යුග මෙහෙවරක් කළ ගම්පහ වික්‍රමාරච්චි ශ්‍රීමතාණෝ

සැප්තැම්බර් 28 වැනි දිනට යෙදුණු වික්‍රමාරච්චි ශ්‍රීමතාණන්ගේ 131 වන ජන්ම දිනය නිමිත්තෙනි
ඔක්තෝබර් 2, 2020

ශ්‍රී ලංකා ද්වීපයේ මෑත යුගයේ පහළ වූ යුග පුරුෂයෙකුගේ උදාර ගුණ මහිමයට කළගුණ සැලකීමක් වශයෙන් 2020 සැප්තැම්බර් මස 28 දිනට යෙදෙන එතුමාගේ 131 වන ජන්ම දිනය සැමරීමට මෙම ලිපිය ඉදිරිපත් කරමි. එතුමා 1889 සැප්තැම්බර් මස 28 වන දින ගම්පහ දිස්ත්‍රික්කයේ සියනෑකෝරලයේ නැදුන්ගමුවේ දී උපත ලැබීය. 

දිවයින පුරාම ගෝල වෛද්‍යවරුන් බිහිකර ඔවුන් මඟින් ගම්පහ බෙහෙත් ශාලා ආරම්භ කරමින් ලංකාවාසී ජනතාවට ඉමහත් සේවයක් ඉටුකරලමින්, රෝග සුවය පමණක් නොව වර්තමානයට අවශ්‍ය වන ප්‍රතිශක්තිකරණයට අවශ්‍ය උපදෙස් ද දෙමින් විශාල සේවයක් ඉටු කළ යුග පුරුෂයෙකි. 

අපේ පණ්ඩිත රාළහාමි ළමා වියේ දී පාසල් ගියේ හේනේගම රජයේ පිරිමි පාසලටය. එදා ඉංගී‍්‍රසි පාලනය යටතේ බටහිර පන්නයේ අධ්‍යාපනයට වැඩි උනන්දුවක් දක්වන කාලයක වුවත් ගමේ ආර්ථික ශක්තිය ඇති මෙතුමාගේ පියා උනන්දු වූයේ දරුවා වෙද මහතෙකු කිරීමටය. ඒ සඳහා ගොඩගෙදර උත්තරමූල පිරිවෙනට දරුවා භාරකරන ලදී. අගනුවර විද්‍යෝදය මහ පිරිවෙනේ ශාඛාවක් වූ එහි අධිපතිත්වය දැරුවේ ශ්‍රී පාදස්ථානයේ නායක පදවිය දැරූ රඹුක්පොත ශ්‍රී ප්‍රඥාසාර නාහිමියන්ය. අප ගුරු දේවයාණන්  මෙම පිරිවෙනේ දක්ෂතම ශිෂ්‍යයා ලෙස සාමාර්ථයක් ලැබූහ. පසුව එතුමා වඩාත් උසස් අධ්‍යාපනයක් ලැබීම සඳහා යොමු වූයේ කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනටය. එහි අති දක්ෂ ආචාර්ය මණ්ඩලයක් වූහ. පිරිවෙනෙහි ආදී කර්තෘ වූ රාජකීය පණ්ඩිත හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ ඇසුර ලබමින් වික්‍රමාරච්චි ශිෂ්‍යා එහි නේවාසිකව අධ්‍යාපනය ලැබීය. පාලි, සිංහල, සංස්කෘත භාෂාව මෙන්ම චරක, සුශ්‍රැත ආදී වෛද්‍ය ග්‍රන්ථ හදාරා ප්‍රාථමික, මධ්‍යම, අවසාන වශයෙන් විභාග සමත් ගේබ්‍රියෙල් පෙරේරා වික්‍රමාරච්චි ශිෂ්‍යයා 1913 දී රාජකීය පණ්ඩිත උපාධිය ලැබීය. පසුව 1915 දී එදා සිටි ආණ්ඩුකාර ශ්‍රීමත් රොබට් චාමස් මහතා අතින් වෛද්‍ය උපාධියට අදාළ සහතිකය හිමිකර ගත්තේ ය. උපාධිය ලැබීමෙන් අනතුරුව තම පියා සමඟ වෛද්‍ය කර්මය කළ අතර, රජයේ ශිෂ්‍යත්වයක් දිනාගෙන තවදුරටත් පශ්චාත් වෛද්‍ය ශාස්ත්‍රය හැදෑරීම සඳහා කල්කටාව බලා පිටත් විය. එහිදී අවුරුදු හතරක පමණ කාලයක් ඡාමිණී භූෂණ පඬිතුමා ගේ ආයුර්වේද විද්‍යාලයෙහි වෛද්‍ය උපාධිය හැදෑරීය. වංගභාෂාව හොඳින් අධ්‍යනය කරන ලද එතුමා කල්කටාවේ ගත කළ ඒ උදාරතර ශිෂ්‍ය ජීවිතය කෙළවර කළේ 1921 වර්ෂයේ දී භිෂග්රත්න එල්.ඒ.එම්.එස්. (ගෞරව) යන උපාධිය ලබා ගනිමින්ය. එසේම කල්කටා ආයුර්වේද භවන්හි ‘කවිරංජන’ යන උපාධිය ද එතුමා හිමි කර ගත්තේය. 

