මහනුවර ඉපැරණි සතර මහා දේවාල අතර නාථ දේවාලය

අගෝස්තු 21, 2020

මහනුවර නගරයේ ඇති පැරණිම ගොඩනැඟිල්ල ලෙස නාථ දේවාලය හඳුන්වන අතර එහි පිහිටි ගෙඩිගේ ක්‍රි.ව. දාහතර වැනි සියවසට අයත්වූවක් බවද සැළකේ. සතර මහා දේවාල අතරින්  ප්‍රධාන දේවාලය ලෙසද සැලකෙන්නේ නාථ දේවාලයයි. සෙංකඩගල රජ වූ සියලුම රජවරුන් ඔටුණු පැළඳීම හා කඩු කරලීම සිදුකළේත් නාථ දේවාලය ඉදිරිපිටදී ය. 

ඒ පිළිබඳ ඓතිහාසික තොරතුරු බොහෝ ය. නාථ දෙවියන් කලින් වැඩ සිට ඇත්තේ පාතදුම්බර යක්ගහපිටිය නම් ගමේ ය. පසුව ධර්මරාජ කන්ද යැයි ප්‍රසිද්ධ කඳුමුදුනේ ලැඟුම්ගෙන සිටියහ. ජනප්‍රවාදයට අනුව නාථ දේවාලය ඉදිකර ඇත්තේ ක්‍රි.ව. එක්දාස් තුන්සිය හැටත් එකදාස් තුන්සිය හැත්තෑපහත් අතර රජකළ තුන්වන වික්‍රමබාහු රජතුමාගේ කාලයේ දී ය. සතර දේවාල අතරින් ප්‍රධාන දේවලය ලෙස සැළකෙන නාථ දේවාලය පිළිබඳ ජනකථාද බොහෝ ය. 

එකල සිවලකුවිසින් ලුහුබඳින ලද සාවෙක් ද, කොටියකු විසින් ලුහුබඳින ලද මුවෙක්ද එක ස්ථානයකදී ආපසු හැරී තමන් ලුහුබැඳ ආ සිවලාත්, කොටියාත් පළවා හැරී ය. මේ අශ්චර්ය දුටු සංඛන්ඩ නම් බමුණෙක් මේ නම් ජයභූමියැකැයි සිතා එතැන අසපුවක්කොට වාසය කළේ ය. මේ යුගයේදීම නගරයක් ඉදිකිරීම සඳහා සුදුසු බිමක් සොයමින් ගිය ගම්පාල රජ කළ තුන්වන වික්‍රමබාහු රජතුමාගේ රාජපුරුෂයෝ සංඛණ්ඩ බමුණාගේ මේ ජයභූමිය ගැන දැනගෙන ඒ බව රජතුමාට දන්වා සිටියේ ය. ඒ අනුව එතනට ආ රජතුමා රාජ පුරුෂයන් ලවා ස්ථානය එළිපෙහෙළිකොට නාථදේවාලයක් ඉදි කළේ ය. ඒ අවට රජ මාළිගාවක් සහ අනෙකුත් ගොඩනැගිලි ද ඉදි කොට එම භූමිය ගැන කී බමුණාගේ නමින් සෙංකඩගලයයි නම් කිරීය. සුදු වර්ණයුත් නාථ දෙවියන්ගේ දකුණතෙහි නෙලුම් මලක් දරා සිටීමත් නළලෙහි අමිනාහ බුදුන්ගේ රූපය නෙළා තිබීමත් ප්‍රධාන ලක්ෂණයක් වේ. 

විෂ්ණු දේවාලය - මහනුවර මහ දේවාලය නමින් හැඳින්වෙන විෂ්ණු දේවාලය මහනුවර ගොඩනැගීමටට පෙර පිහිටා තිබුණේ කෑගලු දිස්ත්‍රික්කයේ ගනේතැන්නේ ය. එතැනින් අලුත් නුවරට ගෙනයමින් එතැනින් මහනුවරට ගෙන ඇත. විෂ්ණු දෙවියන්ගේ රාම සැර ආභරණයකලක් තැන්පත්කොට තිබුණේ ගනේතැන්නේ ය. එම රාමසැර ආභරණය ගනේතැන්න දේවාලයේ සිට අහසින් අවුත් අලුත්නුවර සපුගසක නැවතුණේ ය. එම රාමහැර ආභරණය වඩා හිඳුවා එතෙන දේ මාලයක් කරවීය. පසු කලෙක දඹදෙණියේ දෙවන පණ්ඩිත පරාක්‍රමබාහු රජතුමා විසින් එම ස්ථානයෙම රාමසැර ආභරණය තැන්පත්කොට දැඩිමුණ්ඩ දේවතා බණ්ඩාර දෙවිවරුන්ගේ දේවාල විහාර ඉදිරිපිට ඉදි කළේ ය. දැන් මේ දේවාලය අලුත් නුවර දේවාලය ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇත.අලුත් නුවර පිහිටි විෂ්ණු දේවාලය මහනුවරට ගෙන එන ලද්දේ කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් ක්‍රි.ව. 1746 - 1779 කාලයේදී ය. මේ කාලයේ දී විෂ්ණු දෙවියන්ගේ බලමහිමය පැතිර යෑම නිසා විෂ්ණු දේවාලය මහනුවරට ගෙන ඒමට සිදුවිය. බුදුන් වහන්සේගෙන් වරම් ලබා ශක්‍ර දෙවියන්ගේ ආඥාවෙන් ලංකා රක්ෂණ තනතුරට පත්වූ විෂ්ණු දෙවියෝ සතරවරම් දෙවියෙකු ද වේ. එමෙන්ම විෂ්ණු දෙවියන් උදෙසා මහනුවර ඇසළ පෙරහරට පෙරහරක් එක් වී ඇත්තේ දෙවන රාජසිංහ රජුගේ කාලයේ දී ය. 

කෙසේ නමුත් දැනට මහනුවර ඇති මහ දේවාලය කීර්ති ශ්‍රී රාජසිංහ යුගයේ දී ඉදිකරන ලද්දක් බව ද සඳහන් වේ. විෂ්ණු දෙවියන්ගේ වර්ණ නීලවර්ණය දුන්න ඊතලය යගදාව හා සක් ගෙඩිය රැගත් අත් සතරක් ද ගරුඩ වාහනාරූඪ වීමත් කැපී පෙනෙයි.     විෂ්ණු දෙවියන්ගේ දේවිය ලක්ෂ්මී ලෙසත් පුතු අනංග ලෙසත් සැලකේ. විෂ්ණු දෙවියන් බුද්ධාගමේ ආරක්ෂකයා මෙන්ම දිවයිනේ ආරක්ෂකයා ලෙසත් පිළිගැනීමට ලක්වුහ. සෙංකඩගල රජවරු අභිසේක මංගල්‍යයන්ගෙන් සමහරක් මෙම දේවාලයේදී ද සිදු කළහ. සෑම වසරකම මහනුවර ඇසළ පෙරහර පවත්වා අවසානයේදී පෙරහරට සම්බන්ධ වූ නිළමේවරුන් රාජක රුවන් අලි ඇතුන් ඇතුළු සියලුම දෙනාට සෙත්පතා වලියක් මංගල්‍ය නම් ශාන්තිකර්මය පැවැත්වෙන්නේද මේ දේවාලයේදී ය. වලියක් මංගල්‍ය දින හතක් පුරා පැවැත් වේ. 

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.