ග්‍රහයන් සහ ජීවිතය

ජනවාරි 15, 2021

පාරිසරික රටාවට අනුව ජීවිත වෙනස්කම් සිදුවේ. එය වැළැක්විය නොහැකිය. එය පතිරූප දේශ වාසෝච යන්නෙන් මනාව පිළිබිඹු වේ. විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි බුද්ධියෙන් ජීවිතාලෝකය ලබා ගැනීමටත් සුමඟට පිවිසීමටත් හැකි වන්නේය. ඡ්‍යොතිෂ විද්‍යාව තම ජීවිතය ක්‍රමවත්ව මනා කළමනාකාරිත්වයෙන් යුතුව සකසා ගැනීමට අත්වැලක් කර ගත යුතුයි.

 

පූර්ව භවයන්හි නැතහොත් ආසන්නම ආත්මයකදී කරන ලද කුශලාකුශල කර්ම බලවේගයන් ක්‍රියාත්මක වීමේ ප්‍රවනතාවය ද අධිකයි.

කෙනෙකුගේ ජන්ම පත්‍රයේ සනිටුහන් වන අනුපූරකව ඔහුගේ චරිතය, ළමා අවදිය, ඉගනීම, රැකියාව, සම්පත් ලැබීම මෙන්ම යුගදිවිය සහ සැලසුම් සහගත ආර්ථිකමය ලැබීම් ද වැයවීම් ද මනාව අනාවරණය වන්නේය.

අතිවිශාල රාජයෝගයන් ද ධනයෝගයන් ද නිර්ධනත්වයත්. හදිසි රෝගාබාධ, නිධන්ගත, ව්‍යාධි. අනතුරු, ජීවිත තර්ජන, නීතිමය ගැටලු මෙන්ම දඟගෙයි වැටීම ඇතුළු මාරක ග්‍රහදෝෂ මේ අතර වේ. කිසියම් අයෙකු උපතින්ම අතිවිශාල ධනස්කන්දයක් හිමිව සිට පසුකාලයක අන්ත අසරණ වී දුගී තත්වයට ඇද වැටෙන බවද පැහැදිලිය. දිළින්දෙක්ව සිට අතමිට මිල මුදල් නොමැතිව දුක් බර ජීවිතයක් ගෙවමින් සිටිය පසුකාලීනව යස ඉසුරු සම්පත් බලවත්ව හිමි වී සැපසේ මෙලොව අතහැර යන අයද නැත්තේම නොවේ. මෙය භෞතිකව ගෙවී ඇති ජීවන රටා වියමනකි.

අධ්‍යාත්මික අංශයට යොමුවී ලද දෙයින් තෘප්තිමත්ව සරල දිවිපෙවෙතක් ගෙවමින් නිස්සාර වූ ජීවිත පැවැත්ම ගැන මනා සිහියෙන් යුක්තව සිටින අය ද මේ අතර සිටින බැව් නොරහසකි. ලෞකික දිවියේ ජීවත් වන කෙටි කාල පරාසය තුළ අධ්‍යාත්මික පැතිකඩක් ඔස්සේ ගැඹුරු ලෙස සිත මෙහෙයවා සිය දිවිය ගෙවීමට හුරු පුරුදු වන්නේ ද පෙර ආත්ම භවයන්හි කරන ලද මහා පින්කම්වල ප්‍රතිවිපාක හරහාය.

මෙලොව උපත ලබන විට අහස් සිතියමේ සනිටුහන් වන ග්‍රහ රටා වියමන ස්ථාපිත වන එකම දත්ත සමූහය සිය ජන්ම පත්‍රයේ ග්‍රහ පිහිටීම බැව් ප්‍රත්‍යක්ෂ වේ.

මෑත යුගයේ දුරේක්ෂක උපකරණයකින් ග්‍රහ තාරකා පියවි ඇසින් පර්යේෂණය කර සොයා ගැනීමට පෙරාතුව එදා සිටි මහා ඍෂිවරුන් සිය තෙවැනි ඇසින් ග්‍රහ තාරකා ලග්න හා නැකත් සොයා ගන්නා ලදී. පියවි ඇසට වඩා තෙවැනි ඇස කොතරම් ප්‍රබල ද යන්න පැහැදිලිවේ. සමහර විට තාරකා විදුදරයින් නොපිළිගන්නා ඇතැම් කරුණු ඡ්‍යොතිෂ විද්‍යාවේදී තහවුරු කර ගැනීමට සමත් වේ.

