ඒ කාන්තාරවාසී කළු ගෝනුස්සන්ගේ හළාහල විෂ...

පෙබරවාරි 1, 2019

සිය සෙබළුන් බොහෝ දෙනෙකු හර්ෂදේවයන් ගේ තියුණු අසිපත් පහරින් විනාශ වනු දුටු හරේරා ත්‍රස්ත වී ගියේය. නොදැනුවත්වම ඔහුගේ අවධානය හුදෙකලාවම ලුන්ඩා යෝධයන්ට මුහුණ දෙන අනභිභවනීය හෙළ අසිපත්ධාරියා දෙස යොමු වූයේ නිරායාසයෙනි. ක්‍රෝධාත්මක ලෙසින් හරේරා ශ්වාසයක් පිට කළේය.

“ශුද්ධ වූ ජිබ්ලා දෙවියන් වහන්ස... මූ නම් අප විනාශ කරන්නටම ඉපදුණු යක්ෂයෙක්...”

සිය සෙබළුන් අතරින් පසු බැස ගිය හරේරා සෙමෙන් ජාගෙන් අසලට ගිය හරේරා සෙමෙන් සිම්ජා අසලට පැමිණියේය. හෙළ සෙබළුන් තිදෙනෙක් මරා දමා සිටි සිම්ජා තවත් ගොදුරකට මාන බලනු දුටු හරේරා ඔහු ඇමතීය.

“මේ සටන මේ විදිහට කරන්න බෑ සිම්ජා කුමරුනි. අපට වෙනත් දෙයක් කරන්න වෙනවා.” කුතුහලාත්මක බැල්මෙන් සිම්ජා, හරේරා දෙස බැලීය.

“දැන් තවත් මොකක්ද කරන්න කියන්නේ? හෙළයො ටික මරා දමලා අප උන්ගෙ රජාවත් විනාශ කරමු. එතකොට ඉතුරු උන් සේරම යටත් වෙයි.” හරේරා මෙහිදී හිස දෙපසට සැලීය.

“මුහුණට මුහුණ යුද්ධ කරලා අපිට කවදාවත් දිනන්න බෑ. ඔබ දැක්කා නේද අර සාම දූතයා කියන එකා තනිවම මගේ සෙබළුන් තිස් ගණනක් විනාශ කරලා දැම්මා. ඌ අඩුම තරමේ සීරීම් තුවාලයක් වත් නැතුව තාමත් පණ පිටින්. එහෙම උන් එක්ක මුහුණට මුහුණ සටන් කරන්නෙ කොහොමද? ජිබ්ලා දෙවියන් පල්ලා කුමරුනි අපට මේ යුද්ධය දිනන්න වෙන්නෙ උපාය මාර්ග වලින්මයි.”

මෙහිදී සටන් බිම සිටි ජාගෙන් සහ ඉග්ලීස් රජු ද සෙමෙන් සෙබළුන් අතරින් තම සගයින් දෙදෙනා වෙත පැමිණියහ. හරේරා සිය සැලැස්ම ඔවුන් හට කෙටියෙන් පැහැදිලි කළේය. “අප උන්ගෙ රජාට ද්වන්ද්ව යුද්ධයකට අභියෝග කරමු. කිසිම නීතියක් රීතියක් නැති ද්වන්ද්ව සටනකට. එතනදි යුද්ධය අතරතුර දී අප කූට උපක්‍රමයක් යොදාගෙන රජාව මරා දමමු. අපට අවශ්‍ය හෙළයන්ගෙ මුදුන් මුල විනාශ කිරීම පමණයි. එතැනින් පස්සෙ හෙළ ජාතිය කියන සේරම උන් අපට යටත් වන්න සිදු වෙනවා. ඊට පස්සෙ අපි අර පේන රන්වන් ගොඩනැගිල්ලෙ බලය අල්ලා ගනිමු. අපගේ ගුප්ත විද්‍යාධාරීන් යොදවලා උන්ගෙ ආගමික සිද්ධස්ථාන වල බලය, කාන්තාරවාසී ජිබ්ලා දෙවියන්ගෙ සෙල්ලාදු, සිදුමුල්ලා සහ වහතුල්ලා බලවේග වලට භාර කරමු. එතැනින් අපිට පුළුවන් හෙළයේ සියලුම ආගමික මධ්‍යස්ථාන ආක්‍රමණය කරන්න. උන්ගෙ මන්ත්‍රාචාර්ය වරුන්ගේ බලය බිඳ වැටෙන කොට, උන්ට යටත් වෙන්නට සිදු වෙනවාමයි. ඒ අතරේ උන්ගෙ ස්වස්තික ලාංඡනය තිබෙනවා කියන සමනළ ගිරට අපි පහර දෙමු. ඒක උන්ගෙ ප්‍රධාන බල මධ්‍යස්ථානය කියලා අප දැන් දන්නවානේ. ඊට පස්සෙ ඔබගේ ගිජුළිහිණි ලාංඡනය එතැන ස්ථාපනය කළාම මේ හෙළ අධිරාජ්‍යය ඔබගෙයි, සිම්ජා කුමරුනි...”

