වෙලාවට විවාහය සිදු නොවන්නේ ඇයි?

දෙසැම්බර් 25, 2020

විවාහයක් ප්‍රමාද වීම දරු සම්පත් ප්‍රමාද වීම පසුගිය භවයක කළ අකුසලයක්. නමුත් මනුෂ්‍ය ආත්මවල ඉපදුන අයකුට පෙර අකුසල් අහෝසි කරගත හැකි බව බුදුදහමේ සඳහන් වනවා. ඔබත් පින් දහම් කරන්න. විවාහ ප්‍රමාදයි කියා විවාහ වූ ජෝඩුවලට ගරහන්න ඊර්ෂ්‍යා කරන්න නම් එපා. ප්‍රශ්න සැහැල්ලු වෙන් ඉතා ඉක්මනින් විසඳාගත හැකියි.

 

ඕනෑම දෙයක් සිදු වන කාලයට වෙලාවට සිදුනොවුණහොත් ඉන් සුබ පලම ලබන්න අමාරු වනවා. නමුත් එය ලැබිය යුතු යුත්තාටම ලැබිය යුතු වුවත් කාලය තීරණය කරන්න බැහැ.

ලෝකයේ ස්වභාව ධර්මානුකූල ඕනෑම දෙයක් ඒ කිව්වේ ඉපදීම, පැවැත්ම, අවසානය තීරණය කරන්නෙ දෙවියෝ . ඒ කිව්වේ ඔබේ, මගේ ගමේ භාෂාවෙන්. ඇත්තටම වන්නෙ විශ්ව බලය මගින්. මේ ලෝකයේ ස්වභාව ධර්මානුකූලව සිදු වන දේවල් කොහොමද සිදු වන්නෙ කවුද කරන්නෙ කියල තරමක අවබෝධයක් ඇති කර ගත්තොත් කාටත් හොඳයි. මේ ප්‍රශ්නය එක එක් අන්දමට එක එක භාෂාවෙන් පැහැදිලි කරනවා. ඒ වුණාට ඒ ගැන දක්ෂම වඩා උචිත මාර්ගය ඡ්‍යොතිෂයි. නිවැරදි ඡ්‍යොතිෂය කිව්වේ තෙවැනි ඇසින්. ග්‍රහ කිරණ විශ්ලේෂණයක් කරල අනාගතයේදි සිදු වන දේ කියන එකයි. ඡ්‍යොතිෂය හරියට බුදු දහම වගේ. බුදුදහම කිව්වේ හේතුඵල න්‍යායක්. ඒ ධර්මයේ වගකීම්, තහනම් කිරීම්, පාපෝච්චාරණය බලකිරීම් නැහැ. මාර්ගය පෙන්නුම් කරනවා. ඡ්‍යොතිෂයත් එහෙමයි. ඡ්‍යොතිෂය කිව්වේ අත බලාගෙන ශාස්ත්‍ර කීමක් නොවේ. ඒ වගේම. අංජනමක් බලාගෙන ඉදිරිය, අතීතය කීමක්ද නොවේ. ඒවා වැරදි කියල වත් නිවැරදියි කියලවත් මම කියන්නෙ නැහැ. ඒක ඔබේ තීරණය. ඡ්‍යොතිෂය කිව්වේ කිසියම් හෝ උගත් ශාස්ත්‍රයක්. මේ ශාස්ත්‍රය ඉගෙනගත් ඕනෑම කෙනකුට පිහිටනව නම් මින් පල නෙළා ගන්න පුළුවන්. ඔලුව කරකවන්න ඕනෑ නැහැ. පාරම්පරික ගුරුවරයකු යටතේ ඉගෙන ගත්තා නම් වඩා ප්‍රතිඵල ලැබෙන්නත් පුළුවන්. ඕනෑම සත්වයකු මෙලොව ඉපදුණා නම් ඔහුගෙන් හෝ ඇයගෙන් මේ ලෝකයට ඉටු විය යුතු යුතුකම් හා වගකීම් රාශියක් තිබෙනවා.

