ආයුෂ වර්ධනය හා නිරෝගී ජීවිතයක් සඳහා උපදෙස්

ඔක්තෝබර් 9, 2020

හාතාවාරිය කැඳ කාන්තාවන්ට ඉතා යහපත් ය. ඉතා ගුණයි. එහි අඩංගු රසායන කාන්තා හෝමෝන යථා තත්ත්වයට පත් කරවයි. ඒ නිසා හාතාවාරිය කතුන් පානය කළ යුතුම කැඳ වර්ගයකි. 

මෙලොව උපත ලැබූ සෑම මනුෂ්‍යයකුම ප්‍රාර්ථනය කරනු ලබන්නේ වැඩි ආයුෂ ප්‍රමාණයක් භුක්ති විඳීම සහ එම ආයු කාලය ලෙඩ රෝගවලින් තොරවූ නිරෝගී ජීවිතයක් ගත කිරීමටයි. 

දිගාසිරි හා නිරෝගී දිවි පෙවෙතක් අපේක්ෂා කරන සෑම පුද්ගලයකු විසින්ම නිවැරදි ආහාර හා විහරණ අනුගමනය කිරීම අත්‍යවශ්‍ය සාධකයකි. මෙම ලිපියෙන් අප සලකා බලන්නේ ඒ සඳහා මූලිකව බලපාන කරුණු කිහිපයකි. 

නින්ද  

පුද්ගලයකු අවම වශයෙන් පැය 06ක් වත් දිනකට නිදාගත යුතුයි. නිදාගන්නා කාමරය හොඳින් වාතාශ්‍රය එන ස්ථානයක් වීම අවශ්‍යයි. නිදාගන්නා වේලාව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් ය. මානසික රෝග, මානසික ආතතිය ඇති අය රාත්‍රී 11 න් පසු නිදාගැනීම වරදක් නැත. දකුණු ඇලයට හැරී නිදාගැනීමෙන් ආහාර ජීර්ණය මැනවින් සිදුවේ. දිවා කාලයේ නිදාගැනීම සුදුසු නොවන අතර, රාත්‍රී කාලයේ නිදි වැරීම නුසුදුසුයි. ඊට හේතුව දියවැඩියාව වැනි රෝග මතුවීමට එය හේතු කාරක වන හෙයිනි. 

දරා නොසිටිය යුතු දෑ 

මළ මුත්‍රා, කුසගින්න, කැස්ස, ඈනුම, වමනය, කඳුළු, නිදිමත, වෙහෙස, පිපාසය, අධෝ වාතය ආදිය දරා නොසිටිය යුතු දේවල් වශයෙන් ආයුර්වේදයේ සඳහන්ව ඇති අතර, එබඳු අවශ්‍යතා ඇති වූ කල්හි අනිවාර්යයෙන්ම එකල්හි පිට කළ යුතු ය. 

උදෑසන පිබිදීම  

උදෑසන පිබිදීමට සුදුසු වේලාව වන්නේ පාන්දර 4.30 සිට 05.15 අතර බ්‍රහ්ම මුහුර්ථය අවස්ථාවයි. අවදි වූ සැණින් මුවකට සෝදා දැකිය යුතු දේවල් ද ආයුර්වේදයේ දක්වා ඇත. එනම්, තමන්ගේ මුහුණ කණ්ණාඩියෙන් බැලීම, ගිතෙල්, මල්මාලා, බෙලි දැකීම සුදුසු ය. උදේ ආහාරයෙන් පසු ඇවිදීම, රාත්‍රී කාලයේ දිගු වේලාවක් ආහාර නොගෙන සිටීම නිසා අවදි වී වැඩි වේලාවක් යාමට පෙර රජකු මෙන් ආහාර ගැනීම සුදුසුයි. මෙහිදී පාන් පිටි ආහාර නැතිව ධාන්‍යමය ආහාරයක් ගැනීම අතිශයින් සුදුසුයි. උදේ දවල් රාත්‍රී කියා වෙනසක් නැතිව ආහාර ගැනීමෙන් පසු (සෑම කෑම වෙලාවකටම පසු) අඩි 100 ක් ඇවිදීම ඉතා වැදගත් ය. 

