හඳහනෙන් කියවෙන ඔබේ රැකියාව

නොවැම්බර් 27, 2020

වර්තමාන ජන සමාජය තුළ තමාට ගැළපෙන රැකියාවක් නොමැති කම නිසා අසහනයට පත්ව සිටින පිරිස අති මහත්ය. රැකියාව, නැතහොත් ජීවන වෘත්තිය අප සැමට අතිශයින් වැදගත් වන්නේය. කෙනෙකුගේ ජීවිත පැවැත්ම සඳහා රැකියාව වනාහී අත්‍යවශ්‍ය වූ අංගයක් වන්නේය.

ඕනෑම පුද්ගලයෙකු සිය දෛනික ජීවිතය පවත්වා ගැනීම උදෙසා වැඩිවිය පැමිණි කල කිසියම් වූ වෘත්තියක නිරත වන්නේය. ඒ තුළින් යම් මුදලක් උපයා ගත හැකි වනු ඇත. යම් පුද්ගලයෙකුට උසස් හෝ තමාට ගැලපෙන රැකියාවක් හිමීවීම කෙරෙහි පුද්ගලයාගේ ජයග්‍රාහි වේලාව බලපානු ඇත. කෙනෙකුගේ ඉදිරි ජීවන වෘත්තිය පිළිබඳව අපට කල් තියා දැනගත හැකි ලොව ඇති එකම සජීවි මාධ්‍ය වන්නේ ඡ්‍යොතිෂයයි. එසේම ඉතාමත්ම පැහැදිලිව හා නිවැරදිව කෙනෙකුගේ වෘත්තීය මට්ටම නැතහොත් රැකියාව ගැන අපට ඡ්‍යොතිෂයෙන් පැවසිය හැකියි.

එසේනම් අද අපි කථා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ ජීවිතයට ඉතාමත් ම වැදගත් මාතෘකාවක් වන වෘත්තීය මට්ටම නැතහොත් රැකියාව ගැනයි. යම් පුද්ගලයෙකුගේ ජීවන රැකියාව පිළිබඳ අපට ජන්ම පත්‍රයක 10 වැන්න හෙවත් කර්මස්ථානයෙන් මේ පිළිබඳව වැඩි යමක් උකහා ගත හැකිය. මීට අමතරව 10 වැන්නාධිපති, ලග්නය, ලග්නාධිපති, එමෙන්ම 9 වැන්න හා 9 අධිපති හා 4/11 භාවයන්ද අප සැලකිල්ලට ගත යුතුය. 10 වැන්න හා 10 අධිපති ග්‍රහයා මෙහිදී මූලික වනු ඇත.

අධ්‍යාපනයෙන් පසුව සෑම ජන්මියෙකුගේම පරමාර්ථය වන්නේ ඉදිරි පැවැත්ම උදෙසා රැකියාවක් හෝ ව්‍යාපාරයක් කිරීමයි. එය සෑම කෙනෙකුගේම ප්‍රමුඛ බලාපොරොත්තුවයි. රාජ්‍ය, පෞද්ගලික, ව්‍යාපාරික, ස්වයං රැකියා ආදී වශයෙන් රැකියා විවිධත්වයකින් යුතු වෙනවා. පුද්ගලයෙකු උපතේ සිට යෞවනයට පත් වන තුරු බොහෝ විට ජීවත් වෙන්නේ යැපෙන්නෙකු වශයෙන්. ඇත්තටම ඔහු හෝ ඇය එම කාලය ගත කරන්නේ දෙමාපිය හෝ වැඩිහිටියන්ගේ සෙවණේ. ඉතින් මෙම යෞවනයේ සිට තමයි ඔහු හෝ ඇය නිදහසේ කලඑලි බහින්නට සැරසෙන්නේ. අන්න ඒ යෞවනයේ සිට ඇරඹි නිදහස් කාලපරිච්චේදයේ ආරම්භයත් සමඟ ඔහු හෝ ඇයට රැකියාවක අවශ්‍යතාවය දැනෙනවා. තම අරමුණු සඳහා තනිවම යාමට උත්සහ දරන සමයේදි රැකියාවක් සඳහා යොමුවීමට සිතුවිලි මනසට පහළ වෙනවා. මෙන්ම මේ සිතුවිලි පුද්ගලයාගෙන් පුද්ගලයාට විවිධත්වයක් ගන්නවා. කෙනෙක් පටන් ගැන්මේ සිටම ඉහළ පෙළේ රැකියාවක් බලාපොරොත්තු වෙනවා. තවත් කෙනෙක් සාමාන්‍ය රැකියාවකින් සෑහීමට පත් වෙනවා. ඒ වගේම කෙනෙකු රැකියාවට යොමු නොවීමේ තත්ත්වයකුත් තිබෙනවා. ඉතින් අප මෙහිදී තේරුම්ගත යුතු සත්‍ය තමයි තමන් පූර්ව ආත්මයේ කළ පිං හා පව් මත පුද්ගලයා උපදින විටම කර්මානුරූපව තමන්ට උරුම රැකියාවක්ද හිමිකරගෙන එන බවයි.

