අප මේ සතුරන් සමූල ඝාතනය කළ යුතුයි...

ජූලි 5, 2019

සමනළ පව්වට හිරු කිරණ වැටී, තිමිර පටලය මැකී යාමටත් පෙරාතුව, ධූරාගේ ගම්මානය එකම සැණකෙළියක් වී තිබිණ. හර්ෂදේවයන් සහ උදකාභිරාක්‍ෂයන් දෙපළ සිය ඉලක්කය ප්‍රබලව ජය ගෙන ඒ කඳුකර ගම්මානයට පැමිණියේ මීට සුළු මොහොතකට පෙරය. මුවගෙහි පිරුණු අභිමානවත් සිනාවෙන් යුතුව ඔවුන් දෙදෙනා සිය ජවාධික අසුන් මතින් ගම්මානයේ පුළුල් මිදුලට පා තබත්ම, කුඩා ළදරුවාගේ පටන්, සියවස් පිරුණු මහළු හෙළ ගෝත්‍රිකයන් පවා නැගූ රණ ඝෝෂාවෙන් උදයේම ඒ මහා සමනළ කඳු වළල්ල දෝංකාර දුන්නේය. ඒ පිරිස මධ්‍යයේ සිටගෙන සිටි ජයමාලී දේවිය ඉදිරියේ මේ යක්ෂ ගෝත්‍රික මහා රණශූරයින් දෙපළ රාජකීය ආචාරය පිරිනමද්දී, අභිමානවත් සිනාවෙන් යුතුව ඇය නිහතමානීව ඒ ආචාරය නමස්කාර මුද්‍රාවෙන් පිළිගත්තාය.

මෙහිදී මහා හර්ෂදේවයෝ ජයමාලී දේවිය අමතා ඒ ගමනේ දී සිදුවූ සියල්ල මුල සිට අගට හෙළිදරව් කළේය. මෙහිදී ධූරා ඇතුළු අනෙක් මහා ගෝරාවරුන් ඇසූ දහසක් ප්‍රශ්න වලට ඔවුන් හට පිළිතුරු දීමට සිදු විය. ඉන් පසුව හර්ෂදේවයන් විසින් ඔහු අත වූ සුදු පැහැ රෙදිකඩක එතූ පොදියක් ජයමාලී දේවිය ඇතුළු පිරිස ඉදිරියේ බිම තබා ධූරා දෙස බැලීය.

“අවසරයි මහා මෑණියන් වහන්ස... අවසරයි අපේ නායක හූරා... අර නැවේ හිටපු නිට්ටෑවාගේ හිස තමයි මේ තියෙන්නේ. ඔබටත්, අපේ මහා මෑණියන් වහන්සේටත් පෙන්වන්ට තමයි එය රැගෙන ආවෙ...” මෙසේ කියූ හර්ෂදේවයෝ එම රෙදිකඩෙහි ගැටය බුරුල් කර, නෞකාවේ සිරගත කර සිටියා වූද, තමා විසින් සිඳ දැමුවා වූද, අර නිට්ටෑවාගේ හිස ඔවුන් ඉදිරියේ අනාවරණය කළේය. ගෝරාවරුන් පමණක් නොව, ගම්මානයේ සිටි ලොකු කුඩා සියලුම දෙනා එතැනට පැමිණ දේශ ද්‍රෝහියා ගේ හිස දැක බලා ගත්හ. මෙහිදී කෝපයෙන් යුතුව ඒ දෙස බලා සිටි ජයමාලී දේවිය ගෝරාවරුන් ඇමතීය.

“මාගේ පුත්‍රවරුනි... මේ නීචයාගේ හිස, ගම්මානයෙන් පිටතට ගෙන ගොස් පුළුස්සා දමනු...”

හිස නවා ආචාර කළ ධූරා, මෙහිදී ඔහුගේ සහයක ගෝරාවරයෙකුට කිසියම් සංඥාවක් කළෙන්, ඔහු වහාම ඉදිරියට පැමිණ අර රෙදිකඩෙහිම නිට්ටෑවාගේ හිස ඔතා, ගැට ගසා ඉවතට ගෙන ගියේය. මෙහිදී හර්ෂදේවයෝ යළිත් ජයමාලී දේවිය ඇමතූහ.

