පියයුරු පිළිකාව

ඔක්තෝබර් 16, 2020

ඔක්තෝබර් මාසය විශ්ව පියයුරු පිළිබඳ දැනුවත් කිරීමේ මාසය ලෙස නම් කර ඇත

අර්තවහරණය පසු අධික ලෙස තරබාරු වීම, ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන් හෝමෝන ප්‍රතිස්ථාපන දිගු කාලිනව ලබා ගැනීම දුම්බීම ,ව්‍යායාම්වල නොයෙදීම, මද්‍යසාර පානය අනවශ්‍ය ලෙස විකිරණ සඳහා නිරාවරණය හා තම සිඟිති දරුවන්ට මව්කිරි ලබා නොදීම ආදි ක්‍රියාවන් නිසාද පියයුරු පිළිකාව වැලඳීමට වැඩි ඉඩක් පවතී.

ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට වැලඳෙන පිළිකා අතරින් බහුලම පිළිකාව පියයුරු පිළිකාවයි. ඒ පිළිකාවලින් සියයට විසි පහක්ම පියයුරු පිළිකායි. පියයුරු පිළිකාව මාරාන්තික වුවත් කල්තියා හඳුනාගෙන ප්‍රතිකාර කළහොත් සම්පූර්ණයෙන්ම සුවපත් කරගත හැකිය.

පියයුරු පිළිකාව වැලඳීමට හේතුවන්නේ ජානවල සිදුවන යම් යම් අසාමාන්‍ය තත්ත්වයන් හේතුවෙනි. පියයුරුවල ගැටිත්තක් ඉදිමීමක් හැඩයේ වෙනසක් හෝ පෙනුමේ වෙනසක් ,තණපුඩුවක් ගිලී යාමක් හෝ පියයුරුවල වළ ගැසීමක් පියයුරු මතුපිට සම තුළ දදයක් ,තුවාලයක්, දොඩම් ලෙල්ලක පෙනුමක්, තණ පුඩුවෙන් කිරිනොවන ශ්‍රාවයක් පිටවීම හෝ පියයුරෙන් දැනෙන අසාමාන්‍ය වේදනාවක් හෝ දැනෙන්නේ නම් ලැජ්ජාවට එය සඟවාගෙන නොසිට වෛද්‍යවරයකුට දැන්විය යුතුය.

පියයුරු පිළිකාවක් වැලඳීමට හේතු වන්නේ ස්ත්‍රියක් වීම, වයස්ගත වීම, ලේ නෑයෙකුට හෝ ඩිම්බ කෝෂ පිළිකා වැලඳී තිබීම යන කරුණුද අයත් වේ. ඊස්ට්‍රජන් හොමෝනයට දීර්ග කාලයක් නිරාවරණය වීම අවුරුදු දොළහට ප්‍රථම වැඩිවියට පැමිණීම හෝ අවුරුදු පනස්පහ පසුවන තුරු ආර්තවහරණය සිදු නොවීමත්ය. මේ අතර ප්‍රවේණික හේතුවලින් පියයුරු පිළිකාව ඇතිවෙන්නේ සියයට පහක්, දහයක් අතර සංඛ්‍යාවකටය. මින් වැඩි සංඛ්‍යාවක් අයහපත් චර්යා සහ පාරිසරික හේතුන් මත පිළිකාව ඇතිවේ.

අවුරුදු විස්සට වැඩි සෑම කාන්තාවක්ම මාස තුනකට වරක්වත් ස්වයං පියයුරු පරීක්ෂාවක් මගින් තමන්ගේ පියයුරුවල මෙහි සඳහන් කොට ඇති වෙනස්කම් ඇද්දැයි පරීක්ෂාකර ගත යුතුය. එසේ සොයා බැලීමේදී පියයුරෙහි යම් වෙනසක් ඇති බව පෙනී ගියේ නම් බලා නොසිට පවුල් සෞඛ්‍ය නිලධාරිනියකට, වෛද්‍යවරයෙකුට හෝ සුවනාරි සායනයකට යෑමෙන් අවශ්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබා ගත හැකිය. පියයුරුවල යම් විදියකින් පිළිකා තත්වයක් පැවතියේ නම් එයට නිසි ප්‍රතිකාර නොකළේ නම් පසුව එය ශරීරය පුරා විහිදී යන ඉතා භයානක පිළිකාවක් බවට පත්වේ. සෑම කාන්තාවකටම තම පියයුරු ස්වයං පරීක්ෂණයකට ලක්කොට එහි පවතින තත්වය මැනවින් තේරුම් ගත හැකිය. කැඩපතක් (මුහුණ බලන කණ්ණාඩියක්) ඉදිරියට ගොස් අත් දෙක දෙපසට තබා ගෙන කණ්ණාඩියෙන් පියයුරු දෙස බලන්න. නැවත අත්දෙක හිසට උඩින් තබාගෙන ඔසවාගෙන බලන්න. නැවත අත් දෙක ඉග මත තබාගෙන පෙර මෙන්ම කණ්ණාඩියෙන් පියයුරු බලන්න. පියයුරක වළ ගැසීමක් පියයුරේ හැඩයේ වෙනසක් තන පුඩුවේ වෙනසක් පියයුරක එම දොඩම් ලෙල්ලක් මෙන් වෙනස් වීමක් හෝ පෙනේනම් එමෙන්ම පියයුරක ගැටයක් වගේම පියයුරෙහි සමට යටින් ගනවීමක් හෝ තිබේ දැයි හොඳට බලන්න.