එදා රාජ සභාවේ රජතුමාට උපදෙස් දෙන්න ඡ්‍යොතිෂවේදියෙක් හිටියා. ඔහු ඉතාමත් වැදගත් හා ප්‍රධාන පුද්ගලයෙක් වුණා. ඉතින් මේ ඡ්‍යොතිෂවේදියා තමා එදා ඒ ඒ අංශයන්ට දක්ෂයන් තෝරා ඒ ඒ අංශ වෙත යොමු කරවන්නට රජතුමාට උපදෙස් දුන්නේ. ඔහු ඒ දෙය කළේ පුද්ගලයන්ගේ ජන්ම පත්‍ර උපයෝගී කරගෙනයි. ඔහුට ඒ තුළින් හැකියාව ලැබුණා. නියමිත කාර්යයට නියම සුදුස්සා යොමු කරවන්න. ඉතින් අපට එයින්ම පැහැදිලි වෙනවා මේ හඳහනේ වැදගත් කම කෙනෙකු උපදින විට කර්මානුරූපව පූර්ව ආත්මයේ කළ පිං පව් මත තමන්ට උරුම රැකියාවක් හිමිකරගෙන එනවා. ඉතින් ඒ අනුව තමා කෙනෙකුගේ රැකියාවේ මට්ටම තීරණය වෙන්නේ. මෙය කෙනෙකුගේ ජන්ම පත්‍රය තුළින් ඡ්‍යොතිෂවේදියාට පැහැදිලි කර ගත හැකියි.

කෙනෙකු ඉහත ආත්මයේ කළ කී දෙය මත තමා මේ ආත්මයේ ඔහුගේ ජීවන තත්ත්වය තීරණය වෙන්නේ. මේ සියල්ලම කර්මානුරූපව සිදුවන දේවල්. ඇත්තටම මේක රැකියාවට පමණක් නොවෙයි ජීවිතයේ සියලු දේට බලපානවා. මෙන්න මේක තමා හඳහන කියන ග්‍රහ සිතියම තුළින් අපි විග්‍රහ කර බලන්නේ. අතීතයේ විසූ අතිශය උගත් හා බුද්ධිමත් ඒ වගේම මනස දියුණු කළ දුරදක්නා නුවණින් යුතු පුරාණාචාර්යවරුන් නැතිනම් ඉසිවරු විසින් යම් රීතියකට අනුව අපේ මේ විශ්වය රාශි 12 කට බෙදා වෙන්කරමින් අහස් සිතියම නිර්මාණය කළා. පෘථග්ජන අපට නම් මේ ක්‍රියාවලිය හිතාගන්න පවා අපහසුයි තමා. අන්න ඒ අහස් සිතියමට අනුව යම් ජන්මියෙකුගේ උපත සිදුවූ වේලාවට අනුව සකසන ජන්ම පත්‍රය අනුව තමා රැකියාව තීරණය වෙන්නේ. මෙන්න මේ කොටු 12 අතරින් 10 වැන්න තමා අප මේ සඳහා යොදා ගන්නේ.යම් පුද්ගලයෙකු මෙලොව උපදින විට අහස් සිතියමේ පෑයූ ග්‍රහ තාරකාවන්ගේ බලපෑම ඔහුට අනිවාර්යෙන්ම ලැබෙනවා. ඉතින් මේ නැගෙනහිර සිතිජයේ උදා වූ ග්‍රහ බලයේ බලපෑම මත සකසන හඳහන මත තමයි පුද්ගලයාගේ අනාගත රැකියාව කුමක්ද යන්න පිළිබදව අපට නිවැරදි සංඥාාවක් ලබා ගත හැකි වෙන්නේ.

