මාතෘභූමියේ නිදහසට වසර 73යි

ජනවාරි 29, 2021

ස්වභාවික සම්පතින් හා සුන්දරත්වයෙන් ද අනූන මෙන්ම උසස්ව කුරුඳු නිපදවන, ලොවහොඳම නාවික කේන්ද්‍රස්ථානය ද වන අපේ මාතෘභූමිය අත්පත් කර ගන්නට යුරෝපා ජාතීන්උත්සාහ කළේ 16 වන සියවසේ සිටය.

 

ඒ අනුව ක්‍රි. ව. 1505දී ලංකාව ආක්‍රමණයට පැමිණි පෘතුගීසින් ද ක්‍රි. ව. 1658දී මෙරට ආක්‍රමණය කළ ලන්දේසින් ද ක්‍රි. ව. 1796දී ඉංග්‍රීසින් ද අප රට මු‍ළුමනින්ම අත්පත් කර ගන්නට දැරූ උත්සාහයන් අපමණය. ඉංග්‍රීසින් ඉතාම උපායශීලීව ජෝන් ඩොයිලි නම් ඔවුන්ගේ රාජකීය චරපුරුෂයා මඟින් මෙහි පැමිණ වසර 19 ක් (ක්‍රි. ව. 1796 – 1815) වැනි කාලයකින් වර්ෂ 1815දී අපේ රටේ පාලන බලය මුළුමනින්ම සියතට ගන්නට සමත් වූ දා පටන් අප මුළුමනින්ම පරාධීන ජාතියක් බවට පත්විය. එතෙක් පෘතුගීසින්ට ද ලන්දේසීන්ට ද අපේ මුහුදුබඩ ප්‍රදේශ හැර උඩරට රාජධානිය යටත් කර ගැනීමට පවා අවස්ථාවක් නොලැබුණි. ඒ අප නම් වශයෙන් දන්නා මෙන්ම නොදන්නා දසදහස් ගණනක් තරුණ හෙළ පුතුන් හා රටදැය, සමය දිවි පරදුවට තබා රැකගන්නට වෙහෙසුණු දෑහිතකාමී සංඝ පීතෘවරු ඇතුළු අපේ දේශප්‍රේමී සංවිධාන හා රට, ජාතිය, ආගම රකින්නට ඉදිරිපත් වූ බලමුළු නිසාවෙනි.

බ්‍රවුන්රිග්ගේ උපාය ජෝන් ඩොයිලි අකුරටම ඉටු කරයි. මුහුදුබඩ ප්‍රදේශ හා කොළඹ දක්වා වූ සමහර ප්‍රදේශ මිස කන්ද උඩරට රාජධානිය පෘතුගීසී හා ලන්දේසී පාලකයන්ට නතුකර ගැනීමට නොහැකි වූවත් ශ්‍රී ලංකාවට පැමිණි රොබට්බ්‍රවුන්රිග් (ක්‍රි. ව. 1812 – 1820) ආණ්ඩුකාරවරයා කන්ද උඩරට රාජධානිය අත්පත් කර ගැනීමට ඉතා සූක්ෂම ලෙස උපායක්‍රම යෙදුවේය.

