සතුරන් සමූල ඝාතනයට අවසරයි...

ජුනි 7, 2019


සබරගමු පුරවරයේ ඒ මහා සමනළ පව්වට හෙළයේ මහා ගෝරාවරුන් සත් කට්ටුව එක්තැන් වූ ඒ අරුණෝදයේ, ධූරාගේ නිවසේ විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. පෙරදින සටනෙන් දිවි ගලවාගත් සතුරන්ගේ මඟ පෙන්වන්නා වූ ගාවුලා නම් ඇදුරා සියලු විස්තර දැනගෙන ඝාතනය කළ බව ධූරා, ජයමාලී දේවියට දැනුම් දුන්නේය.

දුකක්, සතුටක් වැනි කිසිදු හැඟීමක් නොමැතිව ඒ ප්‍රෞඪ අධිරාජිනිය එම පුවත නිහඬව අසා සිට

හිස සැලුවාය. මහ රැජින වශයෙන් ඇයට එය සාමාන්‍ය සිද්ධියක් විය. මක් නිසාද යත්, ඔත්තුකරුවන් වශයෙන් හෝ, ආක්‍රමණිකයන් වශයෙන් හෝ, ඊනියා ආගම් ප්‍රචාරය කරන්නන් වශයෙන් හෝ දුරාතීතයේ පටන් හෙළ දෙරණට පැමිණි කිසිවෙකුත් පණ පිටින් නොයවා, සියලු විස්තර දැනගෙන අබිරහස් අන්දමින් ඝාතනය කිරීම හෙළයන්ගේ සාමාන්‍ය සිරිත වූ බැවිනි. වෙළෙන්දන් හෝ තානාපතිවරුන් හෝ සංචාරකයන් වශයෙන් බොහෝ දෙනා නැව් මඟින් ආ ගිය ද, සුළු හෝ සැක කටයුතු යමක් සිදු වුවහොත්, ඒ පුද්ගලයා ගැන නිරන්තරයෙන් විමසිල්ලෙන් පසුවීමත්, අවස්ථාව ලද සැණින් විනාශ කිරීමත් නිසා එකල හෙළ දෙරණ තුළ අන්‍යාගමික කරණය, විජාතික කරණය හෝ කිසිවිටෙක සිදු නොවීය. කිසිම විටක සරණාගතයන් හෙළ දෙරණ තුළට වැද්ද නොගත් අතර, එසේ සැක සහිත යමෙක් පැමිණියහොත් ඒ සඳහා අවශ්‍ය කටයුතු කිරීමට හෙළ බළ සේනාවෝ සැදී පැහැදී සිටියහ. ගරු කළ යුත්තාට නිරතුරුවම ගරු

කිරීමත්, විනාශ කළ යුත්තා දෙවරක් නොසිතා විනාශ කිරීමත්, සෑම හෙළයෙක්ම සිය ජාතියට සහ දේශයට දිවි දෙවැනි කොට ගරු කිරීමත් නිසා හෙළ දෙරණ එකල බාහිර බලපෑම්වලින් ආරක්‍ෂා වුණු, ප්‍රෞඪත්වයෙන්, ජාත්‍යාලයෙන් සහ නීතිගරුක භාවයෙන් විරාජමාන වූ මහා අධිරාජ්‍යයක් විය.

මෙහිදී ජයමාලී දේවිය කළුවර දැවයෙන් කළ කැටයම් සහිත ආසනයේ හිඳ සිටි අතර, මහා

ගෝරාවරුන් සත් කට්ටුව ඇතුළු සබරගමුවේ ගෝරාවරුන්ගේ නායකයන් සියලුම දෙනා, බිම අතුරන ලද ඝනකම් කළාල මත පද්මාසනයෙන් හිඳ සිටියහ. මෙහිදී රාස්සගල සිට පැමිණි මහා ජීවාලෝක කුමරුන් හොඳීන් යතුගා මදින ලද සිලින්ඩරාකාර සඳුන් ලීයක ඔතා තිබූ සිතියමක් ඔවුන් ඉදිරියේ බිම දිග හැරියේය. ඔබ අප කලින් දැක පුරුදු එම සිතියම, පෙර මහාසිද්ධ මහරජතුමන් නිරීක්‍ෂණය කළා වූද, නිට්ටෑවුන් විසින් සිම්ජා අතට පත් කරන ලද්දා වූද සිතියමෙහි අනුපිටපතක් වීය. මෙහිදී ධූරා සිය හඬ අවදි කළේය.

