දියුණුව උදාකරගන්නේ මෙහෙමයි

පෙබරවාරි 12, 2021

මෙලොව ඉපදුන ඔබ අපි හරි වාසනාවන්තයි. නැවත නැවත නොකිව්වට දන්නවනේ මනුෂ්‍යත්වයක් ලබන්න කොච්චර පින් කරල තියෙන්න ඕනෑද කියලා. කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලන උදාහරණය දන්නව කියලයි හිතන්නේ. එච්චර අමාරුවෙන් ලැබූ ජීවිතයක් ලැබූ ඔබ අද තරමක කලකිරීමක ඇයි. අපි ටිකක් ආපස්සට යමුද?

අපි ඉපදිලා හය , හතර තේරුම් යනකොට හඳුනාගත්තේ අම්මාව. අපිට ඉස්සෙල්ලා දැනුණේ බය. ඔන්න ඔහොම තමයි ජීවිතයේ ඉස්සෙල්ලා අල්ලා ගත්තේ. ඒ දවස්වල ඔබට මට හතුරො තරහ කාරයෝ හිටියෙ නැහැ. ඊර්ෂ්‍යාව මොකක්ද කියලවත් දැනුණෙ නැහැ. තව එකෙකුගේ ජීවිතයක් නසන්න හිතුණෙවත් නැහැ. එහෙම හිටිය අපට ජීවිතය වැරදුනේ කොහොමද? කොතැනද, කතාවක් තියෙනවනේ අතීතය ගැන බලලා අනාගතය හදාගන්න කියලා. පුංචි කාලේ උඩ බලාගෙන අහිංසක ලෙස හිනා වුණා. අම්මා කිව්වා ඒ හිනැහුණේ දෙවියන් සමඟලු. එදා දෙවියන් සමඟ හිනා වුණ අපි අද ඒ දෙවියන්ට වස්කවි කියනවා. ඇයි ඒ වසර දෙක තුන යනකොට එක එක දේවල් වලට ආසා හිතුණා. අම්මා, අපේ අම්මා වෙලා මගේ අම්මා වුණා. ඒත් කමක් නැහැ. ඒ අල්ලා ගැනීම ස්වභාවය යයි කියමුකෝ. ටිකක් තව කලක් යනකොට අපේ දේ අනුන්ට නොදෙන්නත් අනුන්ගේ දේ අපි අයිති කරගන්නත් ආත්මාර්ථකාමි තත්ත්වයට ඇති වුණා. ඊර්ෂ්‍යාව අපව වෙළා ගත්තා. ඔන්න අපිට වැරදුණ තැන. නැවත ඒ පුරුදු නැති කරගන්න එතැනට යන්න අමාරුයි. මේ කරුණූ හොඳින් තේරුම් කරගත් මහණ දම් පුරන යෝගාවචරයා හැම දෙයකින්ම ඈත්ව මහණ දම් පුරනවා. නමුත් ඒක අපට කරන්න අමාරුයි. නමුත් මේ තත්ත්වය ඇති කරගත්තෙ අපිමයි. එහෙනම් ගොඩ එන්නත් ඕන අපිමයි. අපිට වැරදුණේ දැනුම, ඇහුම් කන්දීම අඩු වූ නිසා. වටහාගන්න බැරි වුණාම වටිනාකම තේරෙන්නෙ නැහැ. ඒ වුණත් තේරුම් ගැනීම එකක්. වටහාගැනීම තව එකක්. ලොකු වෙනසක් තියෙනවා. යමක් වටහාගන්න බොහෝ දේ බලපානවා. බණ අහගන්න ආ හැමට එකවර බුදුහාමුදුරුවෝ බණ කිව්වේ නැහැ. ඒ තව කෙනෙක්ගෙ ඥාන ශක්තිය වටහාගන්න තරම් අධිඥානයක් උන්වහන්සේට තිබූ නිසා. ඒ ඥානය කල්ප ලක්ෂ ගණන් වැඩි දියුණු කළ නිසා. අපට හිතාගන්නවත් බැරි තරම්.

එවැනි විශිෂ්ට ක්‍රියාකාරකම් අපට කරනවා. තියා හිතාගන්නවත් බැරි නිසා ඍෂිවරයන් වහන්සේලා දේශනා කරල තිබෙන පරිදි ඡ්‍යොතිෂයෙන් ඔබේ දියුණුව තකා කරුණු කාරණා ටිකක් හෙළිකරන්න තමයි බලාපොරොත්තුව.

