2021 අලුත් අවුරුදු ලග්න පලාපල

අප්‍රේල් 9, 2021

2021 අප්‍රේල් 13 කුජ දින රාත්‍රී හෙවත් 14 බදාදා අලුයම 02.32 ට අවුරුද්ද උදාවේ. මකර ලග්නයේ අන්තිම අංශකය යෙදෙන අතර, සෙනසුරු ලග්න ගතව ඇත. සෙනසුරුගෙන් සස යෝගයද රවිගෙන් මයුර පාල යෝගයද යෙදී ඇත. රවි, සඳු, සිකුරු සිවුවැන්නේ කේන්ද්‍රගතව ඇත. රවි වර්ගෝත්තම බලයෙන්ද යුතු ය. කුජ හය වැන්නේ ද බුධ නීචව තුනේද ඇත. ගුරුට දෙවැන්නේ රාහු පහේ කේතු අයස්ථානයේ ද ඇත.

මෙම වසර ද එතරම් සුබ නොවන බව පෙනේ. ඒරාෂ්ටක බලපෑම් ද ඇත. සඳු රාජාධිපතිවීම අනුව රජයේ දැහැමි පොදු ක්‍රියාකාරකම් නිසා රට යහපත් අතට හරවා ගැනීමට හැකියාව උදාවන බව පෙනේ. සෙනසුරු බිය ඇති වන අතර, දේශගුණික වෙනස්වීමෙන් ජලගැලීම්, නායයාම් හෙවත් අනතුරු ඇතිවීමට ඉඩ තිබේ. බුද්ධිය හීන අය රටට සමාජයට නොගැළපෙන පහත් පෙළේ ක්‍රියාකාරකම් ඇති කරයි. පවුල් අවුල්, හොර මැර, ජඩකම් ඇතිවේ.

කෙසේ වුවත් දුරදිග සිතා බලා දැහැමි සිතුවිලි ඇති කරගෙන මෛත්‍රීය, කරුණාව පෙරටු කොට කටයුතු කිරීමෙන් සැම දෙනාටම යහපත සෙත ශාන්තිය උදාවන බව පැවසිය හැකි ය.

 

මේෂ

දේපල ලැබේ

මේෂ ලග්න හිමියෝ ආත්මාර්ථකාමී ගුණාංගවලින් යුක්ත යුක්ති ධර්මයට අනුව කටයුතු කරන සිය ශ්‍රමය හා කාලය පෞද්ගලික දියුණුව සඳහාම යොදවන නිර්භීත නොපසුබට ඇත්තෝ වෙති. නව වසර උදාවෙද්දී ලග්නාධිපති කුජ වික්‍රමස්ථානයේ ද රවි බුධ සිකුරු ලග්නයේ ද සඳු රාහු දෙකේ ද කේතු අටේ සෙනසුරු දහයේ සහ ගුරු එකොළහේ ද ඇත. ඉගෙනීම් ආදී ශාස්ත්‍රීය කටයුතුවලට තරමක් යහපත් වේ. කුජ දශා ගත කරන අය සහෝදරයන් සමඟ ප්‍රවේශමෙන් ආශ්‍රය කළ යුතු ය. නැතිනම් අමනාපකම් ඇතිවේ. වෙනත් අයගේ ආදරය, කරුණාව නිරායාසයෙන් ලැබේ. සිකුරු දශා ගත කරන අය විනෝදයටද යොමු වේ. එය ඉගෙනීම්වල යෙදෙන අයට බාධාවක් වේ. විවාහ වීමට සිටින අය කල්පනාකාරීව කටයුතු කළයුතු ය. හිතුවක්කාර විවාහ කල්යාමේ දී අසාර්ථකවීමට ඉඩ තිබේ. බුධ දශා ගත කරන අය ගුප්ත අංශවලට යොමුවීමට ඉඩ තිබේ. සඳු දශා ගත කරන අයට දේපල, ධනය හිමි වීමේ භාග්‍යය පවතී. සෙම් රෝග පීඩා ද ඇතිවේ. රවි දශා ගත කරන දේශපාලනයට සම්බන්ධ අයගේ එම කටයුතුවලට අවාසි ඇති වේ. නිහතමානීව කටයුතු කිරීමට උත්සාහ කළ යුතු ය. ගුරු දශා ගත කරන අය පුණ්‍ය කටයුතුවලට යොමුවීම ඉතා යෝග්‍ය වේ. නැතිනම් ධනය රෝග පීඩා හෝ වෙනත් කරුණු සඳහා වැයවීමට ඉඩතිබේ. ධනය ලැබීමේ බලය පවතී. ආධ්‍යාත්මික අංශයටද යොමු වේ. සෙනසුරු දශා ලබා තිබෙන අයට කැපී පෙනෙන ගතිය ඇති කරයි. රැකියා අංශ දියුණුවේ. සංවිධාන සහ පාලන ශක්තිය ඇතිවන අතර, සමාජ සේවා අංශවලට ද යොමු වේ. රාහු කේතු දශා ගත කරන අයට සුබ නැත. ශරීර ශක්තියට බාධා වේ. ඇස්වල උගුරේ උෂ්ණ රෝග පීඩා ඇති විය හැක.