මෙලෙස ආයුර්වේදයේ උසස්ම සහතික ලබා ගත් පසුව සිය රටට පැමිණ තම පියා සමඟ වෛද්‍ය කර්මයේ නියුතුව පසුව ගම්පහ බැණ්ඩියමුල්ලේ තම ප්‍රථම චිකිත්සාගාරය විවෘත කරන ලදී. ඉන් පසු එතුමාගේ මූලිකත්වයෙන් 1929 ජූලි 19 වන දින ගම්පහ සිද්ධායුර්වේද විද්‍යාලය ආරම්භ කරන ලද අතර, 1932 ඔක්තෝබර් මස 18 දින ඖෂධ නිෂ්පාදනාගාරය ද ආරම්භ කරන ලදී. එම විද්‍යාලය සිසිල් වෙල් යායකට සමීපව ඇළ දොළක් අසල ආරම්භ විය. එම උදාර කර්තව්‍යයට කහවේ ශ්‍රී සුමංගල රතනසාර හිමි, රඹුක්වැල්ලේ ශ්‍රී සිද්ධාර්ථ හිමි යන මහා සඟරුවන  හා ඩී.බී. ජයතිලක, ඩී.ඇස්. සේනානායක, ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක, ඩොනල් ඩී උභයසේකර යන ජන නායකයන්ගේ සහ ප්‍රදේශයේ ජන ප්‍රභූවරුන්ගේ ආශිර්වාදය, සහය ලැබුණි. එතැන් පටන් ගම්පහට පමණක් නොව මුළු ලංකාවටමත්, ලොවටත් විශාල සේවයක් කිරීම සඳහා බෙහෙත් වතු, ඖෂධාගාර, රසායනාගාර ආදිය ද බිහි විය. එවකට අග්‍රාමාත්‍යව සිටි ශ්‍රීමත් එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා නිතර අප පඬිතුමා මුණ ගැසීමට සිද්ධායුර්වේද වෛද්‍ය විද්‍යාලයට පැමිණ ඇත. මෙම විද්‍යාලයෙන් උගත් ගම්පහ සිද්ධායුර්වේද වෛද්‍යවරු අවුරුදු 5ක පාඨමාලාවට පසු වසරක ප්‍රායෝගික පුහුණුව අවසන් කොට ලංකාව පුරාම ගම්පහ බෙහෙත් ශාලා ආරම්භ කරන ලද්දේ එවකට මෙතුමාගෙන් ලැබෙන ඖෂධ පරිත්‍යාගත් සමඟය. 

