වේදනා සහිත සන්ධි ඉදිමීමේ අවස්ථා

ඔක්තෝබර් 9, 2020

බටහිර වෙදකම තුළ කියැවෙන රූමටොයිඩ් ආතරයිටිස් රෝගය වශයෙන් හැඳින්වෙන සන්ධි ඉදිමීමේ රෝගයේ මූලික ලක්ෂණ වන්නේ ශරීරයේ සන්ධිගතව ඇතිවෙන වේදනා සහිත ඉදිමීම, එම ස්ථාන රත් පැහැයට හුරුවීම, සහ එම සන්ධි සෙලවීමට ඉතා අපහසු වීමයි. මෙහි ඇති විශේෂත්වය නම් උදේ නින්දෙන් පිබිදෙන විට දී සන්ධිගතව කිසියම් තද බවක් දැනීමයි. 

මීට අමතරව, දුම් පානය, නිරන්තර කෝපි පානය, මව්පියන්ගේ ජානමය හේතු, කටේ විරස ගතිය, වමනය, ශරීරයේ දැවිල්ල, නිතර මුත්‍රා පිටවීම, බඩේ තද බව, දවාලට තද උෂ්ණයක් දැනීම හා රාත්‍රියට නින්ද නොයාම, පිපාසය, කරකැවිල්ල, මලබද්ධය ආදී රෝග ලක්ෂණ වශයෙන් සඳහන් කළ හැකි ය. 

මෙම රෝගයේ ආරම්භය සිදුවන්නේ ඇඟිලි පුරුක් වැනි තැන්වල ඉදිමීමක් සහිතවයි. එය ක්‍රමයෙන් වළළුකර හා මැණික් කටුව වැනි ස්ථානවලත්, පැතිරී ගොස් ඉදිමුමක් හටගනී. එසේ සිදුවන්නේ සන්ධිය සම්බන්ධවන පටකවල වෙනස් වීමක් නිසාවෙනි. ඉන්පසු එය ලසිකා පටලය ඉදිමීම නිසා ක්‍රමයෙන් ඉදිමුම වර්ධනය වන්නට පටන් ගනී. මෙහිදී සන්ධි බන්ධන කෙටිවී කණ්ඩරාවල් දිගේ ගොස් විහිදීයාමක් සිදු කරවන අතර ඒ හේතුවෙන් පේෂීන් වැසී ගොස් මුළු සන්ධියම විකෘති තත්ත්වයට පත් කරවයි. මෙය ළමා, තරුණ අයට මෙන්ම වැඩි වශයෙන් කාන්තාවන්ට වැලඳෙන බව ද මෙහි ලා සඳහන් කළ යුතු ය. 

මෙම රෝගය මතුවීමෙන් පසු ශරීරයේ උෂ්ණත්වය හා දහදිය දැමීමේ වෙනස්කම් ඇති කරවයි. කෑම අරුචිය හා රක්ත හීනතාවය ද මතුකරවයි. නිතර මහන්සි ගතිය සහ ඉක්මනින් තරහ යන සුළු බවක් ද රෝගියා කෙරෙන් දැක ගතහැකි ය. සමහර විටෙක මෙම සන්ධි ඉදිමුම් තත්ත්වය ඇස්වලට බලපාන අවස්ථාද පවතී. ඇසේ ප්‍රදාහික බවක් මතුකරවමින් ඇස වියළි හා පීඩාකාරී තත්ත්වයකට පත් කරවිය හැකි ය. 

ප්‍රතිකාර ක්‍රම 

මෙම රෝගය සඳහා ආයුර්වේදයේ ප්‍රතිකාර රැසක් පවතී. මෙහිදී උෂ්ණ ගුණ ඇති තෛල වර්ග, තැවිලි හා පත්තු උපයෝගී කර ගනී. විශේෂයෙන්ම අරත්ත අල, දේවදාර, බිං කොහොඹ, තොටිල පොතු මෙහිදී බහුල වශයෙන් ප්‍රයෝග කරනු ලැබේ. 

එරබදු කොළ, පොල් සමඟ කොටා මළවා බඳින්න. තිරිඟු පිටි, වැල්රුක්අත්තන පොතු එක පමණ ගෙන උණුවතුරින් අඹරා පාන්කඩයක ගා වෙළන්න. 

ඊටම - රසකිඳ කලං 12ක් ගෙන වතුර පත 8 - 1 ට සිඳුවා පෙරා උදේ සවස පත භාගය බැගින් සීනි දමා දින කිහිපයක් බොන්න. 

