බලගතු නැකතක මහිමය

පනහ පිරුණ දා උත්සවයේ දී කුමාරතුංග පඬිතුමා ‘රාමයණය සිංහලයට පෙරළන්නැ’යි කළ ආරාධනය සුබ නැකතක් සාදාගෙන ඩබ්ලිව්. ඒ. සිල්වා කතුවරයා ඉටු කළ අන්දම
ඔක්තෝබර් 2, 2020

තමන් විසින් වයස දහසයේ දී ලියා දහ හතේ දී තම වියදමින්ම ප්‍රකාශනයට පත් කරන ලද ‘ශි‍්‍රයාලතා’ නම් වූ නව ප්‍රබන්ධය එහි කතුවර ඩබ්ලිව්.ඒ.සිල්වා තරුණයාට වාසනාව, ප්‍රසිද්ධිය මෙන්ම ධනය ද ගෙනාවේය. එකල ලංකා පාඨකයන් හමුවේ අතිශයෙන්ම ජනපි‍්‍රය වූ ඔහුගේ මේ කුළුඳුල් නවකතාව ඉතා සුළු කාලයක් ඇතුළත මුද්‍රණ තුන හතරක්ම නිකුත් කිරීමට ලැබුණු හෙයිනි. 

පළමු නවකතාව එතරම්ම ජනපි‍්‍රයව තමනට ධනයක් ද සපයා ගැනීමට හැකි වූ නමුදු ඔහු තම දෙවැනි නවකතා වූ ‘ලක්ෂ්මී හෙවත් නොනැසෙන රැජණිය’ ප්‍රබන්ධය ලියා පළකර වූයේ එයින් වසර දොළහකට පසුවය. එයට හේතු වූයේ තමන් යළිත් නව ප්‍රබන්ධයක් කළ යුත්තේ වඩාත් හොඳට සිංහල, පාලි, සංස්කෘත භාෂා ඉගෙන ගැනීමෙන් පසුවය යන නිගමනයකට ඔහු එළැඹි හෙයිනි. 

‘ලක්ෂ්මී හෙවත් නොනැසෙන රැජණිය ‘ ප්‍රමාණයෙන් විශාල වීම ද සංස්කෘත වචන බහුල නිසා ද පාඨකයන් අතර එතරම් ජනපි‍්‍රය නොවුන නිසා තමන් උකටලී බවට පත් වූ බව දිනක සිල්වා කතුවරයා වැල්ලවත්තේ පදිංචි ආයුර්වේද වෛද්‍යවරයකු. පඬිවරයකු ද වූ ජේ.සී. කන්නන්ගර වෙදරාළහාමි සමඟ කියා සිටියේය. 

 “ඔබ ඒ පොත් දෙකම ලිව්වේ සුබ දිනයක්, සුබ නැකතක්, තෝරාගෙන සුබ අක්ෂරයකින් පටන් ගෙන ද? “ යි එතුමෝ විමසූහ. 

 “එහෙම සුබ නැකැත් දිනයක්, වේලාවක් අනුව පටන් ගත්තේ නෑ. සුබ අක්ෂරයකින් පටන් ගන්න මට දැනුමක් තිබුණෙත් නෑ. ඒත් ‘ශි‍්‍රයාලතා’ මා හිතුවාටත් වඩා ජනපි‍්‍රය වුණා. මට ධනයත්, ප්‍රසිද්ධියත්, කීර්තියත් ලබා දුන්නා. ඊට පස්සේ වඩාත් හොඳට භාෂා ශාස්ත්‍ර ඉගෙන ගෙනයි. ‘ලක්ෂ්මිය’ ලිව්වේ, ඒකත් හොඳ නැකතකට පටන් ගත්තේ නෑ. නමුත් ජනපි‍්‍රය වුණෙත් නෑ.” යැයි සිල්වා තරුණයා ඇත්තම කියා සිටියේ ය. “එහෙම ද? “එහෙනම් දැන් ඔබ තවත් නව ප්‍රබන්ධයක් කරන්න අදහස් කරගෙන ඉන්නවාද?” යැයි එතුමෝ විමසූහ. 

