තම උපන්දාම හෝ අකාලයේ ජීවිතයෙන් සමු ගැනීමේ ග්‍රහ යෝග

ඔක්තෝබර් 22, 2021

මේ දිනවල ජන සමාජය තුළ නිතර කථාබහ වන හා අපට ජනමාධ්‍ය තුළින් අසන්නට ලැබෙන ප්‍රමුඛ මාතෘකාවක් වී ඇත්තේ විවිධාකාරයේ අනතුරු, ස්වභාවික විපත් හේතුවෙන් මිය යන සංඛ්‍යාවේ කැපී පෙනෙන ඉහළ යාමක් පිළිබඳවයි.

විශේෂයෙන් යුද්ධය පැවති පසුගිය කාලයටත් වඩා වැඩි අගයකින් අද වන විට හදිසි අනතුරු වලින් මිය යාම මෙන්ම විවිධාකාරයේ ආබාධයන්ට ලක්වන ප්‍රමාණය අති මහත්ය. මෙම කාරණය වත්මන් සමාජය තුළ කැපී පෙනෙන මාතෘකාවක් බවට පත්ව ඇත. විශේෂයෙන්ම මෙම අනතුරු හේතුවෙන් වැඩි වශයෙන් අපට අහිමි වනුයේ අපේ රටේ සම්පත වන් දරුවන්, තරුණ තරුණියන් හා වැඩිහිටි ජනතාවයි. මෙම පවතින ගැටලුවට තිරසාර විසඳුමක් සොයා ගත යුතු කාලය දැන් උදාව ඇත.

ඉහත සඳහන් ආකාරයට හදිසි අනතුරු ස්වභාවික විපත් හෝ රෝගාබාධ හේතුවෙන් අකාලයේ මිය යන පුද්ගලයන්ගේ ජන්ම පත්‍ර තුළ මෙම අල්පායුෂ යෝග හා ග්‍රහ පිහිටීම් සඳහන්ව ඇත්තේද යන්න පිළිබඳව මෙම ලිපියෙන් අද අපි විමසා බැලීමට අදහස් කරන්නෙමු. යම් ජන්මියකු මෙලොව උපදින විට හා ළමා කලේයේදී තද බල ලෙස අපල ඇති කරන බාලාරිෂ්ට යෝග නැතහොත් ආයුෂයට පීඩා ගෙන එන ග්‍රහ පිහිටීම් රාශියක් මෙන්ම එක් එක් වයස් සීමා වලදී මෙන්ම තමන් උපන් දිනයේම මියයෑමට ලක්වන ග්‍රහ යෝග හා ග්‍රහ පිහිටීම් උසස් ඡ්‍යොතිෂයේදී පුරාණ ඉසිවරු විසින් ඉපැරණි පොත් පත් වල දක්වා ඇත. ඒ අනුව මෙම ලිපිය මගින් අප අද සාකච්ඡා කරන්නේ ඉන් කීපයකි. මෙම පහත් තත්ත්වයන් උදා වීමට ජන්මියාගේ උත්පත්ති ග්‍රහ චාරයේ මීට සම්බන්ධ ග්‍රහයින්ගේ බල දුබලතා බෙහෙවින්ම බලපානු ලබයි.

වත්මන් සමාජයේ වැඩි වශයෙන් අනතුරු සිදුවන්නේ රථවාහන හේතුවෙන් මහ මග අතරමගදී හදිසි අනතුරකින් මියයෑම කෙරෙහි පිහිටන ග්‍රහ යෝග විමසා බැලීමේදී පස් වැන්නාධිපති හා දොළොස්වැන්නාධිපති නීච වී අඩු නැතිවම නීච ග්‍රහයන් දුටුවහොත් එම ග්‍රහයන් පස් වැන්නාධිපති නොදුටුවහොත් එම තැනැත්තා මිය යන්නේ මහ මඟ සිදුවන හදිසි අනතුරුවලින්ය.

ඡ්‍යොතිෂයේ ඉගැන්වෙන අන්දමට යම් තැනැත්තකු හදිසි අනතුරුවලට ලක්වී මියයෑමට බලපානු ලබන ග්‍රහ පිහිටීම් එකක් දෙකක් නොව සිය ගණනක්ම වෙයි. හදිසි අනතුරු වශයෙන් හඳුන්වනු ලබන්නේ වාහනවලින්ම සිදුවන අනතුරු පමණක් නොවේ.