රාජ වෛද්‍ය ආයුර්වේද චක්‍රවර්තී පණ්ඩිත ජී.පී. වික්‍රමාරච්චි ශ්‍රීමතාණෝ ආයුර්වේද ඉතිහාසයේ නොයෙක් විට සඳහන් වන සෘෂිවරුන් සිහිපත් කරවන ඒ හා සමාන ශාන්ත තපෝ ගුණයකින් ඔප් නැඟුණු චරිතශ්‍රීයකින් හෙබි උත්තමයෙකි. ශ්‍රී ලංකාවාසී ජනතාවටත් සකලවාසී දේශීය වෛද්‍යවරුන්ටත් සිදු කළා වූ අපරිමිත සේවය නිසා ඔවුන් සියලු දෙනාම එතුමාට ණය ගැති බව ඉතා ගෞරවයෙන් සිහිපත් කරමු. නිරෝගී බව පරම ලාභය වන්නා සේම ඒ නිරෝගී බව ලබා දෙන පුද්ගලයා ද ලෝකයේ ශ්‍රේෂ්ඨම පුද්ගලයා වන බැවිනි. 1917 දී නොතාරිස් විභාගය සමත් වූ එතුමා එම කාර්යය ද මනා ලෙස ඉටු කළේය. ගම්පහ සිද්ධායුර්වේද වෛද්‍ය විද්‍යාලය සහ ඖෂධ නිෂ්පාදනය ද අරඹා එමඟින් නොබෝ කලකින්ම විශාල ආයුර්වේද අධිරාජ්‍යයක් ගොඩනඟන ලදී. ප්‍රාචීන පණ්ඩිත උපාධියත්, කල්කටා භිෂග්රත්න උපාධියත් ලබාගත් බැවින්, ප්‍රදේශවාසීන්ගේ ආදරණීය වචනය වන්නේ පණ්ඩිත රාළහාමි යන්නයි. ෂඩ්භාෂා පරමේශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල මහා ස්වාමීන් වහන්සේගෙන් පසු භාරතීය බ්‍රාහ්මණ කවියෙකු විසින් ගුණ ගයනු ලැබූ ගිහි පැවිදි ලංකා පුත්‍රයෝ දෙදෙනෙකි. එක් අයෙකු ධම්මාරාම ස්වාමීන් වහන්සේය. අනිත් ගිහි පඬිවරයා නම් ආයුර්වේද චක්‍රවර්ති පණ්ඩිත ජී.පී. වික්‍රමාරච්චි නම් වූ මෙම ශ්‍රේෂ්ඨ ඇදුරාණන්ය. භාරතීය ශ්‍රී ශාන්ති ශාස්ත්‍රීතුමා වික්‍රමාරච්චි ජීවන චරිතය සිතුවම් කරමින් අප ශ්‍රීමතාණන් උපන් ගම සමරමින් අභිනව නිරුක්තියක් දෙන ලදී. ‘නැදුන්ගමුව‘ ගම් අතරින් ශ්‍රේෂ්ඨතම ගම යයි ද ශ්‍රේෂ්ඨ වූ අන් ගමක් නැතැයි එහි අරුත වේ. 

එතුමා සතුව අසහාය බලයක් ඇත. අචල අඛණ්ඩ ප්‍රතිපත්ති ශීලයෙන් ජනිත වූ අධ්‍යාත්මික බලය හා එම බලය සෙලවිය හැකි අනෙකුදු බලවේගයක් නැති ව්‍යාජ ස්තුති, අතිශයෝක්ති, ආත්මවර්ණනා නොමැති අගය කළ හැකි අයෙකි. 

එතුමාගේ පරපුර ද නැදුන්ගමුව වෙද පරපුරයි. එතුමාගේ පියා වූයේ ප්‍රදේශයේ කීර්තිමත් වෙද මහතෙකු වන වෙළුන් පෙරේරා වික්‍රමාරච්චි වෙද රාළහාමිය. අප ගුරු පියාණන්ට සහෝදර සහෝදරියන් හතර දෙනෙකු සිටින ලදී. එක් අයෙක් වැඩිමහලුය. තිදෙනෙකු බාලය. 

තවත් විශේෂ කරුණු කීපයක් ඇත. අනගාරික ධර්මපාලතුමාගේ සිංහල බෞද්ධයා පත්‍රයේ කර්තෘ පදවිය ද ප්‍රසිද්ධ  නොතාරිස් තනතුර ද දැරීය. වඩාත්ම ගරු කළේ වෛද්‍ය කර්මයටය. නිතරම කවිපද ලියන ලදී. පොත් ලිවීම, සමාචාර සඟරාව ආදිය ද, පත්තරවලට ලිපි ලිවීමට ද උපන් හපනෙකි. 