 

 

වෘෂභ

ආත්ම ගෞරවයට හානි

වෘෂභ ලග්න හිමියන් පි‍්‍රය මනාප ගතිපැවැතුම්වලින් යුක්ත වන අතර, ලෞකික සැප සම්පතට වැඩි ආශාවක් දක්වන අලංකාර ලෙස ජීවත්වීමටපි‍්‍රය කරන ගති ලක්ෂණවලින් යුක්ත වූවෝ වෙති. නව වසරේ දී ලග්නාධිපති සිකුරු රවි බුධ සමග දොළොස් වැන්නේ සිටින අතර, සඳු රාහු ලග්නයේ කුජ දෙකේ කේතු හතේ ශනි නවයේ ගුරු දහයේ ද ඇත. සිකුරු දශා ගත කරන අයට සුබමදි. අවිදේශ ගමන් යෙදුන ද ප්‍රතිඵල අඩුවිය හැක. ධනහානි මෙන්ම සිතේ නපුරු ගති ඇතිවීමට ද ඉඩ තිබේ. පසිඳුරන් පිනවීමට මුදල් වැයවේ. බුධ දශාගත කරන අයගේ දියුණුව ප්‍රමාද වේ. ගමන් බිමන් යෙදේ. වියදම් වැඩි වේ. ඉගෙනීමේ යෙදෙන අයගේ උනන්දුව අඩුවේ. සඳු දශා ගත කරන අයට ශාස්ත්‍රීය අංශවලින් කීර්තිය ප්‍රසිද්ධිය ලැබිය හැක විදේශ ගමන්, විනෝද ගමන් යෙදේ. සෙම හේතුවෙන් හිසේ රෝග පීඩා යෙදිය හැක. හිතුවක්කාර හා පැටලිලි සහිත අදහස් ද ඇතිවේ. විදේශ ගමන් ද යෙදිය හැක. කුජ දශා ගත කරන අයටද සුබමදි. පවුලේ මත ගැටුම් භේද ඇතිවීමට ඉඩ තිබේ. ධනයට බලපෑම් ඇතිවේ. ගුරු දශා ගත කරන අයගේ රැකියා අංශවලට රහස් සතුරු කරදර බාධා ඇතිවිය හැක. විරුද්ධවාදීන්ගෙන් ආරක්ෂා විය යුතු ය. සෙනසුරු දශා ගත කරන අයට වරදක් නැත. ආගමික හා සමාජ කටයුතුවලින් දියුණුව ලැබිය හැක. හිතේ කරුණාව ඇතිවේ. රාහු දශා ගත කරන අයගේ දියුණුවට බාධා ඇති වේ. කේතු දසා ඇති අයට සමපල වේ.

 

 