ජන්ම පත්‍ර තුළ හදිසි අනතුරුවලට ලක්විය හැකි ග්‍රහ යෝග අපට හඳහන් පරික්ෂාවේදී දැක ගත හැකිය. කෙසේ වෙතත් ඔබේ ලග්නයේ ලග්නය. ලග්නාධිපති චන්ද්‍රයා හා රවි යන ග්‍රහයන් හතර දෙනාගෙන් තුන් දෙනකුවත් දුබල වී ඔවුන් පාපී ග්‍රහයන්ට මැදිවී අශුභ ග්‍රහයන් සිටීමකට හෝ දැකීමකට ලක්වේ නම් ඔබේ කේන්දරයේ හදිසි අනතුරු යෝගයක් ඇති බව වටහා ගන්න.

යම් ජන්මියකු උත්පත්ති අවස්ථාවේදී රවි හා කුජ යන ග්‍රහයින් දෙදෙනා සංයෝග වී සඳුගෙන් 7 වැන්නේත් රාහු ලග්නයේත් තැන්පත්ව සිටියහොත් එම ජන්මියා දින 10 කින් මිය යාමට හැකියාව ඇත.

එමෙන්ම සෙනසුරු ලග්නයේම වී චන්ද්‍රයා හෝ රවි හත්වැන්නට වී යමකු උපත ලැබුවහොත් 4 වැන්න පඨවි රාශියක් වී එහි පාපී ග්‍රහයන් වේ නම් එයද හදිසි අනතුරු ගෙන දෙන තත්ත්වයකි. එවැනි අය මියයන්නේ වාහනවලින් සිදුවන හදිසි අනතුරුවලින් නොව තාප්ප, කඳු, ගොඩනැඟිලි, යකඩ සුන්බුන් ආදියට යටවීමෙනි.

චන්ද්‍රයා ලග්න භාවයේද රවි 9 වන භාවයේද කුජ හෙවත් අඟහරු 8 වන භාවයේ ද සෙනසුරු 12 වන භාවයේද ජන්ම පත්‍රයක පිහිටා සිටිය කල එම ග්‍රහයින් සුබවාදී ගුරු හෙවත් බ්‍රහස්පතිට නොපෙනෙන්නේද එම ජන්මියා ඉපදුණු වහා මරුමුවට පත් විය හැකිය. නමුත් ගුරු 5 වැන්නේ ප්‍රබලව සිටිය හොත් පමණක් ඔහු ජීවත් වනු ඇත. ඉහත ආකාරයටම ග්‍රහයන් තැන්පත් වී 4 වැන්නේ ජල රාශියක් යෙදුණහොත් ඔහු නියත වශනේම මිය යන්නේ ජලයේ ගිලීමෙනි. එමෙන්ම කේන්දරයක 8 වැන්නෙහි සඳු සිට ශනි, කුජ යන ග්‍රහයන් සංයෝග වුවහොත් හෝ එම ග්‍රහයන් දකින්නේ නම් එම තැනැත්තා මිය යන්නේද ජලයේ ගිලීමෙනි. ඡ්‍යොතිෂ මතයන්ට හා නියමයන්ට අනුව ඔහු වයස අවුරුදු 32 දී හෝ 39 දී මියයයි.

පාප ග්‍රහයන්ගෙන් පීඩිත වූ සඳු 12 වැන්නට පැමිණ ජන්මයක් ලැබුවහොත් පාප ග්‍රහයන්ගේ දශා කාලයක් පැමිණි විට එම තැනැත්තා දියේ ගිලී මිය යන්නේය.

එසේම යම් අයකුගේ කේන්දරයේ 6 වැන්න කටක, මීන වැනි ජල රාශියක් වී හතර වැන්න දුබල වී නිම වූ අවස්ථාවක් වේ නම් ඔහු මියන්නේද දියේ ගිලීමෙනි.

කේන්දරයක 5 වැන්නාධිපති, 9 වැන්නාධිපති සමඟ පාප ග්‍රහයන් සමඟ සංයෝග වුවහොත් අටවැන්නාධිපති අටෙහි චන්ද්‍රයා නොදුටු යෝගයකින් උපත ලැබූවකු වේ නම් ඔහු නියත වශයෙන්ම මියයන්නේ නැව්, පාරුව හෝ ඔරුවෙන් ජලයට වැටීමෙනි.

රාහු හා ලග්නාධිපති ග්‍රහයා දුර්වලව සංයෝග වී 7 වන රාශියේ තැන්පත්ව සිටි කල 21 මසකින් හෝ 21 දිනකින් එම ජන්මියාට විපතක් සිදු වනු ඇත. එම විපත හදිසි අනතුරකින් හෝ හදිසි රෝගාබාධයකින් සිදුවීමට ඉඩ ඇති අතර එය බොහෝ විට ඔහුගේ හෝ ඇයගේ උපන්දාම සිදුවූ අවස්ථා අප දැක ඇත.