ඔහු විසින් මේ සඳහා ඉංග්‍රීසින්ගේ චරපුරුෂයෙකු ලෙස යෙද වූ ජෝන් ඩොයිලි උඩරට රජුගේ හා රදළ ප්‍රභූවරුන්ගේ මෙන්ම පූජ්‍ය පක්ෂය සමඟ ද සමීප හිතවතෙකු ලෙස පෙනී සිට ඔවුන් එකිනෙකා සමඟ ද ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සමඟ ද එතෙක් පැවතී සමඟිය බිඳවීම තුළින් මෙම රහසිගත කුමන්ත්‍රණය දියත් කළේය. නායක්කාර් වංශිකයෙකු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු (ක්‍රි. ව. 1798 – 1815) නෙරපා හැර සිංහලයේ රජකම පතා කුමන්ත්‍රණදියත් කළ මොල්ලිගොඩ ඇතුළු මහනුවර රජවාසලේ බලය තහවුරු කරගත් උඩරට රදළ නිළමේවරු පිළිබඳ මහත් සැකයෙන් පසු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සුරා සොඬෙකු, උන්මන්තකයෙකු මෙන්ම බෞද්ධාගම, බෞද්ධ වෙහෙර විහාර විනාශ කරන්නෙකු, සංඝයා වහන්සේලාට හිංසා පමුණුවන්නෙකු බවට පත්කොට සිංහල ප්‍රභූවරුන් හා උඩරැටියන් විසින්ම අප රට මුළුමනින් ඉංග්‍රීසින්ට අත්පත් කර ගන්නට අවස්ථාව උදා කළේ ජෝන් ඩොයිලි විසිනි. මේ වෙනුවෙන් එවකට සිටි ආණ්ඩුකාරවරයා වූ රොබට් බ්‍රවුන්රිග්ගෙන් ජෝන් ‌ඩොයිලි නම් ශූර කපටි සෙනෙවියා විශේෂ වරප්‍රසාද හා තිළිණ ලබමින් බ්‍රිතාන්‍යයේ “වීරයකු” බවට පත්විය.

සිංහල රදළයන්ගේ අනුවණකමේ විපාක

මේ වකවානුවේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට විරුද්ධව මුළු උඩරටම නැඟී සිටින්නට තවත් ප්‍රබල හේතුවක් වූවේ ඇහැළේපොළ අධිකාරම්තුමාගේ සත් හැවිරිදි පුතු මද්දුම බණ්ඩාර ඇතුළු ඇහැළේපොළ කුමාරිහාමි, ඇයගේ නැගණිය (මොණරවිල කැප්පෙටිපොළගේ නැඟණියන්), වැඩිමහල් පුතු, ලොකුබණ්ඩාර, කුඩා දියණිය ඇතුළු සියලු දෙනා ඉතා කෲර ලෙස මරා දැමීමට රජු ක්‍රියා කිරීමයි. ලංකා දිවයිනට 1796දී ගොඩබට ඉංග්‍රීසින්ට වසර 19 ක් වැනි කෙටි කලක් තුළ උඩරට බලයද අත්පත් කර ගන්නට හැකිවීමේ කතා පුවත පසුබිමේ පෙරමුණ ගත්තේ ය.

උඩරට රදළ පරපුරේ අනුවණ කැරැල්ලයි

සිංහල රාජධානි සමය නිමා කළ උඩරට ගිවිසුම.

ජීවග්‍රහයෙන් අල්ලා ගත් පසුව ඉංග්‍රීසින්ගේ සිරකුරුවෙකු ලෙස ඒ වන විට බ්‍රිතාන්‍යයේ මයටත් විජිතයක් වූ ඉන්දියාවේ “වෙල්ලෝරයට” ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පිටත්කර යැවිණි. මේ අනුව 1815 මාර්තු මස දෙවැනිදා උඩරට රදළයන් හා ඉංග්‍රීසින් අත්සන් කළ වගන්ති 12කින් යුත් “උඩරට ගිවිසුමේ” පළමු වගන්තියෙන්ම ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ කෲර පාලනය ගැන විස්තර කෙරුණු අතර, ගිවිසුමේ 5 වන වගන්තියෙන් බෞද්ධාගමට නිසි තැන දී කටයුතු කරන බවටත්, බෞද්ධ විහාරස්ථාන හා‌ දේවාල ද ආරක්ෂා කරන බවටත් ඉංග්‍රීසිහු ප්‍රතිඥා දී තිබුණි. උඩරට රදළවරුන් විසින්ම ඉංග්‍රීසින්ගේ මේ කපටි ලියවිල්ල හෙවත් උඩරට ගිවිසුම අත්සන් කිරීමෙන් වඩාත් ප්‍රකට වන්නේ සිංහල රාජධානි සමය එතෙකින් නිමා වූ බවයි. දේශ හිතෛෂී මුළුමහත් බහුතර හෙළයන්ට එදින අතිශය ශෝකජනක දිනයක් විය.

