නිවැරදි බෝධි පූජාවක් තබමු

ඔක්තෝබර් 30, 2020

දුකට වේදනාවට පත්වූ බොහෝදෙනෙකු වෙනුවෙන් අප්‍රසිද්ධියේ වුවද විශාල පිහිටක් ආරක්ෂාවක් ලබාදීමට මට හැකියාව ලැබුණි. ඒ හා බැඳුණු රසවත් කතා රාශියක් මා සතුව ඇත. බෝධිය, පිරිත් පොත් වහන්සේ හා දෙවියන්ගේ ආශිර්වාදය මත ලබාදීමට හැකිවූ මෙම ගුණදායක ශන්තිකර්ම මා කිසි විටෙක ආර්ථික ලාභය ලැබීමට හෝ කිර්ති පැසසුම් සොයා ගැනීම පිණිස කිසිවිටෙකත් සිදු නොකළෙමි.

ශ්‍රී මුඛ දේශනාවන් ඇතුළත් පිරුවානා පොත් වහන්සේ බෞද්ධයාට මහඟු සිතුමිණකි. මහා ධර්ම ග්‍රන්ථයක් වන මෙම පොත් වහන්සේ විටෙක වෙද පොතකි. තවත් විටෙක බුද්ධ මන්ත්‍ර ඇතුළත් මන්ත්‍ර පොතකි.

මෙහි අන්තර්ගත සියලුම පිරිත් සූත්‍රයන්ගෙන් මිනිසාගේ ආරක්ෂාවට පැවැත්මට ගත හැකි මහඟු ප්‍රයෝජන එමටය. පිරිත් පොතේ අනුහසින් මා විසින් බොහෝදෙනෙකුට ලබා දුන් සෙත් ශාන්ති ප්‍රමාණය ඉතා විශාල ය. එවන් කරුණු ඇතුළත්ව නොපෙනෙන ලෝකය සමඟ සිදු කළ ගනුදෙනු රැසක් සුබසෙත පාඨක ඔබගේ ප්‍රයෝජනය හා දැන ගැනීම පිණිස ඔබ හමුවේ තබනුයේ මහත් සතුටින් යුතුවය.

පිරිත් පොතෙන් සිදු කළ මෙම හාස්කම් ශක්තිමත් කිරීමට උපකාරි වූ මහඟු වස්තුව වූයේ බෝධීන් වහන්සේය. බෝධීන් වහන්සේ හමුවේ තබන පූජාවන් තුළින් ලබාගත හැකි සහනයන්ද රාශියකි. වර්තමානයේ තබන බෝධි පූජා තුළින් ලබාගත හැකි ගුණ ප්‍රමාණය ඉතා අල්ප බව මගේ වැටහීමයි.

බෝධියට මුලින්ම පූජාව පවත්වන ලද්දේ අප ගෞතම බුදුරජාණන් වහන්සේ විසින්ය. බුදු බව ලබා ගැනීමට පිහිට වූ සෙවණ දුන්නා වූ විජය ශී‍්‍ර ජය ශී‍්‍ර මහා බෝධීන් වහන්සේ වැඩ වාසය කළේ දඹදිව් තලය මතය. පසු කලෙක එය විනාශ කළේ ධර්මාශෝක අධිරාජයාගේ බිසවක විසිනි. ඒ වන විට එහි දක්ෂිණ ශාඛාව ලක් පොළෝ තලය මත රෝපිතව තිබුණි. එය මුළු මහත් විශ්වයටම අශිර්වාදයක් විය.

ලක්දිව තුළ බෝධි පූජාව බලවත් වූයේ පානදුරේ අරියධම්ම මා හිමියන්ගේ පූජා පිළිවෙත් ප්‍රචලිත වූ හෙයිනි. එම බෝධි පූජා ක්‍රම පිළිවෙත් බෞද්ධ ලෝකයක් අවදි කිරීමට වැයූ දහම් බෙරයක් වැන්න.

