නිරෝගිතාවය, බුද්ධිය වර්ධනය කරන එළකිරි

සැප්තැම්බර් 25, 2020

මන්දපෝෂණය දුරු කිරීමටත්, නිරෝගීතාවය ගෙනදීමටත් ශක්ති ජනක ආහාරයක් වන එළකිරි බාල, තරුණ, වැඩිහිටි කොයි කාටත් එකසේ ගුණ දෙන ප්‍රබල ඖෂධයකි. එළකිරිවල කැල්සියම්, පොස්පරස්, මැග්නීසියම් සහ සින්ක් වැනි ශරීරයට අත්‍යවශ්‍ය ලවණ වර්ග මෙන්ම විටමින් ඒ විටමින් බී කාණ්ඩයට අයත් බී 12 ෆයිබර්ෆ්ලේවින් සහ ගැන්ටාටෙනික් යන අම්ල ද විටමින් වර්ග ද බෙහෙවින් අඩංගුව ඇත.

නිරෝගිකම පමණක් නොව, බුද්ධිය වර්ධනය කිරීමේ හැකියාවක්ද ඇති එළකිරිවලට අස්ථි ශක්තිමත් කිරීමේ හැකියාවක් ද පවතින බැවින් වයස් භේදයකින් තොරව හැම දෙනාටම ගුණ ලබා දෙයි. ආයුර්වේදයේ සඳහන් පරිදි ශරීරය විජලනයට පත්ව ඇති රෝගීන්ට මෙන්ම විවිධ රෝග වැලඳීමෙන් ශරීරය වැහැරී ගිය අයටත් එළකිරි ගුණදායක බව පෙන්වා දී ඇත. එමෙන්ම මානසික රෝගයෙන් පෙළෙන්නන්ට ද ගුණදායක වන එළකිරි හිස කැක්කුම වගේම මත්ගතිය දුරු කිරීමට ද හැකියාව පවතී. 

එළකිරි යනු පානයක් නොව, එය පෝෂණීය ආහාරයකි.  නැවුම් එළකිරිවල ආවේණික සුවඳක් හා වර්ණයක් ද අමුතුම රසයක් ද ඇත. මෙම කිරිවල විටමින් ඒ, බී.සී. ඩී සහ ඊ බහුලව ඇත. එළකිරිවල ප්‍රෝටීන් 3.2 ද ජලය 87.5 මේදය 3.7 ද ඛනිජ ලවන 0.7 ද, ලැක්ටෝස් 4.6ක් ද ඇත. කිරිවල ඇති කැල්සියම් පහසුවෙන් ශරීරයට ලබා ගන්නා බැවින් වැඩිහිටියෙකුට කිරි වීදුරු තුන හතරක් වුවත් පානය කිරීම සුදුසු වේ. පුද්ගලයකුගේ අස්ථිවලට කැල්සියම් තිබිය යුතුමය. යමෙකුගේ වයස අවුරුදු තිහක් පමණ වනතෙක් ශරීරයේ අස්ථිවල ඝණත්වය  ක්‍රමානුකූලව වැඩි වුවද එම වයස් සීමාව නික්මවීමෙන් අස්ථිවල ඝණත්වයේ වැඩිවීමක් දක්නට නොලැබේ. එළකිරි යනු පානයක් නොව සැබවින්ම එය ගුණාත්මක ආහාරයකි. සත්ව හා ශාකමය ආහාර අතරින් ශරීරයට අවශ්‍ය සියලුම පෝෂක සපයන එක් ආහාර කාණ්ඩයක් ලෙස විශේෂත්වයක් කිරිවලට හිමි වේ. 