ගිවිසුම අත්සන් කළ මුල් කාලයේ ඉංග්‍රීසීන් උඩරට රදළවරු, ප්‍රභූවරු හා භික්ෂූන්ගේ සිත් දිනා ගැනීමට කටයුතු කළ ද ඉන්පසු ටික කලෙකින්ම අවිගත් ඉංග්‍රීසි නිලධාරීන් අත්තනෝමතික කෲර පාලනය අරඹමින් විවිධ අන්දමින් සිංහලයන් තලාපෙළා දමන්නට කටයුතු කළහ. නොසිතූ නොපැතූ ලෙස උඩරට රදළවරුන්ගේ සමාජ තත්ත්වයට මෙන්ම ආර්ථික තත්ත්වයට ද ඉංග්‍රීසින් මරු පහරක් එල්ල කරමින් දරුණු පාලනයකට උඩරට යටත් කරන ලදී. ලක්දිව රාජ්‍යත්වයේ උතුම් සංකේතයක් සේ පිළිගැනුණු දළදා වහන්සේ ඉංග්‍රීසින්ගේ භාරයට පත්වීම ද එතෙක් පැවතුණු දළදා පුද සිරිත් හා දළදා පෙරහැර නවතා දැමීම ද උඩරැටියන්ගේ මෙන්ම මුළු සිරිලකෙහිම ස්වාධීනත්වයට අන්තරායකාරි වන බව ඒ වන විට හෙළයන් හොඳීන්ම වටහාගෙන තිබිණි.

1818 කැරැල්ල

ඉංග්‍රීසින්ට විරුද්ධව, සිංහලේ නිදහස් අරගලය තුන් කෝරළය, සතර කෝරළය හා සත් කෝරළය පුරා පැතිර ගියේය. ඉංග්‍රීසින්ට විරුද්ධව සටන් වදින සියල්ලෝම රාජ්‍යද්‍රෝහීන් ලෙස නම් කෙරුණහ. ඔවුන් අතරට මොණරවිල කැප්පෙටිපොළ, බූටෑවේ රටේරාළ, කොහුකුඹුරේ රටේරාළ, කැටකැලේ මොහොට්ටාල, දෙහිගොල්ලේ රටේරාළ, ඔවිය රටේරාළ, කුඩා බෙත්මේ නිළමේ, මහ බෙත්මේ නිළමේ, ගොඩගෙදර අධිකාරම්, භාගිනිය රටේ රාළ ඇතුළු 17 දෙනෙක් මේ පිරිසට අයත් වූහ. මේ විරුවන් සියලු දෙනා අමු අමුවේ ඉංග්‍රීසින් අතින් ඝාතනයට ලක්විය.

උඩරට යුද නීතිය

මේ අනුව ඉංග්‍රීසින්ට විරුද්ධව උඩරට පුරා කැරලි ඇති වූ අතර, එම තත්ත්වය සැලකිල්ලට ගත් ඉංග්‍රීසිහු 1818 පෙබරවාරි 02 වැනිදා යුද නීතිය ක්‍රියාත්මක කළෝය. මේ සමඟ ඔවුහු උඩරැටියන්ගේ ගෙවල්, ගම්බිම් හා පැසුණු ගොයමින් පිරුණු කුඹුරු පවා ගිනිබත් කළෝය. සිංහලයන් දහස් ගණනින් මරා දැමූහ. මෙලෙස 1818 කැරැල්ල මෙහෙයවූවන් ඇතුළු විශාල පිරිසක් අල්ලාගත් ඉංග්‍රීසින් ඔවුන් වෙඩි තබා මරා දැමූහ. මෙහිදී ඉංග්‍රීසින්ට පක්ෂපාති වෙමින් මොල්ලිගොඩ කටයුතු ක‌ළේය. මඩුගල්ලේ නිළමේ, ඉපලෝගම මොහොට්ටාල, කිවුලේ ගෙදර මොහොට්ටාල ආදී බොහෝ දෙනෙක් ද ඉංග්‍රීසින් විසින් වෙඩි තබා මරා දැමුණහ. පිළිමතලාවේට සහ ඇහැළේපොළට සිරදඬුවම් නියම කෙරිණ. එයින් පසු ඉංග්‍රීසිහු උඩරට කිසිම රදළයකු විශ්වාස නොකළහ. සිංහලයන් සතු සියලු බලතල ඉංග්‍රීසින්ට පැවරිණ.

