ගතට සිතට වද දෙන අම්ල පිත්ත රෝගය

අගෝස්තු 28, 2020

කිසිදු වයස් භේදයකින් තොරව බාල, තරුණ, මහලු කා හටත් හටගනු ලබන්නා වූ අම්ල පිත්ත රෝගය වත්මන් සමාජය තුළ රජ කරමින් සිටී. 

සාමාන්‍ය ව්‍යවහාරයේ දී මෙම රෝගය ගැස්ටික් නමින් හඳුන්වනු ලබන අතර බටහිර වෛද්‍ය විද්‍යාවේ දී ඩ්රනඥප ඒජඪඤඪබර  ලෙසින් මෙම රෝග තත්ත්වය හඳුන්වයි. පාරම්පරික දේශීය වෛද්‍යවරුන් බඩේ ඇඹුල් පිත අධික වීමක් ලෙස අර්ථ දක්වයි. 

ආයුර්වේද ශාස්ත්‍රයට අනුව රෝගයක් ඇතිවීමට මූලික හේතුව වන්නේ ශරීරය තුළ පවතින්නා වූ වා, පිත්,, සෙම් යන ත්‍රිදෝෂයන්ගේ විෂමතාවය හෙවත් වෙනස්වීමයි. මෙම අම්ල පිත්ත රෝගයට හේතු වන්නේ පිත් දෝෂයේ විෂමතාවයයි. පිත විකෘති වීම හෙවත් කිපීම හේතුවෙන් එය අම්ල රසයට පත් වේ. මෙහි අධිකතාවය අම්ල පිත්ත රෝගය බව ආයුර්වේදය පෙන්වා දෙයි. 

අම්ල පිත්ත රෝග ලක්ෂණවල විවිධත්වය අනුව ප්‍රධාන වශයෙන් ඌර්ධව ගත අම්ල පිත්තය හා අධෝගත අම්ල පිත්තය යනුවෙන් දෙවැදෑරුම් ය. ඌර්ධව ගත අම්ල පිත්තයේ දී කහ, කොළ, නිල්, කලු පැහැයට හුරු වමනය දැකිය හැකි වන අතර බඩ, පපුව දැවිල්ල, හිසරදය ආදී ලක්ෂණද ප්‍රකට වේ. 

අධෝගත අම්ල පිත්තයේ දී අරුචිය, දහඩිය ගැලීම, කරකැවිල්ල, රෝම ක්ෂය, මුර්ජාව, ශරීරය සහ කහ පැහැයට හුරු වීම යනාදී ලක්ෂණ පිළිබිඹු වේ. 

මෙම අම්ල පිත්ත රෝගය හෙවත් ගැස්ට්‍රයිටීස් ඇතිවීමට බලපාන හේතු රාශියක් ඇත. එකිනෙකට පටහැනි ආහාර සේවනය කිරීම, නරක් වූ ආහාර ගැනීම, අඹ, අන්නාසි ආදී ඇඹුල් ආහාර වැඩිපුර ගැනීම, මිරිස් අධික ලෙස යෙදූ ආහාර නිතර නිතර ගැනීම, අධික මද්‍ය පානය හා දුම්පානය, තෙල් සහිත ආහාර අධිකව ගැනීම, අඹ, අච්චාරු ආදී ආහාර වර්ග නිතර නිතර ගැනීම, කෘත්‍රිම රසකාරක හා වර්ණක යෙදූ ආහාර පාන නිතර ගැනීම, බොහෝ වේලාවක් නිරාහාරව සිටීම, තුනටිය වේදනාව වැනි සන්ධි වේදනා සහ හිසරදය සඳහා වේදනා නාශක ඔබ නිතර නිතර භාවිතා කිරීම මෙන්ම මානසික ආතතිය යන මේවා පෙන්වා දිය හැකි ය. 

මෙම අම්ල පිත්ත රෝගයේ දී බඩ පුරවා දැමීම බඩේ දැවිල්ල උගුර සහ පපුවේ දැවිල්ල, බඩේ තද බව හා බර ගතිය, ඇඹුල් රසට උගුරට ඒම, ආහාර අරුචිය, ඔක්කාරය, හෘදයේ වේදනාව, නිතර පවතින හිසරදය, සමහරෙකුට අධික කුසගින්න හා තවත් සමහරෙකුට බඩගිනි නොදැනීම, අත් පා දැවිල්ල, වෙහෙසීමකින් තොරව ඇතිවෙන වෙහෙස යන මේවා මූලික ලක්ෂණ වේ. 

තවද මෙම අම්ල පිත්ත රෝගී තත්ත්වය නිසා ග්‍රහණි ප්‍රදේශයේ තුවාල ඇතිවීමට හේතු කොටගෙන මිරිකන්නාක් වැනි කැක්කුමක් දැනේ. අන්ත‍ස්‍රෝතයේ තුවාල ඇති වූ කළ පපුවේ දැවිල්ල මෙන්ම පපුව හිරකරන්නාක් වැනි වේදනාවක් ඇතිවේ. විශේෂයෙන් ආමාශගත තුවාලවලදී ආහාර ගත්පසු ටික වේලාවකින් වේදනාවක් දැනේ. ආමාශයේ තුවාල ඇති වී රුධිරය වහනය වීම මෙම රෝගයේ දී දැකිය හැකි දරුණුම අවස්ථාවක් ලෙස සඳහන් කළ හැකි ය. එපමණක් නොව පිළිකා රෝගයක් හෝ හෘද රෝගයක් විය හැකි යැයි වැරදි ලෙස වටහාගන්නා අවස්ථාද එමට ය. එබැවින් වෛද්‍යවරු වන අප මෙම ලක්ෂණ කෙරෙහි විශේෂ අවධානය යොමු කිරීම ඉතා වැදගත් ය. 

බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව අම්ල පිත්ත රෝගය හඳුනාගැනීම සඳහා එන්ඩොස්කොපි පරීක්ෂණය, බේරියම් පරීක්ෂණය, අල්ට්‍රා සවුන්ට් පරීක්ෂණය යනාදී ක්‍රමවේදයන් උපයෝගී කරගනී. එහිදී ආම්ලික ආමාශයේ ආම්ලික සාන්ද්‍රණය අඩුකිරීමට හා ආම්ලික භාවය හේතුකොටගෙන ඇතිවන සංකූලතා වළක්වා ගැනීමට ඔවුහු ප්‍රතිකාර යොදති. 

මෙම රෝගයට නිවැරදි ප්‍රතිකාර නොයෙදීමෙන් භයානක අතුරු උපද්‍රවවලට රෝගියා ගොදුරුවන බැවින් ඉතා සැළකිලිමත් විය යුතු ය. ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ මෙම අම්ල පිත්ත රෝගය සඳහා නිවැරැදි හා පැහැදිලි ප්‍රතිකාර පද්ධතියක් ඇත. විශේෂයෙන් මෙහි දී ආහාර ඇවතුම්, පැවතුම් නිවැරැදි පිළිවෙලට අනුගමනය කරනවා නම් මෙම අම්ල පිත්ත උවදුරට අප කිසිවෙකුත් බිය විය යුතු නොවේ. 

මෙම රෝගය ඇතිවීමට ප්‍රධානම දෝෂය වන පිත ශමනය කිරීම මූලිකම චිකිත්සාව වේ. මේ සඳහා වමන, විරේචන, රක්ත මෝක්ෂණය, වස්ති ආදී ක්‍රම උපයෝගී කිරීමෙන් අනතුරුව ඖෂධ ලබා දීම කළ යුතු වේ. අම්ල පිත්ත රෝගයේ දී අරිෂ්ට, ආසව යෙදීම එතරම් සුදුසු නොවුවත් ඒ සඳහා ඉතා ප්‍රත්‍යක්ෂ යෝග යෙදිය හැක. ඒ සඳහා, 

පාවට්ටා, රසකිඳ, පත්පාඩගම් ආදී කෂාය 

දුම්මැල්ල, වියළි ඉඟුරු, කොත්තමල්ලි ආදී කෂාය 

අරළු, තිප්පිලි, මුද්දරප්පලම් ආදී කෂාය 

පුහුල් මද, කුඹුක් පොතු, ඉඟිණි ඇට ආදී කෂාය 

රසකිඳ, රත්නෙටුමුල්, කොහොඹ පොතු ආදී කෂාය 

මෙම රෝගී තත්ත්වයට දිය බත ඉතාමත් ගුණදායකය. බඩේ අම්ල ගතිය දුරු කොට බඩ පිපුම පලවා හැරීමට දිය බත සමත් වේ. පහත සඳහන් ආකාරයට දියබත සකසා ගත හැක. 

රාත්‍රී ආහාරයට සැකසූ බතෙහි ඉතිරි වූ දංකුඩය සහිත කොටස භාජනයේ තිබියදීම එය වතුර ස්වල්පයක් දමා, පසුදා උදෑසන දිය බේරා දංකුඩය සහිත කොටස වෙනත් භාජනයකට දමා පොඩි කොට එයට ගම්මිරිස් ස්වල්පයක්, ලියා ගත් රතුලූනු, පොල් හා ලුණු ස්වල්පයක් දමා මදක් රත්කොට ආහාරයට ගන්න. පොල් බෑයේ උඩින්ම ඇති දිය සහිත පොල් කොටස පමණක් දිය බතට එක්කර ගත යුතු ය.

 මෙම ආහාරය අම්ල පිත්තයට පමණක් නොව උෂ්ණාධික බව නිසා ඇතිවන මුඛ පැලීම, මුඛ බිබිලි ආදියටද ගුණදායක වේ. මෙම රෝගයට සුදුසු ආහාර වශයෙන් පතෝල, ගොටුකොළ, නිවිති, වැටකොලු, අළු කෙසෙල්, දිය ලබු, සාරණ, පුහුල්, තම්පලා, කොහිල, එරබොදු දළු, වැල්පෙනෙල, එළබටු,    ළපටි වම්බටු, කැරට්, මුං ඇට, කුඩා මාළු වර්ග, කිතුල් පිටි, නිවුඩ්ඩ සහිත හාලේ බත්, කිරිබත්, දියබත් යනාදිය දැක්විය හැක. 

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.