හරේරා ඔහුගේ සැලසුම කියාගෙන ගියේය. සිම්ජා සහ ඉග්ලීස් රජු අවධානාත්මකව ඒ දෙස බලා සිටියහ. එහෙත් එම සැලසුම කියනා තරම් ලෙහෙසි පහසු එකක් නොවනා බව දැන දැනත්, ජාගෙන් ද උනන්දුවෙන් ඒ දෙස බලා සිටියේය. විනාඩි කිහිපයක් අවසානයේ සිම්ජා හඬ අවදි කළේය. “හොඳයි හරේරා... දැන් කවුද හෙළයින්ගේ මහරජු සමග ද්වන්ද්ව යුද්ධයට යන්නේ?” මෙහිදී ඔවුන් එකිනෙකා ගේ මුහුණු බලා ගත්හ.

“කරන්න දෙයක් නෑ කුමරුනි. ඔවුන්ගේ මහරජුන් සමග සටන් කළ යුතු වන්නේ අපගේ කණ්ඩායමේ ප්‍රධානියා වන ඔබම පමණයි.”

මෙහිදී සිම්ජා ගේ දෙනෙත විශාල වී ගියේය. හරේරාගේ දෙනෙත මත කපටි බැල්මක් සටහන් වීය. “ඔව් කුමරුනි. ඒ සටන කළ යුත්තේ ඔබ විසින්මයි. ඒ අතරතුර මා මගේ කොටස ඉටු කරන්නම්.” හරේරා ක්‍රෑර සිනහවකින් යුතුව පැවසීය. අනෙක් සියලුම දෙනා හරේරා දෙස බැලූහ. “ඔබ මොකක්ද එයින් අදහස් කරන්නේ හරේරා?”

ජාගෙන් මෙවිට විමසීය. හරේරා මෙහිදී මදහසක් නගා, සිය ඝනකම් කාන්තාර ඔටුවන් ගේ සමින් කරන ලද බූට් යුවළේ රහසිගත කොපුවක සඟවා තිබූ රෝල් කරන ලද සම් කඩක් ගෙන එය දිග හැරියේය. ඒ තුළ සුරක්‍ෂිතව එතූ අඩියක් පමණ දිගැති සිහින් සහ ශක්තිමත් බට නළාවක් වැන්නක් සහ අඩි භාගයක් පමණ දිග, ඉත්තෑ කූරු වැනි සිහින් කුඩා කූරු තිබිණ. ඒවා සිය සගයින්ට පෙන්වා ඔහු සිනා සුණේය. “මොනවද ඒ? ඔබ කොහොමද ඒවා යුද්ධයට යොදා ගන්නේ?”

මෙහිදී ඉග්ලීස් රජු විමසීය. හරේරා සිනාසුණේය.

“මේ ජිස්ඩාකෝන් අවියක්. අපි රාත්‍රියට කාන්තාරයේ සිංහයන් දඩයමට සහ වැලි මුවන් මරා දමන්නට යොදා ගන්නේ මෙයයි. පියවර සියයක් දුර මේ කුඩා කූරු යවන්නට පුළුවන්. එක් කෙළවරකට මේ කූරු ඇතුල් කරලා අනෙක් පැත්ත කටට තියලා නිවැරදි ඉලක්කය ගෙන කටින් පිම්බාම මේ කුඩා කූර වේගයෙන් ගිහින් සතාගේ සිරුරේ ඇමිණෙනවා. මේ කූරු වලට පොවලා තියෙන්නෙ කාන්තාරවාසී විෂඝෝර කළු ගෝනුස්සන්ගේ දළයේ හලාහල විෂයි. ඒ නිසා මේ විෂ යන්තම් ශරීරගත වුණත් තත්පර කිහිපයක් තුළ කෙනෙක් මිය යනවා. ඒ නිසා සිම්ජා කුමරුනි...” මෙසේ කියු හරේරා සිම්ජා දෙස බැලීය.