රැකියාව පිළිබඳ අප විමසා බැලීමේදී ද විශේෂයෙන් ඔබගේ ජන්ම කේන්ද්‍රය මෙන්ම නවාංශක කේන්ද්‍රය පිළිබඳවද අවධානය යොමු කළ යුතුය. විශේෂයෙන් ඔබේ හඳහන දෙස විමසිලිමත්ව බැලීමේදී ඔබට කුඩා කොටු 12 කින් යුත් කොටු 2ක් දක්නට ලැබෙනු ඇත. ඒ අපගේ ජන්ම පත්‍රයේ රාශි 12 කින් යුත් කොටු 2ක් තිබෙන නිසාය. එය ලග්න කේන්දරය හා නවාංශක කේන්දරය ලෙසින් අප හඳුන්වන්නේය. නමුත් අප සමාජයේ බොහෝ විට පලාපල කථනයේදී හා කෙනෙකුගේ ජීවන වෘත්තිය පිළිබද විමසා බැලීමේදී ඇතැම් ඡ්‍යොතිෂවේදීන් නවාංශකය පිළිබද දක්වන අවධානය ඉතාම අඩුය. ජන්ම පත්‍ර හිමියාද ඒ සඳහා එතරම් අවධානයක් නොදක්වයි. නමුත් ලග්නභාවය සේම නවාංශකයද ඉතාම වැදගත්ය. ලග්නයෙන් 50% කොටසක් නවාංශකය තුළ ගැබ්ව ඇත. එසේ නම් අප රැකියාව පිළිබඳ අවධානය යොමු කිරීමේදී ද මෙම ලග්නය සේම නවාංශකය පිළිබඳවද අවධානය යොමු කළ යුතුය.

රැකියාව ගැන විමසීමේදී කොටු 12 කින් යුත් ඔබේ ජන්ම පත්‍රයේ 10 වන භාවය එසේත් නැත්නම් 10 වන කොටුව පිළිබදව තමා මූලික අවධානය යොමු කළ යුතු වන්නේ. එම ස්ථානය රැකියා ස්ථානය හෙවත් කර්මස්ථනය ලෙස අප හඳුන්වනවා. ඒ වගේම 10 වැන්නේ සිටින ග්‍රහයන්, ග්‍රහ සංයෝග, ග්‍රහ දුෂ්ටි ඒවගේම 10 වැන්නාධිපතිගේ තත්වය හා එම ග්‍රහයා සිටින භාවය හා එයට යොමු වන ග්‍රහ දුෂ්ටි පිළිබදව අප අවධානය යොමු කළ යුතුයි. එය සියුම්ව නිරීක්ෂණය කිරීම තුළින් ඔබට ලැබෙන රැකියාව පිළිබදව ඉතාම නිවැරදි නිගමනයකට එළඹීමට දක්ෂ ඡ්‍යොතිෂවේදියාට හැකියාව තිබෙනවා.

