බුදුරදුන් ජීවමාන සමයේදී පවත්වන ලද මහියංගණ ඇසළ පෙරහර

අගෝස්තු 28, 2020

මහියංගණ ඇසළ මහා පෙරහර මහියංගණ ථූපය කේන්ද්‍ර කොට ගෙන රජමහා විහාරයේ පෙරහරත් එම ථූපයේ නිර්මාතෘ ලෙස සැලකෙන සුමන සමන් දෙවියන් වෙනුවෙන් පැවැත්වෙන පෙරහරත් එක්ව සංස්කෘතික ඓතිහාසික වටිනාකමකින් යුතුව පැවැත්වේ. 

මහියංගණ ඓතිහාසික රජමහා විහාරය සහ මහ සමන් දේවාලය ඒකාබද්ධව වාර්ෂිකව පවත්වනු ලබන ඇසළ මහා පෙරහර සෑම වසරකම සැප්තැම්බර් මාසයේදී පැවැත්වේ. 

කප් සිටුවීමෙන් අනතුරුව ඇතුල්ගෙයි සහ කුඹල් පෙරහර පැවැත්වීමෙන් පසු ප්‍රථම රන් දෝලි පෙරහර වීදි සංචාරය කෙරේ. එදින පසු දින දියකැපුම් පෙරහර පැවැත්වීමෙන් පෙරහර මංගල්‍යය අවසන් වේ. බුද්ධත්වය ලැබු නොබෝ දිනකින් බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කළහ. ඒ අනුව බුද්ධත්වයෙන් නවවන මස දුරුතු මස පුරපසළොස්වක් පොහෝදින පස්වරුවක බුදුරජාණන් වහන්සේ මහවැලි ගංතෙර පිහිටි මහානාග වනයෙහි රැස්ව පවත්වමින් සිටි යක්ෂ සමාගමකට වැඩම කළහ. එසේ වැඩම කළ බුදුන් වහන්සේ අහස් කුසට වැඩ සිට පෙළහර පා යක්ෂයින් දමනය කළ බැව් මහාවංසයේ සඳහන් වේ. එසේ අහස් කුස වැඩසිටි ස්ථානයෙහි කළ ස්ථූපය මහියංගණ ස්ථූපය වූයේය. මෙම මහියංගණ ස්ථූපය ප්‍රථමයෙන් ගොඩනගා ඇත්තේ මහා සුමන නම් දෙවි රජ විසිනි. 

මහියංගණ ඇසළ මහා පෙරහර මහියංගණ ථූපය කේන්ද්‍ර කොට ගෙන රජමහා විහාරයේ පෙරහරත් එම ථූපයේ නිර්මාතෘ ලෙස සැලකෙන සුමන සමන් දෙවියන් වෙනුවෙන් පැවැත්වෙන පෙරහරත් එක්ව සංස්කෘතික ඓතිහාසික වටිනාකමකින් යුතුව පැවැත්වේ. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය බුද්ධත්වයෙන් නමවන මස සිදුවු අතර යක්ෂ දමනයෙන් පසු සුමන ඇතුළු පිරිසට ධර්මය දේශනා කළ අතර සෝවාන් ඵලයට පත් සුමන වැඳ පුදා ගැනීමට යමක් ඉල්ලා සිටි විට බුදුන් වහන්සේ විසින් කේශධාතු ලබාදීමෙන් පසු එය නිදන් කොට සත්වියන් උස නිල්මිණි මුවා මහා සෑයක් කරවූ බව වංශකථාවල සඳහන් වේ. ඉන් අනතුරුව සරසද මහ රහතන් විසින් බුදුන් වහන්සේගේ ගි‍්‍රවා  ධාතුව තැන්පත් කොට විසි එක් රියන් උසට ථූපය තනා පෙරහරක් පවත්වා ඇත. පසුව සරභුනම් වූ ඍද්ධිමත්භාවයට පත්වූ භික්ෂූන් වහන්සේ නමක් විසින් බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව දරසෑයෙන් ගෙනෙන ලද සර්වඥ ශ්‍රී වාස්තු ධාතුවක් එහි තැන්පත් කොට ඇත. 