උසුලාගත නොහැකි වූ බදු බර

කෝල්බෲක් ප්‍රතිසංස්කරණයෙන් පසු 1848 දී මහලේකම් ලෙස කටයුතු කළ ‘එමර්සන් ටෙනන්ට්’හා ‘ටොරිංටන් සාමි’ (ක්‍රි. ව. 1848 – 1850) ජනතාව මත විශාල වශයෙන් “බදු බර” පටවන්නට ඉංග්‍රීසි ආණ්ඩුව කටයුතු කිරීමෙන් සිංහල ජනයා තව තවත් කුපිත වන්නට වූ අතර රටේ විවිධ තැන්වල තරුණ පිරිස් එක්සත් වී රටපුරා කලකෝළාහල ඇති කරන්නට වුහ. මෙසේ පනවන ලද බදු වූයේ,

 

තුවක්කු බද්ද

බලු බද්ද

ඇඟ බද්ද

කරත්ත බද්ද

පොළ බද්ද

පාර බද්ද

ඔරු බද්ද

කඩසාප්පු බද්ද

ජනතාව මත පටවන ලද මෙම අසාධාරණ බදු නිසා ඉංග්‍රීසින්ගේ කෲර රාජ්‍ය පාලනයෙන් ‘කබලෙන් ළිපට වැටුණු හෙළයන්’ ඉංග්‍රීසින්ට සදහටම වෛර කරන තම ජාතිකත්වය පිළිබඳ හැඟීම්බර ජාතියක් බවට පත්වූහ. උඩරට ප්‍රභූවරුන් හා සංඝයා වහන්සේ රවටා ලබාගත් බලය රටට ඉතා අහිතකර ලෙස ගොඩනැඟෙන බව සිංහලයාගේ ඇස් කන් මොළවලට ඉතා තදින් දැනුණේය. මේ සමයෙහි රටපුරා නැඟෙමින් තිබූ ජාතික හැඟීමෙන් ඔද වැඩුණු සිංහල තරුණ සටන් සංවිධාන ඉංග්‍රීසින්ගෙන් දුටුතැන පළිගනිමින් ක්‍රියා කරන්නට වුහ.

1848 කැරැල්ල

නව බදු වලට හා ඉඩම් රජයට ගැනීමට විරෝධය පාමින් 1848දී තවත් ප්‍රබල කැරැල්ලක් ආරම්භ විය. මෙම කැරැල්ලේ පුරෝගාමීන් වූවෝ වීර පුරන් අප්පු හා ගොන්ගාලේ ගොඩබණ්ඩාය. පුරන් අප්පු දඹුල්ල පන්සලේදී කුඩාපොළ හිමියන් හා උඩරට දේශප්‍රේමී සිංහලයන් විසින් සිංහලේ රජු බවට නම් කළේය. ගොන්ගාලේ ගොඩ බණ්ඩාගේ ප්‍රධානත්වයෙන් දඹුල්ලෙන් කැරලි ආරම්භ විය. කැරැල්ලට හේතුව ‘වැඩි බදු’ බව ටොරිංටන් සාමි වටහා නොගත්තේය. හෙතෙම කැරැල්ලට එරෙහිව යුද්ධ නීතිය පැනවූයේය. 1848 කැරැල්ලේදී සටන් මඟින් කොත්මලේ, හඟුරන්කෙත, උඩුදුම්බර, යටිනුවර, උඩුනුවර, හාරිස්පත්තුව, සත් කෝරළය ආදී විශාල ප්‍රදේශයක් අල්ලාගන්නට සිංහලයන්ට හැකිවිය. මෙය හෙළයන්ට නව ශක්තියක් විය. එහෙත් ‘දොරටියාව රටේ රාළ’ ඉංග්‍රීසින් වෙත ගොස් වරප්‍රසාද ලබමින් සිංහලයන් පාවා දෙන්නට වූයේය. මේ නිසා ඉංග්‍රීසිහු සැලසුම් සහිතව පුරන් අප්පු, ගොන්ගාලේ ගොඩබණ්ඩා, හඟුරන්කෙත ඩිංගිරාල, කුඩාපොළ හාමුදුරුවෝ, කළුබණ්ඩා, අඹගස්වැවේ කෝරාළ, රන්හාමි, වන්නිහාමි, නිකලේ පුංචිරාළ, උකුවෙළ බණ්ඩා, මුදලිහාමි, මෙල්පිටියේ අප්පුහාමි, අලවලගොඩ සියාතු, කොළමුණේ පුංචිරාළ ආරච්චි ආදී බොහෝදෙනෙක් අත්අඩංගුවට ගෙන මරා දැමූහ.‌