 “ඔව්.’හිඟන කොල්ලා’ කියලා නව ප්‍රබන්ධයක් කරන්න අදහස් කරනවා. ඒකෙ කතා ශරීරය මගෙ හිතේ සෑහෙන කාලයක් තිස්සේ රැඳෙමින් තිබුණ එකක්.” යැයි පිළිතුරු ලැබිණ. 

 “හා එහෙමනං මට ඔබේ කේන්ද්‍ර සටහන දෙන්න. මම ඒකට හොඳ සුබ දිනයක සුබ නැකතක් හදලා දෙන්නම්. ඒ පමණක් නෙමෙයි. ඒ දිනයට මා ඇවිල්ලා තෙරුවන් සරණින් පටන්ගෙන සරස්වතී, ගණ දෙවි පූජා එහෙම පවත්වන්නම්.” යැයි කන්නන්ගර මහතා කී කතාව සිල්වා තරුණයාට සෑහෙන දිරි දීමක් ද විය. 

එය එසේම සිදු විය. තෙරුවන් සරණින් හා පන්සිල් ගැනීමෙන් පසුව තමන් ගෙන ආ කැවිලි පළතුරු ආදිය තබා සරස්වතී ගණදෙවි රූපවලට පූජාව තැබූ කන්නන්ගර වෙදරාළහාමිගේ අනුග්‍රහය නිසා ලද දිරියෙන් එසේ සුබ දිනයක සුබ නැකතකට ආරම්භ කළ ‘හිඟන කොල්ලා’ නව කතාව ඔහු අතින් සතියක් ඇතුළත දී සම්පූර්ණයෙන් ලියා නිම කෙරුණේ ය.’ ‘හිඟන කොල්ලා’ තම  වියදමින් ම මුද්‍රණයෙන් පළ කළ පසුව මුල් පිටපත් දෙදහස සම්පූර්ණයෙන් ම අලෙවි වී ගියේ දින දහයක් වැනි සුළු කාලයක් ඇතුළතදී ය. ඉන් පසුව වසරක් ඇතුළත එහි මුද්‍රණ කිහිපයක්ම නිකුත් කිරීමට අවස්ථාව සැලසිණ. 

ඉන්පසු ඩබ්ලිව්.ඒ. සිල්වා තරුණයා කළේ ජේ.සී. කන්නන්ගර වෙදරාළහාමි වෙතින් මනා ලෙස ඡ්‍යොතිෂය ඉගෙන ගැනීමය. එතුමෝ ද මේ උද්යෝගිමත් නවකතා කතුවරයා වෙත ගුරු මුෂ්ටි නොතබාම සුබ අක්ෂර පිළිබඳව ද කියා දී ඡ්‍යොතිෂය ඉගැන්වූහ. 

පසු කලෙක ‘සිරිසර ‘ නම් වූ විශිෂ්ට සඟරාවක් පවත්වාගෙන යාමෙන්ද, ‘සිංහල සමය’ නම් වූ සතිපතා පුවත්පත ආරම්භකර පවත්වාගෙන යාමෙන් ද සිංහල සාහිත්‍යයට අනුපමේය සේවාවක් සිදු කළ වැල්ලවත්ත ආරච්චිගේ ඒබ්‍රහම් සිල්වා – නැතහොත් ඩබ්ලිව් .ඒ.සිල්වා කතුවරයාණෝ ඒ අතරම නවකතා, කෙටිකතා හෝ පුවත්පත් ලිපි ලියද්දී ද ඡ්‍යොතිෂය අනුව ම සුබ නැකතකින් ආරම්භ කරන්නට ද කටයුතු කළහ. එයින් ජයම ලැබූහ. පසු කලෙක එතුමන් වෙතින් ක්‍රමවත් ලෙස පළ කෙරුණු ‘නුවණ’ සඟරාව ද එයින් ද වසර ගණනාවකට පසු ‘තිලක’ සඟරාව ද ආරම්භ කළේ ද මෙවැනි සුබ නැකැත් අනුවය. 