“අවසර මහා මෑණියන් වහන්ස... ඊයෙ අපට ගාවුලා කියපු විදිහට අපේ ප්‍රධාන සිතියම්වලින් එකක් මේ වන විට තියෙන්නේ උං අතේ. ඒක ගෙනිහින් දීලා තියෙන්නෙ නැගෙනහිර දිශාවෙ හිටපු නිට්ටෑවුන් ගෙ නායකයා. ඒ සිතියම අනුව තමයි උං අපේ ඉරුගල්තැන්න සූර්ය දේවාලයට පහරදෙන්න ආවෙ. කොහොමත් ඒ සිතියම දැන් තියෙන්නෙ නැවේ වෙන්න බැහැ. මොකද උං අපේ දේශය ඇතුළට යන්නෙ ඒ සිතියම බලාගෙන. ඒක ඉත්තේරුවෙන්ම ඇත්තේ උංගෙ නායකයා වන සිම්ජා ළඟ. ඒත් අර නිට්ටෑවා තාම සිර කරලා තියෙන්නෙ නැවේ. මං හිතන්නෙ අපේ හර්ෂදේව දන්නවා උංගෙ නැව් තියෙන තැන.” හර්ෂදේවයන් මෙහිදී එය අනුමත කරන නියායෙන් හිස සැලීය.

“මං දන්නවා ධූරා. ඒ වගේම උං දැනට කූඩාරම් ගහගෙන ඉන්නෙ බස්නාපුර ගම්මානය අසල තැනිතලාවක. දැනට ලැබුණු තොරතුරු අනුව නම් උං සටන තාමත් සැලසුම් කරනවා.”

ජයමාලී දේවිය ගෝරාවරුන් දෙස තියුණු දෙනෙතින් බලා සිටියාය. මහරජතුමන් ගිලන් වූ

අවස්ථාවක්දී සටන් මෙහෙයවීමට මේ මහා රාජිනිය කිසිවිටෙකත් පසුබට වූයේ නැත. මෙහිදී උදකාභිරාක්‍ෂසෙනෙවියා කථා කළේය.

“මට ලැබුණූ තොරතුරු වලට අනුව නම් උං සිව් දිශාවෙන්ම අපට පහරදෙන්න හදන්නෙ. අපේ චර පුරුෂයො කියපු විදිහට උංගෙ සේනාවන් උප සෙනෙවියන් යටතේ මෙන්න මේ පැත්තෙන් තමයි දේශය ඇතුළට එන්නෙ. අපි තොරතුරු දන්වලා ඒ අවට ගම්මාන සහ වෙළඳ ස්ථාන හිස් කළා මහා මෑණියන් වහන්ස. දැන් එහි ජනතාව සුරක්‍ෂිතයි. ජීවිත හානි නැහැ.”

සිතියමේ ස්ථාන කිහිපයකට ඇඟිල්ල තබා පෙන්වමින් ඔහු පැවසීය.

“මටත් කියන්න තියෙන්නෙ ඒකමයි මහා මෑණියන් වහන්ස...”

මෙහිදී මහි අංගන ප්‍රදේශය භාර විද්‍යාජෝති කුමරුද ඔහුට ලැබුණු තොරතුරු විස්තර කළේය.