මේ සමඟ 1848 නිදහස් අරගලය ද අසාර්ථක වී ගියේය. ශ්‍රී ලංකාවේ ඇති වූ මෙම තත්ත්වය බ්‍රිතාන්‍යය කිරීටයේ අවධානයට ලක්විය. බ්‍රිතාන්‍යය රජය ටොරිංටන් ආණ්ඩුකාරයා ගත් ක්‍රියාමාර්ග අනුමත නොකළේය. ඉන්පසු ටොරිංටන් සාමි එම තනතුරින් පහකර ‘ජෝර්ජ් විලියම් ඇන්ඩර්සන්’(ක්‍රි. ව. 1850 – 1855) නම් ආණ්ඩුකාරයකු ලංකාවේ පාලනයට එවීය. හෙතෙම අසාධාරණ බදු සියල්ල ක්‍රමයෙන් ඉවත්කර දැමුවේය. මෙය සිංහල ජනතාවට යම් සහනයක් විය.

ඉංග්‍රීසින්ට ගැතිකම් කරන්නවුන්ට වරප්‍රසාද

1818 හා 1848 සටන්වලට අමතරව තවත් කුමන්ත්‍රණ රැසකට අභියෝගාත්මකව මුහුණ‌

දෙමින් බෞද්ධාගම විනාශ කරමින් තම මිෂනාරි ආගම මෙරට තුළ වපුරන්නට ඉංග්‍රීසින්ට ගැතිකම් කළ කළු සුද්දන්ගේ පරම්පරාවක් බිහි කරන්නට ඉංග්‍රීසින් හැකි සෑම උපක්‍රමයක්ම යෙදුවේය. මිෂනාරි ආගම්වලට බැඳෙන පිරිසට විශේෂ මුදල් වාසි, වරප්‍රසාද තනතුරු පිරිනැමුණු අතර, සිංහල බස යටපත් කරමින් ඉංග්‍රීසි බස පෙරට ගන්නට ඉංග්‍රීසින් විශාල වශයෙන් කොළඹ හා ප්‍රධාන නගර වල මිෂනාරි පාසල් ආරම්භ කළහ. මේ වන විට මත්පැන් හලවල් රට පුරා ව්‍යාප්ත කරමින් තිබූ අතර, ගවයන් ඝාතනය ද ඉහළින්ම සිදු කෙරිණි. (හෙළයන්ට පස්ගෝරස ලබාදුන් කෘෂිකර්මාන්තයට නැතුවම බැරි වූ) ඉංග්‍රීසින්ගේ නම්බුනාම තනතුරු හා මුදල් වාසි වලට රැවටුණු ඉංග්‍රීසින්ට ගැතිකම් කළ කළු සුද්දන් මඟින් යළිත් කිසිදිනක මේ හෙළ බිම සිංහල ලෙයින් පණ ගන්වන්නට ඉඩක් නොතැබීම ඉංග්‍රීසින්ගේ එකම අරමුණ විය.