මිථුන

ධන ලාභ

මිථුන ලග්න හිමියන් ජීවිතය පිළිබඳ ගැඹුරු අවබෝධයෙන් යුක්ත තැනට සුදුසු නුවණින් කටයුතු කිරීමෙහි දක්ෂ කලා ක්ෂේත්‍රයන් පිළිබඳව නිපුණත්වයක් ඇති නිතර අදහස් වෙනස් කරන ගති ලක්ෂණවලින් යුක්ත වූවෝ වෙති. නව වසර උදාවෙද්දී කුජ ලග්නගතව සිටින අතර ලග්නාධිපති බුධ, රවි, සිකුරු සමඟ අයස්ථානයේ ඇත. කේතු හයේ ශනි අටේ ගුරු නවයේ සහ සඳු රාහු දොළහේ ද ඇත. ඉඩකඩම් ධනය ලැබේ. කොයි කාගෙනුත් උදව් උපකාර ලැබේ. සමගිය බලය තහවුරු වේ. පොත්පත් ලේඛන කටයුතු හා ව්‍යාපාර කටයුතු දියුණුවේ. සඳු දශා ගත කරන අයගේ දියුණුව ප්‍රමාද වේ. වගා කටයුතුවලට යහපත් වේ. රවි දශා ගත කරන අයටද ඉතා යහපත් නම් රජයේ සහ උසස් අයගේ අනුග්‍රහය ලැබේ. සමාජයේ උසස් තැනක් හිමිකර ගත හැක. කරදර බාධක දුරු වී යහපත උදාවේ. සිකුරු දශා ගත කරන අයටද සුබදායක වේ. රැකියා ලාභ මෙන්ම ඉගෙන ගන්නා අයගේ ඉගෙනීමද දියුණුකරගත හැක. ඉඩකඩම් භූමි ලාභ ලැබේ. සමාජ ගෞරවය හිමි වේ. කුජ දශා ගත කරන අයට රෝග පීඩා නිසා ධනය වැය කරන්නට සිදුවිය හැක. ප්‍රවේශම නැති කමින් අනතුරු පීඩා ඇතිවීමට ද ඉඩ තිබේ. ගුරු දශා ගත කරන අයගේ රැකියා අංශ දියුණුවේ. පිය උරුම ලබන අතර සමාජයේ ගෞරවයටද පාත්‍රවේ. විවාහ ජීවිතයේ සතුට අඩුවිය හැක. ශනි දශා ගත කරන අයට අෂ්ටම ඒරාෂ්ටකය පවතින නිසා කරදර බාධක ඇති කරයි. අනතුරු පීඩා වාත රෝග පීඩා යෙදිය හැක. ධනයත් ලැබීමටද ඉඩ තිබේ. රාහු දශා ගත කරන අයට ස්ථානමාරු පදිංචිය වෙනස්වීම් ඇතිවිය හැක. ගමන් බිමන් යෙදේ. ඉගෙනීම්වලට බාධා වේ. සෙම් දෝෂ යෙදේ. කේතු දශා ගත කරන අයට සුබ නැත.

 

කටක

ධන යෝග

කටක ලග්න හිමියන් උසස් අදහස්වලින් යුක්ත දුරදිග බලා කටයුතු කරන යහපත් කටයුතුවලින් ප්‍රසිද්ධය ලබන මූලිකත්වය දැරීමට සුදුසු තැනැත්තෝ වෙති. නව වසර ආරම්භයේ දී ලග්නාධිපති සඳු රාහු සමඟ අයස්ථානයේ සිටින අතර, කේතු පහේ ශනි හතේ ගුරු අටේ රවි, බුධ, සිකුරු දහයේ සහ කුජ දොළහේ ද ඇත. කටකෙට සුබ අසුබ මේ ලෙස ගෙන දෙන්නේ හොඳ නරක තෝරා බේරාගෙන කටයුතු කිරීමට හැකිවන අතර, ආදායම් මාර්ගද යහපත් වේ. ගෙදර දොර දියුණුව පවුලේ දියුණුව ඇති කරයි. ඉඩකඩ ලැබේ. සඳු රාහු දශා දෙකම සුබය ධන යෝග උදාවේ. ඉගෙනීම්වලට පුහුණුවීම්වලට ද බලය පවතී. ශරීර සෞඛ්‍ය යහපත් වේ. උෂ්ණ රෝග පීඩා ඇතිවිය හැක. රවි දශා ගත කරන රාජ්‍ය අංශයේ රැකියා කරන අයටද යහපත් වේ. මහන්සියේ ප්‍රමාණයට වඩා ප්‍රතිඵල ලැබිය හැක. බුධ දශා ගත කරන අයද ඉදිරියට යා මේ ආත්ම ශක්තිය ඇතිවේ. අමතර ලාබ ද ඇතිවේ. සිකුරු දශා ගත කරන අයටද යහපත්ය. වෙළඳ ව්‍යාපාර කටයුතු දියුණු වේ. යුග දිවිය සාර්ථක වේ. නම්බුව ප්‍රසිද්ධිය ඇතිවේ. කුජ දශා තිබෙන අයටද වරදක් නැත. ඉගෙන ගන්නා අයගේ ඉගෙනීමද දියුණුවේ. දුර බැහැර ගමන් බිමන් ඇති වේ. ප්‍රේම සම්බන්ධ අසාර්ථක වේ. රැකියාවල පල ප්‍රයෝජන අඩු වේ. ගුරු දශා ගත කරන අයගේ වාසනාව අඩුවේ. ලැබීම් ඇති වුවත් නිසි පල ප්‍රයෝජන නොලැබීමට ඉඩ තිබේ. බෝධි පූජා 3 ක් පවත්වන්න. වාද විවාද ඇතිවේ. ඉගෙනීමට බාධාවේ. පිත් දෝෂ උෂ්ණ රෝග පීඩා ඇතිවේ. ශනි දශා ගත කරන අයට සමපල දායක වේ. ප්‍රමාදවී හෝ ඉගෙනීම දියුණුකරගත හැක.

