මෙත් සිතිවිලි ගෙනදෙයි වාසනා

ඔක්තෝබර් 9, 2020

රවිගේ ආගමනය අරුණෝදය වන අතර, එම ආගමනයත් සමඟ නව දවසක් උදා වීම නවෝදය වන්නේය. 

අරුණෝදයේ පෙරමඟ සලකුණු හඳුනා ගැනීමට ඔර්ලෝසු අවශ්‍ය නැත. එයට සොබාදහම තුළින් නිර්මිත වූ සංඥාවන් පවතී. අද මෙන් තාක්ෂණය නොදියුණු හෝරා බැලීමේ යන්ත්‍ර නොතිබුණ යුගවල මිනිසුන් එම සංඥා අනුව තම කටයුතු කර ගෙන ඇත. 

අලුත් දවසක් උදාවීමට සූදානම් බවට මුල්ම සංඥාව දෙනු ලබන්නේ කුකුළන් විසින් ය. බිමට ආලෝකය පැතිරෙන්නට පෙර සාමාන්‍යයෙන් කුකුළන් තුන් වතාවක් හඬලනු ලබයි. රාත්‍රී 3, 4, 5 යනාදී වශයෙන් පැයෙන් පැයට වාගේ සැවුලන් හඬලනු ලබයි. වටින් ගොඩින් පහන් වී ගෙන එන විට කපුටන් ඇතුළු පක්ෂීන් එම වගකීම රැගෙන කාක්, කාක්, කීචි බීචි හඬ නගමින් කැඳලි වලින් පිටවී නවදවසක සුපුරුදු දින චරියාව අරඹයි. 

පරිසරය නිසසලයි. තුරුලිය ගොමුවල මල් පිපී සුවඳ පැතිරේ. බඹර මී මැසි ආදී සියොතුන් ගුමු ගුමු නද දිදී මල් පැණි එකතු කරයි. ගස්වැල් ද නව ජීවයක් ලබා ප්‍රබෝධයෙන් සිටී. එදා අතීත මුතුන් මිත්තෝ අරුණෝදයේ පෙරමඟ සලකුණු අනුව තම ජීවන චරියාව ගොඩනඟාගෙන නිවී සැනසිල්ලේ ගෙදර දොරේ, හේනේ, කුඹුරේ, කමතේ, කම්හලේ, වැඩබිමේ, වැඩපල වල නිරත වී හෙන්දිරික්කා මල් පිපී මී මැසි බඹරුන්ගේ ගුමු ගුමු කෙළි නද දස අත පැතිරෙද්දී සියොතුන් කැදලි බලා පියාඹද්දී ආපසු තම තමන් නිවී සැනසිල්ලේ වාසය කළ ස්ථාන වූ නිවෙස් බලා ආවේය. 

නිවෙස හෙවත් නිවාසය යනු නිවී සැනසිල්ලේ වාසය කරන ස්ථානය යන්නයි. මහා මන්දිරයක් වුවත් අතු කොළ සෙවෙළිකර ගොම මැටි ගෑ පැල්පතක් වුවත් එම ස්ථානය නිවීම හා සැනසීම ගෙන දෙන ස්ථානයක්ම විය යුතුය. 

එසේ නොවන්නේ නම් අර්ථයේ පරිසමාප්තයට අනුව එය නිවසක් විය නොහැකිය. නිවසේ දී නිවී සැනසිල්ලේ සුවබර නින්දකට පසු අරුණෝදයේ දී නවෝදයක් කරා යාමට අවදි වූ විට ගතේ සිතේ පෙරදා පැවති වෙහෙස නිවී පහවී ගොස් ඇති නිසා එළඹි දින කරන කියන දේවල්, වැඩපළ පිළිබඳව කාල වේලා සහිතව සිතේ සනිටුහන් කරගෙන ගත සිත ප්‍රබෝධමත් කරගන්න සිතේ සැනසීමට බාධාවන අමනාපකම්, ගැටීම්, කෝපය, වෛරය ආදී සිතිවිලි යටපත් කර ගැනීම බෙහෙවින් හේතුවන මෙත් සිත පහළ කර ගනිමින් නිදි පැදුරේ හෝ යහනේ සිටම මෛත්‍රී භාවනාව වඩන්න. 

මම නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා. මා මෙන්ම සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා යනුවෙන් මෛත්‍රීය වඩා එය ප්‍රත්‍යවේක්ෂාකරද බැලිය යුතුම ය. දැනටමත් ඔබ මේ විදියට වචනයෙන් බොහෝ කාලයක් බොහෝ වාර ගණනක් මෛත්‍රී වාක්‍ය ලෙස සිහිකර හෝ හඬනගා කියපු අයෙකු වන්නට පුළුවන. එහෙත් තමා දෙසටම ආපසු සිහිකර ප්‍රත්‍යවේක්ෂා කර බැලුවොත් ඔබ නිදුක් වෙලාද, නිරෝගි වෙලා ද, සුවපත් වෙලාද? බොහෝ දෙනෙකුට එසේ වී ඇති බවක් නොදැනෙයි. එසේනම් ඊට හේතුව වන්නේ ඔබ වචනයෙන් මිස ක්‍රියාවෙන් මෛත්‍රී සහගත කාය කර්ම, මෛත්‍රී සහගත වචී කර්ම භාවිතා කර නොතිබීමය. 

වැඩ බිමේ දී හෝ කාර්යාලයකදී එහි ප්‍රධානීන් වැඩ මූලිකයන් දෙන උපදෙස් නියෝග මෙත් සිතින් යුතුව පිළිපදින්න. ඔවුන් ඔබේ නිදහසට බාධා ලෙස නොසිතන්න. ඒ ඔවුන් වෙත පැවරී ඇති වගකීමක් බව වටහා ගන්න. ඔබ ඔබේ වගකීම සැමදාම සැම විටම නොපිරිහෙලා ඉටු කරන්න. ස්වයං රැකියාවක් කළත් කාලය අපතේ නොයවා වැඩ කරන්න. ඔබගේ සේවාදායකයන් ගැන කරුණාවෙන් මෛත්‍රියෙන් වැඩ කරන්න. එවිට නවෝදයක් මෙන්ම නවයුගයක් ද උදාවනු ඇත. 

ගුඩ් මෝනින්, සුබ උදෑසනක් යැයි වචනයෙන් කී පමණින් සුබ උදෑසනක් හෝ සුබ දිනයක් බවට පත්වන්නේ නැත. 

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.