භූත විද්‍යාව

ජුනි 19, 2020

භූත විද්‍යාව හා යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රය පිළිබඳව මිනිසාගේ අවධානය බොහෝ සෙයින් යොමුවන්නකි. යක්ෂ භූත බලවේග හා මන්ත්‍ර ශාස්ත්‍රයේ විශ්මිත බලපෑම් පිළිබඳව පුරාණ පොත පතෙහි බොහෝ සෙයින් සඳහන්ව ඇත. 

පුරාණයේ මේ විෂය පිළිබඳව බහුල වශයෙන් කතාබහට ලක්වුවද , නූතනයේ ඒවා පරිශීලනයෙන් බෙහෙවින් ඈත්ව සිටීම නිසා වර්තමාන සමාජය කෙරෙන් භූත බලවේගයන් පිළිබඳ දැනීම, වැටහීම අල්පව පවතින බව පෙනෙන්නට තිබෙන්නකි. එහෙත් එම විෂය පිළිබඳව ලුහුඬු වශයෙන් හෝ දැනුමක් ලබාතිබීම බෙහෙවින් ප්‍රයෝජනවත්වන්නකි.

අදෘෂ්‍යමාන වූ පමණින් මෙම භූත බලවේගයන් මිථ්‍යා විශ්වාස වශයෙන් සලකා බැහැර කිරීම අද්‍යතන ශ්‍රී ලංකාවාසීන්ගේ විලාසිතාවක් ලෙස අනුගමනය කරත්, දියුණුයයි කියනු ලබන යුරෝපයේ නානා රටවල පවා මෙම භූතවිද්‍යාව පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමෙන් පෙනීයන්නේ මෝස්තරයක් හැටියට මේ පිළිබඳව නොතකාහැරීම නොව, අදාළ විෂය පිළිබඳව හරිහැටි තතු අවබෝධ කරගැනීමට වෑයම් කිරීම මනුෂ්‍ය වර්ගයාට ප්‍රයෝජනවත් වන්නක් බවයි. 

යක්ෂයන්,භූතයන් යනුවෙන් කොටසක් නැතැයිද. එය මිනිසා මුලාකිරීමට යොදාගන්නා වූ මිථ්‍යා ඉන්ද්‍රජාලයක්සේ සලකා සමාජයෙන් බැහැර කිරීමට උත්සාහගන්නා ඇතැම් පිරිසක් මෙම විෂය ගැඹුරින් හදාරමින් ඉන් ප්‍රයෝජන ගැනීමට යත්න දරන අවස්ථා දැකගන්නට තිබෙන බැවින් හදාරා ප්‍රයෝජනයට ගත්තත් නැතත් විශ්වාස කළත් නැතත් ඒ පිළිබඳව ලඝු අවබෝධයක් හෝ ඇතිකරගැනීම යහපතට මිස අයහපතට හේතුවක් නොවන්නාසේම කුමක් පිළිබඳව වුවත් දැනුවත්වීම වැදගත් වන්නේය.

භූත විද්‍යාව හා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ආදිය සත්‍යවූද ඇස් පනාපිට ප්‍රතිඵල දැකිය හැකිවූද, බලවේගයන් බව ශ්‍රී ලංකා ඉතිහාසය පිළිබඳව සාවදානව විමසා බැලීමේදී දැනගත හැකිවනු ඇත. ඉතිහාසයේ වුව වඩාත් දුර බැහැර ඈතකට නොගොස් කරුණු පරික්ෂාවේදී කුංකුනාවේ හිමි,බත්තරමුල්ලේ හිමි ආදී ශාස්ත්‍රඥයන් පිළිබඳව තරමක් හෝ හදාරන්නේ නම් ප්‍රයෝජනවත් වනු ඇත. 

මනුෂ්‍යයන්ට වාසය කිරීමට මනුෂ්‍ය ලෝකය පවතී. එසේම භූතයන්ට වෙන්වූ ලෝකයක් මේ සක්වළ තුළ පවතීද? නැත. භූත ආත්මභාවය ලැබුවන්ද සැරිසරන්නේ මේ මනු ලොවෙහි මය. භූත විද්‍යාව අනුව ඔවුන් සැරිසරන්නේ අභ්‍යාවකාශයේය. ඉන් අදහස් කරන්නේ අභ්‍යාවකාශය ඔවුන්ගේ ලෝකය බවය. භූත විද්‍යාවට අනුව ඔවුන් ආකාශයේ ඉහළටම නගින්නේ නැත. මහ පොළොවට බහින්නේද නැත. ඒ අනුව ඉහළ ආකාශයටත් මහ පොළොවටත් අතර ප්‍රදේශයක ඔවුන් සැරිසරණ බව පිළිගත යුතුව ඇත. 

එවැනි අභ්‍යාස තලයක සැරිසරණ මිනිස් පියවි ඇසට නොපෙනෙන, විශේෂ ජීව බලවේගයක් හැටියට මෙම භූතයන් හැඳින්විය හැකිය. සාමාන්‍ය ලෝක සත්වයන්ට ඇති මස්, ලේ, ඇට නහර ඔවුනට නැත්තේය. ඔවුනට ඇත්තේ දෘෂ්ටි චර්ම මාත්‍රයෙන් හටගත් ශරීරයන්ය. අවශ්‍ය අවස්ථාවක් අනුව අවශ්‍ය අවස්ථාවන්හිදී, අවශ්‍ය ක්‍රමානුකූලව ශරීර මවාගන්නවා හැරෙන්නට සියලු කල්හි පවත්වාගත හැකි ශරීරයක් මවාගත නොහැකිය. මවාගන්නාලද ශරීරය මිනිසාට දකින්නට සලස්වනු ලබන්නේ භූතාත්මයේ අවශ්‍යතා අනුවය. පියවි ඇසට නොපෙනෙන එම ශරීරය සපර්ශ කළ නොහැකිය.  

