ඔබේ විවාහ නැකත නිවැරැදිව පිළියෙළ කරගන්න

මැයි 24, 2019

විවාහ නැකැත් පිළියෙල කිරීම බැලූ බැල්මට සරල කාරණයක් සේ පෙනුනද, විවාහය හා සම්බන්ධ කටයුතුවලදී වඩා බැරෑරුම් භාරදූර කටයුත්තක් වනුයේ මේ විවාහ නැකැත් පිළියෙල කිරීමයි.

එහෙත් අද සමාජයේ විවාහවීමට අපේක්ෂා කරන අය විවාහයේ දී මුල් තැන දෙන්නේ ඡායාරූප හා රූපලාවන්‍ය කටයුතු උදෙසායි. ඒ සඳහා විශාල මුදලක් වැය කර විවාහයට මාස ගණනකට පෙර සිට සූදානම් වන අතර, නැකැත් පිළියෙළ කිරීම පිළිබඳ එතරම් උනන්දුවක් සැලකිල්ලක් නොදක්වන බවක් පෙනේ. එහෙත් විවාහයේ දී මේ හැම කරුණකටම වඩා විවාහ නැකැත් පිළිබඳ සැලකිලිමත් වී ඒ නැකැත් නිවැරදිව පිළියෙළ කර ගැනීම ඔබේ ජීවිතයට යහපත් වනු ඇත.

විවාහ නැකැත් සෑදීමට දිනයක් තෝරා ගැනීමේ දී බොහෝ විට බලන්නේ තමාට පහසු දිනයක් හා උත්සවශාලාවට විවාහ නැකැත් නොමැති දිනයක් තෝරා ගැනීම ය. එය අද බොහෝ දෙනෙකු අතින් සිදුවන වැරදි තීරණයකි. විවාහ නැකැත් සෑදීමේ දී සෙනසුරාදා, ඉරිදා, අඟහරුවාදා යන දින මෙන්ම කෝණ මාසද අතහැර මනාල මහතාගේ හෝ මනාල මහත්මියගේ නැකැත්වලට ගැළපෙන දිනයක් තෝරා ගත යුතු යි. විශේෂයෙන් මංගල දිනය තෝරා ගැනීමේ දී විවාහයක් සිදු කිරීමට අදාළ ශුභ නැකැත් වන අස්විද, රෙහෙන, මුවසිරස, මා, හත, සා, අනුර, මුල, රේවතී, උත්‍රපල්, උත්‍රසල, උත්‍රපුටුප යන නැකැත්වලින් එකක් සහිතව දිනයක්ද පුර පක්ෂයේ චන්ද්‍රයා වීමද මනාල මහතාගේ හා මනාල මහත්මියගේ නැකැත් දෙකට සම්පත්, ක්ෂේම සාධක, මෛත්‍රී, පරම මෛත්‍රී වැනි නැකතකට ඇතුළත් විය යුතු අතර, පුර පක්ෂයේ 1, 2, 3, 5, 7, 12, 11, 13 යන තිථියක් ද විය යුතු ය.

රවි ග්‍රහයා මිථුන, කන්‍යා, ධනු, මීන යන රාශිවල ගමන් කරන කාලය කෝණ මාස වන අතර මෙම කාලය තුළ දී විවාහ නැකැත් සාදනු නොලබයි. මීන රාශියේ යන කාලයේ දී විවාහ නැකැත් සඳහා සුදුසු වන අතර රවි ග්‍රහයා කුම්භ රාශියේ ගමන් කරන කාලය විවාහ නැකැත් සඳහා සුදුසු නොවේ.

ඉහත ගැළපීම් සිදුකරමින් විවාහය සඳහා දිනයක් තෝරා ගත් පසු එදිනට අදාළ නැකැත් සෑදීම සිදුකරනු ලබයි. විවාහය ලියාපදිංචි කිරීම සහ අනෙකුත් චාරිත්‍ර වෙනුවෙන්ද නැකැත් පිළියෙළ කිරීම සිදුකළ යුතු අතර නැකැත් සෑදීමේ දී පළමු කටයුත්ත වන්නේ මනාල මහතා විසින් සාදන ලද නැකැත් වේලාවන් සහිත අත් පත්‍රිකාව මනාලියගේ පාර්ශ්වය සඳහා පිළිගැන්වීමේ සුබ මොහොතයි.

එය විවාහ දිනයට මාස 4 කට හෝ 5 කට පෙරවත් පිළිගැන්විය යුතු අතර එම දිනය පෙර අයුරින්ම දෙදෙනාගේ නැකැත්වලට ගැළපෙන දිනයක්වීම යහපත් වනු ඇත.

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

ඡ්‍යොතිෂවේදිනී,

ගීතිකා සමරතුංග

 

ධම්මිකා රාජපක්ෂ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.