ඊටම - එරඬු ඇට, අබ, තල, ඇට්ටේරියා කොළ යුෂයෙන් අඹරා ආලේප කරන්න.  

ඊටම කුප්පමේනිය කොළ යුෂ, දෙහි යුෂ, තල තෙල් ලුණු සමඟ ආලේප කරන්න. ඊටම කළු අත්තන මුල්, කතුරු මුරුංගා කොළ සහ එම මල් එක පමණ ගෙන උණු දියෙන් අඹරා දිනකට වරක් බැගින් දින 7 - 8ක් ආලේප කරන්න. ඊටම තොටිල පොතු කලං 12ක් ගෙන එය කෂාය කර පානය කරන්න. ඊටම රාෂ්නාදී ගුලි, යෝගරාජ ගුලි පානය ගුණයි. ඊටම අබ, මුරුංගා පොතු, වියළි ඉඟුරු, සාරණ මුල්, සිහින්ව කොටා පොට්ටනි බැඳ වණ්ඩුවේ තම්බා තවන්න. 

හන්දිපත් වේදනාවට/ තුනටියේ වේදනාවට 

වයස් භේදයකින් තොරව හටගනු ලබන හන්දිපත් රුදාව, දණහිස් වේදනාව, සඳහා අද බොහෝ දෙනා විවිධ පෙති කරල් බීමට පුරුදුව සිටියද, අවසානයේද ී එය තවත් රෝග රැසකට මංපෙත් විවර කර දීමට හේතුවක් වෙයි. වේදනා නාශක ලෙස අප ලබා ගන්නා එවැනි බෙහෙත් වර්ග ඇතැම් විටක ශරීරයට අහිතකර වන අවස්ථා අප දැක තිබේ. 

කාන්තා හා පුරුෂ දෙපාර්ශ්වයටම සුලබ රෝගයක් ලෙස වර්තමානයේ දක්නට ලැබෙන දණහිස් වේදනාව සහ හන්දිපත් රුදාව සඳහා ආයුර්වේදයේ ඉතා ගුණ දෙන ආලේප සහ ඖෂධ වර්ග භාවිත කිරීම නිසා බොහොමයක් දෙනාට සුව සහන සලසා ගත හැකිව ඇත. ඒ අනුව, සීනි තේ හැඳි 01 ක්, කහකුඩු තේ හැඳි 01 ක්, ලුණු කැට තේ හැඳි 01 ක්, දෙහි යුෂ මේස හැඳි 01ක් ගෙන පළමුව සීනි, ලුණු සහ කහ කුඩා වංගෙඩියක් තුළට දමා කොටා ගන්න. ඉන්පසු එම මිශ්‍රණය ඉවතට ගෙන දෙහි යුෂ ටික දමා හොඳින් කළවම් කර ගන්න. එසේ සාදා ගත් මෙම මිශ්‍රණය ඔබගේ දණහිස් හෝ හන්දි වේදනා ඇති ස්ථානවල රාත්‍රී ආලේප කර, පොලිතින් එකකින් ආවරණය කර පසුදා උදෑසන සෝදා හරින්න. 

ඊටම - තල තෙල් තේ හැඳි 01ක්, අබතෙල් තේ හැඳි 01ක්, වේලා කුඩු කරගත් ඉඟුරු කුඩු තේ හැඳි 01 ක්, ගෙන තල තෙල් සහ අබතෙල් ටික භාජනයකට දමා එයට ඉඟුරු කුඩු එක්කර හොඳින් කළවම් කර ගන්න. සාදාගත් එම මිශ්‍රණය වේදනා සහිත ස්ථානවල ආලේප කර සම්බාහනය කරන්න. 

ඊටම - ලුණුවරණ පොතු, අමුකහ සමව ගෙන මුරුංගා පොතු ඉස්මෙන් සියුම්ව අඹරා ගෙන තැළුම් වේදනා ඉදිමුම් ස්ථානවල ආලේප කරන්න. වේල් කිහිපයක් ආලේප කිරීමෙන් සුවයක් සැලසේ. 

ඊටම - ඉදිමුම් වේදනාවලදී බෙලි කොළ කොටා ඉදිමුම් ඇති තැන ආලේප කරන්න. 

තුනටියේ වේදනාවට - සාමාන්‍යයෙන් වයස 40 පමණ වන විට සහ ඉන් එහාට ගියවිට තුනටියේ වේදනාව ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයේ බහුතර පිරිසකට නිතර ගෙන දෙන්නකි. කොඳු ඇට පෙළ පහළ ප්‍රදේශයේ ඇතිවන තද වේදනාව ඉවසිය නොහැකි තරම් වෙයි. ක්‍රමක්‍රමයෙන් වේදනාව වැඩි විය හැකි අතර පසුව මෙය වාත රෝගයක් බවට පරිවර්තනය වනු ඇත. 