විවාහය කිව්වේ ඉටු විය යුතු වැදගත් කාර්යයන් ගෙන් එකක්. ලොවක් ඇති වුණා නම් එහි පැවැත්මක් ද තිබිය යුතුයි. මනුෂ්‍ය ආත්මයකට පැවැත්ම විවාහය එය සිදුනොවුව හොත් එක්තරා අන්දමින් වගකීම් පැහැර හැරීමක්ද වනවා. විශේෂයෙන් යහපත් විවාහයක් කරන්නෙ යහපත් දරුවො ලබන්නෙ පෙර කළ කුසල් අකුසල්වලට සාපේක්ෂව. තවත් පැත්තකින් කිව්වොත් කෙනෙක් ඇතිවන්නෙත්, නැති වන්නෙත්, මේ විවාහය නිසා කියල කියන්නත් පුළුවන්. ඒකයි කිව්වේ සියලුම දේවල් බුද්ධිමතාටයි කියලා. ජීවිතයේ දියුණුව කරා යන්ට එක එක අවශ්‍ය දේවල් තිබෙනවා. හොඳට යහපත්ව ජීවත්වන්ට ධනය ඕනෑ කරනවා. එහෙනම් අපේ ජන්ම පත්‍රයේ ධනස්ථානය දෙවන රාශිය අයස්ථානය 11 වැනි රාශිය යහපත් වන්න ඕනෑ. සමහර ඡ්‍යොතිර්වේදීන් මොන මොන අදහස් කිව්වත් මූලික හරය මෙයයි. අධ්‍යාපනය ගැන බලන්න ඕන නම් මූලික අධ්‍යාපනය 5 වන රාශියෙනුත්, උසස් අධ්‍යාපනය 11 වැනි රාශියෙනුත් බැලිය යුතුයි. ඒ රාශිවල ගෝචරය වන ග්‍රහයෝ ගැනත්, රාශි අධිපතින් ගැනත් අවබෝධයක් තිබිය යුතුයි. මැරෙන්නෙ කොහෙද, කොතැනද. එනම් ධර්ම ස්ථානය, කර්ම ස්ථානය පරීක්ෂා කරන්න ඕනෑ. ගේ දොර ඉඩකඩම් හදා දීලා දරුවො හදලා තමුන් අනුන්ගේ තැන හෝ මහලු මඩම්වල මැරෙන අය බොහෝයි. හදිසි මරණද එහෙනම් 8 වැනි රාශිය හා අඟහරුවා පරීක්ෂා කළ යුතුයි. මේවා හරියට පරීක්ෂා නොකර බොරු කියල මහජනයා මුළා කරන අය කොච්චර ඉන්නවද?

අපි දැන් විවාහය ගැන කරුණු ටිකක් පරීක්ෂා කරමුද? මතකද මම කිව්වා ඡ්‍යොතිෂය හරියන්නෙ බුද්ධිමතාටයි කියලා. දෙවැනි රාශියත් හොඳ රාශියක් 7 වැන්නත් හොඳ රාශියක්. නමුත් දෙකම එකට ගත්තොත් මාරකයක්. හැබැයි මෙහෙම කිව්වට කලබලවන්ට එපා. රාශියේ අධිපතියන්, ගෝචර ග්‍රහයෝ ගැනත් බලන්න ඕනෑ. විවාහය ගැන කතාකරන කොට මූලිකව කිව්වොත් 7 වැනි රාශියේ හෝ රාශියේ සෙනසුරාට කුමන හෝ බලපෑමක් තිබුණොත් කලට වේලාවට විවාහය සිදු වන්නෙ නැහැ. හැබැයි විවාහයක් නොකර හරියන්නෙත් නැහැ. අපිට අවශ්‍ය වෙලාව පසුකරල විවාහය කරල දෙනවා. වැඩිපුරම ගැහැනු ළමයකුගේ වයසට ටිකක් වයස අඩු පිරිමි ළමයෙක් හෝ වයස පරතරය ටිකක් වැඩි වූ විවාහයක් කරදෙනවා. ඒ විවාහය හා සෙනසුරා අතර සම්බන්ධය ගැන කිව්වේ. අප අතරේ තිබෙන හිසරදයක් තමයි විවාහය ප්‍රමාද වීම. මේ අවස්ථාව එළඹුනාම ඒ දැරිවියට වගේම ඇගේ මවුට ප්‍රශ්න ගොඩක් ඇතිවනවා. ඊට බාල සහෝදරියක් හෝ සහෝදරියො ඉන්නව නම් හිසරදය දෙගුණ තෙගුණ වනවා. ඒ අය මානසිකව වැටෙනවා. එනිසාමයි මේ ප්‍රමාද විවාහ ගැන. ‘සුබසෙත’ ට ලියන්න හිතුණේ. ඒ ප්‍රශ්නයට කරන්න ඕන දේත් ලියන්නම්.