8 වැන්නෙහි චන්ද්‍රයා හා රාහු යෙදී ලග්නයේ කෘර ග්‍රහයන් දුටුවහොත් ඒ රුදුරු (නපුරු) ග්‍රහයන් හෝ දශා කාලයේදී එම තැනැත්තා මිය යන්නේ ඔළුව හෝ බෙල්ල කැපීමකිනි. කුජ ග්‍රහයා දෙවැන්නට පැමිණ නපුරු ග්‍රහයෙක් දුටු විට ඔහු මිය යන්නේ ගින්නකට හසු වීමෙනි. එසේම ඔහුගේ බිරිඳගේ කේන්දරයේ කුජ වැනි නපුරු ග්‍රහයෙක් 7 වැන්නේ සිටියහොත් විවාහ වී වසර 7 කින් ස්වාමියා මිය යන්නේ ගින්නට හසුවීමෙනි. මෙම යෝගය වැන්දඹු යෝගයක් ලෙසද ඡ්‍යොතිෂයේ ඉගැන්වෙයි.

අකුණු සැර වැදී හදිසි අනතුරකින් මියයන පුද්ගලයාගේ කේන්දරයක කුජ, යුරේනස්, 7 වැන්නාධිපතිව 12 හි සිටියි. සුබ ග්‍රහයන් එම ස්ථානවල නොසිටීමද අකුණු සැර වැදී මිය යෑමට හේතුවකි. කුජ අට වැන්නේ සිටියදී රවි, කුජ ග්‍රහයන් මේෂ, සිංහ, ධනු වැනි රාශියක තැන්පත් වූ විට ඔහු මියයන්නේද අකුණු සැර වැදී හෝ වෙඩි බෝම්බ වැනි කර්මයකට ගොදුරු වීමෙනි. චන්ද්‍රයා සමඟ පාපී ග්‍රහයකු යෝගව සිටිය විටදී 7 වැන්නේ හෝ ලග්නයේ පාපී ග්‍රහයකු සිටි කල්හි හා එම චන්ද්‍රයා සුබ ග්‍රහයෙක් විසින් නොදකින ලද්දේ නම් එම යෝගයෙන් උපන් ජන්මියා ඔහුගේ හෝ ඇයගේ උපන් දිනයෙන් දින කීපයකින් මිය යනු ඇත. එය බොහෝ විට සතියකට අඩු කාලයකි.

කුජ ලග්නයෙහි යෙදී රවි ග්‍රහයා ශනිගෙන් පීඩා වුවහොත් ඔහු මියයන්නේද ගිනි අවි, බෝම්බ හෝ ගින්නකට හසුවීමෙනි. කුජ දෙවැන්න පැමිණි නපුරු ග්‍රහයන් දුටුවහොත් හා දෙවැන්නේ සුබ ග්‍රහයන් නැත්තේ නම් ඔහු මිය යන්නේද ගිනි බියෙනි. මෙවැනි ග්‍රහ පිහිටීම් දුම්රියට පැන වාහනයකට පැන තමන් විසින්ම මරණයට පත්වීමට ද හේතු වේ.

සූර්යයා හා චන්ද්‍රයා යන ආලෝක ග්‍රහයින් දෙදෙනාම උත්පත්ති අවස්ථාවේදී කෘර පාපී ග්‍රහයින් සමඟ සංයෝග වී ලග්නයෙන් 3 වන භාවයේ තැන්පත්ව සිටිත් නම් ජන්මියා ප්‍රබල රෝගියකු වී වසර 3 ක් ඇතුළත මිය යාමට හැකියාව ඇත.

කේන්දරයක පස් වැන්නාධිපති 1,5,9 යන ත්‍රිකෝණ ස්ථානවල යෙදී ශනි හෝ රාහු සමඟ සංයෝග වුවහොත් ඔහුගේ මරණය ක්ෂණික මරණයකි. 9 වැන්නෙහි කුජ, ශනි. රාහු යන ග්‍රහයන් තුන්දෙනා සමඟ රවි යෙදී උපත ලැබුවහොත් අශුභ ග්‍රහයන්ගේ මහ දශා කාලයකදී ඔහු මියයන්නේ අවි ආයුධවලින් කැපුම් කෙටීම්වලින් ලද තුවාල හේතුවෙනි. මේ ආදි වශයෙන් හදිසි අනතුරුවලට බලපානු ලබන ග්‍රහ පිහිටීම්, යෝග හා යෙදීම් ඡ්‍යොතිෂයට අනුව ඉතා විශාල සංඛ්‍යාවක් පිහිටයි.