ඔසවන්නට බැරි තරම් බර එසවීම, නිවැරදි ඉරියව් භාවිත නොකර බර එසවීම, ඉතා දිගු වේලාවක් වැරදි ඉරියව්වල වාඩිවී සිටීම, උස ස්ථානවලින් වැටීම, රිය අනතුරුවලින් විවිධ අමාරුකම් ඇතිවීම, උෂ්ණාධික ආහාරපාන ගැනීම, වැරදි ඉරියව්වලින් නිදා ගැනීම ආදී හේතුවක් හෝ හේතු කිහිපයක් නිසා තුනටියේ වේදනාව හට ගත හැකි ය. 

මේ නිසා දෝෂ සමනය කරන ආහාර වර්ග ගැනීම, රතුහාල්, උඳු, සුදුලූනු, ගිතෙල් ආදී රස ආහාර ගැනීම සුදුසුයි. නිතර වේදනාව ඇති ස්ථාන තෙමීම, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතය, ආතතිය, අධික මහන්සිය වැනි තත්ත්වයන්ගෙන් වැළකී සිටිය යුතු යි. තෙල් ස්නේහ කිරීම, ස්වේද කර්ම සිදුකර වස්ති ප්‍රතිකාර ක්‍රමයන් ලබා දීමෙන් තුනටියේ වේදනාව බොහෝදුරට සමනය කර ගත හැකි ය. 

සන්ධි කැක්කුම/ හන්දිපත් වේදනාව 

අමු ඉඟුරු, මුරුංගා පොතු, සුදුලූනු, මාරපොතු, නීරමුල්ලිය සමව ගෙන විනාකිරෙන් අඹරා ආලේප කරන්න. 

ඊටම වියළි එළුබෙටි විනාකිරෙන් අඹරා ආලේප කරන්න. ඊටම  අමු නෙල්ලි තලතෙලෙන් අඹරා ආලේප කරන්න. ඊටම  නුග කොළ කොටා මී ඇට තෙලින් අනා පොට්ටනි බැඳ වණ්ඩුවේ තම්බා තවා නැවත මී ඇට තෙල් ආලේප කරන්න. ඊටම තුඹස් මැටි, අබ කුඩු, ඉඟුරු, කපුරු, අත්තන, කොළ යුෂයෙන් අඹරා ආලේප කරන්න. 

ඊටම - ඉඟුරු ඉෂ්ම හා අබතෙල් සම ප්‍රමාණ ගෙන විනාඩි 5ක් පමණ රත්කර වේදනා සහිත සන්ධිවල ආලේප කරන්න. ඊටම - කතුරුමුරුංගා කොළ සහ මල් ද කළු අත්තන මුල් ද උණුවතුරින් අඹරා දිනකට වරක් ආලේප කරන්න. ඊටම - කුඹුක් මල් මී තෙලින් අඹරා ලිප තබා රත්කර ආලේප කරන්න. ඊටම - එරබදු කොළ විනාකිරෙන් අඹරා මදක් රත්කර ගාන්න. ඊටම - හීන් අරත්ත අල ලුණු ස්වල්පයක් සමඟ සිහින්ව කොටා මළවා බඳින්න. ඊටම - බෙලි මල් සහ සුදුලූනු එකට දමා තම්බා බොන්න. වාත රෝගවලට, ඉදිමුම්වලට, හන්දිපත් වේදනාවට ඉතාම ගුණයි. 

බෙල්ලේ සිට අත දිගේ එන කැක්කුම සහ බෙල්ලේ වේදනාව 

විශේෂයෙන් ස්ත්‍රී පක්ෂයට රෙදි මිරිකීමට, පොල්කිරි මිරිකීමට, කොණ්ඩය බැඳ  ගැනීමට, සහ අත මිට මෙළවීමට ඇති අපහසුව හා විශේෂයෙන් අත ඇඟිලිවල ඇති හිරිය, නහර නළියන ගතිය ආදී රෝග ලක්ෂණ ඇති අවස්ථා අප බොහෝ දැක ඇත. මෙහිදී ඇතිවන වේදනාව වැළමිට දක්වා විහිදෙන අතර සමහර විට උරහිස් දක්වා ගමන් කරන අවස්ථා ද ඇත. 

