කයට දැනෙන චතුර් විද වේදනාවෝ

සැප්තැම්බර් 11, 2020

කයක් හෙවත් ශරීරයක් ක්‍රියාකාරි වන්නේ එයට දැනෙන වේදනාවන්ට අනුකූලවය. එම නිසා කාය යනු ක්‍රියා යන්න අර්ථ ගැන්වෙයි. කය වේදනාවන් අනුවම ක්‍රියා කරනු අධ්‍යයන කරන්නෙකුට ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් කුරු ජනපදයේ කම්මාස්සදම්ම නම් නියන් ගමෙහිදී දේශනා කරන ලද මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවට සමකළ හැකි වෙනත් දේශනාවක් හෝ ලියවිල්ලක් ග්‍රන්ථයක් සොයාගත නොහැකිය. 

උසස් මනසක් ඇති නිසා මනුෂ්‍යායයි කියන පුරුෂයෙකුට වේවා ස්ත්‍රියකට වේවා දැනෙන වේදනා සියල්ලම කොටස් හතර කට වර්ග කොට ඇත. 

1.සුඛ වේදනා, 2.දුක්ඛ වේදනා, 3.අදුක්ඛම සුඛ වේදනා 4. උපේක්ඛා වේදනා 

වේදනා යනු ඇස, කණ, නාසය , දිව, ශරීරය , මනස යන ආයතන නිසා සිත තුළ පහලවන හැඟීම් ය. එසේ පහලවන හැඟීම් වලට අනුරූපව කය හා වචන හසුරුවනු ලබයි. 

සුඛ වේදනාව 

සුඛය යනු කයට සැපක් ලෙස හා සිතට සොම්නසක් ගෙන දෙන ස්වභාවයයි. එම සුඛය ලබන්නට නම් සුඛයට ප්‍රතිවිරුද්ධතාවය වන දුක යටපත් කළ යුතුය. උපන් සියලුම සත්වයෝ ස්වභාවයෙන්ම සැපය සොයන්නෝ හා පතන්නෝ වෙති. එම සැපය කියන හැගීම් සිතට දැනුන විට ඒ අනුව කය හා වචන අනුසාරයෙන් එම සොම්නස පිටකරනු ලබයි. සිනාසීම, මිහිරි පි‍්‍රයවචන කථා කිරීම, සිප වැළඳ ගැනීම, ශරීරය, ප්‍රබෝධමත්වීම, කවි සින්දු ගායනා කිරීම මේ ආදි වශයෙන් එම අවස්ථාවල දැනුන සැපය හා සතුටට අනුව කියුම් කෙරුම් පහල කරයි. 

දුක්ඛ වේදනාව 

“දුක්ඛේන ලොකො පටිත්ථිඨො” යනුවෙන් ලෝකය දුක නැමති පදනමේ (අත්තිවාරමේ) පිහිටි බව බුද්ධ දේශනාවයි. එම නිසා සුඛ වේදනාව ස්ථිර නිත්‍ය වේදනාවක් නොවේ. 

එය මොහොතින් මොහොත වෙනස් වෙමින් නැවත නැවත දුක්ඛ වේදනාවට පෙරළී දුකක් බවට පත්වේ. සිතට දුකක්, කණගාටුවක් ,ශෝකයක් දැනුණ වහාම කය වචනයද ඒ අනුව ක්‍රියාකරයි. සෝමනස්ස සිත දෝමනස්සයට පෙරළී හැඬීම වැලපීම අදෝනාවන් පළකිරීම සොටු කඳුළු ගලා ඒම ශරීරය උදාසීන හා අප්‍රාණික වීම ආදි දුක්ඛ වේදනාවන් කයින් මෙන්ම වචනවලින්ද ප්‍රකට කරවයි. එම දුක්ඛ වේදනාව පහ කර ගැනීම සඳහා ක්‍රියා කරයි. එහිදී ස්වකීය සැපතට එරෙහිවන කුමන බලයක් සමඟ වුවද ගැටීම් ඇතිකර ගනී. එනිසා ද්වේෂයද හට ගනී. සණ්ඩු සරුවල් කලකෝලාහල අමනාපකම් ආදී නොයෙක් ගැහැට මේ නිසා ඇතිවෙයි. මේ අනුව සැප දුක දෙකටම මූලික වන්නේ ආශාව (තෘෂ්ණාව) බව තහවුරු වේ. 

අදුක්ඛම සුඛ වේදනාව 

අදුක්ඛම සුඛ වේදනාව යනු සිතට දුකකුත් නැති සැපකුත් නැති ස්වභාවයයි. වින්දනය කරමින් සිටි සැප හෝ දුක සාමාන්‍ය ස්වරූපයට පෙරළී පැවතීම මින් අදහස් කරයි. උදාහරණයකින් පැහැදිලි කරගන්නේ නම් යමෙකු තම සුඛවිහරණය සඳහා අතිසුඛෝපභෝගී නිවසක් වාහනයක් වැනි දෙයක් තමන් සතු කරගෙන සැප වින්දන ලබමින් ටික කලක් ගත වන විට එයට හුරු පුරුදු වු විට එය සැපයකුත් නොවන දුකකුත් නොවන මානසික තත්ත්වයට පත් වීමය. දුකත් එසේමය. හදිසි අනතුරක් හෝ රෝගයක් නිසා කෙනෙකුගේ ශරීරයේ අතක් පයක් හෝ වෙනත් ශරීරාංගයක් ඉවත් කරනු ලැබුවොත් මුලින් ඒ පිළිබඳ හඩා වැලපෙමින් දුකට පත්වූවන් කලක් යන විට එයට හුරුවී දුකකුත් නැති සැපකුත් නැති මානසික තත්ත්වයකට පත්වේ. මෙලෙසින්ම සැප දුක කියා හිතන සෑම දෙයක්ම අලුත් කම් සුඛ වේදනාවන් බවට පෙරලී අවසානයේ දුක්ඛ වේදනාවක් බවටම පත්වේ. 

උපේක්ඛා වේදනාව 

සිව් වැදෑරුම් වේදනාවන් අතුරින් සුඛ, දුක්ඛ, අදුක්ඛම සුඛ යන වේදනා ත්‍රිත්වය දැඩි ආයාශයකින් තොරව ලැබෙන වේදනාවෝ වෙති. උපේක්ඛා වේදනාව වේදනා අතුරින් කෙනෙකුට ලැබිය හැකි උතුම්ම වේදනාව වෙති. එය ප්‍රඥාවෙන් , වීර්යයෙන් කුසල චේතනාවන් වැඩුන විට ඇතිවන වේදනාවකි. මෙම වේදනාවේ ස්වරූපය වනුයේ අෂ්ඨලෝක ධර්මතාවයන් වන ලාභ

 අලාභ ,යස අයස, නින්දා ප්‍රශංසා, සැප දුක යන සෑම අවස්ථාවකදීම එකසේ ඒවා දරාගෙන සිටීමේ හැකියාවයි. මෙකී වේදනාව දැනෙන්නේ සතර සතිපට්ඨානය හොඳින් අවබෝධ කරගන්නා අයට පමණි. බුදු, පසේබුදු, මහරහතන් වහන්සේලා උන්වහන්සේලාගේ පිරිනිවීම දක්වාම උපේක්ඛා වේදනාවෙන් යුතුව වැඩ වාසය කරයි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>   

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.