වර්තමානයේ සියලුම බෞද්ධ ආරාමයන්හි දිනපතා වාගේම බෝධි පූජා පින්කම් සිදු වේ. බොහෝ පූජාවන් සිදු වන්නේ අර්ථ ශූන්‍යය ලෙසය. ඒ අනුව බෝධියට තබන පූජා ද්‍රව්‍ය පළමුව බුදුපියාණන්ට පූජා කර ,දෙවනුව බෝධීන් වහන්සේට පූජා කරනු පෙනේ. එයින් පසු කවි හා ගාථා පවසා නවග්‍රහයන්ට ද යාදින්නක් කර දෙවියන්ට පින්දී බෝධි පූජාව සමාප්ත කිරීම සිරිතයි. නිවැරදි බෝධි පූජාවක් එසේ සිදු කළ නොහැක. එවැනි බෝධි පූජාවකින් ලැබෙන ගුණය ශාන්තිය අල්පය. බෝධි පූජාවක් හැඳින්විය යුතු නිවැරදි නාමය වන්නේ අස්වත්ට පාරිභෝගික චෛත්‍යය වන්දනාව ලෙසිනි. නැතිනම් පූජාව ලෙසිනි.

මෙම බෝධි පූජාවකදී යොදාගත් සුදුසු වේලාවක බෝධිය අවට පරිසරය ඉතා වුවමනාවෙන් පිරිසුදු කළ යුතුය. එසේ පිරිසුදු කර ක්ලෝරින් මිශ්‍ර නොමැති ජලයෙන් බෝධිය දෝවනය කිරීම වැදගත්ය. බෝධි වන්දනාවට පෙර බුදුරජාණන් වහන්සේට සුදුසු පරිදි පූජා ද්‍රව්‍ය තබා වන්දනා කිරීම සිදු කළ යුතු වේ. දෙවනුව බෝධීන් වහන්සේට පූජාවන් සිදු කළ යුතුය. ඒ සමඟ බෝධියට අධිගෘහිත දෙවියන් උදෙසාද සුදුසු පූජා ද්‍රව්‍යයන් තැබීම වැදගත්ය. වර්තමානයේ බෝධි පූජා පවත්වනුයේ ග්‍රහ අපල නිසාය. සමහර අය දරුවන්ගේ විභාග ජය වෙනුවෙනි. තවත් අය විදේශගතව සිටින අයට සෙත් පතාය. ඇතමෙක් රෝගීන්ට සෙත් ප්‍රාර්ථනය කරමින් මේ අයුරින් විවිධ හේතුන් මත තබන බෝධි පූජාවන්ට ඒ ඒ අයට වහ වහා ගුණ ලබාගන්නට සිදු කරන බෝධි පූජාවන් සියල්ල සිදු කරනුයේ එකම ආකාරයකටය. නමුත් කාරණය අනුව බෝධි පූජාව සිදු කරන ආකාරය එකිනෙකට වෙනස් විය යුතුය.

පිරිසුදු සීලයෙහිම පිහිටා භාවනායෝගිව සිට ජීවත් වූ මහ හිමිනමක් උන්වහන්සේගේ අවසාන කාලයේදී සියල් සතට සෙත සුවය සඳහා බෝධි පූජා ක්‍රම එකොළහක් මා වෙත කියා දුන්නේ මීට දශක දෙකකට පමණ පෙරය. උන්වහන්සේ සතුව තිබූ මෙම බෝධි පූජා ක්‍රමයන් මා වෙත ලබාදීමේදී මා පොරොන්දු කරවා ගත් කරුණු රාශියක් ද විය. ඒවා අතර ප්‍රධාන වනුයේ 01. මෙම බෝධි පූජාවන් හෙවත් වන්දනාවන් තමාගේ ප්‍රසිද්ධිය පතා සංදර්ශන පින්කමක් ලෙස සිදු නොකිරීම. 2. මෙම පූජා වන්දනාවන් තමාගේ ආර්ථික වාසිය උදෙසා ලාභ ප්‍රයෝජන තකා සිදු නොකිරීම 3.බෝධි පූජා සිදු කරන තැනැත්තා සුරා සූදු දුම් පානයෙන් තොරව ජීවිත කාලයේම සිටින්නෙකු වීම 4.මෙම බෝධි පූජා වන්දනාවන් ශනි හෝ බුධ දින වලින් අරඹා තුන් දිනක් රාත්‍රී කාලයේ පැවැත්වීම 5.සුදුසුම පුද්ගලයන් වෙනුවෙන් සිල්වත්ව වගකීමෙන් යුතුව එම පූජාවන් සිදු කිරීම 6.මෙම පූජාවන් සිදු කර ප්‍රතිඵල ලද විගස ප්‍රතිඵල ලැබූ තැනැත්තන් ඉතා ඉක්මනින් බෝධීන් වහන්සේ වෙත කැඳවා බෝධි වන්දනාවේ යොදවා දෙවියන්ට පින්දීම.