රවි හා ශනි යන ග්‍රහයින් දෙදෙනා කේන්ද්‍ර ගතව හෝ සංයෝග වී හෝ වෙනත් රාශියක පිහිටා සුබ ග්‍රහයින්ගේ සුබ දෘෂ්ටි නොලබයිද එසේ වූ කල්හි දෙවියන් බැලුවද එම ජන්ම පත හිමි ජන්මියා ඔහුට වයස අවුරුදු 11 වන වියේදී මරණයට පත් විය හැකිය. මෙම මරණයට පත්වීම හදිසි අනතුරක් හෝ හදිසි අසනීපයක් වීමට බොහෝ දුරට ඉඩ ඇත.

සෙනසුරු හෙවත් ශනි අඟහරු හෙවත් කුජ චන්ද්‍රයා හා රාහු යන ග්‍රහයින් එක්ව 7 හෝ 9 තැන්පත්ව සිටියේ නම් මෙන්ම එම ග්‍රහයින් ලග්නයේ මෙන්ම නවාංශකයේද දුර්වලව පාප පිඩිත නම් එම ජන්මියා ඉපදී දින 4 කින් බොහෝ දුරට මිය යා හැකිය.

සඳු හෙවත් චන්ද්‍රයා කිසියම් වූ ලග්නයකත් සියලුම පාපී ග්‍රහයින් 4,7,10 යන කේන්ද්‍රස්ථාන වල තැන්පත්ව සිටියේදී උපන්නා බොහෝ දුරට එවලේම මිය යාමට හැකියාව ඇත. විශේෂයෙන් ඉහත ආකාරයේ ග්‍රහ පිහිටීම් ඉතාම විරල ගණයේ වන අතර නවාංශකයේද ග්‍රහ ශක්තිය දුර්වල විය යුතු අතර ඉහත මිය යෑම උපන්දාම මිය යෑමට තවත් උදාහරණයකි.

චන්ද්‍ර හෝරාවට සම්බන්ධ සඳු ජන්ම පතෙහි කේන්ද්‍ර ස්ථානයක අට වැන්න අධිපතියාද සමඟ සිටියදී 8 වැනි රාශියෙහි වෙනත් ග්‍රහයෙක් සිටීද මෙසේ වූ කල්හි එම ජන්මියා උපන් අවස්ථාවේදීම මිය යාමට හැකිය.

රවි ග්‍රහයා ග්‍රහණය වී පාපී ග්‍රහයන් සමඟ ලග්නයේ පිහිටි කල කුජ හෙවත් අඟහරු ග්‍රහයා 8 වැන්නේ පිහිටිය හොත් ආයුධ පාවිච්චිය හේතු කොට ගෙන දරුවා හා මව යන දෙදෙනාම මරණයට පත්විය හැකිය. යම් කිසි ජන්මියකු අපදින අවස්ථාවේ සඳු ග්‍රහයා ලග්නගතව පාපී ග්‍රහින්ට මැදිව සුබ ග්‍රහයන්ට නොපෙනෙන්නේද එසේම 7 හා 8 යන ස්ථාන දෙකෙහි පාපී ග්‍රහයින් සිටියේද එම අවස්ථාවේ උපදින දරුවා හා මව යන දෙදෙනාම එවලේම මිය යාමට හැකියාව පවතී. රවි හා සඳු යන ග්‍රහ දෙපල සංයෝගව තැන්පත් රාශියෙන් කේන්ද්‍ර ස්ථානයක 9 වැන්නේ පාපී ග්‍රහයකු ඉතාම දුර්වලව තැන්පත්ව සිටියේ නම් ජන්මියා දියේ ගිලීමෙන් හෝ වස විෂ පානයෙන් මරුමුවට පත්විය හැකිය.

ඉහත සඳහන් කර ඇත්තේ හදිසි අනතුරු ස්වභාවික විපත් වැනි උපද්‍රව හේතුවෙන් අඩු වයසින් විශේෂයෙන්ම තමන්ගේ උපත සිදු වූ දිනයේදීම මරණයට පත්වන හා තවත් ඒ ආකාරයට රථවාහන හෝ වෙනත ්අයුරකින් මරුමුවට පත්වන ජන්මීන්ගේ හඳහන් තුළ දක්නට ලැබෙන ග්‍රහ පිහිටීමය. විශේෂයෙන්ම පසුගිය කාලය තුළ ඉහත සඳහන් ආකාරයට හදිසි අනතුරු වලින් මිය ගිය ජන්මීන්ගේ ජන්ම පත්‍ර විමසීමේදී මෙම තත්වය අපට දැක ගත හැකිය.

 

ඡ්‍යොතිෂවේදී වාස්තු විද්‍යා උපදේශක, පුවත්පත් ලේඛක බණ්ඩාරගම

සම්පත් එස්. කල්පගේ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.