සූර්යයාගෙන් නිකුත්වන වර්ණ පදාසයත් ග්‍රහ තාරකා වලින් කාන්දුවන සියුම් ආකර්ශනයත් කෙනෙකු උපදින විට බද්ධ වේ.

ග්‍රහ ශක්තිය ගැන නිරීක්ෂණය කිරීමේදී සුබ අසුබ සමසේ අනුවර්තනය වේ. සිදුවන එවන් දෑ කර්මයන්ට අනුකූල වුවත් දැඩි ආත්ම ශක්තියෙන් නොපසුබට වීර්යයෙන් ජීවිතය ජය ගත හැකිවේ. වෙනස් කර ගැනීමට හැකි බැව් පැහැදිලිය.

පාරිසරික රටාවට අනුව ජීවිත වෙනස්කම් සිදුවේ. එය වැළැක්විය නොහැකිය. එය පතිරූප දේශ වාසෝච යන්නෙන් මනාව පිළිබිඹු වේ. විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි බුද්ධියෙන් ජීවිතාලෝකය ලබා ගැනීමටත් සුමඟට පිවිසීමටත් හැකි වන්නේය. ඡ්‍යොතිෂ විද්‍යාව තම ජීවිතය ක්‍රමවත්ව මනා කළමනාකාරිත්වයෙන් යුතුව සකසා ගැනීමට අත්වැලක් කර ගත යුතුයි.

බුදුන් වහන්සේ දේශනා කළ පරිදි අන්‍යයන්ට මඟ පෙන්වීමට ප්‍රථම තමාට නිසි ක්‍රමවත් මඟක් සොයාගෙන ඒ මඟ ඔස්සේ ගමන් කළ යුතුවේ. තමාගේ විමුක්තිය තමාටම නතු කර ගැනීමට හැකි අමුද්‍රව්‍ය ඕනෑ තරම් ඡ්‍යොතිෂ විද්‍යාවේ අන්තර්ගත වී ඇත්තේය.

පාපී ග්‍රහ කිරණ තමාට එල්ල වන කාල පරාසය තුළදී යහපත් දිවි පැවැත්මකට යොමු වීම අනිවාර්ය වේ. සුබ ග්‍රහ කිරණ කාන්දුවන කාලය තුළදී වඩ වඩාත් මනා සිහියෙන් බුද්ධියෙන් යුතුව සත් ක්‍රියාවන්නි නියැලීමෙන් අනපේක්ෂිත අන්දමට තම ජීවිතය ඔප් නංවා ගත යුතුයි. පතලකින් ගන්නා ලද මැණිකක් කපා ඔප දමා ගත් විට දිලිසේ. ජීවිතය යනු මැණිකකි. එය කපා ඔප දැමිය යුතුයි. සුබ අශුභ හොඳ නරක අන්තර්ගත වී ඇති බැව් පසක් වන්නේ ඡ්‍යොතිෂය හැදෑරීමෙන්ය. එදා සිදුහත් කුමරු ගතට සිතට වදවේදනා දී පසුව යථාර්ථය මනාව තේරුම් ගෙන උසස්ම බුද්ධිතලයට හෙවත් බුද්ධත්වයට පැමිණි සේක.

මුළු විශ්වයම ජය ගන්නේ බුද්ධියෙනි. සිතේ ඇති මහා බල පරාක්‍රමයෙනි. පුහුදුන් මනුෂ්‍යයින් වන අපට ග්‍රහ තාරකා පද්ධතියෙන් කාන්දුවන ග්‍රහ කිරණ වලින් නිකුත්වන සුබ කිරණ මෙන්ම අශුභ කිරණවලට නතුවන අතර, අසුබ තත්වයක් ඇති වූ විටදී ඒවා මඟහරවා ගැනීම සඳහා ඍෂි භාෂිතය අනුව ප්‍රකාශිත යාගහෝම ග්‍රහ ශාන්ති කර්ම කිරීම අතිශයින්ම වැදගත් වේ. අපේ දේශීය ශාන්ති කර්ම ගැන විමසුම් ඇසින් බලන විටදී විශේෂයෙන්ම බලියාග කර්මයන්හි උපයෝගි කරගන්නා ලද ද්‍රව්‍යවල සුවිශේෂි ශක්තියන් ගැබ් වී තිබේ. නවකොළ අත්ත, හීරැස්ස පළු, කෙසෙල් පතුරු , ගොක්කොළ, බෙරහඬ , දුම්මලකීලය, හරහා අවට පැතිර පවතින. සිරුරට අහිතකර විෂබීජ හරණය වේ. ඒවා මනෝමූලාශි‍්‍රත වෙදකමකි. සිරුරේ ප්‍රතිශක්ති කරණයද ඇතිවේ.