සමබල ආහාර වේලක තිබිය යුතු පෝෂ්‍ය පදාර්ථ එළකිරිවල අඩංගු වන බැවින් එළකිරි සමබල සම්පූර්ණ ආහාරයක් බව කිව යුතු වූවාට වරදක් නැත. කිරි දියරමය ආහාරයක් නිසා පහසුවෙන් ආහාරයට ගත හැකි නිසා එය පහසුවෙන්ම ජීර්ණය ද වේ. නැවුම් එළකිරි, මව්කිරිවල සංයුතියට හා සමාන වේ. එහෙත් මව්කිරි තරම්ම උසස් ගුණාත්මක වන්නේ ද නැත. තරුණ බව ආරක්ෂා කර ගැනීමටත්, ආයුෂ වර්ධනය කර ගැනීමටත් උපකාරී වන ගුණාංගයක් එළකිරිවල ඇත. අර්ශස් රෝගයෙන් පෙළෙන රෝගීන්ගෙ මළ පිටවනු ලබන්නේ ඝණත්වයෙනි. එය වැළැක්වීමේ ඖෂධීය ගුණයක් එළකිරිවල ඇත. සමහරුන් එළකිරි රත් කිරීමෙන් තොරව පානය කිරීමට ද උනන්දු වෙති. එසේ පානය කිරීමෙන් සෙම වැඩිවීමක් ඇතිවිය හැකි ය. ශරීර ස්වභාවයට වඩා උදරය ඉදිරියට නෙරාවිත් ඇති අයට ද එළකිරි ගුණදායකය. ලිංගික ක්‍රියාවලියේ වැඩිපුර ගැලී සිටීම නිසා ඇතිවන ශරීර දුර්වලතාවයටද එළකිරිවලින් ලැබෙන ගුණාත්මකභාවය නිසා ශරීර ශක්තියට යම් සහනයක් ලබාගත හැකි ය. දේශීය මෙන්ම ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ තෙල්, බෙහෙත්   ආදිය සඳහා ද එළකිරි උපයෝගි කරගෙන ඇත. 

බල, වර්ණ පුෂ්ඨිමත් බව අති කරන, ආහාර රුචිය ලබාදෙන, දන්මෝත් භේද සහ බාල රෝග නසා බලය වර්ධනය කරන කුමාර කල්‍යාණ, සෘතය, එළකිරි, එළඟිතෙල්, කටුවැල් බටු පංචාංගය, ජලය, ශංඛ පුෂ්පී, වදකහ, බ්‍රහ්මී, සුදු අබ, සුවඳ කොට්ටං, තිපල්, මුද්දරප්පලම්, කලාඳුරු, උක්හකුරු, වියළි ඉඟුරු, ජීවන්ති, බැවිල, ජීවක ශඨි, බෙලිගැට මද, දෙළුම් ලෙලි, හීන් එන්සාල්, කොට්ටම්ගජත්පිලි, තුලසි, ශාල පර්ණී, කාම ශක්තිය වර්ධනය කරන යෝනි දෝෂ නසන බුද්ධිය ඇති කරන ආයුෂ වර්ධනය කරන සර්ව ග්‍රහ දෝෂ නසනථලකල්‍යාණ සෘතයටද එළකිරි ඖෂධීය වශයෙන් එක්කර ගනී. එළකිරි, ගිතෙල්, හාතාවාරිය, වැල් මදට, වැල් මී, කොට්ටං, තිපල්, ශර්කරා, බැවිල, කිරිබදු අල, මේදා අමුක්කරා, අසමෝදගම්, කහ, වෙනිවැල්, පෙරුංකායම්, කටුකරෝසන රත්මහනෙල් අල, කුමුදු, මුද්දරප්පලම්, සුදු හඳුන්, කාකෝලි, රත් හඳුන්, ලක්ෂ්මන මූල ක්ෂිරකාකෝලි ආදී ඖෂධයන් ද   කල්‍යාණ සෘතයට ගනු ලබයි. වාත රෝග ක්ෂය ගුල්ම ආදී රෝගයන්ට දෙනු ලබන, එළකිරි සංයෝගයෙන් සාදනු ලබන ඉන්ද්‍ර කාන්ත සෘතය එළකිරි, දේවදාර, දශමූල ජලය, ශෙෂය, තිප්පිලි, තිප්පිලි මුල්, රත්නෙටොල්, ඉඟුරු, සහිඳ ලුණු  සෘත ආදී ඖෂධයන් එක්කර ගනියි. 

ආයුර්වේද වෛද්‍ය මැණික් නේරංජනා හෙට්ටිආරච්චි

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>  

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.