අසමසම බුදුපියාණන් දෝසතර පිළිකෙව් කළ සේක්ද?

ජුනි 18, 2021

අපරිමිත පුඤ්ඤාධිකාරස්ස සබ්බසත්තුන්තමස්ස ගුණ සාගරස්ස තෛ‍්‍රලොක තිලක ප්‍රදීපායමානි වූ උපමා විෂයාතික්‍රාන්ත වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ සකල සත හිත සුව පිණිස ස්වකීය ඥාණයෙන්ම අවබෝධ කොට සොයා ගත් ශාන්ත ප්‍රණීත සර්ව නිර්දෝසි පරම උතුම් ධර්මයක් මහා කරුණාවෙන් දේශනා කර වදාළ සේක.

 

තුන් කල්හිම පැවති

පද රුත් සියල් ලොව ඇති

අතැඹුලසෙ දැන ගති

එයින් සම්මා සම්බුදු න යෙති

 

තුන් කල්හි තුන්ලොව සියලුම පදරුත් අතේ තිබෙන නෙල්ලි ගෙඩියක් ලෙස සහසුද්ධයෙන්ම දැන ගත් සේක. සිදුහත් කුමාර බෝසත් කල්හි සිව්සැට කලා ශිල්ප විද්‍යාශාත්‍රයන් ප්‍රධාන කොට ඇති ලෞකික ශිල්ප ශාස්ත්‍ර මහා පණ්ඩිත විශ්වාමිත්‍ර (සර්වමිත්‍ර) නම් බ්‍රාහ්මණ ගුරුතුමාගෙන් ඉගෙන ගත් සේක. බුද්ධ චරිතය, බලංගොඩ ආනන්ද මෛත්‍රීය මහා නා හහිමි. මිලින්ද ප්‍රශ්නය,, මා දුටු ගන්ධාරය පොත් ඇසුරින්.

 

වර්ධමානඞ කුමාරොථ

සර්ව විද්‍යාෂු පාරගඞ

ලිපි ප්‍රවීණො භීනවං

ලිපිං බ්‍රහ්මිං විතිර්මයෙ

 

මෙයින් කියවෙන ආකාරයට ක්‍රමයෙන් වැඩෙන්නා වූ සිදුහත් කුමර තෙම සකල විද්‍යාවන්හි ශාස්ත්‍රයන්හි පරතෙරට පැමිණ ලිවීමේ ඇති දක්ෂයෙක් විය. අභිනව ලිපි අක්ෂර විශේෂයක් වන බ්‍රහ්මි අක්ෂර එතුමා විසින් නිපදවන ලදී.

බුද්ධ ජන්ම ග්‍රන්ථය - ක්ෂේමෙන්දා මහ ප¼ඩිතුමා - ඉන්දියාව සිදුහත් මහ බෝසතාණන් වහන්සේ සකල විද්‍යාවන්හි පරතෙරට පැමිණි උතුමෙක් අති දක්ෂයෙක් වූ නම් ඡ්‍යොතිෂය, ආයුර්වේද විෂයන් සිව්සැට කලාශිල්පවලට ඇතුළත් වන නිසා ඒ විෂයන්හි ද පරතෙරට පැමිණි බව අවිවාදයෙන් පිළිගත යුතු ය. බෝසතුන් ඉතා ඉක්මණින් සියලු ශාස්ත්‍රයන් ප්‍රගුණ කළ බවත් දිව්‍ය භාෂාව වූ සංස්කෘතයට අති දක්ෂයෙක් වූ බවත් ථෙරවාද, මහායාන ග්‍රන්ථයන්හි සඳහන් වේ.