මෙසේ ගතවෙද්දී ඩබ්ලිව්.ඒ.සිල්වා නාමය සිංහල පාඨක ලෝකයේ ඉහළින් ම සඳහන් වූයේ ‘නවකතා රජ්ජුරුවෝ යන  නාමයත් සමඟම ය. පියදාස සිරිසේන නවකතා කතුවරයාගෙන් පසුව ලංකා පාඨක ජනතාව අතර බෙහෙවින් ම ජනපි‍්‍රය වූයේ සිල්වා මහතා ලියූ නවකතාය. 

මෙසේ ඩබ්ලිව්. ඒ.සිල්වා කතුවරයා කටයුතු කරමින් යද්දී වර්ෂ 1940 ජනවාරි 16 වැනි දිනට තමනට අඩ සියවසක් ( 1890- 1940) සපිරෙන බව දුටුවහ. එදින තම උපන්දිනය වෙනුවෙන් මහෝත්සවයක් පවත්වන්නට අදහස් කළ එතුමෝ තම හිතවත් පිරිසකට වැල්ලවත්තේ හයි ස්ට්‍රීට් හි ‘සිල්වර් මියර්’ මන්දිරය වෙත පැමිණීමට ආරාධනය කර සිටියහ. 

ලේඛනයේ දී ද පාඨකයනට පිරිනැමෙන රසබර වදන් වහර මෙන්ම දේශනයේ දී සිල්වා ශූරීන් වෙතින් පණ්ඩිතමානීව අසන්නන්ගේ සවන් පුරා හා හද පුරා ලැබෙන රසය මනා ලෙස විඳගන්නට ද හුරුපුරුදු සහෘදයෝ නියමිත ලෙස එතුමන්ගේ නිවහනට සපැමිණියහ. ගැටවර සමයේ පටන් රසබර ලෙස උයා පිහා ගන්නට සූප ශාස්ත්‍රය හුරුව සිටි එතුමන් අතින් සකස් කෙරෙන කෑම වර්ග අතිශයින්ම ප්‍රණීත වූ බව සංග්‍රහ ලද්දෝ මුව පුරා පැවසූහ. එසේමය. බීම පිළිබඳව එතුමාගේ පරිත්‍යාගශීලිත්වය, එහෙයින් එවේලේ එහි කෑම පමණක් ද නොව අමද්‍යපවාදීන්ට සාමාන්‍ය බීමෙන්ද, මධ්‍යපාන රුසියන කැමති කැමති සේ පානයට අරක්කු, බ්‍රැන්ඩි හා විස්කි වැනි ඉහළම පෙළේ සැරබීමවලින් ද අගහිඟයක් නොමැතිව තිබිණ. 

‘සිංහල ජාතිය’ කතුවර පියදාස සිරිසේන, ජේ.සී. කන්නන්ගර වෙදරාළහාමි, මහා ශාබ්දික කුමාරතුංග මුණිදාස, ‘සරසවි සඳරැස’ කතුවර ඩී. ඩබ්ලිව්. වික්‍රමාරච්චි, ‘සිළුමිණ’ කතුවර පියසේන නිශ්ශංක’ ‘සිංහල බෞද්ධයා ‘කතුවර හේමපාල මුණිදාස, යුද්ධ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අයි.ඇම්.ආර්.ඒ. ඊරියගොල්ල හා කේ.බී. සුගතදාස , ශබ්දකෝෂයේ ජෝන් සිරිමන් ද සොයිසා, ‘කවීන්ද්‍රයා’ කතුවර වී.ඩී. ද ලැනරෝල්, ‘දිනමිණ’ කතුවර මාර්ටින් වික්‍රමසිංහ ආදී කතුවරුන් මෙන්ම එවකට ප්‍රකට කවියන් වූ ශ්‍රී රූපදේව ආනන්ද රාජකරුණා පී.බී.අල්විස් පෙරේරා ආදි මහතුන් ද පැමිණ සිට අය අතර වූහ. 