මීට අමතරව අවධානය යොමු කළ යුතු තවත් කරුණු ලග්නභාවය හා ලග්නාධිපතිගේ තත්වය 5 හා 9 වන රාශි ඒ වගේම රැකියා කාරක රවි ගේ තත්වය හා ඉහත දැක්වූ භාවයන් වලට යොමු වන ග්‍රහ දෘෂ්ටි හා ග්‍රහ සංයෝග කෙරෙහිද අප අවධානය යොමු කළ යුතු වෙනවා. ඒ වගේම 2 හා 11 වැන්නේත් යම් බලයක් තිබිය යුතුයි. කේන්ද්‍රයේ 2 වැන්න කියන්නේ පුද්ගලයාගේ ධනස්ථානය. 11 වැන්න කියන්නේ අයස්ථානය. ලග්නාධිපති හා ලග්නභාවයේ ශක්තිමත් භාවය රැකියා තත්වයන් කෙරෙහි ඉතාමත්ම වැදගත් වෙනවා.ඉහත කාරණය තව දුරටත් පැහැදිලි කළොත් ලග්නාධිපතිගේ ශක්තිමත් භාවය කියන්නේ ලග්නාධිපති නීච, සතුරු, දුබල මෙන්ම පාප දෘෂ්ටි නොවී බලවත්ව සිටීම හා ලග්නභාවයේ පාප ග්‍රහයන්ගෙන් පාප පීඩිත නොවීම යන කාරණයි. ඇත්තටම රැකියාව කියන්නේ අපේ ජීවන වෘත්තිය. කෙනෙකුගේ ජීවන වෘත්තිය තීරණය වෙන්න මම ඉහත කියපූ 10 වැන්න නැතිනම් රැකියා ස්ථානය හෙවත් කර්මස්ථනය පමණක්ම බලවත් වෙලා මදී. ඉහත දැක්වූ ආකාරයට හඳහනේ 5 හා 9 යන භාවයන් වලින් කියන්නේ කෙනෙකුගේ අධ්‍යාපන මට්ටම හා උසස් අධ්‍යාපනය. ඒ වගේම පෙර පින ඉතින් යම් කිසි කෙනෙකුට හොඳ උසස් රැකියාවක් ලැබෙන්න නම් ඔහුට හෝ ඇයට හොඳ අධ්‍යාපන මට්ටමක් හා පෙර පිනක් තිබිය යුතු වෙනවා. මෙන්න මේ තත්ත්වය අපට පැහැදිලි කර ගත හැකි වන්නේ මම ඉහත කියපු 5 හා 9 යන භාවයන් වල ඇති බලවත් තත්වයන් මත. ඉතින් එම භාවයන් හා භාවාධිපති ග්‍රහයන් සුබ නම් ඉදිරි රැකියාව පිළිබඳ අපට සුබවාදී බලාපොරොත්තු ඇති කර ගත හැකියි. එම භාවයන් වල ගුරු, සිකුරු, බුධ වැනි ග්‍රහයන් සුබව සිටින කල ඉතාමත් සුබ දායක වෙනවා. පාප ග්‍රහයන් අසුබව සිටින කල අසුබවාදී ප්‍රතිඵල උදා වෙනවා.

යම් පුද්ගලයෙකුට හොඳ රැකියාවක් ලබා ගන්න නම් යහපත් ශරීර සෞඛ්‍යයක්, ධනය රඳවා තබා ගැනීමේ හැකියාවක් වගේම හොඳ අධ්‍යාපනයක් හා බුද්ධිමත් බවක් තිබිය යුතු වෙනවා. ඉහත කාරණා තුළින් මා පැහැදිලි කළේ එම කාරණාවයි. ග්‍රහයින් 12 දෙනා අතරින් ග්‍රහයින් 9යි අපට ජ්‍යෝතිෂයේදී ප්‍රධාන වෙන්නේ. ඒ අතරින් රාහු, කේතු, ඡායා ග්‍රහයින් නිසා ඉතිරි ග්‍රහයින් 7 දෙනාට එක් එක් ප්‍රධාන විෂයන් සඳහා කාරක අයිතීන් හිමිව තිබෙනවා. එහිදී රවි ග්‍රහයා රැකියා කාරක ග්‍රහයා ලෙස හඳුන්වනවා. ඒ වාගේම සිකුරු විවාහ කාරක මෙන්ම ගුරු පුත්‍ර කාරක ලෙස හැඳින්වෙයි. ගුරු හෙවත් බ්‍රහස්පති සුබ පිහිටීම මෙන්ම ගුරුගේ දෘෂ්ටිය උසස් ඉහළ රැකියාවක් ලබා ගැනීම සඳහා බෙහෙවින් වැදගත් වෙනවා. ආලෝක ග්‍රහයින් වන රවි සඳුගේ බලපෑම රැකියාව සඳහා ඉතාමත් අවශ්‍යයි. රැකියාව යන කාරනයේදී රවි සඳු විශේෂ කාර්්‍ය භාර්යයක් ඉටු කරයි.

නවාංශක කේන්ද්‍රය රැකියාව සොයා බැලීම සඳහා යොදාගත යුතු අනිවාර්යනේම නවාංශක කේන්ද්‍රයේ 10 වැන්න හා 10 වැන්න අධිපති මෙන්ම රවිගේ පිහිටීම කෙරෙහිද අවධානය යොමු කළ යුතුය.මීට අමතරව ලග්නයෙන් 10 වැන්නාධිපති උත්පත්තියේදී ගමන් ගත් නැකත, රවි ගමන් ගත් නැකත, යන කාරනා මෙන්ම කේන්ද්‍රයේ 22 වන දෙර්කාණාධිපති හා 64 වන නවාංශකාධිපති පිළිබදවත් අප අවධානය යොමු කළ යුතු වෙනවා.