මෙම බෝධි පූජා ක්‍රම එකොළහ සිදු කර පිහිට ලබාදිය හැකි අවස්ථාවන් මෙසේය.

රෝගින් සුවපත් කිරීමට ,අධ්‍යාපනය ලබන අයට සෙත් පැතීමට, නඩුහබවලින් ජය ලැබීමට, පවුලේ පවතින දුක් වේදනා දුරු කිරීමට, නිවසින් පැන ගිය අය ආපසු ගෙන්වීමට, කරදර හිරිහැර වළක්වා ආරක්ෂාව උදෙසා, ආර්ථික දියුණුව උදෙසා ව්‍යාපාර කරන අයට, සිතේ ඇති යහපත් අරමුණු ඉටුකර ගැනීමට, ගොවිතැන් වැවිලි කර්මාන්ත පොළොවෙන් ලැබෙන සම්පත් දියුණුවට . සමගිය සමාදානය පවුල්වල නැතිවිට එය උදාකර ගැනීමට, ග්‍රහ අපල දුරු කරගෙන සෙත ශාන්තිය උදා කර ගැනීමට යන කාරණා වෙනුවෙනි.

දුකට වේදනාවට පත්වූ බොහෝදෙනෙකු වෙනුවෙන් අප්‍රසිද්ධියේ වුවද විශාල පිහිටක් ආරක්ෂාවක් ලබාදීමට මට හැකියාව ලැබුණි. ඒ හා බැඳුණු රසවත් කතා රාශියක් මා සතුව ඇත. බෝධිය, පිරිත් පොත් වහන්සේ හා දෙවියන්ගේ ආශිර්වාදය මත ලබාදීමට හැකිවූ මෙම ගුණදායක ශාන්තිකර්ම මා කිසි විටෙක ආර්ථික ලාභය ලැබීමට හෝ කිර්ති පැසසුම් සොයා ගැනීම පිණිස කිසිවිටෙකත් සිදු නොකළෙමි. මෙම පූජා විදි තුළින් පිහිට සහනය උදා කරගත් අය එය සිදුකර ගත් පසු යළිත් පෙරසේම ගත කළ ලාමක දිවි පැවතුම් ද වෙනස් කර නොගෙන ජීවත්වන අයුරු මා නිබඳවම දුටුවෙමි. ඇතැමුන් එතෙක් ගෙවූ දිවි පැවැතුම් වෙනස් කරගෙන ජීවත්වීමට උනන්දු විය.

අප ගමේ විහාරස්ථානයට එක් පුද්ගලයෙකු පැමිණියේ තමාගේ ඥාති පුතණුවන් විදේශයක සිරකර ගෙන සිටින නිසා ඔහුට සහනය පතා බෝධි පූජාවක් සිදු කර ගැනීමටය. එවිට විහාරස්ථානයේ ස්වාමින් වහන්සේ මේ ගැන කරුණු විමසා බෝධි පූජාවක් සිදු කර දෙන ලෙස මා හට දැන්වීය. මා ඔහුගෙන් කරුණු විමසුවෙමි.

