තොටගමුවේ රාහුල මා හිමි

ඔක්තෝබර් 30, 2020

තොටගමුවේ ශ්‍රී රාහුල සංඝ රාජයාණන් වහන්සේ පිළිබඳව අප රටේ නොදන්නා කෙනෙක් නැත. සන්දේශ කාව්‍යවලින් අප රටේ සාහිත කෙත සරු කළ උන්වහන්සේ නැකත් සතරේද අග පැමිණියෙකු වූහ.

තොටගමුවේ මහා විහාරයට ඉන්දීය සන්නාසියකු දිනක් පැමිණියේ කතරගම දෙවියන් පුදන්නට කදිරාපුරයට යන ගමනේදී රාත්‍රී නවාතැන් ගන්නටය. නවාතැන් ගත් මේ විදේශීය සන්නාසියා සමඟ පිළිසඳරේ යෙදුණ තොටගමුවේ මා හිමියන් තිරයකින් වසා තබා ගෙනැවිත් ඇති වස්තුව කුමක්දැයි විමසීය. එය කතරගම දෙවියන්ගේ පිළිමයක් බව සන්නාසියා රාහුල හිමියන්ට පැවසීය. තිරය ඉවත් කර එම පිළිමය තමාට පෙන්වන ලෙස රාහුල මා හිමියන් සන්නාසියාගෙන් ඉල්ලා සිටියහ. එවිට ඔහු පැවසනුයේ තම රටේ සිට ගෙන මෙම කඳදෙව් ප්‍රතිමාව කාටවත් නොපෙන්වා කතරගමට වැඩමවා දෙවොලට පූජා කර විවෘත කිරීම තම අරමුණ බවය.

එහෙමද? ඔබගේ අදහස. දැන් ඔබට බලාගන්න පුළුවන් සැමටම කලින් ඔය දේව ප්‍රතිමාව මා දැක ගන්නා අයුරු යැයි පවසා මෙම කවිය පැවසීලු.

පනිඳු රුපු නැගී දද බැඳ තඹර සිලු

විරිදු දින අරණ තෙදනලිනි කළ අලු

දලිදු නදනිදුනි හිමිවන තෙදිය මුලු

පසිඳු ඔබ සරණ දැකුමට මසිත ඇලු

 

කවිය පවසා අවසන් වීමත් සමඟම දෙව්රුව වසා තිබුන සළුව ගිනිගෙන දැවි අළුවී ගොස් දේවරූපය ප්‍රදර්ශනය විය. මෙයින් මවිතයට පත්වූ සන්නාසියා ඉන්දියාවේ සිට වැඩම කළ දෙව්රුව රාහුල මා හිමියන්ටම පූජාකර ඊට පසුදින කතරගම බලා පිටත්වීලු.

මීට වසර 124 කට පෙර පළමු ග්‍රන්ථයකින් මෙම කවිය හා එම පුවත උපුටා ඔබ හමුවේ තැබුවේ අපගේ සුබසෙත පාඨක භවතුන්ගේ දැන ගැනීම පිණිසය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.