උපක්‍රමශීලී නව සටන් පෙරමුණු බිහිවෙයි

එහෙත් අපේ වාසනාවට 19 වන සියවස උදාවනවිට ලංකාවේ සමාජ, ආර්ථික, දේශපාලනමය,සංස්කෘතිකමය වශයෙන් ජයග්‍රාහී සංක්‍රාන්ති සමයකට මුහුණ දෙන්නට තරම් වටිනා බුද්ධිමත් දේශහිතෛෂී උපක්‍රමශීලී දේශප්‍රේමින් රැසක් අපේ මව්බිම උපන්නේය. ඉන් වසර ගණනකට පෙර ඔවුන් බොහෝවිට රට වෙනුවෙන් දිවිදුන් විරුවන්ගේ යළි ඉපදීමක් සේ ද සැලකීමට තරම් කාර්යයශූර මෙන්ම බුද්ධිමත් දේශප්‍රේමීන් වූහ. මේ අනුව 1818 හා 1848 සන්නද්ධ අරගලවලටත් වඩා උපක්‍රමශීලී අර්ථවත් සටන් පෙරමුණු තුනක් 19 වන සියවස එළඹෙත්ම අප රට අධිරාජ්‍යවාදීන්ගෙන් මුදවා ගන්නට මූලික වූ බව පැහැදිලිවම කිව හැකියි. එම පෙරමුණු තුන මෙසේය,

ජාතික නිදහස වෙනුවෙන් කකියන ජාත්‍යාලයෙන් යුතුව හෙළයන් දැනුවත් කරමින් ජාතික හැඟීම් පුබුදුවාලු ලංකා ජාතික සංගමය, පරම විඥානාර්ථ සංගමය, බෞද්ධ මහා සම්මේලනය, අමද්‍යප ව්‍යාපාරය මුල්කර ගනිමින් ක්‍රියාත්මක වූ පෙරමුණ. මෙරට වාමාංශික ව්‍යාපාරය තුළින් මෙහෙය වන ලද සර්වජන ඡන්ද බලය පාර්ලිමේන්තු වරප්‍රසාද හෙළයන්ට ද ලබාගැනීමත්, ඒ තුළින් ඉංග්‍රීසින්ගේ අරාජික පාලනය බිඳ හෙළීමට උනන්දු වූ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සුරැකීම අරමුණු කරගත් දේශපාලන පෙරමුණ, දේශය පිළිබඳ මහත් වූ ආලයෙන් අභිමානයෙන් ඔද වැඩුණු පුවත්පත්, ලේඛකයන්, සංඝපීතෘවරුන්, කවියන්, නාට්‍යවේදීන්, මානවහිතවාදීන්, ගත්කරුවන්, දේශකයන්, ගුරුවරුන්, හෙළබස රකින්නට පෙරට ආ තැනට සුදුසු ලෙස කටයුතු කළ හැකි උගතුන් වැනි පෑනෙන් හා නුවණින් රටවැසියා කුළුගැන්වූ දේශප්‍රේමි පෙරමුණ. නිදහස වෙනුවෙන් පෙරමුණ ගත් සංඝ පීතෘවරු. මිෂනාරීන් විසින් ප්‍රචලිත කරන්නට උත්සාහ දැරූ විවිධ “මුද්‍රිත මිෂනාරි ආගම් ප්‍රකාශන” “කැරොල් ගීත” “සංචාරක දේශනා” හා “මිෂනාරි සංවිධාන”, සුරාසැල් වලට එරෙහිව නැඟුණු බෞද්ධ බලවේගය තුළ බෞද්ධ ප්‍රභූවරු, සංඝයා වහන්සේ හා විවිධ බෞද්ධ සංවිධාන කැපී පෙනෙන්නට විය. මහනුවර ගංගාරාමයේ උඩුවේ හිමියන්, චන්ද්‍රජෝති හිමියන්, වලානේ සිද්ධාර්ථ හිමියන්, වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ හිමියන්, ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන්, රත්මලානේ ශ්‍රී ධර්මාලෝක හිමියන්, වාරියපොළ ශ්‍රී සුමංගල හිමියන්, හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන්, අඹගහවත්තේ ඉන්ද්‍රසාර ඥානවිමල නාහිමියන්, මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්, කොග්ගල ධම්මතිලක හිමියන්, බුලත්ගම සිරිසුමන තිස්ස හිමියන් ආදී සංඝයා වහන්සේලාගෙන් එක් එක් වකවානුවලදී සිදු වූ උදාර මෙහෙවර මෙහිදී අපට අමතක කළ නොහැකිමය.