 

 

 

සිංහ

මංගල යෝග

සිංහ ලග්න හිමියන් ප්‍රධානත්වයට කැමති සහ ඊට සුදුසුකම් ඇති ආත්ම විශ්වාසයෙන් යුක්ත එඩිතර ගතිගුණවලින් යුතු කිසිසේත් තමා එළඹගත් තීරණයක් වෙනස් කිරීමට අකමැති ගති ලක්ෂණවලින් යුක්ත වූවෝ වෙති. නව වසර උදාවෙද්දී ලග්නාධිපති රවි, බුධ, සිකුරු සමඟ නවයේ ත්‍රිකෝණ ගතව සිටින අතර, කේතු හතරේ ශනි හයේ ගුරු හතේ සඳු රාහු දහයේ කුජ එකොළහේ ද ඇත. රවි දශා ගත කරන අයට සුබයි. විදේශ සම්බන්ධ ඇතිවේ. ඉගෙන ගන්නා අයගේ ඉගෙනීම් දියුණුවේ. උරුම හිමිකම් ලැබී ප්‍රසිද්ධ ජීවිතයත් ගත කිරීමට මං මාවත් විවෘත වේ. යහපත් විවාහද සිදුවේ. බුධ දසාගත කරන අයටද යහපත් වේ. යහගුණ වගාව මෙන්ම ඉගෙනීම් ආදී කටයුතු ද උසස් ලෙස දියුණු වේ. සිකුරු දශා තිබෙන අයගේ රැකියා අංශ දියුණු වේ. ක්‍රමානුකූලව දියුණුව ඇති කරයි. ලේ දෝෂයෙන් යෙදෙන රෝග පීඩා යෙදිය හැක. කුජ දශා ගෙවන අයටද සුබය. පොළොවෙන් ආදායම් මෙන්ම මැණික් වැනි දේ ලැබීමටද වගා කටයුතු දියුණුවීමට ද බලය පවතී. ඉගෙන ගන්නා අයගේ ඉගෙනීමේ කටයුතු ද දියුණුවේ. ධනය බලය ලැබේ. ගුරු දශා ගත කරන අයට සම පලදායක වේ. ඉගෙන ගන්නා අයගේ ඉගෙනීම්වලට බාධා යෙදිය හැක. සෙනසුරු දශා ගත කරන අයට බාධා එල්ල වේ. ශරීර සෞඛ්‍යයන් අවහිරතා ඇති වේ. සතුරු කරදර යෙදිය හැක. බාධක මැදින් දියුණුව ඇති වේ. සඳු දශා ගත කරන අයට රැකියා ව්‍යාපාර අංශවලින් අලාභ හානි ඇතිවීමට ඉඩ තිබේ. රාහු දශා ගත කරන දේශපාලනය කරන අයට සුබයි. රැකියාවල බාධා කරදර ඇතිවේ. සෙම් දෝෂ ඇතිවේ. කේතු දශා ලබා ඇති අයට ද සතුරු කරදර රැවටීම් මුලාවීම් ඇති විය හැක. රෝග පීඩා යෙදේ.

 

 

