රත ගාය හා බැඳුණු රත කල්කය

ඔක්තෝබර් 9, 2020

ළදරුවන්ට හෙවත් බාලයින්ට හට ගන්නා රෝග බාල රෝග වන අතර, ඉන් ප්‍රමුඛස්ථානයක් රතගායට හිමිවේ. දේශීය වෛද්‍ය ක්‍රමයේ රත ගායට විශේෂත්වයක් හිමිවනුයේ කිරි දරුවන්ට පීඩා ගෙන දෙන රෝගයක් වන බැවිනි. 

රත යනු රුධිරයයි. ගාය යනු වේදනාවයි. රක්තය දූෂණය වීම හේතු කොට ගෙන ඇතිවන්නා වූ රෝගය රතගාය නම් වේ. ශරීරයේ රතු පැහැ බිබිලි මතුවීම, දැවිල්ල, ඉදිමුම , ශරීරයේ උණුසුම් බව යනාදී ලක්ෂණ සහිතව උණ ගැනීම නිසා ළදරුවා අපහසුතාවයට පත් වේ. 

මව ගර්භනී සමයේදී ගන්නා ආහාරපාන මෙන්ම  ඇවතුම් පැවතුම් හේතු කොට ගෙන ගැබ තුළ සිටින බිළිඳාට අහිතකර බලපෑම් ඇති කරයි. විශේෂයෙන් ඉස්සෝ, දැල්ලෝ, බලමාළු, රටදෙල් ,අඹ,අච්චාරු ,මද්‍ය වර්ග ,මී,ගව,ගෝන වැනි මාංශ වර්ග ද. ලෝභ, ක්‍රෝධ, භය,ශෝක වැනි මානසික හේතුන් ද ළදරුවාගේ වර්ධනයට මෙන්ම නීරෝගීභාවයට බලපෑම් ඇති කරයි. එකී අහිතකර බලපෑම් හේතු කොට ගෙන ළදරුවාගේ රක්තය දූෂණය වේ. තව ද මවගේ සහ පියාගේ ජන්මානුන්ගේ දූෂිත බව ද ළදරුවාගේ ලේ කෝපයට සමාජයෙන්ම උරුම වේ. 

රත රෝගයේ ප්‍රභේද කීපයකි. 

ඒවා නම් 

1.ගල් රත 2.කරප්පන් රත ර. 3.ලේ රත 4.මාන්දම් රත, 5.දුවන පනින රත, 6.මල් රත, 7.කසන රත 8. පණු රත 9.සුදු රත 10. සො රත 

මෙම සියලුම රත රෝගවලට දේශීය වෙදකමේ ආශ්චර්යමත් ඖෂධයක් ඇත. ඒ අන් කිසිවක් නොව දෙසඳුන් කල්කය හෙවත් රත කල්කයයි. වර්තමානයේ මව්වරුන්ගේ මතකයෙන් ගිලිහී යන දිව්‍යමය ඖෂධයක් බදු මෙම රත කල්කය කිසිදු බියකින් හා සැකයකින් තොරව බිළිඳු ඉපදී සතියකින් පමණ මව්කිරි හෝ කොත්තමල්ලි තැම්බූ වතුරින්, දිය හැකිය. 

මෙම දිව ඔසුව රතගායට පමණක් නොව බිළිඳාගේ ප්‍රතිශක්තිය ගොඩනගා ගැනීමට කදිම ඖෂධයකි. ඒ පමණක් නොව කිරි මවට මෙන්ම තරුණ, මහලු හැම දෙනාටම මාත්‍රාව අඩු වැඩි වශයෙන් ලබා දිය හැකි ඖෂධ රත්නයකි. 

බිළිඳුන් වදකර පැණි රස ඇතිලිය 

ලේවන් හිමේක බර වන්නේ 

සිදු හට නගිමින් හරිබර වූ තැන ලිකුච 

යුසින් අඹරා ගන්නේ 

ළපැටින් ළදැරුම වලිප්පු උණ 

දුට කොත්තමල්ලි තම්බා දෙන්නේ 

නියැතිත් ගුණ දෙන රහසකි ඇදුරනි 

පෙර හෙළ වෙද දත් උතුමන්නේ 

බිළිඳුන් – කොල්ලු 

වදකර – වදකහ 

පැණි රස ඇතිලිය – වැල්මී 

ලේවන් –රත්හඳුන් 

හිමේක – සුදුහඳුන් 

සිදු – සහිඳ ලුණු 

ලිකුච යුෂ –දෙහි ඇඹුල් යුෂ 

මෙම ඖෂධය සංස්කරණයේදී කොල්ලු, වදකහ, වැල්මී, රත්හඳුන්, සුදුහඳුන් යන ඔසු සමාන බරකින් ගත යුතු වන අතර, එම ඔසු සියල්ලේම බරට සමානව සහිඳ ලුණු ගත යුතුය. එසේම මෙම ඔසු ඉතාම පිරිසුදුවට ගත යුතු අතර, සංස්කරණ ක්‍රියාදාමය ද ඉතාමත් පවිත්‍ර විය යුතුය. දෙහි ඇඹුල් වෙනුවට ඇඹුල් දොඩම් යුෂ ද භාවිත කරන වෙද පරම්පරාද පවතී. 

