සාර්ථක විවාහය හා පොරොන්දම් බැලීම

සාර්ථක විවාහයකට පොරොන්දම් බැලීම සෑහේද?
ජනවාරි 8, 2021

නැත සැබවින්ම පොරොන්දම් බැලීම පමණක් සාර්ථක විවාහයකට හේතු නොවේ.

පොරොන්දම් සියට සියයක්ම ගැළපුණත්, පොරොන්දම් 20ම ගැළපුණත් විවාහ ජීවිත අසාර්ථක වී තිබේ. වෘෂභ ලග්න, වෘශ්චික ලග්න, මකර ලග්න, කුම්භ ලග්න බොහෝ අයට විවාහ අඩුව වශයෙන් දෙකකි.

සමහරුනට කීපයකි. ඒවාද අසාර්ථකය. සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන එකම මකර ලග්න කාරයෙක්වත් මට හමුවී නැත. කවුරු හෝ මකර ලග්න කාරයකු සිටී නම් ඇත්තෙන්ම ඔහුගේ හඳහන වැරදිය.

පොරොන්දම් 20 න් 17 ක්ම නැකත මත පදනම් වේ. නැකත පදනම් වන්නේ සඳුමත ය. සඳ යනු ප්‍රධාන ග්‍රහයකු නොවේ. සඳුට වඩා අපගේ ජීවිත හසුරුවන අපට බරපතල ලෙස බලපෑම් කරන ග්‍රහයන් වෙති. ශනි, ගුරු, සිකුරු ඉන් ප්‍රබලය. කුජ, රාහු, කේතු ද ඊට දෙවෙනි නොවේ.

රාහු 1, 2, 7, 8 සිටියදී විවාහය අවුල් නූන කෙනෙක් නැත. කුජ 1, 2, 7, 8, 12 සිටියදී විවාහ දිවිය අසාර්ථක නූන අය නැත. සිකුරු සඳු යහපත් සුබ ග්‍රහයින් වුවද, ඔවුන් ශනි, රාහු, කේතු, කුජ සමඟ එකතු වූ විට හොඳක් කරන්නේ කලාතුරකිනි. එනිසා පොරොන්දම්වලට වඩා හඳහනක ග්‍රහයින් පිහිටා ඇති ආකාරය වඩාත් ප්‍රබලව විවාහ දිවියට බලපායි.

රවි 1, 7 සිටින කාන්තාවගේ විවාහ දිවිය අවුල් වේ. අසාර්ථක වේ. ගුරු හොඳ සුබ ග්‍රහයෙකි. ගුරු 01 හෝ 07 සිටි විට හොඳ සැමියකු හෝ බිරිඳක ලැබුණත් ජීවිතයේ අග විවාහ දිවිය අසාර්ථක වේ. ආධ්‍යාත්මික පැත්තට බරවීමත් ලෞකික ජීවිතයෙන් ඈත් වීමත් නිසා විවාහයේ අනිත් අයට ජීවිතය කටුක වේ.

කුජ රාහු ශනි, වැනි ග්‍රහයින් තමන් සිටින ස්ථානයට අයත් දේ අනිවාර්යයෙන්ම කරනු ලබයි. එනිසා කුජ 01, 02, 07, 08, 12 සිටියදී පොරොන්දම් ගැළපුවාට වැඩක් නැත. කුජ දෝෂය භංගවන ආකාර තිබේ. කෙසේ වෙතත් කුජ කුජට අයත් දේ ජීවිතයේ කොයි මොහොතක හෝ අවස්ථාවක් ලැබුණ වහාම කරනු ලබයි. කුජ 12 නම් දික්කසාද නොවී සිටින්නේ කලාතුරකිනි. කුජ 12 අය ඉතා සූක්ෂම ලෙස වරදේ බැඳෙති. සොයා ගැනීම අල්ලා ගැනීම අපහසුය. ශනි 7 අයද සූක්ෂමව වරදේ බැඳෙන අතර අල්ලා ගැනීම නම් බොරුය. එසේම ශනි 8 නම් සමාජ රෝග වැළඳීමට ඇති ඉඩකඩ සියයට අනූනවයකි. ශනි හතේ සිටියදී ද අර්ශස් රෝග, ලිංගික රෝගවලට ඉඩකඩ වැඩිය. රාහු 2 නම් කට නිසා රැකියාවද, විවාහයද අවුල් කර ගනී. රාහු 8 නම් සියදිවි නසා ගැනීමට තැත් කිරීම ඇතිවිය හැකි ය. එහෙත් මැරෙන්නේ නැත. වසබීම, ළිඳේ පැනීම වැනි දේ ප්‍රසිද්ධවීම පමණකි. පිස්සු නොවැටුණත් අංගොඩ නොගියත් පිස්සු වැටෙන තරමට ජීවිතය පිස්සුවක් වේ.

කුªජ 8 නම් දරුණු මරණයකට ඉඩකඩ වැඩිය. රාහු 10 නම් එකම රැකියාව එක දිගට නොකරයි. ජීවිතය පුරා රැකියා ගණනාවක යෙදේ. රාහු හෝ කේතු 4 නම් තමන්ගේ දේපල අහිමි වීමට අන්සතු වීමට මෙන්ම තමන්ට අනුන්ගේ තැන්වල කුලියට බද්ධට සිදුවීම බොහෝ විට සිදුවේ.

මෙම කරුණු කීපය සඳහන් කළේ නරක අසුබ ග්‍රහයින් ඉන්නා තැන අනුවද, ඔවුන්ගේ දෘෂ්ටියට ලක්වීම අනුවද ජීවිතයේ බොහෝ දේ වෙනස් කෙරෙන, වෙනස්වෙන බව දැක්වීමට ය. කරුණු එසේ තිබියදී පොරොන්දම් කෙසේ ගැළපුනත් අසුබ ග්‍රහයින්ගේ පිහිටීම හා දෘෂ්ටිය මත විවාහ ජීවිතයේ අවුල් වීම් බිඳ වැටීමේ අනිවාර්යයෙන් සිදුවේ.

එනිසා පොරොන්දම් ගැළපීම දෙවැනි තැනට ද ග්‍රහ පිහිටීම පළමු තැනට ද ගෙන විවාහ ජීවිතයට මඟ පෙන්වා දීමට කටයුතු කිරීම මහා පින්කමක් ද වේ. මහත්පල මහානිශංස ලැබීමටද හේතු වේ. ලිපිය කියවූ කොයි කාටත් යහපතක්ම වේවා.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.