කන්‍යා

විදේශ ගමන්

කන්‍යා ලග්න හිමියන් ආත්ම විශ්වාසයෙන් මෙන්ම කලබලකාරී ගතියෙන් යුක්ත ආහාර අනුභවයෙහි ගිජුකම් ඇති ක්‍රමානුකූලව කටයුතු කිරීමට පි‍්‍රය කරන ගති ලක්ෂණ වලින් යුක්ත වූවෝ වෙති. නව වසර උදාවෙද්දී ලග්නාධිපති බුධ රවි සිකුරු සමඟ අට වැන්නේ සිටින අතර කේතු තුනේ ශනි පහේ ගුරු හයේ සඳු රාහු නවයේ කුජ දහයේ ද ඇත. බුද දශා ගත කරන අයට අධික ලෙස සිතීම අනුව සිතට කරදර ඇතිවේ. රහස්‍ය කටයුතුවලට සිත යොමුවේ. රැකියා අංශවල බාධක මතුවේ. දේපළ උරුමකම් ලැබේ. සිකුරු දශා ගත කරන අයට බලාපොරොත්තු නොවුන ලෙස ධනය ලැබීමට ඉඩ තිබේ. පොළොවෙන් ලැබීම්වලට ද ඉඩකඩ පවතී. දියවැඩියා ප්‍රමේහ රෝග ඇති අයට සුබමදි. කුජ දශා ගත කරන අයගේ වෙළෙඳ ව්‍යාපාර කටයුතු දියුණුවේ. රැකියා අංශවලට විරුද්ධවාදීන්ගෙන් බාධා කරදරද එල්ලවේ. කරදර බාධක අභිභවා ජයගත හැක. ගුරු දශා ගත කරන අයගේ ශරීර සනීපයට බාධා ඇතිවේ. සතුරු කරදරය යෙදිය හැක. මිල මුදල් ගනුදෙනුවලදී ප්‍රවේශම් විය යුතු ය. ආර්ථික අපහසුතා ඇතිවේ. සෙනසුරු දශා ගත කරන අයගේ බලාපොරොත්තු තරමක් දුරට හෝ සාර්ථක වේ. කාන්තා පක්ෂයේ අයට ගර්භාෂගත රෝග පීඩා යෙදිය හැක. වෙන්දනා ගමන් විදේශ ගමන් යෙදේ. රවි දශා ගත කරන අය ගින්නෙන් විදුලියෙන් ප්‍රවේශම් විය යුතු ය. රාහු, කේතු දශා ගත කරන අයටද සුබවාදී කරදර බාධා ඇති වේ.

 

තුලා

ව්‍යාපාර දියුණුවේ

තුලා ලග්න හිමි අය මනුෂ්‍යත්වය සහ පරමාර්ථය උසස් කොට සලකන උසස් සිතුවිලිවලින් යුක්ත වූවෝ වෙති. නව වසර ආරම්භයේ දී ලග්නාධිපති සිකුරු රවි බුධ සමඟ හත් වැන්නේ සිටින අතර කේතු දෙකේ ශනි හතරේ ගුරු පහේ සඳු රාහු අටේ කුජ නවයේ ද ඇත. සිකුරු දශා ලබා තිබෙන අය බාහිර අලංකාරයට මෙන්ම විනෝදයට ද කැමතියි. සමාජ කටයුතුවලට ඉදිරිපත්වන අතර, ඉන් ජයද අත් කර ගනී. හවුල් ව්‍යාපාරවලින් ලාබ ලැබේ. සතුරු කරදරවලින් අලාභ හානි ඇතිවීමට ද ඉඩ තිබේ. කුජ දශා ගත කරන අයට ඉඩ කඩම් මිල මුදල් ලාභ ලැබේ. රැවටීම් මුලාවීම් ඇති නොවේ. ගුරු දශා ලබා තිබෙන ඉගෙන ගන්නා අයගේ ඉගෙනීම් දියුණුවේ. ආගමික සමාජ සේවා කටයුතුවලින් ගෞරවය ලැබේ. සෙනසුරු දශා ලබා තිබෙන අයට ඉතා සුබය. තුලා ලග්නයට සෙනසුරු යෝග කාරක වේ. ගේ දොර ඉඩ කඩම් යාන වාහන ලැබිය හැක. එකී අංශවල දැනුම අවබෝධය ද ඇතිවේ. ස්වාධීනව කරන ව්‍යාපාර කටයුතු දියුණුවේ. දරුවන්ගේ දියුණුව ද ඇතිවේ. බුධ දශා ලබා ඇති අයටද සුබදායක වේ. හිසේ අමාරු නහරගත රෝග පීඩා යෙදීමට ද ඉඩ තිබේ. නිර්මාණ කටයුතු කරන අයට ජයග්‍රහණ අත්වේ. සඳු දශා ගත කරන අයට ජලයෙන් අගුණ ඇතිවේ. සෙම් දෝෂ පීඩා යෙදේ. උරුම හිමිකම් ලැබේ. රවි දශා ලබා තිබෙන අයට ද වෙළෙඳ ව්‍යාපාරවලින් දියුණුව ඇතිවේ. අර්ශස් වැනි උෂ්ණ රෝග පීඩා ද ඇතිවිය හැක. රාහු දශා ලබා තිබෙන අයට ලාබ අලාබ දෙකම වරින් යෙදේ. කේතු දශා ලබා තිබෙන අයට ආර්ථික අපහසුතා යෙදිය හැක.