ප්‍රමාද විවාහ ගැන එක එක පොත්පත් වල එක එක අය වෙනස් වෙනස් කරුණු ඉදිරිපත් කරනවා. ඒවා පොදු න්‍යායයන්. වෙනස් වන ග්‍රහයෝ ඉන්න ඔබේ කේන්දරයේ ඒ පොදු න්‍යායයන් ආදේශ කරාට නිවැරදි නැහැ. එසේ කරල නැවත තැවෙන්න එපා. අඩුම තරමින් කේන්දර දෙකකට වත් එක විදියේ පලාඵල කියන්න බැහැ. නිඹුල්ලුන්ට එක විධියේ ප්‍රතිඵල ලැබෙනව කිව්වට ඉතාම සුළු වශයෙන් තමයි ඒක සිදු වන්නේ. මොකද මේවා පින් පව් මත සිදු වන ඒවා. කෙනෙක්ගේ පව් පින් තව කෙනෙක් ගෙනියන්නෙ නැහැ. කවදා හරි කුසලයක් කරල එක කුසයේ පිළිසිඳගත්තත්, හැම දෙයම එකම විදියට වන්නෙ නැහැ. “බුදු දහමේ මනෝපුබ්බං ගමා ධම්මා” කියල කිව්වේ ඒකයි.

විවාහයක් සිදු වන විවාහයක් සිදු කරන ඡ්‍යොතිශමය අතින් මූලිකව කරුණු පහක් බලපානවා. ඒ කිව්වේ මූලිකව හා ඡ්‍යොතිෂමය අතින්. එනම් ලග්නයේ තත්ත්වය හා ගෝචර ග්‍රහයාගේ තත්ත්වය, විවාහක ස්ථානය හා එහි ගෝචර ග්‍රහයාගේ තත්ත්වය හා සිකුරුගේ තත්වය. ඔන්න ඔය කරුණු නිරාකරණය වූ දිනට බොහෝවිට විවාහය සිදුවනවා. ඒ වගේම පොරොන්දම්වල ලිංග,යෝනි, වෘක්ෂ පොරොන්දම් ගැනත් සැලකිලි මත්වෙන්න ඕනෑ. අනිත් කරුණ තමයි කලුකුමාර දෝෂය. ඒක නම් භෞතික ප්‍රශ්නයක්. ග්‍රහ පිහිටීම හැර විවාහක දෝශයක් නම් යන්ත්‍රවලින් ප්‍රශ්න නිරාකරණය වනවා තමයි. ඒත් විවාහයට සුදුසු කාලය ටිකක් බලන්න. යන්ත්‍රය පලඳලා ආගමානුකූල පින් කළාමත් කලින් කිව් ගාථාව වගේ දෝෂය මඟහැරෙනවා තමයි.