ඉන් පසු දෙවනපෑතිස් රජුගේ සහෝදරයකු වන උද්ධ චූලාභය රජු විසින් සෑ රදුන් ප්‍රතිසංස්කරණය කොට පෙරහර පවත්වන ලදී. මෙකල මාගමින් ගමන් ආරම්භ කළ දුටු ගැමුණු කුමරු මහියංගණයෙහි තිබූ ද්‍රවිඩ බලකොටුව බිඳ ජයගෙන මහියංගණ සෑරදුන් අසූ එක්රියන් උසට තැනූ බව ඉතිහාසය කියයි. එසේ ප්‍රථම බල කොටුව බිඳිමින් ආරම්භ කරන ලද සටන නිමාවූයේ අනුරාධපුරයේ ඇරඹූ සටනින් එළාර රජු මිය යෑමෙනි. එළාර යුද්ධයට පෙර දුටුගැමුණුූ රජු විසින් සමන්දේවාලයට භාරයක් වී යුද්ධයෙන් පසු ජයගෙන මහසෑ රදුන්ට පුද පූජා පවත්වා පෙරහරක් පවත්වා සමන්දේවාලයට ද පෙරහරක් පවත්වා පෙරහරින් සමන් දේවාලයට ගොස් රන්දුන්නක් සහ ඊතලයෙක් පූජා කළ බවත් පුරාවෘත්තවලින් කියවේ. ක්‍රිස්තුවර්ෂ තුන්වන සියවසේදී වෝහාරික තිස්ස රජු ක්‍රි.ව. 269-291  රාජ යුගයේදී රජු මහියංගණයට ඡත්‍රයක් කර ඇති අතර අභයගිරි විහාරය දක්ෂිණා මූලවිහාරය, මිරිසවැටි විහාරය, කුල තිස්ස විහාරය, මියුගුණ විහාරය. මහානාග විහාරය. නාගදිවයින තිස්ස නම් විහාරය හා කැලණි විහාරය යන අටතැන් පිහිටි චෛත්‍යයන්හි ඡත්‍රකර්ම කරවා ඇති බවයි. 

මහියංගණ විහාරය ප්‍රතිසංස්කරණය සඳහා විශාල මෙහෙයක් කළ රජ කෙනෙකු වශයෙන් පළමුවන විජය බාහු රජුට ක්‍රි.ව. 1055-1110 ට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. විජයබා රජු මහියංගණ විහාරයට ගම්බිම් පවා ප්‍රදානය කළේය. කෝට්ටේ යුගයේ රජ කළ සවැනි පැරකුම්බා රජු විසින්ද මහියංගණ සෑය ප්‍රතිසංස්කරණය කළ බැව් සඳහන් වෙයි. මහියංගණ දාගැබ සිංහල රාජයුගයේදී ඉතා ප්‍රසිද්ධියට පත්ව තිබූ අතර එම ප්‍රදේශයද සශ්‍රීකව පැවතියේය. මහියංගණය පිළිබඳව පැවතෙන කථා අතර බුදුන් වහන්සේ බුද්ධත්වයෙන් නවවන මස තුන්බෑ ජටිලයින් දමනය කිරීම පිණිස උරුවෙල් දනව්වට වැඩම කළ අවස්ථාවේ දුරුතු පසළොස්වක දිනක ලංකාපුරයේ නාගවන නැමැති ප්‍රදේශයට අහසින් වැඩමකොට එහි විසූ යක්ෂ ගෝත්‍රිකයින් දමනය කළ බව ඉතිහාසගතව ඇත. එදා නාගවනය ලෙස හඳුන්වා ඇත්තේ මෙම මහියංගණ ශූද්ධ භූමියයි. 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.