ඔබේ මරණය මෙසේ විය හැකියි

මාර්තු 12, 2021

උපදින හැම සත්වයකුම මරණයට පත්වීම ස්වභාවිකය. එය කෙසේ කවදා කොහොම සිදු වේද යන්න නියත වශයෙන්ම කිව හැකි අයෙක් මෙලොව නොමැත. එහෙත් එය ඡ්‍යොතිෂයට අනුව අනුමාන වශයෙන් කිව හැකිය. ජන්මියාගේ කේන්ද්‍රය නිවැරදි ලෙස සකස් කර ඇත්නම් මරණය සම්බන්ධවද අනාවැකි සාමාන්‍ය වශයෙන් කිව හැකිය.

මරණය විවිධාකාරය. කෙනෙකුට එය ඉතා සුවදායක අවස්ථාවක් විය හැකි අතර, තවත් සමහර අයෙකුට එය විඳ දරාගත නොහැකි දුක්බර අවස්ථාවක් විය හැකිය. එය කෙසේ වෙතත් ඒ ඒ අයගේ ආයු කාලය අවසන්වීම පිළිබඳව කේන්ද්‍රයේ සටහන්ව ඇති බව කිව යුතුව ඇත. කේන්ද්‍රයේ අටවැන්න හා සයවැන්න ගැන මනා අවබෝධයක් ලබා ගැනීමෙන් කෙනෙකුගේ මරණය පිළිබඳ දැනගත හැකිය.

මරණය පිළිබඳ අප විමසන්නේ සයවැන්න හා අටවැන්නෙනි. මේ අනුව රවි, සඳු, හය , අට වැනි ස්ථානයක සිටීම සිවුපා සතුන්ගෙන් මරණය ඇති කිරීමකි. සිව්වැන්නේ කුජ සිටින විට ශනි දහයේ සිටීම ද තිරිසන් සතුන් නිසා මරණයට පත්වෙන බව පෙන්නුම් කරයි. දහවැන්නේ රාහු, සිකුරු, සිටීම ද නැතිනම් කුජ, ශනි අටේ සිටීම සර්පයන් දෂ්ට කිරීම නිසා වන මරණයකි. කුජ හයවැන්නේ දුර්වල වීම ශල්‍යකර්ම ආදිය හේතුකොටගෙන සිදුවන මරණයකි. රවි හතේ සිටින විට කුජ, ගුරු දහවැන්නේ සිටීම ද ඒ අයුරින්ම වෙයි. එය විෂ ශරීරගත වීම නිසා සිදුවන මරණයක් වේ.

ශනි, කුජ ඔවුනොවුන් සතුරු වී අටවැන්නේ සිටීමෙන් සියදිවි නසා ගැනීමට කෙනෙක් පෙලඹෙයි. මෙය වෘශ්චික ලග්නය හිමි අයෙකුගේ නම් ඊට හේතුව පේ‍්‍රම සම්බන්ධයක් හෝ විවාහය නිසා බව පෙන්නුම් කරයි.

ජලයේ ගිලීමෙන් ඇති වන මරණවලට සඳු නොහොත් චන්ද්‍රයා විශේෂයෙන් බලපායි. මේ අනුව හතර, හත, දහය යන ස්ථානවලදී ශනි, සඳු මිශ්‍ර වී සිටීම නිසා දියේ ගිලීම ඇති කරවයි. අට,දොළහ වැනි ස්ථානවල සඳු දුර්වලවීමෙන් ද මෙසේ වෙයි. සඳු, රවි මීන රාශියේ සිටීම ද දියේ ගිලීමෙන් මරණය සිදුවීමට බලපායි. මකර රාශියේ සඳු ද, දහවැන්නේ ශනි ද සිටීම දියර වර්ගයක් විෂවීමෙන් මරණයට පත්වීමකි.

හතරවැන්නේ රාහු සමඟ හය,අට යන ස්ථානවල යෙදීම සොරුන්ගෙන් හෝ ආයුධවලින් මරණය ඇති වීමක් පෙන්වයි. කේතු හතර අධිපති සමඟ හය, අට ස්ථානවල සිටීම ද ඒ අයුරින්ම වන මරණයකි. රවි, කුජ ග්‍රහයින් දෙදෙනා විසින් ගෙන දෙන මරණය මෙයට වඩා වෙනස් වෙයි. රවි, කුජ දහය හෝ හතරේ සිටීම උසකින් වැටීමකින් වන මරණයකි. මේෂ, ධනු, සිංහ යන ලග්න හිමියන්ගේ හතරවැන්නේ මෙම යෝගය යෙදීම උසකින් වැටුන දෙයකින් හෝ මරණ සිදු කරයි. මිථුන, කුම්භ, තුලා යන ලග්නවලින් උපන් අය මේ යෝගය දහවැන්නේ යෙදීම එම ප්‍රතිඵලයම සිදු කරයි.

සඳු, මේෂ, වෘශ්චික වැනි රාශියක හය, අට, අධිපතීන්ට සම්බන්ධ වී සිටීම ආයුධවලින් වන මරණයක් පෙන්නුම් කරයි. සඳු පාප දෘෂ්ටි සහිතව හෝ ශනි, රවි සමඟ එකට සිටීමෙන් තමන් විසින්ම කරගන්නා දිවි නසා ගැනීමක් පෙන්නුම් කරයි. මෙහිදි සිකුරු, මේෂ, වෘශ්චික සමඟ සිටී නම් ස්ත්‍රියක් නිසා මරණය සිදු වීමට පුළුවන. ශනි, බුධ අටවෙනි ස්ථානයේ සිටීම බරපතළ පහරවලින් ස්නායු පීඩාවට පත්ව දුකසේ මිය යාමකි. අටවැන්න මේෂ රාශිය වූයේ නම් හිස තැලීම ද, වෘෂභ නම් මුහුණ ද ආදි වශයෙන් ඊට ගොදුරු වේ.