මිනිස් මනස රෝගී බවට පත්වූ විට ශාන්තිකර්ම හරහා සුවකර ගැනීමට එදා පැරණි ගුප්ත විද්‍යාවේදීන් සමත් වූහ. සියලුම යන්ත්‍ර මන්ත්‍ර ශාන්ති කර්ම බලියාග කරන ලද්දේ ප්‍රබල නැකත් අනුවය. උඩුකුලය දේවියට පුත්රුවනක් ලබා ගැනීම් වස් සෙත් කවියක් ගායනා කිරීමෙන් ප්‍රතිඵල අත්කර ගත් බැව් ජනවහරකි. බරණ ගණිතාචාර්ය තෙමේ කියන ලද මගෙ කුකුලා නැසු එකා යන කවිය හරහා ප්‍රතිඵල ලැබුන බව ද එක්තරා ජනප්‍රවාදයකි.

චිත්ත හා ශබ්ද තරංග කම්පනය කොට මානසික විවිධ ව්‍යාධි දුරුකර ගැනීම බලශක්තියක් ගැබ් වී ඇත්තේය. සෙත්කවි ගායනය ද මෙයට හොඳම නිදසුනකි. පිරිත් හඬ හා බැඳුණු ස්වර නාද රටාවේ කම්පන රුපකයන් නිසා විවිධ මානසික පීඩා දුරුවී මනස සුවපත් වේ.

වාදන භාණ්ඩයකින් හා ගායනයන්ගෙන් ද මානසික සුවයක් නතුකර ගත හැකි බැව් ඔප්පු වී තිබේ. හෙළයේ මහා ගාන්ධර්වයා වූ පණ්ඩිත් අමරදේව ශූරීන්ගේ ගීත නාද රටාවට සවන් දීමෙන් මිනිස් මනස සංසුන් වී සුවපත් වේ. රවිශංකර් ශූරීන්ගේ සිතාර් වාදනයට සවන් දීමෙන් මනස සැහැල්ලු බවට පත් වන්නේය. සියයට 99ක්ම ඇත්තේ මානසික ව්‍යාධීන්ය. කායික රෝග ඇත්තේ සියයට එකකි. රුධිර පීඩනය, මේදය (කොලෙස්ට්‍රරෝල්), හදවත් රෝග, චර්මාබාධ (සමේ රෝග) හොරි. දද,වන, කුෂ්ඨ කඩුවේගම් වැනි ආබාධ සුවකර ගැනීමට බටහිර බෙහෙත් පෙති ගිලිනවාට වඩා අපේ දේශීය වන ඖෂධ මෙන්ම මනෝ වෛද්‍යාචාර්යවරුන්ගේ සහාය ලබා ගැනීම අතිශයෙන්ම පලදායි වේ. මිනිස් ජීවිත මෙන්ම ගස් වැල්වලද ජීවයක් ඇති නිසා සංවේදී වන බැව් පර්යේෂණ හරහා ඔප්පු වී ඇත්තේය. කිවසු උද්‍යානයේ සමහර පැළෑටි නම්‍යශීලි වන අතර එකී ශාකවලින් කිසියම් සියුම් හඬක් නිකුත්වන බැව් සොයා ගෙන තිබේ.

ශබ්ද තරංග මිනිස් මනස සුවපත් කිරීමට යොදා ගත හැකිය. රාගධාරි සංගීත නාද රටාවන් ඇසීමට සැලැස්වීමෙන් ගැබිනි මවගේ කුසයේ සිටින දරුවා ඒ හඬට මනාව සවන් යොමු කරන්නේ මාස 7 දින 22 ක් ඉක්ම වූ පසුවය. උසස් සංගීත නාද රටාව එක්තරා සමාධිගත මනෝමය භාවනාවකි.

බුදුන් වහන්සේ පවා සංගීතය ගැන අනුදැන වදාරා තිබේ. මේ සියලු කරුණු කාරණා අනුව සිතා බලන විට අපේ උත්රීතර ඡ්‍යොතිෂ විද්‍යාව පෝෂණය වී තිබේ. එය නොනැසී මානවයාට හිත සුව පිණිස ඉදිරියට පවත්වා ගෙන යෑමට අපේ උගත් අත්දැකීම් ඇති ඡ්‍යොතිෂ ව්දීන්ගේ පරම යුතුකමකි.

 

ප්‍රවීණ ඡ්‍යොතිෂ හා වාස්තු විද්‍යාවේදී දේශබන්ධු ටී. හෙන්රි බෙම්මුල්ල

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.