ඔබ පදිංචිව සිටින නිවසේ නිතර නිතර ලෙඩ රෝග හැදෙනව නම්, සතුට රඳාපවතින්නේ නැත්නම් හැම දිනකම උදේට නැඟෙනහිර දිශාවෙන් හිරු කිරණ කීපයක් ගේ තුළට වදින්න සලස්වන්න. ජනේලයෙන් එන ආලෝකයට අමතරව හිරු කිරණ කීපයක් වදින්න සලස්වන්න. නිවසේ සිටිනා සාමාජිකයො එකාට එකා නැත්නම් කුළල් කාගන්නවා නම් ප්‍රධාන උළුවස්සේ උඩු ලීයට සමාන උසකින් සියලුම ජනෙල්වල උඩු ලී තිබෙනවද බලන්න. ගෙදර වත්තට දෙමලිච්චෝ, පොල්කිච්චෝ එන එක හොඳයි. අතු උඩ පැන පැන රණ්ඩු නොකරනවා නම්.

ඡ්‍යොතිෂය මගින් අපේ ජීවිත උසස් මට්ටමක වර්ණවත්ව තබා ගන්න ඕනෑ. අපට ජීවත්වන්න පළමුවෙන්ම මුදල් ඕනෑ කරනවා. එසේ හොයපු මුදල් ඔක්කොම වැය වන්නත් හොඳ නැහැ. එහෙමනම් ඔබේ නිවසේ ප්‍රධාන දොරින් නිවස තුළට එන හුළඟ , ආලෝකය එක එල්ලේ තිබෙන දොරකින් හෝ ජනේලයකින් පිටවී යනවා නම් ඔබට ඉතිරියක් නැහැ. තිබෙනව නම් ඒවා හදාගන්න. එනිසා ගෙදරට අනවශ්‍ය රෝ බිය, අනවශ්‍ය වියදම් වැඩිනම් ඔබට ඔලුව ඔසවන්න බැරිවෙනවා. ඒවා සිදුවන්නේ ඔබට නොදැනී.

මේ මූලික ප්‍රශ්න විසඳගෙන හිත ටිකක් නිවා ගන්න. මීළඟට ඔබ නිවසින් පිටවී යන කාරණය ඒ විලසින්ම ඉටුවන්න ඕනෑ. ඒ සඳහා කරුණු කාරණා කරන්න. ඔබට දවස ගැන, දිශාව ගැන, රාහු කාලය ගැන, ඔබේ පක්ෂියා ගැන, දවසේ මරු සිටින දිශාව යන මේ කරුණු ගැන සාමාන්‍ය දැනුමක් තිබුණොත් ඇති. මේවා ගැන ඔබට දැනුමක් නැත්නම් පවුලේ ඡ්‍යොතිර්වේදියාව හමුවුවොත් පහදා දේවි. බොහෝ අය නැකැත් ගන්න ආවාම කුරුල්ල රජවෙන වෙලාව හදා දෙන්න කියන්නෙ ඒකටමයි. ඒ ඒ අයගේ භාෂාවෙන් කියන්නේ. ඒකට ඡ්‍යොතිර්වේදියා උරණ වන්න හොඳ නැහැ.

විශේෂයෙන් ඔබට අවශ්‍ය වෙලාව තුළ. ඔබේ පක්ෂියා යහපත්ව සිටීම අත්‍යාවශ්‍ය වනවා. ඔබේ පක්ෂියා නිදි හෝ මර වේලාවකට ඔබ නිවසෙන් පිට වුණොත් ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව නිවසින් පිටවූ විදියට නැවත එන්නෙ නැහැ. ඉතාම ටික වෙලාවයි තිබෙන්නේ ඒත් තත්ත්වය ඒකයි. ඡ්‍යොතිෂයේ පංච පක්ෂි ඉන්නවා. ඔබටත් ඉන් එකක් අයිතියි. එනම් භේරුණ්ඩ නොහොත් රාජාලියා. මයුර නොහොත් මොණරා. කාක නොහොත් කපුටා. කුක්කුට නොහොත් කුකුළා, පිංගල නොහොත් බකමූණා වනවා.