බෙල්ලේ සිට පටන් ගනු ලබන මෙම වේදනාකාරී තත්ත්වය අත දිගේ පහළට ගමන් කිරීම, ඇඟිලි හිරිවැටීම හා ඇඟිලි පුරුක්වල වේදනාව ඇතිවන්නාක් මෙන්ම ඇඟිලිවල සිට උරහිස දක්වා ප්‍රතිවිරුද්ධ අතට ද වේදනාව ගමන් කිරීම ඇතැම්විට සිදු විය හැකි ය. එපමණක් නොව මෙම රෝග තත්ත්වය තුළ බෙල්ල හැරවීම පවා අපහසු කරවයි. ඇතැම් විටක බෙල්ල මුල ඉදිමී මදක් ඉදිරියට නෙරා ඒම හා ඇඟිලි පුරුක් ඉදිමීමට ද හැකියාව පවතී. විශේෂයෙන්ම මෙය බෙල්ල පසුපස තයිරොයිඩ් හෝමෝනයේ ක්‍රියාකාරීත්වයේ දුර්වලතා හේතුවෙන් ද තෙල් තට්ටු තැන්පත් වීම නිසා ද ඇතිවිය හැකි ය. 

අත එසවීමට අපහසු වන අවබාහුක වැනි අවස්ථාවලදී උරහිසට වඩා බෙල්ල  මුලට දේශීය ආයුර්වේදයට අනුව අදාළ ඖෂධ වර්ග යෙදීමෙන් නිට්ටාවටම රෝගය සුවපත් කළ හැකි ය. පුරාණ දේශීය ආයුර්වේදයේ හා ඉන්දියානු ආයුර්වේදයේ මෙම රෝගය සඳහා ප්‍රත්‍යක්ෂ ඖෂධ වර්ග හා තෛල වර්ග රැසක් තිබේ. කොහොඹ, බෙහෙත් එඬරු, ඇත්දෙමට, නිල් අවරිය, වෙරළු යන ඖෂධ සංයෝග වශයෙන් ගෙන සාදා ගන්නා තෛල වර්ග, පත්තු හා ලේප වර්ග බාහිර වශයෙන් යොදනු ලබන අතර කෝප වූ දෝෂ තත්ත්වයන් සමනය කර රෝගය සුව කිරීම පිණිස ශරීර අභ්‍යන්තරයට ද සුදුසු ඖෂධ ප්‍රතිකාර ලබා දීම සිදු කෙරේ. 

තවද, තෛලවල ඔබ්බවන ලද ඖෂධ පොට්ටනිවලින් තැවීමෙන් ද මෙම රෝගය සඳහා සුවිශේෂ වූ ගුණයක් ලබා දෙන අතර මෙවැනි තැවීම්වලදී බෙල්ල මුල පවතින  ස්නායු තන්තු පිළිබඳව දැඩි අවධානයක් යොමු කර ඉතා සැලකිලිමත් ලෙස තැවීම් කළ යුතුව තිබේ. තැවීම් කටයුතුවලදී වැඩි රස්නයකින් නොතැවීමට වග බලා ගත යුතු ය. වැඩි රස්නයක් පිට තැවීමෙන් සමහර ස්ථාන වැඩියෙන් ඉදිමීමට හෝ හිරි වැටීම වැඩිවීමට ලක් වීමට ද ඉඩ ඇත. 

ප්‍රතිකාර විධි 

1. දොඹ ඇට මද, එඬරු ඇට මද, කුඹුරු ඇට මද, කපු ඇට මද, සුදුලූනු, අමුකහ, අබ, තල යන මේවා සමව ගෙන එකට කොටා තලතෙල්, අබතෙල්, මී තෙල්, එඬරුතෙල්, ගිතෙල් යන පස් තෙලෙන් අනා පොට්ටනියක් සේ බැඳ කඩඋන්නේ තම්බා ගෙන තවන්න. 

2. පාවට්ටා කොළ, නික කොළ, එඬරු කොළ, අරත්ත අල, අබ, සුදුලූනු යන මේවා සමව ගෙන කොටා පොට්ටනි බැද කඩ උන්නේ තම්බා ගෙන තවන්න. 

බෙල්ල හැරවීමට අපහසු නම් -  බිත්තර කහමද, එළඟිතෙල්, සවිඳලුනු යන මේ යෝගය සමව ගෙන අව්වෙන් රත්කර ගාන්න. ඊටම බේත් අනෝදා කොළ එළඟිතෙලින් අඹරා ගාන්න. 

ස්නායු ශක්තිමත් කිරීමට 

 මුඩමහණ සහමුළින් ගෙන කොටා ගත් යුෂ එක් ප්‍රමාණයකට සූකිරි රාත්තලක් පමණ දමා දියකර පැණි පදමට සිඳුවා දිනකට මේස හැඳි එක බැගින් ගැනීමෙන් ස්නායු ප්‍රකෘතිමත් තත්ත්වයට පත් කෙරෙයි. 

