් මෙ වැනි තත්ත්ව වලින් වළකා ගැනීම අපේ යුතුකමකි. මෙවැනි දේ අපට ජීවිතයේ සාමාන්‍ය දෙයක් වුවද යොවුන් වියේ පසුවන අයට මෙය විශේෂ දෙයකි. මොවුන්ට ශාරිරිකව හා මානසිකව ඇතිවන පීඩාවලට උපදෙස් ලබා ගන්නේ එය පිළිබඳ නිසියාකාර දැනුමක් නොමැති අයගෙන් විය හැක. ඔවුන්ගේ වැරදි උපදෙස් නිසා මොවුන් අපහසුතාවයට ගොදුරු වන අවස්ථා බොහෝය.

අප ප්‍රධාන වශයෙන් දැනගත යුත්තේ බෝවන රෝග, බෝ නොවන රෝග අතර, අප විසින් සාදාගන්නා රෝග බොහොමයක් අද සමාජයේ ඇති බවයි. බොහෝ දුරට එසේ සිදු වන්නේ ඒ පිළිබඳ නොදැනුවත්කම මෙන්ම ඒ පිළිබඳ උපදෙසක් ගැනීමට අයෙකු නොමැති වීමය.

දිනපතා ස්නානය, පිරිසුදු ඇඳුම් පැළඳුම් ප්‍රමාණවත් ජලය පානය, පෝෂ්‍යදායි ආහාර, ප්‍රමාණවත් නින්ද, හිතේ සන්සුන්භාවය සුළුවෙන් හෝ ව්‍යායාම වල යෙදීම නිරෝගී භාවයේ ප්‍රධානතම සාධක වේ. අහිතකර ආහාරපාන, මත්ද්‍රව්‍ය, නොගැලපෙන ඇඳුම් පැළඳුම්, අනවශ්‍ය ලිංගික ක්‍රියා, විකෘති මානසික සිතුවිලි, අනිසි සැක බිය ඔබ නොදැනීම රෝගී වීමට ඉවහල් වන හේතුන්ය.

අද බොහෝ විට රසය ගැන පමණක් සිතා ආහර අනුභව කිරීමට, බොහෝ දරුවන් පුරුදු වී ඇත. දේශීය ආහාර, වර්ග, පලතුරු වර්ග, පලා වර්ග, අනුභව කිරීමට වඩා පිටි , සීනි මිශ්‍ර තෙලෙන් බැද, කෘත්‍රිම දේ යෙදු අහිතකර ආහාර වර්ග වලට වැඩිපුර දරුවන් යොමු වී ඇත. එනිසා වයස් ගත වීමටත් පෙර රුධිරයේ කොලෙස්ටරෝල්, අධි රුධිර පීඩනය, දියවැඩියාව, උදර රෝග, අධි ස්ථූලතාවය ආදිය ඔවුන්ට අඩු වයසේදීම වැළඳිය හැක. මේ සියල්ල ඔබේ ආහාර නිසා ඔබ ඇතිකරගත් රෝගය, එනිසා සමබර ආහාර වේලක් ගැනීමට පුරුදු වීම, රසකාරක යෙදූ ආහාර, පිටි, සීනි, තෙල් මිශ්‍ර ආහාර වැඩිපුර නොගැනීම ඔබේ නිරෝගීකමට හේතු විය හැක.

