මිනිසා සාර්ථකත්වයට පත් කරන මනෝවිද්‍යාත්මක විග්‍රහයක්

ඔක්තෝබර් 2, 2020

“උත්සාහවන්තයා ජයගනී” යන්න අප ජන ව්‍යාහාරයේ එන ප්‍රසිද්ධ කියමනකි. මින් අදහස් කරන්නේ ජීවිතය සමඟ සම්බන්ධ ඕනෑම දෙයක් සාර්ථක කර ගැනීමට අප උත්සාහවන්ත විය යුතු බවයි. එමෙන්ම එය අසාර්ථක වූ විට නැවත නැවතත් උත්සාහවන්ත වියයුතු බවයි. 

මේ අනුව උත්සාහය යන්න සිත තුළ ඇතිවන සුවිශේෂී තත්ත්වයකි. එය සමග වීර්යය, ධෛර්ය මෙන්ම දැඩි අධිෂ්ඨාන ශක්තිය සමඟ ද එකිනෙක බැඳී පවතී. යමක් ළඟා කර ගැනීමට හෝ අත්පත් කර ගැනීම සමඟ සම්බන්ධව යටි සිත තුළ ඇතිවන පෙලඹවීම තුළින් උත්සාහය යන්න ඇතිවන අතර, එම සියලුම කරුණු ධනාත්මක ආකල්ප නැමති භූමිකාව නැත්නම් ප්‍රවේශය මත පදනම් වේ. ඕනෑම අයෙක්       විශිෂ්ටත්වයට නැත්නම් අනගි භවනියත්වයට පත්වීමට මෙම ප්‍රවාහය හේතුවන බව මනෝවිද්‍යාවෙන් පෙන්වා දී ඇත. එසේනම් මෙහි ප්‍රතිවිරුද්ධ පැත්ත සෘණාත්මක ආකල්ප මත පදනම් වී ඇත. සෘණාත්මක ආකල්ප යනුවෙන් හඳුන්වන්නේ මිනිසුන් පරාජිත භාවයට  නැත්නම් පරිහානියට පත් කරන සිතුවිලි සමූහයකි. මෙමඟින් අප සිත තුළ ඇති පී‍්‍රතිය, සතුට සහ සාමය නැතිකරන අතර අධිෂ්ඨාන ශක්තිය දුර්වල කරමින් තමා දුර්වල මෙන්ම නැති බැරි අයෙකු බව හැඟවීමේ සිතැඟියාවන් වර්ධනය කරයි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් බොහෝ දෑ ළඟා කර ගැනීමට ඇති කැමැත්ත මෙන්ම බලාපොරොත්තු දැඩි ලෙස හානියට පත්වීමයි. එමගින් පුද්ගලයන් තුළ නොහැකිය, අමාරුය, වැඩක් නැත වැනි සිතුවිලි නිරතුරුවම ජනිත වන අතර එමඟින් පුද්ගලයන් පසුගාමී හෝ අක්‍රිය තත්ත්වයට පත් කරයි. එසේම මානසික වශයෙන්  ඇති කරන අසහනකාරී සහ පීඩනකාරී තත්ත්වය මත පුද්ගලයන් තුළ ආතතිය, විෂාධය සහ කාංසාවට සම්බන්ධ විවිධ මානසික ආබාධ වර්ධනය වේ. විශේෂයෙන් මෙය නිර්මාණාත්මක කුසලතාවයන් පරිහානියට පත් කරන බැවින් එය පුද්ගලයන්ගේ මෙන්ම සමස්ත සාමාජයෙහි සහ රටෙහි සංවර්ධනය අතින් පසුගාමී තත්ත්වයක් ඇති කරන බව සැලකිය යුතුය. රටක සංවර්ධනය වේගවත් වන්නේ ජනගහනයෙන් වැඩි කොටසක් තුළ ධනාත්මක ආකල්ප පවතින විට ය. ධනාත්මක ආකල්ප  දරන්නන් වැඩි වූ තරමට රටක සංවර්ධන වේගය ද ඉහළ යයි. 

ඔබ තුළ සෘණාත්මක ආකල්ප පවතින විට 

ඔබ හුදකලා පුද්ගලයෙකු බවට පත්කරමින් විවිධ මානසික ආබාධ ඇති කරයි. 

නවතම දේවලින් නැත්නම් නව නිර්මාණ තුළින් විශිෂ්ට දෑ කරා යාම නවතාලයි. 

ඔබ පී‍්‍රතියට හෝ සතුටට පත් කරන බොහෝදෙයින් ඔබ ඈත් කර තබයි. එසේම පවුලක් තුළ ඇති විය යුතු දියුණුවට බාධා පමුණුවයි. 

යහපත් ලෙස අධ්‍යාපනය ලැබීමටත් අත්දැකීම් තුළින් පරිණත  භාවයට පත්වීමටත් බාධාකාරීවන අතර ජීවිතයේ  මුහුණදීමට සිදුවන විවිධ අභියෝග ජය ගැනීමට ඇති හැකියාව මොට කරයි. 

ඔබ සිත තුළ පවතින අභිපේ‍්‍රරාත්මක ශක්තීන් දැඩි ලෙස අඩුකරමින් ඔබ තුළ ඉච්ඡා භංගත්වයක් ඇති කරමින් අන්‍යයන් හට ඵලදායි කිසිදු දෙයක් කරලිය නොහැකි එමෙන්ම ඔබටම යමක් කරගත නොහැකි අයෙකු පවට පත් කරයි. 