වායුව තිබෙන බව අප දනිමු. එහෙත් එය අපට නොපෙනේ. අල්ලා ගැනීමටද නොහැකිය. එහෙත් වායුවේ බලයක් පවතී. භූතාත්මයන්ද වායුව මෙතකැයි කිවහැක්කේ එබැවිනි. ගින්දරත්, විදුලියත් එසේමය. ගින්දර තිබේ. පියවි ඇසටද පෙනේ. එහෙත් අල්ලාගැනීමට ද්‍රව්‍යයක් නැත. විදුලියද එසේමය. භූතාත්මයක්ද ඒ ආකාරයෙන් දැක්විය හැකිය. 

අප ජීවත්වන මේ මහ පොළෝ තලයත් ඉහළම ආකාස තලයක් අතර භූත ආත්ම ලක්ෂ කෝටි ගණනක් සැරිසරනවා ඇත.ස්පර්ශ වශයෙන් අපට නොදැනුනත් ඇතැම්විට අපගේ ශරීරවල පවා ඕනෑතරම් ගැටෙනවා විය හැකිය. ඒවා දුරකතන තරංගමාලා, රූපවාහිනී රූප දර්ශක තරංග මෙන් අපගේ ශරීරවල ස්පර්ශවෙමින් යනවා විය හැකිය. ද්‍රව්‍යමය යමක් නොවන බැවින් අපට නොදැනෙනවා විය හැකිය. 

මෙම ශාස්ත්‍රයට අනුව යක්ෂ, භූත, පේ‍්‍රත ආත්මයන් බහුල වශයෙන් නිතර ගැවසෙන ස්ථාන පවතී. සොහොන් පිටි, පාළු ගෙවල්, මාර්ග කිහිපයක් එකතුවන සන්ධි ස්ථාන, ළිං, පොකුණු, ඒද ඬු, තොටුපොළ, ඇළ වේලි, කිරි සහිත විශාල ගස් වැනි ස්ථාන මෙවැනි ස්ථාන වශයෙන් නම් කෙරේ. මේ අනුව බොහෝ භූතාත්ම නිසංසල පරිසරයට කැමති බව පැහැදිලි වේ. 

භූතාත්මයන්ට මස්, ලේ, ඇට ඇති ශරීර නැතත් අතිශය මහත්වූ ගුප්ත බලවේග ඇතිබව කියැවේ. ඔවුන්ගේ බලවේගයන්ගේ හා හැකියාවන් වර්ගීකරණය වන්නේ ඔවුන්ගේ උස් පහත්කම්වලට අනුව බව ගුප්ත විද්‍යාවෙහි දැක්වේ. භූතාත්මයන්ගෙන් කොටක් උසස් වීමටත් තවත් කොටසක් පහත්වීමටත් හේතු කවරේදැයි සොයා බැලීම වටී. 

සාමාන්‍ය වශයෙන් බැලූකල මනුෂ්‍යයා  පමණක් නොව මෙලොව උපත ලබන තිරිසන් සත්වයා පවා උසස් පහත් ආදී වශයෙන් විවිධ තරාතිරම් මට්ටමින් උපදින බව දක්නට ලැබේ. ඇතැමෙක් ධනය, බලය, සේනා සම්පත්තීන් ලබාගැනීමට උත්පත්තියෙන්ම ආශිර්වාද ලබති. ඇතැමෙක් එවැනි සම්පත් තබා අඩුතරමින් මෙලොව යන්තමින් ජීවත්වීමට පවා මාර්ගයක් නොලබා ළතැවිල්ලට පත්වෙති. රජ සිටු මැති තනතුරු ලබමින් ඇතැමුන් ඉතා සශ්‍රීකව ජීවිත ගතකරන අතර ඇතැමෙක් ඉන්න හිටින්නට තැන්නැති, එදාවේල කන්නනැති තැන්වල ඉපිද අනේක දුඞඛිත ජීවිත ගත කරයි. ඇතැමෙක් ධනවතුන්ව සිට අන්ත දිළිඳු තත්ත්වයට පත්වෙති. ඇතැමෙක් අන්ත දුගීව සිට රජ සිටු තනතුරු දක්වාම ඉහළ නගිති. භූතයන්ගේ පැවැත්මද එසේමය. 

කර්මවේගය පවතින තාක්කල් පුනරුත්පත්තිය පවතින බව බුදු දහමට අනුව අපි දකිමු. භූතවිද්‍යාව,පිළිබඳව මනා දැනීමක් ඇතියවුනට මේ බව මනාව අවබෝධකරගත හැකිය. සත්වයා දුගතිගාමීව හෝ සුගතිගාමීව උත්පත්තිය ලබන්නේ පූර්ව භවයෙහි සිදුකරන ලද කුසලාකුසල කර්ම හේතුවෙන් බව පිළිගත යුතුය. භූත ආත්මභාවයන්හි ලබන්නාවූ උත්පත්තීන්ද ඉහත ආත්මභාවයන්හි සිදුකරන ලද කුසලාකුසල කර්මයක් හේතුවෙන් බිහිවේ. භූතාත්ම භාවයන් බොහෝවිට ලබන්නේ මිනිසත් බව ලබා සිටියවුන්ට මරණාසන්නයේ දී පහළවන සිත් අනුවය. 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.