සසර කලකිරීමට හේතු වන ග්‍රහබලය

පෙබරවාරි 22, 2019

අනවරාග්‍ර වු බිහිසුණු සංසාරයේ කර්ම හා ලෝභය නිසා සත්වයෝ ඉපිද ඉපිද මැරි මැරී සසර ගමනේ යෙදෙති. ලෝකය විවිධය. විෂමය. ස්ත්‍රී පුරුෂයින්ගේ හැඩහුරුකම් ගතිගුණ එකිනෙකාට වෙනස් වන අයුරින් කර්මානුරූපවද ග්‍රහ පිහිටීම් අනුවද ඇතිවේ. එක සමාන දෙදෙනෙක් සොයා ගැනීම අතිශයින්ම දුර්ලභ කරුණකි. ඒ වගේම සමාන කේන්ද්‍ර දෙකක් සොයා ගැනීමද ඉතා අසීරුය. යමෙක් උපන් අවස්ථාවේ ඔහුගේ කේන්ද්‍රයේ විවිධ ග්‍රහ පිහිටීම් ග්‍රහ යෝග යෙදේ. ලෞකික වශයෙන් ඉතාමත් දියුණු තත්වයකට පත්වන යෝගද, සසර කලකිරී අධ්‍යාත්මික පැත්තටම ඇදී යන යෝගද මේ අතර තිබේ. මෙයින් පැවිදි යෝග පිළිබඳ කෙටි විස්තරයක් මෙහි සඳහන් වේ.

දුරාතීතයේ සිට කුල පුත්‍රයෙකු සසුන් ගත කළේ ඔහුගේ ජන්ම පත්‍රය බලා සසුනේ රැඳී සිටීමට හා පැවිදි බවේ ගරුත්වය රැක ගෙන සිටිය හැකි ශ්‍රමණ යෝග යෙදී තිබුණොත් පමණක් විය. ඒ බැව් පැරණි පොත පතින් පෙනේ. එසේ වුවද මෙකල ආගම දහමට ලැදිව සැදැහැ බැතියෙන් ශ්‍රමණ යෝගද ඇතිව පැවිදි වන්නේ ඉතා විරල වශයෙනි. මෙසේ වීමට හේතු සාධක කරුණු කොතෙකුත් තිබේ. ඇතැම් මව්පියවරු ඉතා දුප්පත්කම නිසා දරුවන්ගේ ජීවනෝපාය සැලසිය නොහැකිව දරුවන් ජීවත් කරවීමේ පරමාර්ථයෙන්ම පැවිදි කරවති .මෙවන් තැනැත්තෝ විහාරස්ථානවල ආදායමෙන් හා දායකයන්ගේ අනුග්‍රහයෙන් ඉගෙන ගෙන රැකියාවක් ලබා විවාහ වීමේ අදහසින් සිවුරු හැර යති. ඇතැමෙක් සසුන්ගත වී ආගම දහම මෙන්ම පැවිදි දිවියද හොඳින් රැක ගනිති. එසේ වූ පැවිදි යෝග ඡ්‍යොතිෂයේ බොහෝ ඇති අතර ඒ ගැන මෙතැන් සිට විමසා බලමු.

ගිහිගේ ගිනිගේ ලෙස සිතා කලකිරී පැවිදි වන උසස් ග්‍රහ යෝග හැම එකක්ම වාගේ කේන්ද්‍ර ස්ථාන 5,9 ත්‍රිකෝණය සම්බන්ධ කරගෙනම යෙදී ඇති බව පෙනේ. කේන්ද්‍රයක 5,7 ඇසුරින් යෙදීම ඊළඟට ප්‍රධාන වේ. මෙසේ යෙදෙන ග්‍රහයින්ගෙන් සෙනසුරු ප්‍රධාන වන අතර සඳු හා ගුරු මෙහිලා මුල්වේ. ඕනෑම දුක් කරදරයක් විඳ දරා ගැනීමට ශනි බලවත් වූ තරමට හැකිවේ. දුකට අධිපති ග්‍රහයා සෙනසුරාය. සිතට අධිපති සඳු ශනිගේ බැල්මෙන් සිතිවිලි ලෝකෝත්තර පැත්තට හැරේ. රාශි චක්‍රයේ නවයට අධිපති ගුරු සියුම් නුවණට සිප් සතරට අදිපති නිසා බොහෝ බලවත් වේ. රාශි දොළහෙන් කේන්ද්‍රයක ස්ථාන 12 අතුරින් 9 පින හා ඉගෙනීමටද 10 ක්‍රියාකාරිත්වයටද, 11 ආශ්‍රය ලැබීම්, වස්තුව ආදී දේටද, 12 දුක් විඳීමටද සැලසීම ප්‍රධාන වේ. ශනි, ගුරු, සඳු යන ග්‍රහයන් තිදෙනාගෙන් මූලික වශයෙන් ඉහත සඳහන් කාර්ය සාධනය වේ. ලග්නය අයිති කුජද 5 හිමි රවිද සංයෝග වී ඉතා බලගතු වූ පැවිදි යෝග යෙදෙන බව දෝසතර තුළින් පෙනේ. නමුත් මෙවන් ප්‍රබල වූ නියම පැවිදි යෝග පිහිටන්නේ ඉතා කලාතුරකිනි.

කලාභූෂණ ශාස්ත්‍රශූරි කාව්‍ය ශිරෝමණී අමුවල අමරසේන

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.