මෙහිදී සිල්වා ශූරීන්ට දිගු ආයුෂ පතා සියල්ලෝම නන් අයුරින් ආශිර්වාද කර සිටියහ. එය සමහරුන් වෙතින් කාව්‍ය භාෂාවෙන් ද කියවිණ. 

මේ අතර, කුමාරතුංග මුණිදාස විද්වතාණන් යමක් කියන්නට සැරසෙන බව දුටු පිරිස නිශ්ශබ්ද වූහ. එතුමෝ සිල්වා ශූරීන් හමුවට පැමිණ ඔහුගේ දෙඅතින්ම අල්ලා ගත්හ. 

 “මේ අවස්ථාවේ දී මා ඔබට නව නිබන්ධනයක් කිරීමට ආරාධනයක් කර සිටිමි. ඔබ වාල්මිකී ගේ රාමායණය හෙළ බසට නඟන්න. එය ඔබගේ සෙසු නිබන්ධනයන් හා සම වී ඔබ නම තවත් බබළවාවී කියා මා ප්‍රාර්ථනා කරනවා” යැයි පැවසූහ. සිල්වා ශූරින්ගේ ඡ්‍යොතිෂ ගුරුවර ජේ.සී. කන්නන්ගර වෛද්‍යවරයාණන් ද එම ආරාධනය ඉහළින් ම අනුමත කළහ. 

එදින මෙම මහෝත්සවය කෙළවරට පත් වූයේ රාත්‍රී දහයට ආසන්න සමයේ දීය. “සිල්වර් මියර්” මන්දිරයෙන් වාහන ඇති අමුත්තන් පිටත්ව යද්දී සමහර අමුත්තන්ට වාහන පහසුකම් සලසා දීමට ද සිල්වා ශූරීන්ට සිදු විය. 

මෙම අඩ සියවස මහෝත්සවය පැවැත්වුණේ දෙවන ලෝක මහා සංග්‍රාමය පැවැති සමයේ වුව ද එකල ද ඩබ්ලිව් ඒ. සිල්වා ශූරිනට සිය ලේඛන කාර්යයේ කටයුතු බහුල වූ හෙයින් ඒ ළඟක දීම වාල්මිකී රාමායණයට අතගසන්නට එතුමනට ඉඩ ලැබුණේ නැත. එහෙත් කුමාරතුංගයන් ඉන් වසර හතරකට පසුව මෙලොවින් නික්ම ගිය ද එයින් ද දශකයකට පමණ පසුව. සිල්වා ශූරින්ට ‘වාල්මිකී රාමායණය’ හෙළබසට පරිවර්තනය කරන්නට හැකි වූයේ. ඒ වන විට ද එතුමන්ගේ පනස් වන ජන්මෝත්සවයට සහභාගි වූ කිහිප දෙනෙකු දිවියෙන් සමුගෙන තිබිණ. 

මේ වන විට සිල්වා ශූරින් ද නොයෙකුත් ආබාධවලට ලක් ව සිටිය ද සිතින් වඩවාගත් දිරියෙන් යුතුව ම ‘වාල්මිකී රාමායණය’ ලෙඩ ඇඳේ සිට වුවද හෙළබසට නැඟීම කෙළවර කළහ. 

ඉන් පසුව එහි මුද්‍රිත පිටපතේ පිටකට අත් අකුරින් යොදනු පිණිස වගන්තියක්ද එක් කළහ. . . . .

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.