ඔහු පැවසූ විස්තරය මෙසේය. තම ඥාති පුතුණුවෙකු වූ විසි අට හැවිරිදි අයෙකු රැකයාව ලෙස සිදු කරනුයේ විදේශීය සංචාරකයනට මඟ පෙන්වීමය. මෙරටට පැමිණි විදේශීය හැත්තෑ අට හැවිරිදි වැන්දඹු කාන්තාවක් මෙම තරුණයා සමඟ හා විවාහ දිවියට ඇතුළත් විය. ධනවන්තියක් වූ ඇයට, ඇයගේ රටේ දරුවන් තිදෙනෙක් ද වූහ. ලංකා සංචාරයෙන් පසු ඇය මෙරටදී විවාහ වූ තරුණයා සමඟ ඇයගේ රට බලා පිටත් වූවාය. ඔහු ඇය සමඟ හය මාසයක් පමණ සතුටින් ජීවත් විය. හදිසියේ ම අසනීප වු එම කාන්තාව මියගියේ විවාහ වූ ලාංකික තරුණයා අසරණ භාවයට පත් කරමිනි. තම මෑණියන්ගේ අවසාන කටයුතු සිදු කළ ඇයගේ දරුවෝ මෙම තරුණයාට කීවේ දැන් උඹගේ බිරිඳ මිය ගියා නුඹේ කවුරුත් මේ රටේ නැහැ. අපේ අම්මාට අයත් කෝටි ගණනක් දේපළ නිසා තමයි නුඹත් අපේ අම්මා සමඟ විවාහ වුණේ.මේ දේපළෙන් උඹට අයිති කොටස ඇයගේ දරුවන් වන අපට ලියල දෙන්න ඕන. අප නුඹට යම් මුදලක් දෙනවා. උඹ මේව ලියල දෙනතුරු මේ රටෙන් පිට වෙන්නත් බැහැ. අප නුඹ හිරකර තියා ගන්නවා. එසේ පැවසු ඔවුන් එම තරුණයා කාමරයක දමා සිර කර තබා ගත්තේ සියලු දුරකථන පහසුකම් ලබා නොදෙමෙනි.

මේ තත්ත්වය ඉඩක් ලද සැනින් ඔහු තම නිවෙසට පවසා සිටියේ තමා කෙසේ හෝ බේරාගන්නා ලෙසයි. ඒ අනුව නිවසේ අය පිහිට සොයාගෙන පළමුව පැමිණියේ පන්සලටය. මෙම තරුණයා සිය බිරිඳගේ දේපළවලින් තමාට අයත් කොටස දරුවන්ගේ ඉල්ලීම අනුව සුළු මුදලකට පවරාදීමට කෙසේවත් කැමති වූයේ නැති නිසා දිනෙන් දින ඔහුට දරුවන් කරදර කරන්නට වූයේය.

මේ සියල්ල අසාගෙන සිටි මා ඔහුට සහනයක් ලබාදෙන්නට සුදුසු බෝධි වන්දනා පූජාව පිළිබඳව උපදෙස් දී අවශ්‍ය දේවල් ඔවුන් ලවා ගෙන්වා ගෙන බුධ දිනයක රාත්‍රි නවයෙන් පසුව පූජාව සිදු කළෙමි. පළමු පූජාව සිදු කර දෙවන පූජාව ඊළඟ සෙනසුරාදා දිනයේ සිදු කර තුන්වන බෝධි පූජාව ඊළඟ සෙනසුරාදාට යොදාගත්තෙමි.

දෙවෙනි බෝධි පූජාව සිදු කර ඊට පසුදිනය වූ බ්‍රහස්පතින්දා ඔවුන් මා හමුවීමට පැමිණියේ ඉතා සතුටිනි. අපේ පුතා අද කතා කළා, මියගිය සුද්දිගෙ දරුවා ඇවිත් පුතාට කිව්වලු මැරුණෙ අපේ අම්ම වුවත් ඒ නුඹගෙ විවාහක බිරිඳනෙ. අපට වගේම උඹටත් දුක ඇති මේ මරණය ගැන. අපි කැමතියි කිසිම අඩුවක් නොමැතිව අම්මගෙ දේපළවලින් නුඹට අයිති කොටස පවරල දෙන්න. අපට වැඩිපුර මොනවත් එපා. උඹ මේ රටේ ඉන්නවානම් අපි රස්සාවකුත් සොයල දෙන්නම්, හිතේ දුක නිවෙන්නත් එක්ක හෙට නුඹ සමඟ අපේ රටේ ලස්සන තැන් බලන්න යන්න අපි ඉන්නෙ. ඔවුන් පැවසූ බව පුතා කීවා. ඔවුන් මට පැවසුවේ රටක් රාජ්‍යයක් ජයගත් අයුරිනි.

එයින් පසු මා විමසුවේ පුතා දන්නවද මේ වගේ බෝධි පූජා වන්දනා පින්කම් සිදු කරල ආසිරි පතන බව. එවිට ඔවුන් පැවසුවේ එයා දන්නවා. එයා කියන්නෙත් ඒ පූජාවල ආනිශංස නිසා තමයි ඔහු මේ කරදර හිරිහැරවලින් බේරුනේ කියල.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
18 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.