“උතුරු අර්ධද්වීපයේ මෙන්න මෙතන තමයි උංගෙ නැව් සියල්ල නැංගුරම් දාලා තියෙන්නෙ. ඒක

අයියනායක පියාණන්ගෙ අඩවිය. එතන ඉඳන් මෙන්න මෙතනින් තමයි උං රට ඇතුළට එන්නෙ. හොඳ වෙලාවට උං ළඟ සිතියමක් නැහැ. ඒ නිසා ඉබාගාතෙ යන මී හරක් රැලක් වගේ තමයි උං ගමන් කරන්නෙ. අනික උතුරුකරයේ මහගල්කන්දෙ සූර්ය දේවාලය තියෙන්නෙ මෙන්න මෙතන. අපේ වාසනාවට උං ඒ පැත්තට ගිහින් නැහැ. කෙළින්ම ගස් කොළන් කපාගෙන, දිය පාරවල් දිගේ තමයි උං එන්නෙ.”

ජයමාලී දේවිය සිනාසුණාය. ඇයට වඩාත් සහනයක් වූයේ හෙළයේ සාමාන්‍ය ජනතාවගේ ජීවිත

හානියක් සිදු නොවීමයි. අනෙක් කරුණ නම් හෙළයේ මර්මස්ථාන පිළිබඳව සතුරන්ට කිසිදු තොරතුරක් දැන ගැනීමට නොලැබීමයි.

“මාගේ පුත්‍රවරුනි... මට නුඹලා ගැන ආඩම්බරයි. කරන්න අවශ්‍ය දේ නුඹලා නිසි විදිහට නිසි වේලාවට සිදු කළා. පහර දෙන්නට අවශ්‍ය නම් එයට කිසිදු විටක මාගේ තහංචියක් නැහැ. මොකද සතුරා එන්නේ අපට ආලයෙන් නෙවෙයි. උං එන්නේ අපේ දේශය අල්ලාගන්ටයි. දේශයත්, හෙළ යක්ෂ ගෝත්‍රික ගුණ ධර්මත් රැකගන්න නම් හෙළ ජාතිය රැකිය යුතුමයි. ඒ නිසා අපට පහර දෙන ඕනෑම වෙලාවක ප්‍රති ප්‍රහාර දී සතුරු සේනාව සමූල ඝාතනය කරන්න මා දැන් නුඹලාට අවසර දෙනවා මාගේ පුත්‍රවරුනි...”

ජයමාලී දේවිය මෙසේ පවසත්ම, මහා ගෝරා සත් කට්ටුව ඇතුළු සියලුම ගෝරාවරුන් සටන්

ආචාරයෙන් සිය මහා රාජිනියට ආචාර කළහ. මක්නිසාද යත්, අධිරාජ්‍යයා සහ වැඩිමහල් පුතණුවන් හැරුණු විට ඔවුන් නොමැති අවස්ථාවක අණදීමේත්, හෙළ බළ සේනා මෙහෙයවීමේත් පූර්ණ පරිපාලනය අධිරාජිනියට පැවරෙන හෙයිනි. ගෞරව පූර්වකව ඇය ඒ ආචාරය නමස්කාර මුද්‍රාවෙන් පිළිගත්තාය. “ගෝරාවරයෙක් බිහිවන්නේ දේශයත්, ජාතියත් ආරක්‍ෂා කරන්න. ඒ වගේම මහා ගෝරාවරුන් සත් කට්ටුව බිහිවන්නේ කාලයකට වරක් පැමිණෙන මහා ආපදාවන්ගෙන් හෙළ ගෝත්‍රය සුරකින්න. ඒ නිසා මං අපගේ හූරන්ට යෝජනා කරනවා මේ අවස්ථාවේදී බළ සේනා හතරක් යටතේ ගොස් සිව් දිශාවෙන් පැමිණෙන සතුරු සේනාවන්ට මුහුණ දෙන්න. ඒත් ඊට කලින් අපට කරන්න කටයුතු දෙකක් තියෙනවා...”

ධූරා මෙලෙස පවසත්ම, ජයමාලී දේවිය මෙන්ම අනෙක් ගෝරාවරුන්ද ඔහු දෙස බැලූහ.