නව විරුවන්ගේ පිබිදීමට ලැබුණු සහාය

විද්‍යෝදය හා විද්‍යාලංකාර පිරිවෙන්, කොළඹ ආනන්ද, නාලන්ද, මහනුවර ධර්මරාජ, ගාල්ලේ

මහින්ද ආදි වූ බෞද්ධ පාසල් බිහිවීම හා තවත් බෞද්ධ පාසල් 200 ක් පමණ රට පුරා ඇරඹීමට භික්ෂූන් ප්‍රමුඛ දේශප්‍රේමින් පියවර ගැනීම හෙළයේ නව පිබිදීමකට මඟපෑදූ ප්‍රබල සලකුණුය. හෙන්රි ස්ටීල් ඔල්කට්තුමාගේ ‘පරම විඥානාර්ථ සමාගම’ ලංකාවේ ඇරඹීම ද එහි මුල් ශාඛා ගාල්ල, මාතර,බෙන්තර, වැලිගම පිහිටුවීම නිසා දකුණුලක බෞද්ධ ප්‍රබෝධයට විශාල අත්වැලක් විය. මිෂනාරීන්ට විරුද්ධව කෙරුණු මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ගේ “පංචමහාවාද” ජාතික චින්තනය බෞද්ධාගම මුවහත් කර ඔපමට්ටම් කළේය. කොළඹ ප්‍රධාන පෙළේ සිංහල බෞද්ධ ව්‍යාපාරිකයන් බෞද්ධාගම නඟා සිටුවන්නට නොමසුරුව ධාර්මිකව උපයාගත් ධනය පරිත්‍යාග කළහ. “අනගාරික ධර්මපාලතුමාගේ” මව්පියන් වූ ‘දොන් ඩේවිඩ් හේවාවිතාරණ’ හා එම මැතිනිය, ඩබ්. ඊ. බැස්ටියන්, හරමානිස් කුරේ වැන්නන් මෙහිදී කැපී පෙනුණි. අනගාරික ධර්මපාල, වලිසිංහ හරිස්චන්ද්‍ර වැනි දේශ හිතෛෂීන්ගේ දේශනා මෙන්ම ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන්ගේ හද දෙදරවන දේශනා සහ කාව්‍ය සංකල්පනා සිංහලයාගේ ජාතික හැඟීම් පුබුදු කරවීමට විශාල ලෙසම රුධිරය සැපයූහ.

අපේ නිදහස් සටනට හින්දු ආගමික සහාය ද අපට හිමිවීම තවත් භාග්‍යමත් සුබ ලකුණක්ම විය. ශ්‍රී ආරුමුග නාවලර්තුමා, පොන්නම්බලම් අරුණාචලම්, පොන්නම්බලම් රාමනාදන් වැන්නවුන් මෙන්ම මුස්ලිම් ජාතික නායකයන් වූ ටී. බී. ජයා, එම්. සී. සිද්ධි ලෙබ්බේ, මොහොමඩ් කාසීම් ආදීන් ද නිදහස් සටනට අපමණ දිරි දුන්හ. නිදහස් සටනේ පෙරමුණ ගත් දේශප්‍රේමී සංවිධාන. මේ අතර ජාතික හැඟීමෙන් පිබිදුණු දේශප්‍රේමී ව්‍යාපාර කිහිපයක් ද නිදහස් සටනට මහත් දිරියක් එක් කළේය. මේ එවන් බෞද්ධ පුනරුද ව්‍යාපාර කිහිපයකි.

 

අමද්‍යප ව්‍යාපාරය

ජාත්‍යාලය දැක්වීමේ ව්‍යාපාරය.

බෞද්ධ පූජනීය ස්ථාන ආරක්ෂා කර ගැනීමේ ව්‍යාපාරය.