“අවසරයි මහා මෑණියන් වහන්ස... අපි සිම්ජාගේ කූඩාරමේ තිබිලා අපේ රහස් සිතියම හොයා ගත්තා. ඒ වගේම ඒ පෙට්ටගම ඇතුළේ තිබිලා තවත් වටිනා දේවල් කිහිපයක් හමු වුණා. ඒ සියල්ල ඔබ වහන්සේට පිළිගන්වන්ට අවසරයි...”

මෙසේ කියූ හර්ෂදේවයෝ, උදකාභිරාක්‍ෂයන් දෙස බැලූයෙන්, ඔහු ඉදිරියට පැමිණ, තවත් රෙදිකඩක ඔතා තිබූ කිසිවක් ජයමාලී දේවියට පිරිනැමීය. සෙමෙන් ඒ සියල්ල අතට ගත් ඇය, ඒවා ඔතා තිබූ රෙදිකඩ සෙමෙන් ලිහා බැලුවාය. ජයමාලී දේවියගේ දෙනෙත විශාල විය. එහි වූයේ සිම්ජාගේ රාජ්‍යත්වය හඟවන රාජකීය නළල් පටයත්, ඔහුගේ ඉතිහාසගත පුරාණ කිණිස්සත්, ගිජුළිහිණියෙකු ගේ ලාංඡනය සහිත මැණික් ඔබ්බවා ලූ විශාල රන්වන් පෙන්ඩනයකුත් ය. සිම්ජා ගේ මුළු මහත් සේසතම මේ මහා ගෝරාවරුන් දෙපළ විසින් රෙදිකඩක ඔතාගෙන, රහස් සාක්කුවක දමාගෙන පැමිණ සිටියහ. හෙළයේ මහා රාජිණියට නැගුණු සිනහව ඇයටම නවතා ගත නොහැකි විය. ඒ සිනාවෙන්ම ඇය ඔවුන් ඇමතුවාය.

“අති විශිෂ්ටයි මගේ පුත්‍රවරුනි. නුඹලා කර ඇත්තේ එසේ මෙසේ වීර ක්‍රියාවක් නෙවෙයි. හෙළ දෙරණටත්, හෙළ ජාතියටත් අභියෝග කළ උන්ගේ නායකයාගේ මුළු මහත් උරුමයම නුඹලා රෙදි කඩක ඔතාගෙන පැමිණ සිටිනවා. අගෙයි මගේ දරුවනි... නුඹලාට ජය... ගෝරාවරුන්ට ජය... හෙළයට ජය...”

මෙසේ තියුණු හඬින් හඬ නගා කියූ ඇය සිම්ජාගේ රාජකීය නළල් පටයත්, රාජකීය කිණිස්සත්, පෙන්ඩනයත්, ඔසවා හාත්පස සිටි සියලුම දෙනාට පෙනෙන්නට සැලැස්වූයෙන් යළිත් වරක් ඒ ගම්මානයෙන් නැගුණු මහා ජය නාදයෙන් සමනළ අඩවියම කම්පා වී ගියේය. මෙහිදී එම වස්තුන් සියල්ල යළිත් එම රෙදිකඩෙහි ඔතා ගැට ගැසූ ජයමාලී දේවිය, ඒ සියල්ල ධූරා අතට දුන්නාය. හිස නවා ආචාර කළ ධූරා එය පිළිගෙන ගෝරාවරයෙක් අතට දී, අර සිතියම අතට ගෙන එය බිම තබා ප්‍රවේශමෙන් දිග හැර, යළිත් ජයමාලී දේවිය ඇමතීය.

“අවසරයි මහා මෑණියන් වහන්ස... මට අද උදයේ ලැබුණු තොරතුරු අනුව, උතුරුකරයෙන් පැමිණි සතුරු සේනාවත්, බටහිර දිගින් පැමිණි එවුනුත්, දික්ගහලෙන කන්ද පාමුල, රිදීමැඩිල්ල වෙල් යායේ දී හමු වී තිබෙනවා. අපේ චරපුරුෂයින් කියූ ආකාරයට එතන එක්සිය දහසකට ආසන්න සේනාවක් ඉන්නවා.”