කේන්ද්‍රයේ 10 වන භාවයේ හෝ 10 වැන්නාධිපති 22 වන දෙර්කාණාධිපති හා 64 වන නවාංශකාධිපති වීම රැකියාවට බලපාන්නේ මෙහෙමයි හඳහනක 22 වන දෙර්කාණාධිපති හා 64 වන නවාංශකාධිපති කියන්නේ එම කේන්ද්‍රයට අසුබම ග්‍රහයා වෙනවා. ඉතින් ඒ අසුබ ග්‍රහයා මේ රැකියා ස්ථාන තුළට සම්බන්ධ වීම මත රැකියාව පිළිබඳ යම් යම් ප්‍රශ්න හා ගැටලු උදා වීමේ අවධානමක් තිබෙනවා තමයි. ලග්න අනුවත් රැකියාවේ වෙනස්කම් ඇතිවෙනවා. එක් එක් ලග්න අනුව රැකියාවේ විවිධත්වයන් අපට හඳුනා ගත හැකි වෙනවා.

රැකියාව සඳහා ග්‍රහයන්ගේ බලවත් වීම ගුරු වෘත්තිය සඳහා ගුරු හා බුධගේ බලපෑම ප්‍රමුඛ වන අතර ගණිත හා ඉංජිනේරු වෘත්ති සඳහා කුජ ග්‍රහයාගේ හා බුධගේ බලයද එක් විය යුතුය. විනිසුරු හෝ නීතීඥ තනතුරු සඳහා නම් බුධ හා ගුරු යන ග්‍රහයන් දෙදෙනාම බලවත් වී 10 වැන්නට එම ග්‍රහයන්ගේ දෘෂ්ඨී විය යුතුය. රවි / බුධ / කුජ හා සෙනසුරු ග්‍රහයන්ගේ දායකත්වයෙන් වෛද්‍ය වෘත්තියට යොමු විය හැකිය. රාජ්‍ය අංශයේ ඉහල වෘත්තීන් සඳහා රවිගේ බලපෑම අත්‍යාවශ්‍ය වෙයි.

විදේශීය රැකියා කෙරෙහි ග්‍රහ බලපෑම හඳහනේ 10 වැන්න චර රාශියකට යෙදී තිබීමත් රාහු හෝ සඳු චර රාශි ගතව සිටීමත් රාහු බලවත්ව 11 වැන්නේත් ගුරු වැනි ග්‍රහයන් 12 වැන්නේ සිටීමත් විදෙස් රැකියා සඳහා සුභදායක පිහිටීම් වෙයි.

හඳහනක පුද්ගලයෙකුගේ රැකියාව පිළිබද නිවැරදිව විවරණයක් කිරීමට සමස්ථ කේන්ද්‍රයේම ග්‍රහ ශක්තිය පදනම් කර ගත යුතුයි. එවිට නිවැරදිවම සාර්ථක තීරණයක් ගත හැකියි.

රැකියාවක් හිමි නොවීමට හෝ තමාට ගැලපෙන තමන් ප්‍රිය කරන රැකියාවක් නොලැබීමට ඔබගේ ජන්ම පත්‍රයේ ඇති පහත සඳහන් දුර්වලතා හේතු වනු ඇත.

10 අධිපති ග්‍රහයාගේ දුර්වලතාවයන් (එම ග්‍රහයා ලග්නයේ මෙන්ම නවාංශකය තුළ නීච සතුරු හෝ පාප පීඩිත භාවයට පත් වීමෙන්. අසුබ ග්‍රහ සංයෝග යෙදීමෙන්.

10 වැන්න තුළ අසුබ හා පාප පීඩිත ග්‍රහයින් තැන්පත් වීමෙන්.

10 වැන්නාධිපති 22 වන දෙර්කාණාධිපති හෝ 64 වන නවාංශකාධිපති යන අසුබ තත්වයට පත් වීමෙන්

ගුරු රවි බුධ යන ග්‍රහයින්ගේ බල දුබලතා

ලග්නාධිපතිගේ දුර්වලතාවයන්

ඉහත සඳහන් ග්‍රහයින්ගේ දුර්වලතාවයන් සඳහා ග්‍රහ ශාන්තිකර්ම රාශියක් අපට ඡ්‍යොතිෂය තුළ දැක ගැනීමට හැකියාව ඇත.