 

 

වෘශ්චික

නොයෙක් ලැබීම්

වෘශ්චික ලග්න හිමියන් කඩිසර බවෙන් යුක් නිර්භීත මෙන්ම පැතිරුණ අවබෝධයෙන් යුක්ත ධෛර්ය සම්පන්න අන්‍යයන් විවේචනය කිරීමේ ලැදියාවක් දක්වන කැපී පෙනෙන ගති ලක්ෂණවලින් යුක්ත වූවෝ වෙති. නව වසර ආරම්භයේ දී ලග්නාධිපති කුජ අට වැන්නේ ද කේතු ලග්නයේ ද සෙනසුරු තුනේ ගුරු හතරේ රවි බුධ සිකුරු හයේ සහ සඳු රාහු හතේ ද ඇත. කුජ දශා ලබා තිබෙන අයට වුවද කුජ අටේ ගමන් කළත් එතරම් නරක නැත. ඥාණ ශක්තියද බලවත් වේ. යන්ත්‍ර සූත්‍ර ආදිය ගැන ඉගෙනනුමටද සහජ දක්ෂතා ඇතිවේ. උපායශීලී ගතියද ඇතිවේ. අනතුරු පීඩාවලින් වැළකිය යුතු ය. ගුරු ශනි දසා ගත කරන අයට ද සුබදායක වේ. උරුම හිමිකම් සහ නානාවිධ ලැබීම්වලට වාසනාව පවතී. මුදල් යොදවා කරන වැඩවලින්ද ආදායම් ලැබිය හැක. ඉගෙන ගන්නා අය ඉගෙනීමටද දක්ෂතා ඇතිවේ. දියුණුව ප්‍රසිද්ධිය ඇතිවේ. සිකුරු දශා ගත කරන අයගේ ශරීර සනීපයට තරමක් බාධාවේ. උෂ්ණ රෝග පීඩා උදරගත පීඩා සෙම් දෝෂ යෙදිය හැක. සතුරු කරදර බාධා යෙදෙතත් නැගී සිටීමේ ශක්තියද ඇතිවේ. බුධ දශා ගත කරන අයටද බාධක ඇතිවේ. ශරීර ශක්තිය සහ ඉදිරියට යන මේ ශක්තිය අඩුවිය හැක. රැකියා කටයුතුවලදට බාධා ඇතිවේ. සිත් වේදනා යෙදේ. වියදම් වැඩිවේ. සඳු දශා ගත කරන අයට එතරම් වරදක් නැත. කරන කියන කටයුතුවලට සුබයි. රවි දශා ගත කරන අයට ශරීර ශක්තිය හා එඩිතරව කටයුතු කිරීමේ ශක්තිය ඇති වේ.

 

 

ධනු

රැකියා ලාබ

ධනු ලග්න උසස් අපේක්ෂාවන්ගෙන් යුක්ත ත්‍යාගශීලී ආත්ම ධෛර්යයෙන් යුත් නිදහස් අදහස්වලින් හෙබි ක්‍රමානුකූලව ක්‍රියා කරන විනීත ගති පැවතුම්වලින් යුක්ත වූවෝ වෙති. නව වසර ආරම්භයේදී ලග්නාධිපති ගුරු වික්‍රමස්ථානයේ ද සෙනසුරු දෙකේද රවි බුධ සතුරු පහේ ද චන්ද්‍ර රාහු හයේ ද කුජ හතේ ද කේතු දොළහේ ද ඇත. ගුරු දශා ගත කරන අයට දැනුම බුද්ධිය අතින් සුබදායක වේ. දාර්ශනික අංශයේ දැනුම අවබෝධය වර්ධනය වේ. අනවශ්‍ය ගමන්බිමන්වලට ධනය වැය වීමට ඉඩ තිබේ. ශනි දශා ගත කරන අයට වෙහෙස මහන්සි වී වැඩ කිරීමට සිදුවේ. සිතට ශක්තිය ධෛර්ය ලැබේ. කුජ දශා ගත කරන අයට යන්ත්‍ර සූත්‍ර නීති අංශවල දැනුම බුද්ධිය වර්ධනය වේ. උදරගත උෂ්ණ රෝග පීඩා ද ඇතිවිය හැක. සිකුරු දශා තිබෙන අයට කලා සාහිත්‍ය සෞන්දර්ය දියුණුව ඇති කරයි. එම අංශවල සහජ දක්ෂතා ඇති කරයි. බුද දශා ගත කරන අයටද සුබයි. රැකියා ලාබ මෙන්ම මංගල කටයුතුද උදාවේ. බොහෝ දේවල් ගැන සහජ දැනුම ඇති කරයි. අවදානම් වැඩ සුදුසු නැත. අපහසුතා ඇතිවේ. සඳු දශා ගත කරන අයට සුබමදි. කරදර බාධක අලාබ හානි හිටි හැටියේ යෙදිය හැක. රවි දශා ගත කරන අයට සුබයි. රජයේ රැකියා අංශ දියුණුවේ. උසස්වීම් යෙදේ. ශිල්පීය ශාස්ත්‍රිය අංශවල ඉගෙනීම් දියුණු කරගත හැක. ඉදිරියට යාමේ බලය ශක්තිය ඇතිවේ. රාහු දශා ගත කරන අයටද සුබදායක වේ. දියුණුව ඇති කරයි. සෙම් දෝෂ ඇතිවිය හැක. කේතු දශා ගත කරන අයට පිට පලාත්වලදී දියුණුව ඇති කරයි.