මේ පංච පක්ෂි දිනකට යාම දහයක් ගමන් යනවා. ඒ කිව්වේ උදේ 6 සිට හවස හය දක්වා යාම 5 යි. හවස 6 සිට අළුයම 6 දක්වා යාම 05 - එක යාමයක් පැය 2 යි . විනාඩි 24 යි. මේ හැම පක්ෂියෙක්ම රජගමන, භෝජන ගන්නා වෙලාව, ගමනේ යන වේලාව මර වෙලාව . නිදි වෙලාව කියල පස්වැදෑරුම් වනවා.

ඕනෑම පක්ෂියෙකුගේ රජ ගමනට විනාඩි 48, භෝජන ගන්න වෙලාව විනාඩි 36, ගමන යන වෙලාව විනාඩි 30, නිදි වෙලාව විනාඩි 18, මර වේලාව විනාඩි 12 ඔක්කොම එකතුව. පැය 2 විනාඩි 24 යි. හරි නේද ඉතින් මේ පංච පක්ෂි ගමන අර රාහු කාලය වගේ එකවගේම නැහැ. දිනෙන් දින වෙනස් වනවා. අමතක කරන්න එපා. සඳුදා දිනවල මුල් යාමයේ මූලිකව භේරුණ්ඩ පක්ෂියා මරණ ගමනක් පසුකළාට අඟහරුවාදා දින විනාඩි 36 ක භෝජන ගමනක් යන්නේ. මේ විදියට ඔබට අවශ්‍ය වෙලාව හදා ගන්න. උදාහරණයක් වශයෙන් අපි හිතමු. අපේ පක්ෂියා කුකුළා කියලා. ඕනෑම සඳුදා දිනයක නම්. ඉර උදාවේ ඉඳලා විනාඩි (12+36+30) 78 කින් පසුව ලැබෙන විනාඩි 48 තුළ කාරණාවට එළඹෙන්න ඕනෑ. ඒක විතරක්ම මදි. දවසේ දිශාවත් බලා පරික්ෂා කරන්න ඕනෑ. සඳුදා දිනයට මරු ඉන්නෙ චන්ද්‍රයාට අයිති. වයඹ පැත්තේ. ලග්නයට අනුව චන්ද්‍රයා ඉන්නෙ. එනම් මේෂ,ධනු, සිංහයේ නම් නැඟෙනහිර. අනික තමයි රාහු කාලය අතහරින්නත් ඕනෑ. සඳුදට රාහු කාලය ඉර උදාවේ ඉඳලා උදේ 7.30 ට උදේ 9 දක්වා පැය 1.30 ක කාලය සාමාන්‍යයෙන් සූර්ය උදාව දිනෙන් දින ටිකක් වෙනස්වනවා. අනික දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට ඉර පායන වෙලාවද වෙනස්. ඔන්න ඔය කරුණු ටික හරිහැටි කරලා. ඔබ ඔබේ ගමන ගියානම් හෝ සුබ කටයුත්තට මුල පිරුවා නම් නිසැකයෙන්ම ඔබ දිනුම්.

අලුත් ගෙයක් හදන්න, නිවසකට පදිංචියට යන්න, වෙළඳාමක් ආරම්භ කරන්න වගේ සුබ කටයුත්තකට මේ වගේ හැම කරුණක්ම පරික්ෂා කර බලා ගත්තොත් ඔබ ගොඩ. ඒක අනිවාර්ය යෙන්ම සඵල වන බව අත්දැකීමෙන්, වගකීමෙන් කියනවා. ඔබේ දියුණුව සලසා දීම යහපත් ඡ්‍යොතිර්වේදියෙකු ගේ යුතුකම වනවා. නියම නැකතක් ගන්නවා. කිව්වේ ඒකයි. හැම හොඳ වැඩකටම පක්ෂියා රජ වන වේලාව ගන්න එපා. නියමිත වැඩයට නියමිත පක්ෂියාගේ ස්වරූපය ගන්න. හැබැයි තත්කාලීන ගණන් ක්‍රමයෙන් මිස පරිගණකයෙන් එපා. මේ ආකාරයට නිවැරදි නැකතක් ගෙන ඔබේ කාර්යය සම්පූර්ණයෙන් සපල කර ගන්න. සුබසෙත හැමදාම ප්‍රාර්ථනය කරන්නෙත් ඒකමයි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.