ඡ්‍යොතිෂයට අනුව සතර පෝයට සිල් සමාදන් වීමට නිර්දේශ කළේ ඇයි

සැප්තැම්බර් 4, 2020

බොහෝ පුරාණයේ සිටම සතර පෝයට පෙහෙවස් සමාදන් වීමේ සිරිතක් පැවතිණි. ලංකාවේ ද 1971 වර්ෂය දක්වාම රටේ බොහෝ වෙහෙර විහාරස්ථානවල උපාසක උපාසිකාවන් සිල්සමාදන්ව සිටිනවා දකින්නට ලැබුණි. එවගේම රජය මගින් ද ඊට අනුග්‍රහය දක්වමින් සති අන්ත නිවාඩු දින සතර පොහොය මුල්කරගෙන දී තිබුණි. පසුකලෙක එය නැවත වෙනස් කර සෙනසුරාදා ,ඉරිදා සති අන්ත නිවාඩු දින ලෙස ප්‍රකාශ කළේය. 

1971 දී රට තුළ ඇතිවු කැරලිකාර ස්වභාවය නිසා සතර පෝයට සිල් සමාදන් වීම අඩු වී පසළොස්වක පෝයට වැඩිදෙනෙකු සිල් සමාදන් වීමේ ප්‍රවණතාවයක් ඇතිවිය.  පසළොස්වක පෝය දිනක රජයේ නිවාඩු දිනයක් බවට ප්‍රකාශ කිරීම නිසා එම පොහොය දිනය විශේෂ දිනයක් බවට පත් වී තිබේ. 

අපේ අතීත මුතුන්මිත්තෝ සතර පෝයටම සිල් ගත්තේ හේතු සහගත කරුණු කාරණා රාශියක් පදනම් කරගෙනය. හිරු සඳුගේ බල දුබලකම් හොඳින් දැන හඳුනාගෙන ඉරෙන් හඳෙන් වැඩ ගත් ඔවුන් සොබාදහම සමඟ එකට මුසු වී සැහැල්ලු සැනසිලිදායක සරල චාම් දිවි පෙවතක් ගත කළහ. 

චන්ද්‍රයා යනු මිනිසාගේ සිතය. ඍජු බලපෑම් ඇතිකරන ග්‍රාහයාය. එවිට එම සිතිවිලි අනුව කායික හා වාචසික ක්‍රියාවන් පිළිබිඹු කරවයි. සීලයෙන් සිදු වන්නේ කය හා වචනය හික්මවීමය. කය වචනය හික්මවීමකින් තොරව ක්‍රියාකාරිවන්නේ පෝය දිනවල දීමය. එම දිනවලදී සිල් සමාදන් වීමෙන් හික්මීම ඇතිවේ. 

සූර්ය මාසයක් තුළ සඳුගේ ගමන පුර පක්ෂය හා අව පක්ෂය වශයෙන් එක් පක්ෂයකට තිථි 15 බැගින් තිථි 30 ක් නම් කර ඒ ඒ තිථිවලදි හිරු සඳුගේ බලපෑම් පෘථිවියට එල්ලවන ආකාරය දැන හැඳිනගෙන මිනිසුන්ට මෙන්ම සියලු සත්වයන්ටත් අහිතකර ලෙස බලපාන තිථි හතර වන අමාවක, අව අටවක, පුර අටවක, පසළොස්වක යන තිථි 04 තුළ ආගමික ප්‍රතිපත්ති අනුව ගත කරන්නට නියම කර ඇත. 

ඡ්‍යොතිෂයේ මූලික සිද්ධාන්ත වන දිනය, නැකත, තිථිය ,යෝගය, කරණය වන පංචාගයන් අතුරින් සතර පෝයට යෙදෙන තිථි මිනිසාගේ සිතුවිලි කාමුක, චණ්ඩ ආදී හීන ස්වභාවයන්ට පමුණුවනු ලබන බව තිථි පලාඵල වලින් දැක්වේ. 

අමාවක පොහොය දිනය 

රවි සඳු ස්ඵුටය අංශක 00 00 වන අවස්ථාව මාසේ පෝය අමාවක ලෙස හැඳින්වේ. මෙදින රාත්‍රිය ඉතාම කරුවල දිනය වේ. රවි සඳු දෙදෙනාම එකට ළංවී සිටින දිනයයි. මෙදින එකම රාශියක එකම අංශයක හිරු සඳු දෙදෙනාම සිටිති. මෙදින දිවා, රාත්‍රී දෙකම මව්වරුන්ට, පියවරුන්ට අඹුසැමි ගැටවර හා යෞවන යෞවනියන්ට කාමුක මෙන්ම ප්‍රචණ්ඩ සිතිවිලි පහළ  වෙයි. පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා භූතවලින් සැදුම් ලත් ජීව, අජීව සෑම දෙයකම සමතුලිත භාවය වෙනස් වෙයි. පඨවි ධාතුවේ ඝනත්වය වැඩි වෙයි. පොළොවේ මෙන්ම ගස්,ගල් වල පවා තද ගතිය වැඩි වෙයි. මේ නිසාම මාසේ පෝය තිබෙන විටදී කපන දැව වර්ග ශක්තිමත් මෙන්ම වේයන්, ගුල්ලන් වැනි කෘමි සතුන්ට හානි කරන්නට නොහැකිව පවතී. මේ නිසා දීර්ඝ කාලයක් ප්‍රයෝජනය ගැනීමට අවශ්‍ය දැව ලබා ගැනීමට අවශ්‍ය ගස් කපනු ලැබුවේ මාසේ පෝය දිනයන් වලදීමය. ජලය ද කැලඹිලිදායක වේ. වඩදිය බාදිය ඇතිවන්නෙ ්ද මේ කාලයේදීය. වඩ දිය බාදිය ඇතිවීමට උපකාරි වන්නේ වායෝ ධාතුවමය. තේජෝ ධාතුව ද බලවත් වේ. 