උරහිස් වේදනාව 

වයස අවුරුදු 40 ඉකුත් වෙනවාත් සමඟම ඇතිවන වේදනා සහගත රෝගයක් නම් උරහිස් වේදනාවයි. උරහිස් සන්ධිය තුළ හා ඒ අවට පටකවල ඇතිවන වෙනස්කම් නිසා මෙම උරහිස් වේදනාව ඇති වේ. මේ අවස්ථාවල බෙල්ලේ හා කෂේරුකා තුළින් නිකුත්වන වේදනාව උරහිසෙන් හට ගන්නා බවක් දැනේ. 

ආතරයිටිස් රෝග ගණනාවක් අතුරින් උරහිස් සන්ධි පීඩාව ගෙනදීම අද බහුල වශයෙන් දැකිය හැකි රෝගයත් වන මෙම උරහිසේ වේදනාවට දායක වන රෝග අවස්ථාව “අවබාහුක වාතය” නමින් ආයුර්වේදයේ හැඳින්වේ. මෙහිදී අත ඉහළට එසවීමේදී උරහිසෙන් පැන නගින වේදනාව මෙම රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණයයි.

මේ වේදනාකාරී තත්ත්වය ඇතිවීමට හේතුවන ප්‍රධාන අවස්ථා 4කි. එනම්, 

1. පේශී කණ්ඩරා ආශි‍්‍රතව ඇතිවන ප්‍රදාහමය 

    තත්ත්වය 

2. උරහිස් සන්ධියේ ඇතිවන අස්ථායිභාවය 

3. සන්ධිය තුළ ඇතිවන ප්‍රදාහය 

4. අස්ථි බිඳීම යන කරුණු ය. 

පේෂි කණ්ඩරා ආශි‍්‍රතව ඇතිවන ප්‍රදාහයේදී කොණ්ඩය පීරීම, ඇඳුම් ඇඳීම, අත උරහිසෙන් ඉහළට එසවීම අපහසු කරවයි. වේදනාව වැඩියෙන් දැනෙන්නේ උදේ කාලයටයි. ඇතැම්විටක සුළු ඉදිමීම් තත්ත්වයක් පවා ඇතිවිය හැකියි. උරහිස් සන්ධීය අස්ථායි වීමේදී ඉහත තත්ත්වයට වඩා වෙනස්ය. උරහිස් සන්ධියේ කිසියම් තුවාලයක් වූ විට සන්ධිය සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් පිට පැනීමකට ලක් වූ විට එහි ස්ථායිතාව පවත්වා ගන්නා පටකවලට හානි සිදුවේ. මෙම පටක ළිහිල් වීම නිසා පසුකාලීනව සන්ධීය ඉතා පහසුවෙන් පිට පැනීමකට ලක් විය හැකිය. 

මීළඟට උරහිස් සන්ධීය තුළ ඇතිවන ප්‍රදාහය තත්ත්වය වයස් ගතවීමත් සමඟ ඇතිවන්නකි. සන්ධිය තුළ ඇති කාටිලේජමය ආවරණය ගෙවීමට ලක් වීම මෙහිදී සිදු කෙරේ. සන්ධිය ඉදිමීම, ඝර්ෂණ හඬ නිකුත්වීම, වේදනාව සහ චලනය සීමාවීම හි ලක්ෂණයි. 

උරහිස් සන්ධීය හෝ එය නිර්මාණය වීමට උපකාරීවන අස්ථි යම් ගැටීමකදී බිඳීයාමට හැකි ය. සරල බිඳීමක් නම් එය ශල්‍යකර්මයක් නොමැතිව සුව කිරීමේ හැකියාව පවතී. 

උරහිස ගල්වීමේ තත්ත්වය මෙහිදී දැකිය හැකි තවත් අවස්ථාවක ක්‍රමයෙන් ඇතිවන උරහිස සන්ධි අභ්‍යන්තර ආවරණයේ ඝනවීම මෙයට හේතුවයි. සන්ධියේ චලනය සියලු දිසාවලට කළ හැකි සීමාව ක්‍රමයෙන් අඩුවී යන අතර චලනය සමඟ සන්ධි වේදනාවක් ද හට ගත හැකි ය. 

තමන්ට කිසියම් උරහිස් වේදනාවක් ආවොත් ඔබට හිතෙන හිතෙන දේ නොකර වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර සඳහා යොමුවීම ඉතා වැදගත් වනු ඇත. 

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.