 

 

මකර

ලොතරැයි දිනුම්

මකර ලග්න හිමියන් ආත්මාර්ථකාමී ගති ලක්ෂණ බහුලව පෙන්නුම් කරන දුක්විඳ දරා ගැනීමෙහි සමත් සාමාන්‍ය මසුරුකම් පවතින පාලන ශක්තියෙන් යුක්ත මහ පොළොව පිළිබඳ කටයුතුවලින් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකි අය වෙති. නව වසර ආරම්භයේ දී ලග්නාධිපති ශනි ලග්නයේම ස්වක්ෂේත්‍රබලයෙන් ඇත. ගුරු දෙකේ රවි, බුධ, සිකුරු හතරේ සඳු රාහු පහේ කුජ හයේ සහ කේතු එකොළහේ ද ඇත. සෙනසුරු දශා ගත කරන අයට සුබදායක වේ. සෙනසුරුබලවත්ව ලග්නයේ සිටීම අනුව සෑම අතින්ම දියුණුව ඇති කරයි. ඥාන ශක්තිය ද දියුණු වේ. ඉගෙනීමට බලය පවතී. ගුරු දශා ලබා තිබෙන අයටද සුබ දායක වේ. ධනය දියුණු කරන අතර, ගුණ ධර්ම ගැන ද සිත යොමු වේ. දාර්ශනික ආගමික දේවල් ගැන අවබෝධය ඇතිවේ. උරුම හිමිකම් ලැබේ. ස්ථිර දියුණුවක් ඇති කරගත හැක. කුජ දශා ලබා තිබෙන අයට තරමක් සුබ මදි. උපායෙන් තම කටයුතු සාර්ථක කරගත යුතු ය. රැකියා ව්‍යාපාර අංශවල දියුණුවට බාධා ඇති වේ. යුග දිවියේ ප්‍රශ්න ගැටලු ඇති විය හැක. රතු නෙළුම් මල් පූජා කරන්න. සිකුරු දශා ගත කරන අයට සුබදායක වේ. ගෙදර දොර දියුණුව රැකියාවල දියුණුව ඇති කරයි. ඉගෙනීමේ නියුතු අයගේ ඉගෙනීම ද දියුණුවේ. බුධ දශා ගත කරන අයට ද සුබයි. ගමන් බිමන් යෙදේ. යාන වාහන ලාභ ඇති කරයි. ඉඩකඩම් සම්බන්ධ අවුල් ඇති විය හැක. පපුව ආශි‍්‍රත රෝග පීඩා යෙදිය හැක.

 

 