මේ අතරින් වඩාත් කැපී පෙනුණේ අමද්‍යප ව්‍යාපාරයයි. බෞද්ධ හා මෙරට සියලුම ජාතීන් අද වන විටත් විනාශ මුඛයට ඇදගෙන යන රටපුරා බිහි වූ සුරාසැල් සංකල්පය ඉංග්‍රීසින් අප මව්බිම වනසා දමන්නට දියත් කළ කූට උපක්‍රමයක් බව ඉතා පැහැදිලිය. එකල‌ තේ හා සිංකෝනා වතු සමීපයේ ගම්වලත්, දුම්රිය‌පොළවල් අසලත් පිහිට වූ සුරාසැල් වල වෙරිමතින් රොක් වූ කම්කරුවන් විසින් තම ශ්‍රමයෙන් සරු කළ බෝගවල අස්වැන්නේ “ලාභය” සුරාපානයට යෙදවීමෙන් එම මුදල් යළි සුද්දාගේ සාක්කුවට වැටුණේ සිංහලයින් අනුවණයන් බව සනාථ කරමිනි. ඉංග්‍රීසින් කුරුඳු, ගම්මිරිස්, කෝපි,තේ, රබර්, අස්වැන්නත්, මුතු මැණික් හා ඇත්දළත් ඔවුන්ගේ රටේ සමෘද්ධිය වෙනුවෙන් අපේ රටෙන් නැව්වලට පටවද්දී හෙළයන් ඔවුන්ගේ හිතේ ගතේ අමාරුවට පිළියම් සෙව්වේ ඉංග්‍රීසින් අපේ රටට බෝකළ සුරාසැල් මගිනි. මෙම සමාජ පසුබිම නසා දමන්නට ලක්දෙරණ මත ව්‍යාප්ත වූ අමද්‍යප ව්‍යාපාරය හරහා නව දේශපාලන දර්ශනයක් බිහිවීම අපේ ජාතික නිදහසේ තවත් එක් සන්ධිස්ථානයකි.

දේශ හිතෛෂී විරුවන්ගේ පිබිදීම ඵල දරයි

එෆ්. ආර්. සේනානායක, ඊ. ඩබ්. පෙරේරා, ආනන්ද කුමාරස්වාමි, ඩී. එස්. සේනානායක, එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක, ඊ. ඩබ්. අධිකාරම්, සර් ෆ්‍රැන්සිස් මොළමුරේ, ශ්‍රීමත් බාරෝන් ජයතිලක, ඩී. ආර්. විජයවර්ධන, ඩබ්. ආතර් සිල්වා, විලියම් පේද්‍රික්, සර් ජේම්ස් පීරිස්, එඩ්වින් හේවාවිතාරණ ආදීන් මෙරට නිදහස් ව්‍යාපාරයේ දේශපාලන උද්ඝෝෂකයන් වූහ. ලංකා ජාතික සංගමය, සිංහල මහා සභාව වැනි වාමාංශික ව්‍යාපාරවල ද පෙරමුණ ගත් දේශප්‍රේමින් රැසක් වූහ. ජාත්‍යාලය හා හෙළබස සිරිලක තුළ පණපොවන්නට උරදුන් මුනිදාස කුමාරතුංග,පියදාස සිරිසේන, මාර්ටින් වික්‍රමසිංහ, ගුණපාල මලලසේකර, ආනන්ද රාජකරුණා, මහගමසේකර,ආනන්ද සමරකෝන්, සාගර පලන්සූරිය (කේයස්), විමලරත්න කුමාරගම, පී. බී. අල්විස් පෙරේරා වැන්නන්ද අපේ රටේ සැබෑ නිදහස වෙනුවෙන් සිදුකළ මෙහෙය නිදහස ලැබී වසර 73 කට පසුවත් මින්මතුවටත් ගෞරවයෙන් සැමරීම අපගේ යුතුකම හා වගකීමයි. ශ්‍රී ලංකා මාතාවට අප උපන් පින්බර ධරණී තලයට සැබෑ ලෙසම නිදහස සමරන්නට මතුවටත් ශක්තිය හා වාසනාව ලැබේවා.!

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.