ඒ අතරින් මැණික් ප්‍රතිකාරය ප්‍රමුඛ පිළියමක් වන්නේය. මැණික් යනු අසීමිත විශ්ව ශක්තියක් ගබඩා කරගත්, පෘථීවියේ උපදින දුර්ලභ ගල් හෙවත් පාෂාන විශේෂයක් වන අතර අතිශයින් බලවත් හා ඉතා මිල අධික ඒ වගේම අති විශේෂ අලංකාර පාෂාන විශේෂයක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. මැණික් හා ග්‍රහයන් අතර තිබෙන සම්භන්ධය ඉතාම පුළුල් සම්බන්ධයකි. ඡ්‍යොතිෂ විද්‍යාව ගොඩනැගිලා තියෙන්නේ සෞරග්‍රහ මණ්ඩලය හා විශ්වයේ පවත්නා වූ ග්‍රහ වස්තු පදනම් කරගෙනය. ඒ වගේම මේ විශ්වයේ ඇති පංච මහා භූතයන්ගේ විවිධාකාර වූ බලපෑම් හෝ ආකර්ෂණය මත මිනිස් චින්තනය ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම සකල ජීවීන්ගේ මේ භෞතික ශරීරය ගොඩනැගෙන්නේ පංච මහා භූතයන්ගේ සංයෝගයෙන්. ඉතින් මෙම භූත සංයෝග කොටස් කෙරෙහි විශ්වයේ පවත්නා ග්‍රහයින්ගේ ආකර්ශනය හා සම්බන්ධතාවයන් විවිධ වෙනවා. අප ජීවත් වෙන මේ පෘථීවි ගෝලයේ මතුපිට මෙන්ම අභ්‍යන්තරයේ භෞතික ගණයේ වූ විවිධාකාර ඛනිජ ලෝහ වර්ග රාශියක් තිබෙනවා. ඒ ඛනිජ ලෝහ වර්ග කෙරෙහි සෞරග්‍රහයින්ගේ බැ¼දීම් හා බලපැවැත්වීම් තිබෙනවා. ඒ අනුව එම බලය අනුව පුද්ගලයා කෙරෙහි බලපවත්වන ග්‍රහ තත්වයන් වෙනස් කර ගැනීමට අප විසින් විවිධාකාරයේ ඒ ඛනිජ ලෝහ වර්ග හෙවත් මැණික් පළදිනු ලබනවා. මැණික් වලට අපල දුරුකිරීමේ අසීමිත බලයක් තිබෙන අතර ග්‍රහයන්ගේ ආකර්ශන ශක්තිය හා ග්‍රහ බලය වැඩි කිරීමේ අසීමිත ශක්තියක්ද තිබෙනවා. ඡ්‍යොතිෂයේදී අපට වේදීය මැණික් ප්‍රතිකාර ක්‍රමය මගින් යම් යම් ග්‍රහ අපල සඳහා විශේෂයෙන් රැකියා කටයුතු වලට ඇති වන බාධාකාරී තත්වයන්ට පිළියමක් ලෙස මැණික් පැළදීම නිර්දේශ කරන්න පුළුවන්.

එසේම මේ සඳහා පහත සඳහන් ග්‍රහ ශන්ති කර්මද අනුගමනය කිරීමෙන් යහපත් ප්‍රතිඵල උදා කර ගත හැකිය. මෙලොව උපන් ඕනෑම අයකුට උප්පත්ති ග්‍රහ බලය වෙනස් කළ නොහැකි වුවද එම ග්‍රහ දුර්වලකම් මැනවින් හඳුනාගෙන දෛනික ජීවිතයේ වැඩ කටයුතු කරගෙන යාමෙන් ඔවුනට ජීවිතය ජය ගත හැකිවනු ඇත. අපට වැස්ස නැවැත්විය නොහැකි වුවද වැස්සෙන් නොතෙමී ආරක්ෂා වීමට කුඩයක්, වැහි කබායක්, ඉටි කොළයක් හෝ හබරළ කොළයක් වුවද යොදා ගත හැකිය. අප එලෙස යමක් යොදාගනු ලබන්නේ අපගේ ඥාණය මෙහෙයවීම මතයි. මෙලෙස ග්‍රහයින්ගෙන් වන අපල වලින් බේරීම සඳහා නිවැරදිව විවිධාකාර උපක්‍රම යොදා ගත හැකිය.