බොහෝ විට ලැව්ගිනි පැතිරීම, ගිනිකඳු පිපිරීම මාසේ පෝය තිබෙන අවස්ථාවලදී සිදුවෙයි. මිනිසුන් මෙන්ම සත්වයන් අතර ද ලිංගික ආවේග කුපිත කරවයි.අඹුසැමියන් අතරට සාමය සමඟිය දෙදරවයි. සතුන් අතර, පවා ලිංගික ඕනෑ එපාකම් අරඹයා පොරකෑම් සතුන් ඇතිවෙයි. සොර මැරකම් අන් දිනවලට වඩා වැඩි වෙයි. “පූර්ණා” තිථියට අයත් මාසේ පෝය දිනය ලේ ධාතුව කුපිත වීම නිසා හෘද රෝග , කෑම අරුචිය, ස්ත්‍රි පක්ෂයේ ඔසප් වේදනා ආදිය ඇතිවීමට හේතුවේ. මේ ආදි තවත් බොහෝ අසුබඵල ඇතිවන දිනයක් නිසා මාසේ පෝය දිනවලදී පෙහෙවස් සමාදන් වී සිටීමෙන් බොහෝ අනතුරු, ආබාධ, ලෙඩ රෝග, අමනාපකම්වලින් වැළකී සිටීමට හේතු වේ. 

පුර අටවක පොහොය 

රවි සඳු අංශක 84 -96 පරාශය මෙන්ම අංශක 90 ගිය විට චතුරශ්‍ර නම් අශුභ දෘෂ්ටිය හටගනී. මෙම කාලය එම නිසා කිසිම සුබ වැඩකට යහපත් නොවේ. සිත්තැවුල්, අමනාපකම්, ඥාතීන් අතර ආරවුල්, දේපළ හානි ඇතිවීමට හේතුවේ. කෝපය, තරහව, වෛරය, ඉරිසියාව හේතු කොට ගෙන නඩුහබ, ,පවුල් අවුල් ඇතිකරවන තිථියකි. මෙය ද ඡයා තිථිය ලෙස හඳුන් වන අතර, එම දවස ද පෙහෙවස් සමාදන් වීම ආදි ආගමික වත් පිළිවෙත් අනුගමනය කිරීමෙන් ඉහත කී ව්‍යසනකාරි අවේගවලින් තොරව කාලය ගෙවා දැමිය හැකිය. 

පුරපසළොස්වක පොහොය 

රවිගෙන් චන්ද්‍රයා අංශක 168 ත් 180 අතර, පරාශය තුළ පුරපසළොස්වක තිථිය පවතී. මේ වන විට රවි සඳු සම සප්තව සිටින අතර, මෙයද අශුභ දෘෂ්ටියකි. මෙම තිථියේදී ද  අමාවක පෝයට හා සමාන සිතිවිලි හටගනී. කාමුක මෙන්ම ශෘංගාරාත්මක හැඟීම් ජනිත කරවනු ලබයි. එම සිතිවිලි අනුව කායික හා වාචසික හැසිරීම් අසංවර කරවයි. තරුණ තරුණියන් අතර, පේ‍්‍රම සබඳතා මෙන්ම සම්මතයන්ට නොගැලපෙන කායික හැසිරීම් වලට පොළඹවයි. මිනිසුන් පමණක නොව සතා සිවුපාවුන් පවා විරුද්ධ ලිංගිකයන්ගේ පහස සොයා යන්නේ ද බොහෝ විට පුර පසළොස්වක තිථිය උදා වී පැවතියදීය. මෙදින ද මාසේ පෝය දින මේ පූර්ණා තිථිය පවතී. පූර්ණා තිථියේ සුවිශේෂ ගතියක් වනුයේ සත්වයන්ගේ ගංගාශි‍්‍රත ප්‍රදේශ උත්තේජනය වීමයි. එම නිසා ගැබ් ගැනීම්, දරු ප්‍රසූති වැඩිපුර සිදුවන්නේ පූර්ණා තිථියන් පවතින අවස්ථාවලදීය. පසළොස්වක පෝය දිනවලදී පෙහෙවස් සමාදන්ව සිටීමෙන් නොමඟට යන සිත් සුමඟට හරවා චිත්ත සමාධිය ඇතිකර ගැනීම ද බෙහෙවින් යෝග්‍ය වේ. මේ නිසාම බුදුදහමට අදාළ බොහෝ වැදගත් සිදුවීම් පසළොස්වක පෝය දිනවලදීම සිදුව තිබේ. පසළොස්වක පොහොය ගෙවී යාමෙන් පසු නැවතත් සඳු හිරුට ක්‍රම ක්‍රමයෙන් ළංවීම සිදු වේ. 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>> 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.