වයිරසය සමඟ කතා බහ වන ප්‍රතිශක්තිය

ජූලි 3, 2020

මුළු ලෝකයම අකර්මන්‍ය කරමින් ජීවිත ලක්ෂ ගණනින් බිලිගනිමින් වර්තමානයේ ශීඝ්‍රයෙන් පැතිරී යන මෙතෙක් කථා බහට ලක් වූ වයිරසයක් වේ නම් එය ඛ්ධමඪඤ -19 හෙවත් නව කොරෝනා වයිරසය යැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ.

ගමින් ගමට, ප්‍රදේශයෙන් ප්‍රදේශයට, රටින් රටට මෙසේ වසංගත මෙන් පැතිරී යන රෝග පිළිබඳව ආයුර්වේදයේ ඉතා පැහැදිලි ලෙස විග්‍රහ කොට ඇත. ජනපදෝතිවංශ හෙවත් ජනපදයෙන් ජනපදය විනාශ කරමින් පැතිරී යන මෙම බෝවන රෝග, වසංගත රෝග ලෙස නම් කර ඇත. සංක්‍රාමික රෝග ලෙසින්ද හඳුන්වනු ලබන්නේ මෙම වසංගත රෝගයි.

ප්‍රසංගාත් ගාත්‍ර සංස්පර්ශාන්

නිඞ ස්වාසාන් සහ භෝජනාත් 

සහස්‍යාත් සතච්චාපි 

වස්ත්‍ර මාලාළුානුලේපනාත් 

කුෂ්ටං ජ්වර ශෝථෝ සච්ච 

නේත්‍රාභිෂ්‍යන්ද ඒවච 

ඖපසර්ගික රෝගශ් ච 

සංක්‍රාමන්ති නරාන් නරඞ 

ස්පර්ශය, හෙළන සුසුම, එක්ව ආහාර ගැනීම, එක්ව නිදා ගැනීම, ඇඳුම්– පැලඳුම්, ආලේපන, පලඳනා පොදුවේ භාවිතා කිරීම යන මේවා නිසා කුෂ්ට රෝග, ජ්වරය හෙවත් උණ, අසාත්මිකතා ,ඇස් රුදාව, සමාජ රෝග වැනි රෝග පුද්ගලයා ගෙන් පුද්ගලයන්ට සංක්‍රමණය වීම හෙවත් බෝවීම සිදුවන බව එසේත් නොමැති නම් ආසාදනය වන බව සුශ්‍රැත සංහිතාවේ පස්වන අධ්‍යාසයෙහි 30-34 යන ඉහත ශ්ලෝක මගින් කදිමට විග්‍රහ කොට ඇත. 

වර්තමානයේ මෙම ආසාදනය පිළිබඳ නිතරම අසන්නට ලැබුණද මීට වසර දහස් ගණනකට පෙර සිටම ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රය තුළ මේ පිළිබඳව දක්වා ඇති බව ඉතා පැහැදිලිය. දේශීයත්වයෙන් මිදී සංවර්ධනය නාමයෙන් අපේකම හා සරල බව අත් හැර දැමීම තුළ මෙවැනි වයිරස් රෝග බීජ ව්‍යාප්තිය සුලබ වී ඇත. 

චීනයෙ වූහාන් නගරයෙන් පටන්ගෙන දේශ දේශාන්තර කරා ශීඝ්‍රයෙන් පැතිරී යමින් මුළු ලෝකයම දණ ගැස්සූ මෙම වයිරසය ජය ගැනීමට ප්‍රතිශක්තිය අත්‍යවශ්‍යම කරුණකි. ප්‍රතිශක්තිය යනු රෝගයන්ට ඔරොත්තු දීමේ ශක්තිය ශරීරය තුළින් නිර්මාණය වීමයි. එනම් ප්‍රතිදේහ නිර්මාණය වීමයි. 

ලොකු කුඩා ඕනෑම රටකට තම රටට ආවේණික වූ දේශීයත්වයක් ගොඩ නැගී පවතී. සොබා දහමට හිරිහැර නොකර ලෝකය ජය ගැනීමට උත්සාහ කළා නම් මෙවැනි ව්‍යසනයන්ට ගොදුරු වීම වළක්වා ගත හැකිය. නමුත් තරගකාරි බව, මමත්වය, වෛරය, ක්‍රෝධය, පළිගැනීම වැනි පටු ආකල්පවලින් හෙම්බත් වී මුදල් හා බලය පසු පස හඹා යමින්, සොබාදහම විනාශ කරමින් යන ගමනක අවසානය මෙවන් ව්‍යසනයක් තුළින් වඩ වඩාත් තහවුරු වනු ඇත. 

අනාගතයේදී අඟහරු ලෝකයේ ජීවත් වන්නට පෙරුම් පිරූ අපි Covid -19 වෛරසය ඉදිරියේ අද දණ ගසා ගෙන ජීවිතය යදිමින් සිටිමු. නිදාගෙන සිහින දකිනවාට වඩා පියවි සිහියෙන් බලාපොරොත්තු ඇති කර ගැනීම සිය දහස් ගුණයක් වටින බව තේරුම් ගත යුතුය. 

කෙසේ වෙතත් Covid -19  හෙවත් නව කොරෝනා වයිරසය විසින් මුළු ලොවම ගිල ගෙන හමාරය. අනාගතයේදී මීටත් වඩා භයානක වයිරස වලට මුහුණ දීමට සිදුවීමට පුළුවන. එබැවින් එවැනි ව්‍යසනයන්ට ගොදුරු නොවී ආරක්ෂා වීමට වග බලා ගත යුතු වේ. ඒ සඳහා ප්‍රාථමික සෞඛ්‍ය සංරක්ෂණ විධි ක්‍රියාත්මක කළ යුතුය. මෙහි දී අප හා අප ජීවත්වන අවට පරිසරය පිරිසුදුව තබා ගැනීම ප්‍රධාන වේ. 

අතීතයේ දෙවියන්ගේ ලෙඩ වශයෙන් හැඳින්වූ සරම්ප,  පැපොල, කම්මුල්ගාය. නේත්‍රාභිෂ්‍යන්දය වැනි බෝවන රෝග වැලඳුණු කල්හි එම රෝගියා සහ ඔහු විසින් පරිහරණය කරන දෑ සමගින් සති දෙක තුනක් වෙන් කොට තබා, කිළිකුණුවලින් ඈත්කොට සරල ආහාර රටාවකට හුරු කරමින් වෙන් කොට තබයි. උණු ජලය, සැහැල්ලු ආහාර පාන රෝගියාට ලබාදී ශරීරයට විවේකයද ලබා දෙමින් රෝගය මනා ලෙස පාලනය කෙරුණි. නිවැසියන්ගෙන් හා පිටස්තර අයගෙන් රෝගියා ඈත් කොට රෝග ව්‍යාප්තිය පාලනය කිරීම එහි මූලික අරමුණයි. මෙකී සංසිද්ධියම Covid -19  වයිරසය ජය ගැනීමට හේතු වූ බව සාක්ෂි සහිතව අපි දැක ගත්තෙමු. 

  

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.