අනික තමයි කොයි පළාතෙන්ද කොහොමද කියලත් ප්‍රශ්න අහනවා. ඒක දැනගන්න ඕන නම් 12 වැනි රාශිය අධිපතියා ගෝචර ඉන්න තැනට රාශි කීයක් පසුකරනවද බලලා ඒ වගේ තව එකක් ඉදිරියට තබන්න. අන්න ඒ රාශිය ඇති පළාතත් සමඟ. පිය පාර්ශ්වයේ හෝ මව් පාර්ශ්වය සම්බන්ධයක් ඇති හෝ නැති සම්බන්ධයක් උඩ සහකාරිය හෝ සහකරුවා ලැබේවි. කොයි පළාතෙන් වුණාම මොකද හොඳ කෙනෙක් නම් විවාහය ප්‍රමාද වන්නෙ ඔබේම පෙර භවයක පාප කර්මයක් නිසා. මේ භවයෙදි ඒ පාප කර්මය නැතිකර ගත්තාම විවාහය හරියනවා. ඒකට කරන්න ඕන එක පිළිවෙතක් තමයි පුර තිථිය පවතින දිනයක පන්සල් හෝ පල්ලි ගොස් පුද පූජා කර හිත සැහැල්ලු කර ගන්න. පන්සලේ නම් බෝධිය ළඟට ගොස් බෝධීන් වහන්සේට උචිත අන්දමේ කටයුතු කරන්න. ඒ කිව්වේ බෝධිය පිරිසුදු කිරීම ආදියයි. ඉන්පසු සූදානම් කර ගෙන ගිය සුවඳ කුඩු පැන් කළයට දමන්න. තුන්පට කපු නූලක එක් කොනක් මේ කළය තුළට හා අනිත් කොන බෝධි අංකුරයක ගැට ගසන්න. දැන් ඔබ බෝධිය ඊසාන දිශාවට සිටින සේ වාඩිවීමට ප්‍රථම එක මලක්, එක හඳුන්කූරක්, එක පහනක් දල්වන්න. එක සිතිවිල්ලකින් වාඩි වී එම සිතිවිල්ල සිදු වේවා ඉෂ්ට වේවා කියා භාවනා කරන්න. භාවනාව තුළ ඔබේ අරමුණ යටිහිතට ඇතුළු කරන්න. මෙසේ කළාම ඉතාම ඉක්මනින් ඔබේ ප්‍රාර්ථනාව හරියාවි. දැන් භෞතිකව පත්තිනි මෑණියන්ට, කතරගම දෙවියන්ට භාර හාර වන්න. තහනම් මස් , මාළු, කරවල ආහාරයට ගන්න එපා. කිසිවක් ගිජු ලෙස ආහාරයට ගන්න එපා. හැකිනම් මාතාංගේෂ්වරී යන්ත්‍රය පලඳාගන්න. බෝධි වන්දනා වෙද පිරිසුදු සුදු වස්ත්‍ර පාවිච්චි කරන්න. මේ කාලසීමාවේදී හැම දෙනා සමඟ හිනාව පවත්වාගෙන යන්න. අහිංසක සතුන්ට කෑම ටිකක් දෙන්න. යම් හෙයකින් සෙනසුරුගේ ප්‍රශ්නයක් නම් පිළියම් මීට වෙනස්. විවාහයට අඟහරුවා විශේෂයි. ඒ අතරම දක්ෂ ඡ්‍යොතිර්වේදි මහතෙකුට කියා ජන්ම පත්‍රය පරීක්ෂා කර ගන්න. විශේෂයෙන් විවාහය ගැන අඟහරුවා ඔබේ ජන්ම පත්‍රයේ 7 වැනි රාශියේ හෝ 8 වැනි රාශියේ නම් ගෝචරය අයහපත් නම් ඒක ඔබේ විවාහයට බාධාවක්. ඒ කිව්වේ විවාහයේ ප්‍රශ්නයක් නොවුණත් ලැබෙන කෙනා ප්‍රශ්න පත්‍රයක් නම් එවැනි විවාහ කරනවට වඩා නොකර ඉන්න එක හොඳයි. ඒ වගේම ලැබෙන සහකාරයගේ ජන්ම පත්‍රයද පරීක්ෂා කළොත් තමයි හොඳ. මොකද බොහෝ දෙනා පොරොන්දම් පරීක්ෂාවෙන් පසුව විවාහය තීන්දු කරනවා. ඒක නිවැරදි නැහැ. ඔබට ඔබේ පතන සහකරුව හෝ සහකාරියගේ ජන්ම පත්‍රය පරීක්ෂා කරන්න. 9 හා 10 රාශිවල සෙනසුරු – රාහුගේ ගෝචරය බොහෝ දුරට මත් වතුරවලට කෑදරයි. කේන්දරයක රාහු ලග්නෙන් කේතු 7 වැන්නෙන් ගෝචරය නීච නම් අපට ඒ කේන්දරය ගැන දෙවරක් හිතන්න වේවි. එනිසා විවාහ වීමට පෙර ස්ථිර වචනයක් දීමට පෙර මේ ජන්ම පත්‍ර දෙක පරීක්ෂා කළොත් හොඳයි.

දැන් විවාහයක් ප්‍රමාද වීම ගැන බොහෝ කරුණු වැටහිලා ඇති. විවාහයක් ප්‍රමාද වීම දරු සම්පත් ප්‍රමාද වීම පසුගිය භවයක කළ අකුසලයක්. නමුත් මනුෂ්‍ය ආත්මවල ඉපදුන අයකුට පෙර අකුසල් අහෝසි කරගත හැකි බව බුදුදහමේ සඳහන් වනවා. ඔබත් පින් දහම් කරන්න. විවාහ ප්‍රමාදයි කියා විවාහ වූ ජෝඩුවලට ගරහන්න ඊර්ෂ්‍යා කරන්න නම් එපා. ප්‍රශ්න සැහැල්ලු වෙන් ඉතා ඉක්මනින් විසඳාගත හැකියි. ඔබ අවිවාහක නම් විවාහය බලාපොරොත්තු වනවා නම් ඉක්මනින්ම ඔබට සහකාරියක් හෝ සහකරුවෙකු ලැබේවි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.