අතීතයට අසූකල්පයක් අනාගතයෙන් අසූ කල්පයක් පෙනෙන ධ්‍යානලාභි මහා ඉසිවරුන් 18 දෙනෙකුගෙන් ඡ්‍යොතිෂය බිහිවී තිබෙන බව පෙනේ. මේ ගැන විවිධ මත තිබේ. ඡ්‍යොතිෂය අති පැරණි ශාස්ත්‍රයකි. උතුම් විද්‍යාවකි දල වශයෙන් අවුරුදු 28000 ට පෙර ලංකාව ඇතුළු රටවල් 10 ක් පාලනය කළ දසිස් රාවණා අධිරාජයා වෛද්‍ය, ඡ්‍යොතිෂ ශාස්ත්‍රයන්හි පරතෙරට පත් මහ පඬිවරයෙකි. ශූර වීර පාලකයෙකි. එතුමා ඡ්‍යොතිෂය පිළිබඳ පොත් ගණනාවක් ලියා තිබේ. රාවණා තන්ත්‍ර, උඩිස් තන්ත්‍ර, අර්කප්‍රකාශ ඉන් කීපයකි.

 

හොරෙත්‍ය හොරාත්‍ර විකල්ප මෙකෙ

වාඤ්ජනති පූර්වාපර වර්ණ ලොපාත්

කර්මාජ¡¡ජිතං පූර්වභවේ සදාදි

යත්වාස්‍ය පංකතිං සමභිව්‍යනකති

 

හෝරා යන වචනය දිවා රාත්‍රී යන තේරුම් තිබෙන ‘අහොරාත්‍රි’ යන ශබ්දයේ මුල අකුර වූ ‘අ’ යන හා අග අකුර ‘වත්‍ර’ යන්න ලොප් වීමෙන් සිදුවීයයි ඇතැම් වියත්හු කියති. යටගිය ජාතියෙහි යම් කර්මයක් රැස් කරන ලද්දේ ද ඒ කර්මයාගේ විපාක හෝරා ශාස්ත්‍රයෙන් මනා කොට ප්‍රකාශ කරනු ලැබේ. බුදුන් වහන්සේ ද තම දහමට අනුව මෙයම ප්‍රකාශ කර තිබේ.

ඡ්‍යොතිෂය හා ආගම් ඈඳා ගැනීම එතරම් සුදුසු නොවේ. එහෙත් මෙහිදී කරුණු කීපයක් කීමට කැමැත්තෙමි. බුද්ධ දේශනාවේ විනය පිටකයේ ‘වත්තක්ඛන්ධකයේ’ නක්ඛත්ත පාදුනි උග්ගහෙ තබ්බානි සකලානිවා එක දෙසානිවා’ යන ස්ථානයේ භික්ෂූන් ද නක්ෂත්‍රය තරමක් හෝ දැන සිටිය යුතු බව බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ සේක. අත්හල යුතු ගර්හිත විද්‍යා කොටසක් බුදුදහමේ දැක්වෙන නමුත් ඒවාට ඇතුළත් වූවත් නැතත් ඉහත කී පාඨයෙන් පෙනී යන්නේ බුදුරජාණන් වහන්සේ ඡ්‍යොතිෂයට පිටුපා නැති බවයි. එසේ තිබියදී පහත සඳහන් ගාථාව උපුටා දක්වමින් ඡ්‍යොතිෂයට ගරහන්නෝද සිටිති.

 

නක්ඛත්තං පතිමනෙත්තං -

අන්ථො බාලං අප්ච්චගා

අත්ථො අත්ථස්ස නක්ඛත්තං -

කිං කරිස්සන්ති තාරකා

 

මේ ගාථාව උපුටා දක්වමින් නැකත් බැලීමෙන් වැඩක් නැතැයි බුදුබණෙහිත් කියා ඇතැයි සමහරු කියති. එය වරදවා වටහා ගැනීමකි. මෙය ජාතකට්ඨ කතාවේ එක් තැනක දැක්වෙන අප හා බෝසතාණන් වහන්සේ කී කියමනකි. එය බුද්ධ භාෂිතයක් නොවේ. මෙය බමුණු ඡ්‍යොතිෂ මහ පඬිවරු පහත සඳහන් ශ්ලෝකයෙන් කියා තිබෙන හැටි බලනු මැනවි.