“පළමුවෙන්ම අප සතුරන් අතට පත්වූ ඒ සිතියම කෙසේ හෝ සොයාගත යුතුයි. ඒ වගේම දෙවනුව, සිම්ජාගේ නෞකාවේ සිරගත කර සිටින නිට්ටෑවා මරා දැමිය යුතුයි. මොකද ඌ ජීවත්ව සිටියොත් අපටතවත් ලොකු තර්ජන ගණනාවකට මුහුණ දෙන්නට සිදු වන නිසා. සියල්ලට පෙර අප එය කළ යුතුමයි.”

මෙහිදී අනෙක් සියල්ලෝම ධූරා කියූ දෙය අනුමත කරන ආකාරයෙන් හිස් සෙලවූහ.

“ඒත් ගැටලුවක් තියෙනවා ධූරා... ඒ නෞකාවේ සෙබළුන් සිය ගණනක් මුර කරනවා කියලා ගාවුලා කිව්වා. ඒ වගේම එතන වෙරළේත් නිසැකවම සතුරු සෙබළුන් මුර කරනවා නියතයි. වෙරළ දිගටම නෞකා නැංගුරම්ලා තියෙන නිසා වෙරළ දිගටම මුරකාවල් තියෙනවා. අපි කොහොමද සතුරන් මඟ හැර එතනට යන්නේ?”

මෙහිදී මහා පද්මනාථ කුමරුන් විමසා සිටියේය. ධූරා සිනාසුණේය.

“ඒකට සුදුසුම කෙනෙක් අපට ඉන්නවා හූරා... නැගෙනහිර භාර සටන් ශූර හර්ෂදේවයන් ඒ කාර්යයට නිසැකවම සුදුසුයි. ඒ වගේම ඒ සඳහා අපේ උදකාභිරාක්‍ෂ කුමරුත් යා යුතුයි කියලා මා යෝජනා කරනවා. හේතුව නොපෙනී ගොස් සතුරන් ඝාතනය කිරීමත්, ජලය අසල සහ ජලය තුළ කෙරෙන සටනක් නිසාත්,අංගාරක්‍ෂක ප්‍රබල සෙබළුන් සමඟ සටන් කරන්නට සිදුවීමත් නිසා මා ඒ හූරන් දෙපළ යෝජනා කරනවා...” කිසිවෙකුටත් තවත් වචනයක් කියන්නටත් ප්‍රථම මහා හර්ෂදේවයෝ සෘජු කායෙන් නැඟී සිටියහ.

“අවසරයි මහා මෑණියන් වහන්ස... අවසරයි අපේ හූරනි... මා අනිවාර්යයෙන්ම ඒ කටයුත්ත භාර ගන්නවා. ඒ විතරක් නෙවෙයි. මා ඒ නෞකාව සහමුලින්ම විනාශ කරනවා.”

එවිටම මහා උදකාභිරාක්‍ෂ කුමරුද මෙහිදී සැණින් නැඟී සිට ආචාර කළේය.

“අවසරයි මහා මෑණියන් වහන්ස... අවසරයි අපේ හූරනි... සෑම විටම මා හර්ෂදේව හූරා සමග එක්ව යනවා.

මගේ හූරාව මා ආරක්‍ෂා කරනවා...”

සියලුම ගෝරාවරුන් මෙහිදී නැඟී සිට සිය අසිපත් එළියට ඇද අහසට එසවූහ.

“අවසන් ලේ බිඳුව තෙක්...”

මෙහිදී ධූරා ඝෝෂා කරත්ම,

“හෙළ දෙරණට ජය වේවා..............”

මහා ගෝරාවරුන් ගේ රණ ඝෝෂාවෙන් සමනළ කඳු වළල්ල කම්පා වී ප්‍රකම්පා වී ගියේය.

මතු සම්බන්ධයි.

කතාව
හෙළසිරි ඉඳුනිල්
මොරමුදලිආරච්චි

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.