ඔහු සිතියමේ තැන් දෙකකට ඇඟිල්ල තැබීය. ඉන්පසුව ඔහු තවත් ස්ථානයක් පෙන්වීය. “එතැනින් සැතපුම් විස්සක දුරක් ඉදිරියට පැමිණියාම තමයි මෙන්න මෙතනින් හස්තියාගල අමුණ තියෙන්නෙ. එතනින් පැන ගන්නට උන් සමත් වුණොත්, සිංහල පැය හයක් යන විට සබරගමු අඩවියේ බස්නාහිර සීමාවට, ඒ කියන්නෙ ඇතුන්ගහමුණේ කැලේ දේවාලය අසලට පැමිණෙන්න උන්ට හැකි වෙනවා. එය ඉතාමත්ම ජනාකීර්ණ ප්‍රදේශයක්. උන් එතනින් ඉහළට ගියොත් හැබෑම ගැටළුවක් වෙනවා මෑණියන් වහන්ස. එහෙම වුණොත් සමනළ ගිරට උතුරින් පිහිටි මහඑළිය තැන්න සහ ලකේගල පැත්තට යන්න උන්ට හැකි වෙනවා. එහෙම ගියොත් අපේ හෙළයේ ප්‍රධාන පූජ්‍යස්ථාන සහ ගුප්ත විද්‍යා මධ්‍යස්ථාන සේරම උන්ට හසු වෙනවා. අපි ඊට පෙර උන්ට පහර දිය යුතුමයි.”

පුරාතනයේ හෙළ දේශයේ මර්මස්ථාන පැවති තැන් ඇඟිල්ලෙන් පෙන්වමින් ධූරා විස්තර කළේය.

“අවසරයි මහා මෑණියන් වහන්ස... අවසරයි අපේ හූරා... මටත් අද උදේම පණිවුඩයක් ලැබුණා දකුණු දිගින් ගොඩ බැස්ස සතුරු සේනාව ගෝණාතැන්න හේන්යායට පහර දුන්නා කියලා. වාසනාවට එහේ ජනතාව ඉවත් කරලා තිබුණු නිසා ජීවිත හානි වෙලා නැහැ. ඒත් උං ඒ හේන් යායෙ දළු කොළ පවා කඩාගෙන කාලා අවසානයේ හේන ගිනි තියලා තියෙනවා.”

විද්‍යාජෝති කුමරුවන් එසේ පවසත්ම, ජයමාලී දේවිය ගේ දෙනෙත කෝපයෙන් දැවෙන්නට විය.

ගෝණාතැන්න හේන් යාය යනු, එකල හෙළ දෙරණටම එළවළු සැපයූ මහා වගා භූමියක් විය.

“මොනවා... උන් ගෝණාතැන්න හේන් යායට ගිනි තියලා?”

විද්‍යාජෝති මෙහිදී හිස නවා ආචාර

කළේය.

“එහෙමයි මහා මෑණියන් වහන්ස... උන් දැන් සබරගමු පුරවරයට පැමිණෙමින් ඉන්නෙ. මේ වෙලාව වෙන කොට උන් මහමූණාගල කඳු පාමුල කඩුක්කන්දෙණිය තැනිතලාවෙ වාඩි ලාගෙන ඉන්නෙ. එතන තිස් දහසකට වැඩි බළ ඇණියක් ඉන්නවා කියලා චර පුරුෂයෝ මට කිව්වා.”

ජයමාලී දේවිය මෙහිදී නොඉවසිල්ලෙන් එහා මෙහා සක්මන් කරන්නට වූවාය. ක්‍රමයෙන් මෙම

සේනාවන් හතරම පැමිණෙන්නේ සබරගමු පුරවරය ඉලක්ක කරගෙනය. ජයමාලී දේවිය එකවරම

ගෝරාවරුන් දෙස බැලුවාය.

“මාගේ පුත්‍රවරුනි උන් සේරම එන්නෙ සබරගමු අඩවිය ඉලක්ක කරගෙන. මොකද උං දන්නවා යක්ෂ ගෝත්‍රිකයන්ගේ සියලුම රහස් සැඟවී තියෙන්නෙත්, හෙළයේ මහා සන්ධිස්ථානය වූ සමනළ පව්ව තියෙන්නෙත් සබරගමු අඩවියේ කියලා. ඒ වගේම මහඑළියතැන්න සහ ලකේගල අඩවියට පහර දුන්නොත් අපේ ගුප්ත විද්‍යා මධ්‍යස්ථාන සේරම උන්ට හසු වෙනවා. එහෙම වුණොත් යකුන්ගල සහ තාරකාලෙන මහා පුස්තකාල පවා උන්ගේ අතට පත් වෙනවා. එහෙම වුණොත් රන්පත්, රිදී පත්, තඹ පත් සහ පුස්කොළ පොත් සිය දහස් ගණනක් විනාශ වෙනවා.”