01සෙත්කවි ලියවා කියවීම 02.සුදුසු මැණික් වර්ග තෝරාගෙන අදාළ ලෝහයෙන් ආභරණ සාදා පැළ¼දීම 03.බෝධි පූජා පැවැත්වීම 04.ග්‍රහ පූජා ග්‍රහ දාන පැවැත්වීම 05.භාවනා කිරීම 06.යන්ත්‍ර පැළ¼දීම 07.සිල් සමාදන්ව සිල් ආරක්ෂා කිරීම 08.භාර හාර වීම 09.ග්‍රහ බලි පූජා පැවැත්වීම 10.ආමිස දානය,අභය දානය, ධර්ම දානය යන ත්‍රිවිධාකාරයේ දාන මගින් 11.සිල්වතුන් ලවා ලබා ගන්නා ආශිර්වාදය මගින් 12.තමාගේ අපල දුරුවේවා ලියූ ධජ ,කොඩි මගින් 13.තම ආහාරයේ කොටසක් ඉතිරිකර සතුන්ට ලබා දී එම පින තමාගේ ඉටු දෙවියාට අනුමෝදන් කරවීම මගින් 14.අසරණයන්ට, සිල්වතුන්ට උවටැන් කිරීම මගින් 15.බුදුදහමේ සඳහන්වන අටමහ කුසල්වල යෙදීම මගින් 16.දිනපතා පන්සිල් සමාදන්ව පිරිත් සජ්ඣායනා කර එම පින් සර්ව දේව මණ්ඩල යට හා නව ග්‍රහ මණ්ඩලයට අනුමෝදන් කරවීම මගින් 17.තමාට ගැළපෙන වර්ණයෙන් යුතු ඇඳුම් පැළ¼දීමෙන් 18.ග්‍රහයන්ට අදාළ ඖෂධ යෙදූ ජලයෙන් ස්නානය කිරීමෙන් 19. ග්‍රහයන්ට අදාළ ගස්වලට සාත්තු කිරීම හා ඒ ආසන්නයේ සතියකට පැය කිහිපයක් රැ¼දීසිටීමෙන් 20.භාවනා කිරීමෙන් 21.රටෙන් හෝ ගමෙන් පිටවීමෙන්

22.ග්‍රහයාට අදාළ වර්ණයෙන් යුතු මල් ,රෙදි ආදිය පූජා කිරීමෙන් දන්දීමෙන් 23.කිරි අම්මාවරුන්ට දානය දීමෙන් 24.පිරිත් ශ්‍රවණය කිරීම හා පිරිතෙන් ආරක්ෂා යන්ත්‍රය පැළ¼දීමෙන් 25.දෙහි කැපීම් වැනි අභිචාර විධි හෝ තොවිල් කිරීම මගින් 26.ගලායන ජලයේ සිටින මාළුවන්ට බත්, පොරි ආදිය ආහාරයට ලබාදීමෙන් 27.උගුල්වල පැටලී සිටින සතුන් ඉන් නිදහස් කිරීමෙන් 28.කූඩුකර ඇති සතුන් නිදහස් කිරීමෙන් 29.මිනිසුන්ට හා සතුන්ට සැමදා මෛති‍්‍රයෙන් යුතුව උදව් උපකාර කිරීමෙන් 30.කුඩා අසරණ දරුවන්ට කැවිලි පෙවිලි බෙහෙත් ආදිය ලබා දීමෙන් 31.ඖෂධ වර්ග රෝපණය කිරීම හා එහි ඵලදාව බෙහෙත්වලට නොමිලේ ලබාදීමෙන්

පුර පක්ෂයේ දින 09 ක බෝධි පූජාවක් පැවැත්වීමත් තමාගේ උසට මල් මාලාවක් අමුණා ඊට තමාගේ වයසට අදාලව නිල්මල්, රතුමල්, කහමල්, සුඳුමල් එකතු කිරීමත් බෙහෙත් ඖෂධ වර්ග 09 ක් පූජා කිරීමත් කිරිකොළ 09 ක තබා එළඟිතෙල් පහන් 09ක් දැල්වීම තුළින් සෙනසුරු, සිකුරු කුජ, හා රවි ග්‍රහයින්ගේ අපල තත්වයන් දුරු කර ගැනීමේ හැකියාව ඇත.