“ඔබ යුද්ධය කරන අතරතුර දී මම කල් බලා ඊතලය විද හරින්නම්. සටන් නීති රීති අපට අදාළ වන්නේ නෑ. අපට අදාළ වන්නේ හොඳීන් හෝ නරකින් මේ හෙළ බිම දිනා ගැනීම පමණයි. ඔබට කරන්නට තියෙන්නේ මා හට අවස්ථාවක් ලැබෙන තුරා රජාව එහාට මෙහාට නැටවීම පමණයි...”

මෙසේ කියූ හරේරා කොක් හඬලා සිනා සුණේය. සිම්ජා ගේ දෙනෙත තුළ ක්‍රෑර බැල්මක් සටහන් වූ අතර, ඉග්ලීස් රජු සිහින් වී ගිය දෙනෙතින් යුතුව ඒ ආයුධය දෙසම බලා සිටියේය. එහෙත් ජාගෙන් ගේ සිතේ ඇඳී ගියේ හාත්පසින් වෙනස් සිතුවිල්ලකි. තමා ගේ දෙනෙත ඉදිරිපිට දීම උත්තරීතර ජාතියක ප්‍රබලම පුරුක වූ නිර්දෝෂී අධිරාජ්‍යයෙකු, වංචනිකව දරුණු අන්දමින් ඝාතනය කිරීම ඔහුට ඉවසිය නොහැකි දෙයක් වීය. එහෙත් කරන්නට දෙයක් නැත. හතරෙන් තුනක කැමැත්ත දැන් එයට ලැබී ඇත. ජාගෙන් ගේ මොළය සිතුවිලි වලින් අවුල් වී ගියේය. ඔහු නිහඬව බලා සිටියේය. “හොඳයි... එහෙනම් සැලසුම දැන් ක්‍රියාත්මක කරමු. අපි හෙළයන්ගේ රජාට අභියෝග කරමු. දැන් සටන නවතමු.”

මෙසේ කියූ සිම්ජා ඉදිරියට ගියේය. ඒ වන විටත් දෙපාර්ශවයේම සෙබළුන් මාරාන්තික සටනේ නිරත වී සිටියහ. ඒ අතර, සිය මහරජතුමන්ට සහ සූර්ය දේවාලයට නගින පඩිපෙළට හුදෙකලාවම ආරක්ෂාව සපයමින්, ජීවමාන මිනී මරණ යන්ත්‍රයක් මෙන් හර්ෂදේවයෝ සිය වේරම්භ වාතයක් වැනි වූද, දැළිපිහි තලයක මුවාතින් යුතු වූද තියුණු නැමි කඩුපත් යුවළ වාත වේගයෙන් හසුරුවමින් පනස් වැනි සතුරාද සුමඟු සුමඟුව ලියා ලූවේ හෙළ අසිපත් කලාවේ අසිරිය සිය අධිරාජ්‍යයා සහ සතුරු සේනාව යන දෙපාර්ශවයේම දෙනෙත් ඉදිරිපිටම විරාජමාන කරවමිනි.

මෙහිදී සිම්ජා විසින් පසු බැසීමේ නළාවක් මුව තබා රැව් පිළි රැව් දෙන ලෙස පිම්බෙන්, ප්‍රදේශය පුරා එම නාදය පැතිර ගියේය. ඒ සමගම සටනේ යෙදී සිටි සතුරු සේනාවේ සෙබළුන් පසු බසින්නට වූහ. සතුරන් පසු බසිනු දුටු හෙළ බළ සේනාවේ සෙබළුන් ඔවුන් පසුපස පන්නාගෙන යාමට උත්සහ කළත්, හෙළයේ නැගෙනහිර දිග සටන් ශූරයා වූ හර්ෂදේවයන් ගේ මුවින් නැගුණු තියුණු සියුරුහන් හඬට අනුව හෙළයන් ද, ඔවුන් සිටි ස්ථාන වලින් ක්ෂණිකව ඉවත්ව, අර ගල් ඇල්ලූ පුළුල් මාවත දෙපස කැළෑව තුළට වැදී ස්ථානගත වූහ. ඒ වන විටත් රුධිරයෙන් නැහැවී තිබූ ඒ මාවත පුරාමත්, ඒ දෙපසත් හෙළ සෙබළුන් ගේ සහ සතුරු සෙබළුන් ගේ මළ සිරුරු රාශියක් අතන මෙතන වැටී තිබිණ.

මතු සම්බන්ධයි.

කතාව - හෙළසිරි ඉඳුනිල් මොරමුදලිආරච්චි

සිතුවම - සමන් ශ්‍රී කාන්ත

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.