මෙසේ කියූ ජයමාලී දේවිය ගැඹුරු කල්පනාවකට ඇද වැටුණාය. එහෙත් ක්‍ෂණිකව ඇය යළිත් හිස ඔසවා බැලුවාය. ඇයගේ දෙනෙතට දිවි දෙනක ගේ මෙන් තියුණු බැල්මක් ආරූඪ වී තිබිණ.

“නෑ... ඒක කොහොමටවත් වෙන්න දෙන්න බෑ. මාගේ පුත්‍රවරුනි... අප හෙළය ආරක්‍ෂා කර ගත යුතුයි. මහරජතුමන් ගිලන් වූ එක හැබෑම අඩුවක්. ඒත් මම නුඹලාට නායකත්වය දෙනවා. අප මේ සතුරන් සමූල ඝාතනය කළ යුතුයි. මේ අවස්ථාවේදී අපේ මහ සෙනෙවි ජයබුද්ධිත්, මාගේ වැඩිමහල් පුතණුවනුත්, මාගේ ස්වාමි පුත්‍රයා සමග රැඳෙන නිසා සේනාධිපති වශයෙන්... ධූරා... මා නුඹව පත් කරනවා පුත්‍රය...” මෙසේ පවසත්ම ධූරා, නමස්කාර මුද්‍රාවෙන් ගෞරව පූර්වකව හිස නවා ආචාර කළේය.

“සටනට මා නායකත්වය දෙනවා මාගේ පුත්‍රවරුනි. ඒ වගේම සියලු යුධ සැලසුම් වහාම ක්‍රියාත්මක කළ යුතුයි. අද දිනයේ නුඹලා, නුඹලාගේ හරඹාචාර්යවරුන් සහ මහ සෘෂිවරුන් සම්මුඛ වී අවශ්‍ය උපදෙස් ලබාගත යුතුයි. එසේම නුඹලා දරන සියලුම අධිමානුෂික සහ ගුප්ත ශක්තීන් සියල්ලම මෙම යුද්ධයට භාවිතා කිරීමට නුඹලාගේ ගුරුකුල වලින් අවසර ලබාගත යුතුයි. හෙළ දෙරණේ සියලුම සටන් ගුරුකුල වලත්, ගෝරා සම්ප්‍රදායන් හි සියළුම ගෝරාවරුන් ද අධිමානුෂික සටන් ශිල්පීන් ද මෙම යුද්ධයට කැඳවාගත යුතුයි.

නුඹලා සකස් කරන සියලුම සැලසුම් අද දින මධ්‍යම රාත්‍රියට පෙරාතුව මා හට දැන්විය යුතුයි...”

හෙළයේ මහ රැජිණ මෙසේ පවසත්ම, ධූරා ඇතුළු සියලුම ගෝරාවරුන් නැගී සිට හිස නවා ආචාර කළහ. මෙහිදී ජයමාලී දේවිය, සිය තියුණු නැමි කඩුපත කොපුවෙන් ඇද අහසට එසවූවාය. නිල්වන් පැහැදිලි සබරගමු අහසේ පායා තිබූ සූර්ය රශ්මියෙන් ඒ තියුණු අසිපත රිදී පැහැයෙන් දිලෙන්නට විය.

“අවසන් ලේ බිඳුව තෙක්...”

හෙළයේ මහා රාජිණිය ඒ ගම්මානය විනිවිද යන තියුණු හඬින් ඝෝෂා කරත්ම...

“හෙළ දෙරණට ජය වේවා...”

ඒ මහා ජයෝන්නාදයෙන් සමනළ අඩවිය, සබරගමු අහස් ගැබ දක්වා කම්පා වී ගියේය.

මතු සම්බන්ධයි.

කතාව

හෙළසිරි ඉඳුනිල්
මොරමුදලිආරච්චි

සිතුවම - සමන් ශ්‍රී කාන්ත

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.