සෙනසුරු,කුජ, රවි, සිකුරු, වෙනුවෙන් සකස්කරන ලඳ නවග්‍රහ මංජුසාවක් අදාල දින 09 ක කාලයක් පිළිවෙත් කොට සෙනසුරාදා දිනක ශනි හෝරාවෙන් දියෙහි පා කර හැරීම ඉතාම සුබ දායක වනු ඇත.

සෙනසුරු ඒරාෂ්ටක ශනි,කුජ, රවි, සිකුරු මහ දශා හා අතුරු දශා අපල පවතින විට අදාල වෘක්ෂයන්ට සාත්තු කිරීම.

මෛත්‍රී භාවනාව වැඩීම සුබදායක වේ.

සෙනසුරාදා (ශනිදා) දින වල උදේ 6 / 7 ත් අතර එළඟිතෙල් මිශ්‍ර කිරිබත් ගුලි 8ක් තම හිස වටා කරකවා කපුටන්ට කෑමට දෙන්න. (වතුර බේසමක්ද තබන්න )

දුඟී මගී අත් පා නැති ඇස් අන්ධ හා ආබාධිත අසරණ අයට උදව් උපකාර කරන්න (ආහාර ඇඳුම් පැලඳුම් හා මුදල් )

හැකි සෑම විටකම තමා කන බත් පතෙන් මිටක් ඉඟිලී යන සතෙකුට කෑමට දෙන්න.

හිරවී සිටින කුරුල්ලන් ජෝඩු වශයෙන් බේරා ගෙන නිදහස් කරන්න.

ගලා යන ජලයේ ජීවත් වන මාළුන්ට වී පොරි ස්පර්ශ කර කෑමට දෙන්න.

දරුවන් ලැබූ හා ලැබෙන්න ඉන්නා වූ අයට ඇප උපස්ථාන කරන්න.

අමාවක පෙහොය දින වල තමාගේ වයසට අදාලව බෝධියක් අභියස එළඟිතෙල් පහන් දල්වන්න.

ගිලන්ව සිටිනා සිල්වත් භික්ෂුවකට බෙහෙත් ඖෂධ පූජා කරන්න.

මහළු වැඩිහිටියන් වාසය කරන නිවාසයකට උදෑසන කොළකැඳ පානයක් දන් දෙන්න.

විෂ්ණු දේව රාජොත්තමයන් වහන්සේ වෙනුවෙන් භාරහාර වීම, පූජා පැවැත්වීම, පිහිට ඇයද සිටීම සෙත්කවි කියවීම ඉතා සුබදායකය.

අතපය වාරු නැති අයට මෙන්ම යාචකයන්ට සෙනසුරාදා දිනවල රතු කැකුළු බත් එළවළු වෑංජන සහිතව දන්දීම සුබදායක වනු ඇත.

නීල මණ්ඩල යන්ත්‍රය, ශනි මෘතුංජය, විෂ්ණු අඝෝර යන්ත්‍රය, යන යන්ත්‍ර නිසි ආකාරව බල පිහිටුවා පැළදීම.

සෙනසුරාදා, අගහරුවාදා දිනවල නිර්මාංශ ආහාර ගැනීම.

කළුතල, අංජනකැට, වීපොරි, සතකුප්ප, බැවිල ,සුවඳකොට්ටම්, දේවදාර, කලාඳුරු අල යන ඖෂධ සමව ගෙන තම්බා නිවා ස්නානය කිරීම.

කිරි අම්මාවරුන්ට දානයක් දීම

නුග කොළ මිශ්‍ර වතුර ස්නානය කිරීම

නිල්පාට, රතුපාට, හා කහපාට මල් වැඩිපුර පූජා කිරීම.

ඉහත සඳහන් අදාළ ග්‍රහ ශාන්ති කර්ම හා සෙනසුරු,කුජ රවි, සිකුරු අපල වෙනුවෙන් සෙනසුරාදා, අඟහරුවාදා, සිකුරාදා, ඉරිදා දින වල බෝධි පූජා පවත්වා එම ලබා ගත්තා වූ පින් ශ්‍රී විෂ්ණු දෙවියන්, කතරගම දෙවියන්, ඊශ්වර දෙවියන් හා පත්තිනි මෑණියන් උදෙසා අනුමෝදන් කිරීම තුළින් ඔබටත් මෙම රැකියාවන් සඳහා වූ ග්‍රහ අපල තුළින් සිදු වන්නා වූ අපල හා පීඩා වලින් යම් සහනයක් ලබා ගත හැකි වනු ඇත.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.