කෝපීවිෂ්ඨවීම සහ විවිධ අයහපත් කටයුතු මෙන්ම සාහසික හෝ අපරාධ කාර්යයන් කරා යහළු යෙහෙළියන් ඔබෙන් ඈත්වනු ඇත. 

ඔබ තුළ සෘණාත්මක ආකල්ප වර්ධනය වීමට හේතුවන කරුණු 

1. ජීවත්වන පරිසරය සහ සමාජය තුළ සිදුවන දෑ පිළිබඳව සහ ඔබ ඊට මුහුණ දෙන ආකාරය තුළින් ඔබ තුළ කනස්සල්ලක් ඇතිවීම සහ එමඟින් භීතියක් සහ කලකිරීමක් ඇතිවීම හේතුකොට ගෙන සෘණාත්මක ආකල්ප වර්ධනය විය  හැකි ය. 

2. අතීතයේ සිදු වූ විවිධ අසාර්ථකතාවයන් සහ පරාජයන් නිතර මතක් කරමින් ලජ්ජාවට සහ මානසික වශයෙන් කිසියම් ව්‍යාකූලත්වයකට පත්වීම, බොහෝවිට එම සිදුවීම් තමන් හට අවනම්බුවක් හෝ නින්දාවක් ලෙස සැලකීම මෙන්ම අතීතයේ සිදු වූ අත්වැරදීම් ද ඔබ මානසික වශයෙන් පසු බැසීමට ලක්කිරීම තුළින් සෘණාත්මක ආකල්ප  ඇතිවිය හැකි ය. 

3. අනාගතය පිළිබඳව පවතින අවිනිශ්චිතතාවය හෝ මුහුණ දීමට ඇති භීතිය ද ඔබ තුළ සෘණාත්මක ආකල්ප ඇති කරයි. 

4. ඔබ අන්‍යයන් සමඟ සංසන්දනය කිරීම තුළින් බොහෝවිට ඇතිවන්නේ චිත්ත පීඩාවක් මිස සැනසීමක් නොවේ. ඊට හේතුව සෑම පුද්ගලයෙකුටම ආවේණික වූ සිතුම් පැතුම් සහජ හැකියාවන් සමූහයක් මෙන්ම විශේෂිත වූ හැසිරීම් රටාවක් පැවතීමයි. මේ නිසා සංසන්දනය කිරීම අර්ථ විරහිත දෙයකි. මේ නිසා අවසානයේදී සෘණාත්මක ආකල්ප වර්ධනය  විය හැකි ය. 

5. සෘණාත්මක ආකල්ප දරන අය ඇසුරු කිරීමත් ඔවුන්ගේ ආභාෂය ලැබීමත් යමෙක් තුළ සෘණාත්මක සිතුවිලි ඇතිවීමට බොහෝදුරට හේතු වේ. 

සෘණාත්මක ආකල්ප වෙනුවට ධනාත්මක ආකල්ප ඇති කර ගන්නේ කෙසේද? 

1. ධනාත්මක ආකල්ප පිළිබඳව ප්‍රකාශයට පත් වී ඇති විවිධ පොත් පත් මෙන්ම විද්‍යුත් මාධ්‍යයන් තුළින් පළවී ඇති බොහෝ දෑ කියවීමෙන් සහ අවධානය යොමු කිරීම තුළින් ලබාගන්නා දැනුම  මෙන්ම එම චින්තනය පිළිබඳ දේශන හෝ පුහුණු වීම් මත ඇති කරගන්නා ස්වයං උත්සහය මෙහිදී වැදගත්වන අතර, එමඟින් ඔබට ඔබ ගැනම යථාර්ථවාදී අවබෝධයක් ලබාගත හැකි ය. මින් අදහස් කරන්නේ ඔබ තුළ ඇති සහජ හැකියාවන් මෙන්ම පසුව ඇති ගන්නා ලද කුසලතාවයන් පිළිබඳව ඔබ හොඳින් අවබෝධ කරගෙන ඔබ තුළ මානසික වශයෙන් කිසියම් තැන්පත් බවක් හෝ චිත්ත ඒකාග්‍රතාවයක් ඇතිකරගත හැකි බවයි. බෞද්ධ දර්ශනයට අනුව මානසික සන්සුන්භාවය ඇති කර ගැනීම තුළින් බොහෝ දේවල් ජය ගත හැකි වේ. මෙමඟින් ධනාත්මක ආකල්ප පහසුවෙන් වර්ධනය කරගත හැකි වේ. 

2. තමා අන්‍යයන් සමඟ සංසන්දනය කිරීමෙන් වැළකී සිටීම සහ ඒ වෙනුවට හැකියාවෙන් විශිෂ්ටත්වයට පත් වූ අයගේ චරිතාපදාන කියවීම සහ ඔවුන් අනුගමනය කර ඇති ක්‍රමෝපායන් පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම මෙමඟින් ඔබ තුළ අභිප්‍රේරණයක් මෙන්ම ප්‍රබුද්ධ භාවයක් ඇතිවන අතර එමඟින් ධනාත්මක ආකල්ප වර්ධනය කරයි. 

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.