අතේ ඇඟිලි එක්කොට ඇඟිලිවලින් පියයුර පිරිමදිමින් පරීක්ෂා කිරීමෙන් පියයුරෙහි සමට යටින් පවතින වෙනස්වීමක් වෙතොත් තේරුම් ගත හැකිය. වම් අත දකුණු පියයුරටත් ,දකුණු අත වම් පියයුරටත් තබමින් එම පරීක්ෂණය සිදු කළ හැකිය. පියයුර පිට පැත්තේ සිට තනපඩුව දක්වා අත තද කරමින් පරීක්ෂා කරන්න. මහපටඟිල්ල හා දබරැඟිල්ලෙන් තනපුඩුව සෙමින් මිරිකා ලේ හෝ වෙනත් දියරයක් පිටවේදැයි බලන්න. නාන විටදී මෙන් ඇඳක හාන්සි වී පියයුරු හොඳට පරීක්ෂා කරන්න. දකුණු උරහිසට යටින් කොට්ටයක් තබා දකුණු අල්ල මත හිස තබාගෙන වම් අතින් දකුණු පියයුර පරීක්ෂා කරන්න. පසුව වම් උර හිස යටින් කොට්ටය තබා වම් අල්ල මත හිස තබාගෙන දකුණු අතින් වම් පියයුරද පරීක්ෂා කරන්න. සෑම මසකටම වරක් මාස් ශුද්ධියෙන් සතියකට පසු ද මාස් ශුද්ධිය නතරවූ අය මාසේ නියමිත කිසියම් දිනකද පියයුරු පරීක්ෂා කිරීමට අමතක නොකරන්න.

අර්තවහරණය පසු අධික ලෙස තරබාරු වීම, ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන් හෝමෝන ප්‍රතිස්ථාපන දිගු කාලිනව ලබා ගැනීම දුම්බීම ,ව්‍යායාම්වල නොයෙදීම, මද්‍යසාර පානය අනවශ්‍ය ලෙස විකිරණ සඳහා නිරාවරණය හා තම සිඟිති දරුවන්ට මව්කිරි ලබා නොදීම ආදි ක්‍රියාවන් නිසාද පියයුරු පිළිකාව වැලඳීමට වැඩි ඉඩක් පවතී. මෙහි පෙර සඳහන් කරන ලද පිළිකා රෝග ලක්ෂණ ඇතත් නැතත් වැඩි සෞඛ්‍යාරක්ෂාව සඳහා ඔබේ පියයුර ඔබම පරීක්ෂා කරගන්න එක වඩාත්ම සුදුසුය. වයස අවුරුදු විස්සටත්, හතළිහටත් අතර කාන්තාවන් මාස තුනකට වරක්වත් කණ්ණාඩියක් ඉදිරියට ගොස් නිදහස්ව පියයුරු පරීක්ෂාවේ යෙදෙන්න. විශේෂයෙන් වයස අවුරුදු හතළිහට වැඩිනම් තමා විසින්ම තම පියයුරු පරීක්ෂා කිරීම වඩාත්ම වැදගත්ය.

අද සමාජයේ පවතින කාර්ය බහුලත්වය නිසාත් ගෙදර දොර හා දරුවන්ගේ කටයුතු නිසාත් බොහෝ කාන්තාවන්ට සෞඛ්‍යාරක්ෂිත විධි පිළිබඳව අවදානය යොමු කිරීමට පවා අවස්ථාවක් නොලැබේ. සමහරු සාමාන්‍ය අසනීපයකට පවා වෛද්‍ය උපදෙස් නොලබා තම හිතුමතේට යම් යම් බෙහෙත් වර්ග පාවිච්චි කිරීමටද පුරුදුව සිටිති. මෙසේ හිතුමතේට ප්‍රතිකාර ලබා ගැනීම එක් රෝගයකට නොව රෝග කීපයකටම හේතු විය හැකිය. මේ පුරුදු එතරම් සුදුසු නැත. සුළු අසනීපයකදී වුවත් වෛද්‍යවරයකු වෙත ගොස් ප්‍රතිකාර ලබා ගත යුතුය. රැකියාවට ගොස් නිවසට ආ විගසම තද හිසේ කැක්කුම තුනටියේ වේදනාව කියමින් නිදා සිටීමට සමහරු පුරුදුව සිටිති. එසේ දිගින් දිගටම ඇතිවීම වෙනත් රෝගාබාධ හට ගැනීමට හේතුවකි. දේශගුණික වෙනස්වීම් මෙන්ම වයිරස් මගින්ද හටගනු ලබන රෝගාබාධ වැඩි වෙමින් පවතී. මේ නිසා හැම දෙනාම තම සෞඛ්‍ය ගැන සිතා නිරෝගිතාවය ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ යුතුය. කලක සිට පැවැත එන කැස්ස, කටහඬ වෙනස් වීම, සුව නොවන තුවාලයක් තිබීම ඉන්නෙක් ලපයක් ඇතිවීම, යෝනි මාර්ගයේ අක්‍රමවත් ලේ හෝ ස්‍රාවයන් පිටවීම, මළ මුත්‍රා පිටකිරීමේදී වෙනසක් දැනීම, මළ මුත්‍රා සමඟ ලේ යෑම, කල්ගත වූ අජීර්ණ තත්වයක් තිබීම, ගිලීමේ අපහසුතාවයක් ඇතිවීම ආදී ලක්ෂණ පිළිකා තත්ත්වයක් විය හැකිය. මෙවැනි ලක්ෂණ කාන්තාවන්ට පමණක් නොව පිරිමින්ට ද ඇතිවිය හැකිය.

 

මොනරාගල සිරිගල ආයුර්වේද වෛද්‍ය

මැණික් නේරංජනා හෙට්ටිආරච්චි

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.