 

නක්ෂත්‍ර වති පෘච්ජන්නං -

බාලමථෙනිවතිනෙ

අර්ථා භ්‍යාථසන නක්ෂත්‍රං -

කිං කරිෂ්‍යන්ති තාරකා

නැකතේ බලයෙන්ම සියල්ල හරි යතැයි අදහා නැකත් වෙලාවටම වහල් වී නැකත් වෙලාව තමාට වහල් කොට නොගෙන, වැඩ කල් දම දමා ඉන්නා අලසයන් ගැන කී දෙයක් මිස ඡ්‍යොතිෂ ශාස්ත්‍ර බොරුවකැයි එයින් නොදැක්වෙන බව අතිපූජ්‍ය අග්ගමහා පණ්ඩිත බලංගොඩ ආනන්ද මෛත්‍රිය මහා නායක මාහිමියන් විසින් පෙන්වා දී තිබේ. ඒ මාහිමි රචිත ලිත් හෝඩිය පොතේ පෙර වදනේ එය සඳහන් වී තිබේ. මේ කතාව බෙහෙත ළඟ තබා ගෙන එය නොබී බේත් බලයෙන් ලෙඩ සුව නොවේ යයි බේතට දොස් නගන අමනයාගේ කතාවමෙනි.

මෛත්‍රී භාවනාව කරන්නා ඉන්න තැනට පිස්සු බල්ලෙක් ආවිට එතැනින් නික්ම නොගොස් සිටියොත් ඌ මිනිසා සපා කනු ඇත. ඌ මැඩ පවත්වන තරමට මෛත්‍රීය වඩා ධ්‍යාන අවස්ථාවට පත් වූවොත් එය ඌ දමනය කොට හික්මවීමට සමර්ථ වෙයි. ඒ තරමට ධ්‍යානය නොකළ තැනැත්තා ‘අහං අවෙරො හොමි’ කී පමණින් පිස්සු බල්ලාගෙ සැඩ පරුෂ ගතිය දුරු නොවේ. ඉහත කී භාවනා කරු මෛත්‍රී භාවනාවෙන් වැඩක් වුණේ නැතැයි භාවනාවට දොස් කියතොත් එය ඔහුගේම නොදැනුම්කම මිස භාවනා ක්‍රමයේ වරදක් නොවේ.

කාක භුප්න්ධර මහා නාඩි වාක්‍ය ලියූ මහා සෘෂිවරුන් අනාගතය බලා තම තමන්ගේ දැනුම් මට්ටම්වලින් රචනා කළ නාඩි ග්‍රන්ථ කෝටි ගණනින් ඉන්දියාවේ පැරණි පුස්තකාලවල ඇත. සමහරු ඒවා හදාරති. එම නාඩි වාක්‍යවලින් අද සිටින බොහෝ අයගේ නම් ගම් ඔවුන්ගේ මව්පිය ගුරුවර දූ දරුවන්ගේ ඉගෙන ගත් පාසලේ පවා නම් ගම් හා තවත් බොහෝ විස්තර දැන ගත හැක. අතේ රේඛා හා ජන්ම පත්‍රය අනුව ඒ සියලු විස්තර ගත හැකිය. වෙන කුමක් නැතත් ඒවායින්ම ඡ්‍යොතිෂය සාමුද්‍රිකාශාස්ත්‍රය ආදියේ සත්‍යතාවය ප්‍රත්‍යක්ෂ කර ගත හැකි බව යථාර්ථවාදීව පැවසිය හැකි ය.