මාස 03 කට වරක් විරේකයක්  

අද බොහෝදෙනකුගේ රෝගවලට හේතුව සමබල ආහාර නොගැනීම පමණක් නොව ගන්නා ආහාර විරේක නොවීමයි. සෑම මාස 03කට වරක්ම විරේක ඖෂධ ගැනීම කළ යුතු ය. ඒ සඳහා අරළු, බුළු, නෙල්ලි කලං 4 බැගින් ගෙන වතුර පත අට එකට සිඳ පෙරා වරක් උදෑසනට පානය කිරීම ඉතාම සුදුසු ය. අරළු, බුළු නෙල්ලි (ත්‍රිපලා) පෙති වශයෙන් ලබාගත හැකි අතර, පෙති 02ක් රාත්‍රියට ගත යුතු ය. 

ආයුෂ වැඩිවන ආයුර්වේද ප්‍රතිකර්ම  

හාතාවාරිය කැඳ කාන්තාවන්ට ඉතා යහපත් ය. ඉතා ගුණයි. එහි අඩංගු රසායන කාන්තා හෝමෝන යථා තත්ත්වයට පත් කරවයි. ඒ නිසා හාතාවාරිය කතුන් පානය කළ යුතුම කැඳ වර්ගයකි. කරපිංචා, සුදුලූනු සිරුරේ විෂ ඉවත් කරයි. වැඩිපුර විෂ එක්වන මේ කාලයේදී නිතර මේවා ආහාරයට එක්කර ගන්න. 

අඹ, කොමඩු, නෙල්ලි තරුණකම ආරක්ෂා කරන පලතුරුයි. 

කැරට්, වට්ටක්කා, වට්ටක්කා ඇට (වට්ටක්කා ඇට බැද පොත්ත ඉවත්කර කෑමට ගන්න) ආහාරයට ගන්න. 

එළවළු වැඩිපුර කෑමට එක්කර ගැනීමෙන්ද තාරුණ්‍ය සුරැකෙයි. 

ඉරමුසු, අලිගැටපේර, ලේ පිරිසුදු කරන නිසා ඉරමුසු පානය කිරීම ඉතා සුදුසුයි. එමගින් සම ද පැහැපත් කරයි. 

සෙම වැඩි පුද්ගලයින්ට ගොටුකොළ, රතුලූනු එකට අඹරා හැඳි කෝප්ප භාගයක් පානය කිරීමෙන් සෙම අඩු කර ගත හැකි ය. අඩුම වශයෙන් මේස හැඳි 02ක්වත් ගොටුකොළ රතුලූනු පානය කළ යුතු ය. 

විනාකිරි තක්කාලි නිතර ආහාරයට එකතු කර ගැනීම නුසුදුසුයි. ඒවා සම දුර්වර්ණ කරන ආහාරයන් ය. 

මුරුංගා හා මුරුංගා කොළ ගුණය අතින් ඉතාම අනූන ආහාරයන් ය. 

දිනකට ජලය ලීටර් දෙක හමාරක් පමණ පානය කිරීමෙන් රෝග විශාල සංඛ්‍යාවක් අවම කර ගත හැකි ය. 

නෙල්ලි හොඳම පලතුරකි. එය තරුණකම ආරක්ෂා කරයි. උණුසුමද නිවාලයි. ශරීර උෂ්ණත්වය වැඩි අයට නෙල්ලි ඉතාම ගුණදායකයි. අමු නෙල්ලි ගෙඩි 04 ක් ගෙන ඇට ඉවත්කර ලුණු ස්වල්පයක් දමා සීනි නොදමා පානය කරන්න. ආයු වර්ණ බලය වැඩි වේ. 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.