රනිල කුලයට අයත් කොල්ලු රසයෙන් කෂාය රසයි තීකතීක්ක –රූක්ෂ හා ලඝු ගුණයෙන් යුක්තයි. විපාකයෙන් කටුකයි. ප්‍රෝටීන බහුලයි. ජ්වරයේදී ඇතිවන්නා වූ අති ස්වේදය මැඩ පවත්වයි. මුත්‍රා හොඳින් බැහැර කරවයි. මුත්‍රාගල් දිය කිරීමේ හැකියාව පවතී.  උෂ්ණ වීර්යයි. 

වදකහ සුරණ කුලයට අයත්ය .රසයෙන් කෂාය රසයි. තීක්ෂණ රූක්ෂ හා ලඝු ගුණයෙන් යුක්තයි. විපාකයෙන් කටුකයි. ප්‍රෝටීන් බහුලයි. ජ්වරයේදී ඇතිවන්නාවූ අති ස්වේදය මැඩ පවත්වයි. මුත්‍රා හොඳින් බැහැර කරවයි. මුත්‍රාගල් දිය කිරීමේ හැකියාව පවතී. උෂ්ණ වීර්යයි. 

වදකහ සුරණ කුලයට අයත්ය. රසයෙන් කටුක, තික්ත වන අතර ගුණයෙන් තීක්ෂණ වේ. වීර්යයෙන්       උෂ්ණයි. අග්නි දීප්තිය ඇති කරයි. බඩ පිපුම නසයි. විරේචනය සිදු කරයි. විෂබීජනාශකයි. 

රනිල කුලයට අයත් වැල්මී මධුර රසැති, ගුරු – ස්නිග්ද ගුණ යුක්ත වීර්යයෙන් ශීත රක්ත ශෝධකයකි. විෂ නාශකයි. චර්ම රෝග නසයි. ස්වර භේදය නසයි. මෘදු විරේචන ගුණ යුක්තයි. 

නස්න හා මධුර රසයෙන් යුක්ත රත්හඳුන් ද රනිල කුලයට අයත් ශාකයකි. රූක්ෂ හා ගුරු ගුණ යුක්ත වන අතර වීර්යයෙන් ශීත වේ. රක්ත ශෝධකයි. ඉදිමුම නසයි. විෂබීජ නාශකයි. 

කැන්ටනාසියේ කුලයට අයත් සුදුහඳුන් මධුර හා තික්ත රසයෙන් යුක්තය. ගුරු හා රූක්ෂ ගුණයි. ශීත වීර්යයි. ජ්වර නාශකයි. චර්ම රෝග සඳහා යෝග්‍ය වේ. මුත්‍රාශ ප්‍රදාහ නාශකයි. සම පැහැපත් කරයි. දැවිල්ල නසයි. 

සහිඳ ලුණු රසයෙන් මධුරයි. ලඝු හා      සූක්‍ෂ්ම ගුණ යුක්තයි. ශීත වර්ණයෙන් යුක්තයි. ත්‍රිදෝෂ ශාමකයි. 

දෙහි රුටාසියේ කුලයට අයත් වේ. රසයෙන් අම්ලයි. ලඝු ගුණයෙන් යුක්තයි. අජීර්ණ නසයි. රුචි කාරකයි. විටමින් සී බහුලයි. 

මෙකී ඔසු සංයෝගයෙන් නිර්මාණය වෙන රත කල්කය ශරීරයේ බොහෝ ව්‍යුහාවල ක්‍රියාකාරි වන පෝෂණීය ඖෂධයකි. රතගායට නිසි කල නිසි අයුරින් ප්‍රතිකාර නොකිරීමෙන් වකුගඩු ආබාධ, සමේ රෝග, සමේ විවර්ණනා, නොබසින උණ, ඇදුම, ආහාර අරුචිය මෙන්ම පෝෂණ ඌනතා වලට ගොදුරුවේ. 

ළදරුවාට රත කල්කය ලබා දෙනවා මෙන්ම කිරි මවද රත කල්කය භාවිතා කළ යුතුය. හේතුව මව ලබා දෙන කිරි දූෂිත තත්ත්වයෙන් පවතී නම් ළදරුවාට පමණක් රත කල්කය දීමෙන් පලක් නොවේ. මව ලබා දෙන කිරි නිරෝගී විය යුතුය. එවිට ළදරුවා ද නිරෝගී වන්නේය. නිසි ආහාර විහරණ අනුගමනය කිරීම මවගේ කාර්යය වේ. මව ප්‍රතිපත්තිගරුක නොවී නිරෝගී දරුවෙකු බලාපොරොත්තු වීම නිෂ්ඵල දෙයක් බව වටහා ගත යුතුය. 

රත කල්කයට අමතරව රතගාය සඳහා ප්‍රත්‍යක්ෂ ඖෂධ හා තෙල් වර්ග බාලයින් උදෙසා ලියැවුණු රත වෙද පොත, බාල රෝග සංග්‍රහය, කෞමාරභෘත්‍ය සංග්‍රහය, වෛද්‍ය චින්තාමණිය වැනි ආයුර්වේද ග්‍රන්ථ වල මනා ලෙස විග්‍රහ කොට ඇත. 

රත කෂායක් 

රසකිඳ කළාදුරු පැපිලිය අටිනෙක     ට 

සිඳ දුන සියලු රත නැතිවේ කුමරු හ     ට 

රසකිඳ ඉඟුරු පැපිලිය වද සුවඳ හො      ට 

වම්මුතු සමඟ සිද දෙනු කුමරුන් රත     ට 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.