සිරි සිදුහත් බෝසත් උතුමා කුඩා කල ඉගෙන ගනිත් දී එම විෂය මාලාවට ඡ්‍යොතිෂය ද ඇතුළත්ව තිබූ බව කිව හැකි ය. පුරාණ භාරතයේ රාජ රාජ මහාමාත්‍ය බමුණු, සිටු දරුවන්ට එකල ශාස්ත්‍රශාලාවල හා පෞද්ගලිකව සිව්සැට කලාශිල්ප උගන්වා ඇති බව ඉතිහාස හා ආගමික ග්‍රන්ථවලින් පෙනේ. රටේ අග රජු වූ සුදොවුන් පිය රජුගේ පුත් සිදුහත් කුමරුන්ට කිසි අඩුවක් නැතිව අංග සම්පූර්ණ අධ්‍යාපනයක් දුන් බවට කිසිදු සැකයක් නැත. කුමරුට සිව් සැට කලා සිප් ඉගැන්වූ බව පොත පතින් පෙනේ. මේ විෂය හැට හතරට ආයුර්වේදය, ඡ්‍යොතිෂය ඇතුළත් වේ. බුදුන් වහන්සේ ඡ්‍යොතිෂය පිටු දැක ඇති බවක් දක්නට නැත. එහෙත් එය භික්ෂූන්ට සුදුසු නැති බව ගර්හිත විද්‍යා ගණයට වැටෙන නිසා සාමඤ්ඤඵල සූත්‍රයෙන් පෙනේ.

ඡ්‍යොතිෂය ලෝකයේ පැරණිම ශාස්ත්‍රය වේ. එය උතුම් විද්‍යාවකි. දැනට අවුරුදු 28000 කට පමණ පෙර ලංකාව ඇතුළු රටවල් දහයක් පාලනය දසිස් ලංකාධිපති රාවණා අධිරාජයා වෛද්‍ය ඡ්‍යොතිෂ ආදී ශාස්ත්‍රයන්හි පරතෙරට පත් මහා පණ්ඩිත දුර්ලභ ගණයේ උතුමෙකි. එතුමා වෙද දොස්තර පිළිබඳ පොත් ගණනාවක් ලියා තිබේ. රාවණ තන්ත්‍ර උඩිස් තන්ත්‍ර, අර්ක ප්‍රකාශ එයින් කීපයකි.

නැවතත් බුදු දහම දෙස හැරෙමු. මහානුභාව සම්පන්න රතන සූත්‍රයේ ‘දිවාචරත්තොච හරංතියේ බලින්’ යනුවෙන්ද සෙත් පිරිතේ ‘පාපග්ගහො දුසසුපිනං අකනතං’ යනුවෙන්ද ග්‍රහ ශාන්තියෙන් අරථයක් වන බව පෙන්වා දී තිබේ. ගුපත් විෂ බීඩ පැතිරී තුන් බියකින් ඇලලී ගිය විශාලා මහනුවර එම මහා ඛේදවාචකය දුරු කර සෙත ශාන්තිය උදා කළේ රතන සූත්‍රයෙන් පිරිත් කර පිරිත් පැන් මුළු විශාලා මහනුවර පුරා ආනන්ද තෙරුන් ලවා ඉස්ස වූ අතර ඉන්පසු මුළු රටටම මහවැසි වැස නගරය පවිත්‍ර වී රෝග භය, යක්ෂ භය, දුර්භික්ෂ භය දුරු වී මහා සෙත් ශාන්තියක් සැලසුනේ ය. ග්‍රහ බලි, ග්‍රහ පූජා, යන්ත්‍ර, මන්ත්‍ර, තන්ත්‍ර අනුව ශාන්ති කර්ම කිරීමෙන් පුද්ගල අභිවෘද්ධිය හා ලෝකාභිවෘධිය සැලසෙන බව පුරාණ ඉසිවරු කීහ.

බුදුරජාණන් වහන්සේ ද ඒ ඇදහිලි ප්‍රතික්ෂේප කළ බවක් නොපෙනේ.

 

තුන් කල්හිම පැවති

පදරුත් සියල් ලොව ඇති

අතැඹුලසෙ දැන ගති

එයින් සම්මා සම්බුදුන යෙති

 