පාසල් දරුවා පවා අද මත්ද්‍රව්‍ය වලට නැඹුරු වී ඇත. මේවා ඔවුන් අතට පත් කිරීමට උදව් උපකාර කරන සියලු දෙනාම මේ පිළිබඳ වගකිව යුතුයි. නොදන්නා දරුවන් මේවාට ඇබ්බැහි කිරීම විශාල හානියකි. ඔබ එය තුළින් මොන තරම් මුදල් සම්භාරයක් එකතු කළ ද ඔබට එයින් වැඩක් හෝ සතුටක් නොවනු ඇත. එය අනාගත පරපුරට විශාල හානියකි. රටට සම්පතක් අහිමි කිරීමකි. එනිසා ඔබ මොන තරම් ධනයක් ලැබුව ද දරුවන් මතට පුරුදු කිරීම විශාල පාපයකි. දරුවන්ගේ අධ්‍යාපනය අඩාල වීම, මව්පියන්ට කරදර හිරිහැර සිදු වීම ඔවුන්ගේ අනාගතය අඳුරුවීම පමණක් නොවී මුළු පවුලටම විනාශයක් මෙයින් සිදුවිය හැක. මේ තත්වය අද අප රට තුළ ද බොහෝ සිදුවී ඇත. එසේම සමහර දරුවන් මේ තත්ත්වයෙන් ගලවා ගැනීමට නොහැකි තත්වයක පසුවන අවස්ථා ද ඇත. එනිසා අද යොවුන් වියට පත්වන දරුවන් බොහෝ කල්පනාකාරිව තමාගේ මානසික කායික සතුටක් ලැබීම යැයි සිතා මත්ද්‍රව්‍යවලට හුරුවීම ඔබටත් ඔබේ පවුල්ටත් මෙන්ම මුළු රටටම විශාල විනාශයකි. එනිසා මත්ද්‍රව්‍ය වලින් වැලකී සිටීමට සිත තබා ගත යුතුයි. දුම් වශයෙන්, කුඩු වශයෙන්, දියර වශයෙන්, ටොෆි චොක්ලට් වශයෙන් තවත් නානාවිධ ක්‍රමවලට මෙන්ම සමහර රෝගවලට භාවිත කරන ඖෂධ පවා මත් වීම සඳහා අද දරුවන් භාවිත කරන බව නොරහසකි. එසේම මේවා නොමැති විට දුම්කොළ හා හුණුූ යොදාගෙන මුඛයේ තබා මත් ගතියක් ඇති කර ගැනීමට වෙර දරන සමහර දරුවෝ සිටිති. මේවායේ භයානක තත්වය ඔවුන් නොදනී. මුඛ පිළිකාවට ඔබ සැරසෙන අවස්ථාවන් මෙය විය හැකි බව ඔවුන් නොදනී. එනිසා අද ලබන පොඩි සතුට අනාගතය අඳුරු කර සියලු දුක ඔබට හිමි කරදෙන මතක තබාගත යුතුය. එනිසා මත්ද්‍රව්‍ය ගැනීමේදී තරුණ වියට පා තබන ඔබ බොහෝ කල්පනාකාරි විය යුතුය. වාසනාවන්ත රටක අනාගතය බාරගන්නට ඇත්තේ ඔබය. ඔබ රැකගත යුතුය. එනිසා කායික, මානසික රෝගී නොවී නිරෝගී ජන සමාජයක උරුමය ඔබ බව සිතාගත යුතුය.

ඇඳුම් පැළඳුම් වල ද අද බොහෝ විලාසිතා ඇත. නොයෙක් වර්ග වල රෙදි වර්ගවලින් නානාවිධ ක්‍රමයට නිම කළ ඇඳුම් බොහෝය. එනමුත් අප ශරීරයට, අප රටේ දේශගුණයට ගැලපෙන අයුරු ඇඳුම් භාවිත කිරීම ඉතාම උචිත ය. සමහර විට උදේ පාන්දර සිට රාත්‍රී 8,9 වනතුරුත් ඇඳගෙන සිටීමට සිදුවන අවස්ථා ඔබට ඇත. ඒ නිසා විශේෂයෙන් තද යට ඇඳුම් කෘත්‍රිම රෙදිවලින් මිශ්‍රකර සෑදූ ඇඳුම් භාවිත කිරීම ඔබ රෝගවලට යොමු කිරීමක් විය හැක. කෘත්‍රිම යට ඇඳුම් බොහෝ වේලාවක් ඇඳගෙන සිටීම මදසරු භාවයට පත් වීමට පවා හේතුවිය හැක. මේ හේතූන් නිසා ප්‍රජනන පද්ධතියට, මුත්‍ර වාහිනි පද්ධතියට බලපෑම් ඇතිවිය හැකි අවස්ථාද ඇත. එනිසා ඔබේ ශරීරයට හිතකර දහඩිය උරා ගන්නා ඇඳුම් බොහෝ වේලාවක් ඇඳගෙන සිටීම බොහෝ රෝගවලින් වැළකීමට හේතුවක් විය හැක. නව යෞවනියන්ට වැඩිවියට පැමිණීමට පෙර හෝ පසු ඇතිවන විශේෂ ගැටලු අවස්ථාවකි සුදයාම, මෙය රෝගයක් නොවේ සාමාන්‍ය දෙයකි. එනමුත් මෙය කාලයක් පැවතීම නිසා දුගඳක් මෙන්ම පැහැයේ වෙනසක් ඇතිවුවහොත් එය රෝග කාරකයක් විය හැක. ඒ සඳහා වෛද්‍ය උපදෙස් පැතීම බොහෝ සුදුසුය. නැතිනම් හන්දි වේදනාව මුත්‍රා දාහය, ශරීරයේ දුර්වලතාවය, දැවිලි මෙන්ම ස්ත්‍රී ප්‍රජනන ඉන්ද්‍රියට බලපෑම් ඇතිවිය හැක. එනිසා ජලය පානය, අපත්‍ය ආහාර නොගෙන සිටීම, පිරිසුදු හා ජලය උරා ගන්නා යට ඇඳුම් භාවිතය නිතර පිරිසුදුව සිටීම මේවායින් වැළකී සිටීමට හේතුවිය හැක.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.