සෙනසුරු අටවැන්නේ සිටීම රිය අනතුරුවලට හේතු වේ. කුජ දොළොස් වැන්නේත්, සෙනසුරු අටේ සිටීමත්, කෙනෙකු කොයිතරම් ධනවත් වුවත් සුඛෝපභෝගි ජීවතයක් ගත කළත් ඉතාම දුක්ඛදායි ලෙස මරණයට පත්වීමක් පෙන්නුම් කරයි.

සිව්වැන්නාධිපතිගේ පිහිටීම අනුව නොයෙක් අයුරින් මරණ ඇති කරයි. ඒ අනුව හතර අධිපති හයවැන්නේ සෙනසුරු හෝ රාහු සමඟ යෙදීම අටවැන්නේ දොළහ අධිපතියන් සමඟ මිශ්‍රවීම ද වාහනවලින් වන අනතුරුවලට හේතුවකි.

කැපුම් කෙටුම්වල හේතුවෙන් සිදු කෙරෙන මරණ මෙයට වඩා වෙනස් පිහිටීම් ඇති කරයි. මෙය ද සඳුගේ බලපෑම අනුව සිදු වෙයි. රවි, කුජ, ශනි දහවෙනි ස්ථානයේ සිටීම, පහ, හය ආදි ස්ථානවල සඳු දුර්වල වීම, ඊට රාහු, ශනි, කුජ සංයෝගවීම දෙක, හතර, දහය ආදී තැන්වල සඳු, කුජ සිටීම ආදි යෝග පිහි ඇනුම් ආදිය නිසා මරණයට පත්වෙන බව කියැවේ.

ශනි, කුජ, රාහු අටේ සිටීම ආයුධ පහරවලින් වන මරණයකි. එය ක්ෂණිකව ද සිදු වේ. එමෙන්ම රවි අටවෙනි ස්ථානයේ සිටින විට ගින්දර හෝ විදුලි සැර නිසා ද සඳු සිටි කල දියර විෂ වර්ග ශරීරගතවීමෙන් මරණයට පත්වීම හෝ බුධ සිටීම ස්නායු දුර්වලකම් නිසා ද, ගුරු සිටීම බඩේ අසනීපවලින් හෝ වාතාබාධ ආදියෙන් ද, සිකුරු සිටීම ආහාර නොමැතිකම නිසා ද සෙනසුරු සිටීම පිපාසය, වාතාබාධ ආදිය නිසාද මරණයට පත්වෙන බව ඡ්‍යොතිෂය අනුව පෙන්නුම් කරයි. හතර කේන්ද්‍රයෙන් එක් ග්‍රහයෙක් උච්ච 8 හි සිටි විටත් ආයුෂ අඩු වීමට හේතුවක් වෙයි. බොහෝවිට එවැනි අය හෘදය වස්තුවේ දුර්වලතාවයන් ගෙන් හෝ නහර දුර්වලතාවයෙන් මරණයට පත්විය හැකිය. කුජ 8 වැන්නට කිසිසේත් ශුභපල නොදෙන ග්‍රහයෙකු වේ. හදිසි අනතුරකින් මිය යාමට මෙය විශේෂ පිහිටීමක් වනු ඇත.

කේන්ද්‍රයේ අටවැන්න අධිපතියා 2,6,12 ස්ථානවල තැන්පත්ව සිටී නම් නිතර නිතර ඔබ අසනීප ගතියෙන් පෙළෙන අයෙකු කරයි. මරණය සිදුවන්නේ ද කලක් රෝගිව ඉඳ ඇඳ මත සිටීමෙන්ය. නැතහොත් රෝහලකදීය. අටවැන්න අධිපතියා තුන්වැන්නේ සිටි විට ඔබේ මරණය සිදුවන්නේ මහ මඟ ගමනකදීය. අටවැන්න අධිපතියා හයවැන්නේ සිටි විට සතුරන් මැද දී හෝ සතුරන් නිසා මරණය සිදු වීමට ඉඩ ඇත. අටවැන්න අධිපතියා 8 හිම සිටි විට සිය නිවසේ හෝ සියදිවි නසා ගැනීමකින් මරණය සිදු විය හැකිය.

අටවැන්නේ කිසිම ග්‍රහයෙකු නොසිට කුජ ග්‍රහයා අටවැන්නට දෘෂ්ටි හෙලයි නම් අධික උෂ්ණාධික රෝගයකින් එම අයගේ මරණය සිදු වෙයි. අටවැන්න ගුරු ග්‍රහයාට හිමි වී එම රාශියේ කිසිම ග්‍රහයෙකු නොසිට කිසිඳු දෘෂ්ටියකට ලක්නොවී එම රාශි අධිපති ගුරු ග්‍රහයා හේතු කොටගෙන කාෂ රෝග, ක්ෂය රෝග, හෘදයාබාධ යනාදි රෝගයකින් එම ජන්මියාගේ මරණය සිදු වෙයි. එමෙන්ම අටවැන්නේ කිසිම ග්‍රහයෙකු නොසිට කිසිම දෘෂ්ටියකට ලක් නොවී කිවි ග්‍රහයා අට අධිපතියා වීමේ හේතුවෙන් දියවැඩියා රෝගය, ප්‍රමේහ රෝග, ලිංගික රෝග නැතහොත් ස්ත්‍රීන් ආශ්‍රය කිරීම නිසා වැලඳෙන කිසියම් රෝගයකින් මරණය විය හැකිය.

(පොතපත ආශ්‍රයෙනි)

 

හිඹුටානේ

පියතිලක ද අල්විස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.