කුම්භ

රැකියා දියුණුව

කුම්භ ලග්න හිමියන් ස්වභාව ධර්මයේ දායාදයට ලැදියාවක් දක්වන නියම මිනිස් ගති පැවැතුම්වලින් යුක්ත පොදුජනතාව සුඛිත මුදිත කිරීමේ අභිලාසයෙන් හෙබි ක්‍රමානුකූලව ගොඩනැඟී ගෙන යන උසස් මිනිස් චර්යා ධර්ම පද්ධතියකින් යුක්ත අය වෙති. නව වසර ආරම්භයේ දී ලග්නාධිපති ශනි දොළහේ සිටින අතර, ගුරු ලග්න ගතව ඇත. රවි බුධ සිකුරු තුනේ සඳු රාහු හතරේ කුජ පහේ කේතු දහයේ ද ඇත. ගුරුශනි කුජ සිකුරු දශා ලබා ඇති අයට ඉතාම සුබදායක වේ. ආර්ථික ස්ථාවරයත් ඇති කරගත හැක. දුර බැහැර ගමන් බිමන් යෙදේ. උගත් උසස් අයගේ ආධාර උපකාර ලැබේ. ඔබට අපහසුතා ඇති කිරීමට කිසිවකුට නොහැකි වේ. ඉගෙන ගන්නා අයගේ දියුණුව ඇති කරයි. නානාවිධ දක්ෂතා ඇති කරයි. රැකියා ව්‍යාපාර කටයුතු දියුණුවේ. බඩේ පපුවේ උෂ්ණ රෝග පීඩා ඇතිවේ. ගමන් බිමන් යෙදෙන අතර, ඒවා සාර්ථක වේ. සාහිත්‍ය කලා අංශවල නියුතු අයගේ එම අංශ දියුණු කරයි. සහජ දක්ෂතා ඇති කරයි. කල් ගොස් හෝ උරුම හිමිකම් ලැබේ. බුධ දශා ලබා තිබෙන අයට සම පලදායක වේ. කුමන අංශයකින් හෝ ප්‍රසිද්ධිය ඇති කරයි. සහජ දස්කම් ඇතිවේ. සඳු දශා ලබා තිබෙන අයට ද නරකම නැත. කරන කියන කටයුතු සාර්ථක වේ. සෙම් දෝෂ පීඩා ඇති වේ. රවි දශා ගත කරන අයටද සුබදායක වේ. කීර්තිය ප්‍රසිද්ධිය ඇතිවේ. දේශපාලන අංශවල නියුතු අයට ද ඉතා සුබයි. කලබලකාරීකම නිසා හදිසි තුවාල පීඩා යෙදිය හැක. රාහු දශා ගත කරන අයට ඉඩ කඩම් දේපලවලට ප්‍රශ්න ගැටලු ඇතිවිය හැක. උෂ්ණ රෝග පීඩා ඇතිවේ. කේතු දශා ගත කරන අයට රැකියාවල ප්‍රශ්න ගැටලු ඇතිවේ.

 

 

මීන

බලාපොරොත්තු ඉටු වේ

මීන ලග්න හිමියාත් නවීකරණයට ආශා කරන උණුවෙන හදවතින් යුක්ත ලෞකික අංශයට වඩා ලෝකෝත්තර අංශය අගය කරන පරාර්ථය සලකන උතුම් මිනිස් ගතිගුණවලින් හෙබි පිරිපුන් අය වේ. නව වසර ආරම්භයේ දී ලග්නාධිපති ගුරු දොළහේ ද රවි බුධ සිකුරු දෙකේ සඳු රාහු තුනේ කුජ හතරේ කේතු නවයේ ශනි එකොළහේ ද ඇත. ගුරු දශා ගත කරන අයට මහන්සියේ තරමට ප්‍රතිඵල නොලැබේ. රැකියා අංශවල දියුණුව අඩුවේ. වියදම් වැඩිවේ. කුජ දශා ගත කරන අයට සුබදායක වේ. ඉගෙනීම් කටයුතු ධනය දේපල ආදියෙහි දියුණුව ඇති කරයි. සහජ දක්ෂතා ඇතිවේ. උරුම හිමිකම් ලැබේ. සිකුරු දශා ගත කරන අයට සුබමදි. ආර්ථික අපහසුතා ඇතිවේ. උගුරේ සෙම් දෝෂ, පීඩා දත්වල අමාරු ඇතිවිය හැක. බුද දශා ගත කරන අයට කාර්මික අංශවල දැනුම බුද්ධිය වර්ධනය වේ. අත්වල, උගුරේ අමාරු ඇතිවේ. සඳු දශා ගත කරන අයට සුබදායක වේ. ඉගෙනීම් අංශයේ නියුතු අයට ඉතා යහපත් වේ. විශිෂ්ට ජයග්‍රහණ ප්‍රතිඵල ලැබිය හැක. සහජ දැනුම බුද්ධිය ඇතිවේ. රවි දශා ගත කරන අයට සමාජයේ ප්‍රමුඛතැනක් ලබා ගැනීමට හැකි වේ. සතුරු කරදරවලින් ධන හානි ඇතිවිය හැක.හිසේ සහ දත්වල රෝග පීඩා යෙදිය හැක. සෙනසුරු දශා ගත කරන අයටත් සුබයි. ප්‍රමාණවත් ලෙස ආර්ථික දියුණුව ඇති කරයි. ශක්තිය ධෛර්ය ඇති කරගෙන දිවි මග ජයගත හැක. රාහු දශා ලබා තිබෙන අයට ගමන් බිමන් යෙදේ. කරන කියන කටයුතු දියුණුවේ. කේතු දශා ගත කරන අයගේ බලාපොරොත්තු සාර්ථක වේ.

 

ඡ්‍යොතිෂවේදී, කලාභූෂණ සෝමපාල විජේසූරිය

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.