තුන් කල්හි තුන් ලොවට අදාළ සකල පදරුත් අතේ තිබෙන නෙල්ලි ගෙඩියක්සේ සහමුලින්ම දැනගත් සේක. ගිහි කල්හි සිව් සැට කලා ශිල්ප ප්‍රධාන කොට ඇති සියලු ලෞකික ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගත් සේක. නව ශිල්ප ප්‍රධාන කොට ඇති සියලු ලෞකික ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගත් සේක. තව ඉගෙනීමට තිබුණේ අවබෝධ කිරීමට තිබුණේ සසර කෙළවර කරන පරම නිශ්ටාවන නිවන පමණි. එයද ගොර බිරම් සසරෙහි සාරා සැකි කප් සුවහස් කල් පුරන ලද සමනිස් පෙරුම් සම්පූර්ණ වී ලොව්තුරා බුදුවුන සේක. බුද්ධ විෂයට නොපෙනෙන දෙයක් නැත. එහෙත් බුදුරජාණන් වහන්සේ දන්නා සියලු දෙයම ලෝක සත්වයාට දේශනා කළේ නැත. මෙයට හොඳ කතාවක් බුද්ධ චරිතයේ සඳහන් වේ. එය ඉතා කෙටියෙන් මෙසේ ය. දිනක් බුදුපියාණන් මහා සංඝයා පිරිවරාගෙන ධර්ම චාරිකාවේ වඩින විට ඇක්ටේරියා වනයක් පසුකර වඩින විට එම ගසකින් කොළ ටිකක් කඩා අතට ගෙන භික්ෂූන් අමතා මහණෙනි, මා අතේ තිබෙන ඇක්ටේරියා කොළ ද වැඩි වනයේ තිබෙන කොළ දැයි ඇසූ සේක. ස්වාමීනි, වනයේ තිබෙන කොළ අති විශාලයයි කීහ. එසේ නම් මා බුදු වී අවබෝධ කර ගත් ධර්මය ලෝක පිළිබඳ කරුණු මේ අතේ තිබෙන කොළවලට සමානය. නොදෙසූ ධර්ම කරුණු මහ වනයේ තිබෙන කොළවලට සමානයයි වදාළ සේක. බුදුරදුන් දෙසුවේ ධර්ම මාර්ගයේ නිෂ්ඨාව වූ නිවන් සුවය ලබා ගැනීමට සත්වයින්ට අවශ්‍ය කරුණු ටික පමණි. මොන තරම් දැනුම් සම්භාරයක් බුදුපියාණන් සතුව තිබෙන්ට ඇද්දැයි මෙයින් සිතා ගත හැකි ය. ලෞකික සිප්සතර ඡ්‍යොතිෂය වෙදකම ඉතිහාසය භූගෝල ආදී කිසිවක් ගැන යන්තම් සඳහන් කළා මිස විස්තර නොකළ සේක.

භාවනා මඟින් ධ්‍යාන බලයෙන් සිත උසස් කර ගත්තා යයි සිතිය හැකි එච්.පී.බ්ලැවස්කි ආර්යාව ලියූ පොතක ඡ්‍යොතිෂයේ උපත ගැන මෙසේ කියා ඇත. ඡ්‍යොතිෂයේ උපත අත්ලන්තික් රටෙහි විය.ඒ දැනට අවුරුදු කෝටි 18 කට පෙරය. එම රට මුහුදු බත් වී අත්ලන්තික් සාගරය බවට හැරුණ බවත්, එය මුහුදුබත් වන බව දුටු එහි විසූ ඡ්‍යොතිෂඥයින් එරටින් පිට වී ආසියාව, රුසියාව, යුරෝපය, උතුරු ඉන්දියාව, ලංකාව, මැද පෙරදිග ආදී රටවල් තෙක් ඡ්‍යොතිෂය පැතිර වූහ. මිනිස් වර්ගයේ උපත අවුරුදු කෝටි 18 කට පෙරදීය. ඡ්‍යොතිෂයට සම්බන්ධ මහා ඉසිවරුන් නමැති මහා කඳු පර්වතය මුදුනින් පටන් ගත් දෝසතර නමැති මහා ගංගාව ජන සෙත පිණිස ඉදිරියට අති විශාල කාලයක් නිරුපද්‍රිතව ගලා යේවා සැමට සුබ වෙසක් මංගල්‍යයක් වේවා.

 

ඡ්‍යොතිෂ ඉඳුවර ශාස්ත්‍රශූරී කිවිපති

අමුවල අමරසේන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.