එම ග්‍රාමයේම දක්ෂ වෛද්‍යවරයෙක් වන ධර්ම විජය වෙදරාළහාමි ද ගම්පහ වික්‍රමාරච්චි විද්‍යාලයේ ගුරු වෛද්‍යවරයෙක් වශයෙන් කටයුතු කරන ලදී. අපේ ගුරු දේවයාණන්ට උත්තර මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රී ධුරයක් ප්‍රදානය කළේ, ලෝකයේ පළමු අග්‍රාමාත්‍යතුමිය වන සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විසිනි. ආයුර්වේදය දියුණු කරන කොමිසන් සභාවල එතුමා සේවය කරන ලද අතර, ගම්පහ අලුත්ගම ගම් කාර්ය සභාවේ සභාපති පදවිය ද උසුලන ලදී. ගොවිතැන් කටයුතු සඳහා ද  විශාල කැපවීමක් කරන ලදී. හම්බන්තොට පළාතේ ඉඩමක් මිලදී ගෙන කපු වැවීම කරන ලදී.  එතුමාගේ ඇඳුම සිය අතින්ම පිළියෙල කර ගත් පිරිමැසුම් කෝට් එකකි. 

ගම්පහ සිද්ධායුර්වේද විද්‍යාලය පසුකලෙක ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද වෛද්‍ය විද්‍යාලය විය. දැන් ගම්පහ වෙද මහත්ම මහත්මීන් බිහි වීමට තවත් ආයතනයක් ඇත. එය සීමාසහිත ගම්පහ සිද්ධායුර්වේද රසායනෞෂධ සමාගමට සම්බන්ධ ගම්පහ සිද්ධායුර්වේද වෛද්‍ය නිකේතන විද්‍යාලයයි. 

එතුමාගේ ඥාතීන් සියලුදෙනාම ප්‍රදේශයේ විශිෂ්ට ගණයේ ප්‍රභූවරුන් වීම විශේෂයකි. එතුමාගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන් අතර ඩී.එම්. ජයසිංහ වෙද මහතා, ලීලාරත්න වීරසිංහ වෙද මහතා, බොල්ලත ජයකොඩි වෙද රාළහාමි, වෛද්‍ය ඇම්.බී. රත්නායක, වෛද්‍ය ජේ.ජයසිංහ, බන්දුල රාජපක්ෂ වෙද මහතා යන ශ්‍රේෂ්ඨ වෛද්‍යවරු දේශීය වෛද්‍යවරුන් වශයෙන් කැපී පෙනෙන සේවයක් කරන ලද අතර, ටී.විලියම් ප්‍රනාන්දු, හිරිනෙල් පෙරේරා, ආර්. රාජපක්ෂ, රිචර්ඩ් ඩී පරණවිතාන යන ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරු ද එතුමාට විශාල සහයක් ලබා දෙන ලදී. 

1932 ඔක්තෝබර් මස 18 දින ආරම්භ කරන ලද ඖෂධ නිෂ්පාදන ආයතනය පසු කලෙක එනම් 1965 පෙබරවාරි මස 05 වන දින ‘ද ගම්පහ සිද්ධායුර්වේද පාමසියුටිකල් කොම්පැනි ලිමිටඩ්’ ආයතනය නමින් ද ඊට පසු කලෙක  එය ‘සීමාසහිත ගම්පහ සිද්ධායුර්වේද රසායනෞෂධ  සමාගම’ නමින් ද ඉතා විශාල ආයුර්වේද නිමි ඖෂධ ගණනාවක් නිෂ්පාදනය කරන ආයතනයක් බවට පත් වී ඇත. 

මෙවැනි අමිල සේවාවන් රැසක් කළ ඒ යුග පුරුෂයාණන් වන ආයුර්වේද චක්‍රවර්තී පණ්ඩිත ජී.පී. වික්‍රමාරච්චි ශ්‍රීමතාණෝ 1975 මාර්තු මස 28 වන දින අභාවප්‍රාප්ත වූහ. අප ගුරුදේවයාණන් වන පණ්ඩිත ජී.පී. වික්‍රමාරච්චි ශ්‍රීමතාණන් විසින් සකසන ලද කවි පන්ති එදා මෙන්ම අදටත් ගැළපේ. ඒවායින් කවි තුනක් මෙසේ සටහන් තබමි. 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.