ඔබේ ගෙවත්තේ වාසනාවන්ත ළිඳක්

සැප්තැම්බර් 4, 2020

ජලය මිනිසාගේ ප්‍රධානතම අවශ්‍යතාවයකි. නිවසට ජලය ලබාගැනීමේ පහසුකම අතිශයින්ම වැදගත් වේ. නාගරික ප්‍රදේශ වල මෙන්ම ඇතැම් ග්‍රාමීය ප්‍රදේශවල ද රජයේ පොදු ජල පහසුකම් ලැබී තිබුණත් වර්තමානය වන විට 80% ක් පමණ ප්‍රදේශවල ජලය ලබා ගන්නේ ගෙවත්තේ තනා ගනු ලබන ළිඳක් ආශ්‍රයෙනි. 

වාස්තවිකව මෙම ළිඳ නිවසට සහ පදිංචි වැසියන්ට අයහපතක් නොවන ලෙස තනා ගත යුතුයි. අයහපත් ළිඳ නිවැසියන්ට අනේක විද පීඩා විපත් ඇති කරනු ලැබේ. නිවසට ශුභ ලෙස ළිඳ තනා ගැනීමේ ක්‍රමය කූප විද්‍යාව ලෙස හඳුන්වනු ලැබේ. 

ළිඳ කැපිය යුතු දිශාව 

නිවසකට අදාළ ගෙවත්තේ ළිඳ කැපීමේදී දිශාව නිර්ණය කිරීමට නිවස මධ්‍යයේ හෙවත් බ්‍රහ්ම පාදයේ කොම්පාසුවක් හෙවත් මාලිමාවක් තබා නිර්ණය කරනු ලබයි. පෘථිවියේ පිහිටීම් පවත්නා ආකාරයත් එහි පැවැත්ම සඳහා එහි හැඩය පාදක වී ඇති අන්දමත් අවබෝධ කරගෙන අපගේ අවශ්‍යතාවයට යහපත් අන්දමින් යොදා ගැනීම අපගේ පරම අපේක්ෂාවයි. 

උතුරට නැගෙනහිරට මැදි වූ ඊසාන පෙදෙසේ ස්වභාවික වශයෙන් සැහැල්ලුය. ආලෝකමත්ය. බෑවුම් සහිත. එහෙයින් එය වෙනස් නොකළ යුතුය. එමෙන්ම බටහිර හා දකුණට මැදිවූ නිරිත පෙදෙස බරය අඳුරුය. එමෙන්ම උස්ය. ස්වභාවික තත්ත්වය එයයි. එය වෙනස් නොකළ යුතුය. පඨවි පදාර්ථයන්ට අයත් මෙම පෙදෙසේ බිම් ගෙවල් ළිං කුහර නොපැවතිය යුතුය. කැනීම් නොකළ යුතුය. ඊසාන ජලාශි‍්‍රත පෙදෙසක් වන හෙයින් යට කැනීම් ළිං කුහර ආදියට ඔරොත්තු දේ. ඒ ඒ දිශාවන්ට අයත් මෙම ශක්ති පදාර්ථයන් තේරුම් ගන්නේ නම් වාස්තු විද්‍යානුකූල නිවසක් මෙන්ම දෝෂ රහිත ළිඳක් ද සැලසුම් කර ගත හැකිය. 

ඒ අනුව ළිද කැපීමට වඩාත් සුදුසු දිශාව වන්නේ ඊසානයි. එහි ළිඳ කැපීමෙන් නිවසට අවැසි දොළොස් වැදෑරුම් ධන සම්පත් ළඟාකර ගැනීමේ ශක්ති ජනිත වේ. උතුරු දිශාවේ ළිඳ දෙවෙනි ශුභ දිශාවයි. එයින් සම්පත් ලැබීම් ශි‍්‍රයාව ඇතිවීම සිදුවේ. තෙවන දිශාව නැගෙනහිරයි. භවභෝග සම්පත් ලැබීම නිරන්තරව සිදුවේ. 

ගිනිකොන දිශාවේ දකුණු පැත්තට බරවන සේ අශුභ වන අතර, විදුලිසැර, අකුණුහානි, වාහන අනතුරු ආදිය සිදුවේ. දකුණු දිශාව ඉතාම ශුභ වන අතර, අනපේක්ෂිත විපත් කරදර ඇතිවේ. දකුණට බර නිරිත දිශාවේ ළිඳ සෑදු විට භව භෝග සම්පත් අහිමිවීම, අනතුරු වලට ලක්වීම, ඇතිවේ. උතුරට බර වයඹ මධ්‍යස්ථ වන අතර, බටහිරට බර නිරිත හා නැගෙනහිරට බර ගිණිකොණ ආදියේ ළිං කැපීම මාරක විපත් ඇති නොවුනත් ශුභ පල අවම වේ. බස්නාහිර ශුභ අශුභ තත්ත්ව වලින් තොර වේ. 

දකුණු දිසාවේ ළිඳ කැපූ විට ස්ත්‍රී හානි, පීඩා, ධන හානි, පවුලේ මරණ ආදී බොහෝ අයහපත් තත්ත්ව ඇතිවේ. දිශා නියමය පිළිබඳ වස්තු කලාවේ විවිධ මත පවතින අතර, මුහුර්ථ චින්තාමණිය, ඵලදාවලිය, නැකැත් වදුල, විශ්ව කර්ම ශාස්ත්‍රය හෙවත් ගෙබිම් ශාස්ත්‍රය වැනි ග්‍රන්ථවල සඳහන් කරුණුත් වාස්තවික අත්දැකීම් පදනම් කර ගනිමිනුත් ඉහත කරුණු ගොනු කර ඇත. 

හැම විටම ළිඳක් ඊසාන, උතුර, නැගෙනහිර දිශාවන්ට අනුගතව කැපීමට හැකිනම් ප්‍රතිඵල ප්‍රශස්ත වේ. එසේම ඉඩමේ බ්‍රහ්ම පාදය සහ පේ‍්‍රත පාදය ළිං නොකැපීමට වගබලා ගැනීමටද ඉතා ශුභයි. 

ශුභ රියන් ගණන

නිවසේ අත්තිවාරමේ සිට ළිඳේ ඉවුරට ඇති දුර ප්‍රමාණයන් අනුව ශුභ සහ අශුභ රියන් තීරණය වේ. මේ අනුව රියන් 7 ධන ලාභ. සියලු ක්‍රියාවන් ඉටුවීමද 13 ධන ලාභ ද, 15 කීර්ති ප්‍රශංසා ද 23 කාර්ය සිද්ධිය ද ඇතිවේ. 

රියන් 4,5,11,20,43 වූ විට විපත් ඇතිවන අතර, අශුභ රියන් ලෙස ගැනේ. රියන් 60 කට වඩා දුරින් ළිඳ තිබීමෙන් ශුභ හෝ අශුභ දෝෂයක් ඇති නොවේ. 

නිවසේ සිට ළිඳට වැටෙන කෝණ දෝෂ 

නිවසේ අට කොණ ළිඳවෙත එල්ල නොවිය යුතුය. මෙමගින් නිවසේ ජීවත් වන ගෘහ මූලිකයින්ට සහ පිරිමි අයවලුන්ට ඍජුවම බලපානු ලබයි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>> 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.